පාස්කු ඉරිදා අන්තවාදී පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ආගම් අතර පැවැති සහජීවනයටද බාධා එල්ල විය. ඉස්ලාම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට මුස්ලිම් ජනතාව කෙරෙහි තිබූ විශ්වාසය බිඳවැටුණු අතර, මෙම අන්තවාදීන්ට එරෙහිව මුස්ලිම් සමාජය තුළින්ම හඬක් අවශ්‍ය බවට මේ අතරතුර කතාබහක්ද ඇතිවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය දැනුවත් කිරීමක් පසුගියදා (12දා) දෙහිවල ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේදී සිදු කෙරිණි. මෙරට සමාජය තුළ මුස්ලිම් ජනතාව කෙරෙහි බිඳවැටී ඇති විශ්වාසය යළි තහවුරු කරගත යුතු ආකාරය බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා පැවසුවේ මෙලෙසිනි.
“මාත් එක්ක පැමිණි අනෙක් නිලධාරීන් ඔක්කොම අවුරුදු 25ක්, 30ක් විතර සේවයක් තියෙන නිලධාරීන්. අපි ඇත්තටම මේකට එන්නේ දුකෙන්. මොකද අපි යුද හමුදාවට බැඳිල ත්‍රස්තවාදීන් එක්ක සටන් කළේ මෙම සමාජයට නැත්නම්, ශ්‍රී ලංකාවට සාමය ගේන්න. සාමය ගේන්න අපි ලොකු කැපකිරීමක් කළා. ඉතින් මෙච්චර දුරක් ඇවිල්ලා මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණීම ගැන දුකයි. ඒක ඔයගොල්ලන්ට කොහොම තේරුණාද කියලා මං දන්නේ නෑ. නමුත් තේරුම් ගන්න කාලය ඇවිත්. අර මැරිච්ච 250 දෙනොගේ, ඒගොල්ලන්ගේ දූවරු, අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද. ඒක තමයි මට තියෙන දුක.
ඉතින් මෙතැනට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ලන් ගැන දුක් වෙන්න. ඒගොල්ලො ගැන තැකීමක් කරන්න. අවුරුදු තිස් ගණනක් තිස්සේ යුද්ධ කරලා වැඩක් නැහැනෙ, මුස්ලිම් නිලධාරීන් වශයෙන් ඒ සාමය අපට ගේන්න බැරි නම්.
මුස්ලිම් සමාජය මේ ලංකාවේ අවුරුදු 1,000කට විතර එහා ගිය සමාජයක්. මුස්ලිම් සමාජය විසින් මේ ලංකාවට කරපු වැඩකොටස ඉතා විශාලයි. රජ කාලයේ පටන් රජ්ජුරුවොත් එක්ක එකතු වෙලා මේ රට වෙනුවෙන් හොඳක් කළා. ඊට පස්සේ නිදහස වෙනුවෙන් අපේ කට්ටිය ලොකු වැඩ කොටසක් කළා.
ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධයක් ආවා. ඒක වෙනුවෙන් අපේ නිලධාරීන්, සොල්දාදුවන් සටන් කෙරුවා. විශාල සේවාවක් කළා. මේ ඔක්කොම අප්‍රේල් 21 දින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මැකිලා යනවා. දැන් මුස්ලිම් සමාජය කෙරෙහි විශ්වාසයක් නෑ. ඒ විශ්වාසය ගොඩ නගන්න ඕන කාලයක් මේක. යුද හමුදාපතිතුමා කියන්නේ දැන් විශ්වාසය ගොඩනගන්න ඔයගොල්ලන් ගිහින් කතා කරන්න, සමාජයත් එක්ක එකතු වෙන්න කියලා. අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා හදාගන්න කියලා.
මේ රට ගැන අපි ඔක්කොටම වගකීමක් තියෙනවා. මේ වෙච්ච ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් සමාජය විදියට අපට නවත්ත ගන්න බැරි වුණා. ඒක තමයි දුක. මම කාත්තන්කුඩි ගියා. ඒ ගියපු වේලාවේ ඔය සහරාන් කියන ත්‍රස්තවාදියා ගැන කතා කළා. එහේ කට්ටිය ඔහු ගැන කිව්වේ එයා පොඩි කාලෙ ඉඳලම රැඩිකල් අන්තවාදී අදහස් තිබුණ කෙනෙක් කියලයි. එයාගේ ලොකුම ප්‍රශ්නේ තිබුණේ රමසාන් මාසේ අවුරුද්ද කවද්ද තියන්න ඕන කියන එක තමයි. හැමදාම පල්ලි ඇවිල්ලා එයා ප්‍රශ්න කරනවාලු කවද්ද මේක තියෙන්න ඕන, මේක සෞදි අරාබියේ වගේ තියෙන්න ඕන කියලා. ඒගොල්ලන් කියන්නෙත් නෑ, මේ දවස තමයි ඒකට දීල තියෙන්නෙ කියලා. ඒත් එයා කැමැති වෙන දවසක තියන්න.
ඒකට එකඟ වුණේ නැති හින්ද තමයි එයා අන්තවාදයට ගිහිල්ලා එයාම එකක් හදා ගත්තෙ. මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති වෙලත් මං දන්නෙ නෑ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන කතා කළාද කියලා. එතන අපට ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. මේක අද, හෙට වුණා, අප්‍රේල් 21 වුණා. තව මාස 02කින් මේක ඉවර කරලා ඉන්න බෑ. අවුරුදු දෙකතුන, හතරක්වත් මේ ගැන සමාලෝචනයක් යනවා. මේක ගැන අපට කතා වෙන්න වෙනවා. අපේ විශ්වාසය දිනා ගන්න වෙනවා. ඒ කාලෙ මුස්ලිම් සමාජය තමයි අපේ ගම්වල විශ්වාසවන්තම සමාජය. මම නුවර, ගම්පොළ පැත්තේ. ඒ පැත්තේ මුස්ලිම් අය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. කොළඹත් එහෙමයි.
ඒ තිබුණු විශ්වාසය අද වෙනකොට කැඩිලා තියෙන්නේ. ඒක ගොඩනගන්න විශාල කාර්යභාරයක් කරන්න ඕන. ඒ කාර්යභාරය කරන්න පුළුවන් මේ අද මෙතැන පැමිණිලා ඉන්න මේ උගතුන්, වැඩිහිටියන්ටයි. මට කතා කරන්න පුළුවන්, නමුත් අපි කතා කළත් මේක ගිහිල්ලා යම්කිසි කෙනෙක් විසින් සිදුකළ යුතුයි. මේ සමාජය වෙනස් කළ යුතුයි. මොකද මේ අන්තවාදී හත්දෙනෙක්, අට දෙනෙක් මැරුණා. තව අන්තවාදීන් ඉදිරියට නොඑන්න අපි වගබලා ගන්න ඕන.
යුද හමුදාව පැත්තෙන්, අපේ ආරක්‍ෂක අංශය පැත්තෙන් නැතහොත් ජාතික ආරක්‍ෂාව පැත්තෙන් බැලුවොත් මින් ඉදිරියට මෙසේ සිදු නොවීමට වැඩ කළ යුත්තේ කෙසේද, අපේ ළමයින් හදාගත යුත්තේ කෙසේද, මෙවැනි අන්තවාදී අය ඇති නොවීමට අපි ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද, අපි වෙනස් විය යුත්තේ කෙසේද, අපි අපේ පොඩි ළමයින් අපේ සමාජයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. දැන් අපි ගත්තොත් ත්‍රස්තවාදීන් හය හත් දෙනෙක්, තව 10ක් 12ක් ඇති. ඒ අයට සල්ලි තිබුණා. ඒ අයට යම්කිසි ප්‍රමාණයක දැනුමක් තිබුණා. නමුත් ඒ ඔක්කොම ඇතෑරලා යන්න ඒ අයට යම් හේතුවක් තියෙන්න ඇති. අන්න ඒ හේතුව අපි හොයා ගන්න ඕන.
මෙයින් අපි ඉගෙනගත යුතු විශාල කරුණු තොගයක් තියෙනවා. වැඩිහිටියන් හා පල්ලියේ භාරකාරයන් විසින් මේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ සෑම දෙයක්ම සිදුවෙන්නේ අපේ පල්ලියෙන්. මම හැම තැනම පල්ලිවලට ගිහින් කිව්වේ ඒකයි. මෙතැනින් තමයි අපි ඔක්කෝම හරි මාර්ගයට එන්නෙ. එතැනින් වැරදුණාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් සෑම කෙනෙක්ම මේකට අපි වැඩිහිටියන් වශයෙන් වගකීම භාර ගන්නවා වගේම ඉදිරියට එන තරුණ පරම්පරාව අපි හදාගන්න ඕන මේ වාගේ දේවල් නැවත කිසි දිනක සිදු නොවෙන ලෙස. මොකද ලෝක ත්‍රස්තවාදය නවතින එකක් නොවෙයි. ඒක ඉදිරියට තියෙන එකක්. ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා, ඒකට අහු නොවී ඉන්නෙ කොහොමද කියලා අපි සෑදී පැහැදී ඉන්න ඕන.
අපි ඔක්කොම හුඟක් දුරට ඒකට වග කියන්න ඕන. ඕගොල්ල හිතල බලල මේක ගැන කතා කරන්න. ඇත්තටම මේවා අපි, හමුදාවේ හමුදාපති විසින් කිව යුතු කරුණු නොවෙයි. ඔයගොල්ලන් එකතු වෙලා, මේ වගේ ජන කොට්ඨාසයක්, මේ වගේ සමිති ටික එකතු වෙලා මේක ගැන කතා කරලා තියෙන්න ඕන. මේ ගැන කතා කරලා මේකෙන් ගත යුතු කරුණු මොනවාද කියලා දැන ගන්න ඕනෑ.
කට්ටිය අතර තියෙන බෙදීම් බලන්න. %ෂියා^ කණ්ඩායම්, සුන්නි කණ්ඩායම් ඉන්නවා, සුන්නි කණ්ඩායම් අතරෙත් ඉන්නවා උලමා කියලා. එතකොට තවුහීද් ජමාත්, ජහිරා, ජිහාරම් පාට්ටි කියලත් ඉන්නවා. මේ ඔක්කොම තියෙන්නේ බෙදීම්. අර ත්‍රස්තවාදියොත් කළේ යම්කිසි තැනකින් බෙදීමක් ගත්තා. ඊට පස්සේ කඩාගෙන ගිහිල්ලා එයාගේ ඒ අන්තවාදී අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.
අපි පළවැනියට හිතන්න ඕන අපි මුස්ලිම් සමාජය එකමුතු වෙන්න. එකමුතුකම තිබුණාම ත්‍රස්තවාදී අන්තවාදීන්ට එන්න බෑ. මොකද ඒගොල්ලො එතකොට දන්නවා අපි එකට කියලා. පලස්තීන ප්‍රශ්නයත්, සිරියානු ප්‍රශ්නයත්, යේමනේ ප්‍රශ්නයත්, ඉරාකෙ ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයමයි. මේ ප්‍රශ්නවලට උත්තරයක් අල්ලාහ් දෙවියන් ළඟ තිබෙනවා. අපි දෙවියන් කෙරෙහි විශ්වාසය තැබුවා නම් මේ ඔක්කොම සමථයකට පත් වෙනවා. මින් ඉදිරියටත් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න අපේ සමාජයට ඒවි.
සිංහල, දෙමළ, ක්‍රිස්තියානි මේ හැම එක්කෙනාම අපට ආදරෙයි. අවුරුදු තිහක් යුද හමුදාවේ ඉඳලා මං යුද කරන කොට මාව බලා ගත්තේ මුස්ලිම් අය නෙවෙයි. සිංහල සොල්දාදුවො. අපේ සමාජයේ වගකීම මොකක්ද කියලා අපිම බලා ගන්න ඕන.
අපි ජන කොට්ඨාසත් එක්ක හැසිරෙන්න ඕන. අපි සිංහල අවුරුද්දට ගිහින් එගොල්ලෝ එක්ක ක්‍රීඩා කරන්න ඕන. මේවා හැදෙන්න ඕන. මේ තමයි යථාර්ථය. ඔය ප්‍රශ්නෙම ආවා මූතුර්වලත්, හමුදාවේ කට්ටිය බල්ලොත් එක්ක පල්ලිය ඇතුළට ආවා කියලා. මම ඒකට උත්තරයක් දුන්නා ඕගොල්ලෝ හොයලා බලන්න ඇයි මේක වෙන්නෙ කියලා.
අපි සමාජයත් එක්ක එකතු වෙන්න ඕන. සමාජයත් එක්ක ගැවසෙන්න ඕන. සමාජයේ විශ්වාසය දිනා ගන්න ඕන. මේ සමාජයේ හැම කෙනාම අපේ සහෝදරයො. ඒ නිසා මේ වගේ දෙයක් මින් ඉදිරියට වෙන්න බෑ. මේ සමාජය ගැන අපට ලොකු වගකීමක් තියෙනවා. මුස්ලිම් සමාජයක් හැටියට ඒ වගකීම අපි ඉටු කරන්න ඕන.