උපාධියට සරිලන රැකියාවක් ලබාදෙන වැඩපිළිවෙළක් නෑ


උපාධියට සරිලන රැකියාවක් ඉල්ලා ගෙවී ගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ සටන් ක්‍රියාමාර්ග දියත් කළ අතර, මේ වන විට මෙම සටන් පාඨයට අමතරව සංවර්ධන නිලධාරී සේවාවට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කර, නිශ්චිත වැටුපක් සහ නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් ඉල්ලා සටන් ක්‍රියාමාර්ගද ආරම්භ කර තිබේ. මීට අමතරව වසරක් පාසා උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස හා වර්තමානයට ගැළපෙන උපාධිධාරීන් බිහිකරන ක්‍රමයක් සකස් කරන ලෙසටත් ඉල්ලා විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් වෙමින් තිබේ. මේ පිළිබඳව %අද^ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සමග කතාබහක නිරත විය.


සංවර්ධන නිලධාරී තනතුරු

සංවර්ධන නිලධාරී සේවාවට උපාධිධාරීන් බඳවාගැනීම ආරම්භ කරලා තියෙන්නේ 1993 වසරේදි. රටේ සංවර්ධන කටයුතු සඳහා උපාධිධාරීන්ගේ දායකත්වය ලබා ගැනීමට මෙම සේවාව ආරම්භ කළත්, අදටත් මෙම සේවාවට අයත් රාජකාරී ලැයිස්තුවක් නැහැ. රාජ්‍ය සේවයට හිමි බොහෝ දීමනා නැහැ. සංවර්ධන සේවාවට බඳවාගන්නා පිරිස් එම තනතුරින්ම විශ්‍රාම යනවා. අද වන විට එම සේවාවට පූර්ණ විශ්‍රාම වැටුපක්  නැහැ. 2016න් පසු සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගන්නා පිරිස්වලට තමයි මෙම තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. අඩුම තරමින් 2016න් පසු බඳවාගත් පිරිස් විශ්‍රාම යනකොට ලබාදෙන්නේ කුමන ආකාරයේ විශ්‍රාම වැටුපක්ද යන්නවත් තවමත් තීරණය කරලා නැහැ. මේ ප්‍රශ්නය ඇති කළේ පසුගිය ආණ්ඩුව.

සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීම

1993 වසරේදී උපාධිධාරීන් කණ්ඩායමක් බඳවා ගත්තා. ඊට පස්සෙ 1995 වසරේදිත් බඳවා ගත්තා. 1999 හා 2004 වසරවලත් බඳවාගැනීම් සිදුකළා. මෙම කාලය තුළ සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගත් පිරිසට නිශ්චිත රාජකාරී ප්‍රමාණයක් පැවරිලා තියෙනවා. 2005 වසරින් පසු උපාධිධාරීන්ට රැකියා ලබාදීම අඩපණ වුණා. මේ නිසා උපාධිධාරීන්ට රැකියා දෙන්න කියලා මහ පාරේ සටන් කිරීමට සිදුවුණා. ඒත් 2004 වසරේ ඉඳලා වසර 08ක් යනතුරු රැකියා ලබාදුන්නේ නැහැ. ඒ නිසා එවකට පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් මෙම දැඩි විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් උපාධිධාරීන් පනස් දෙදහස් අටසිය දොළහක් (52812) සංවර්ධන නිලධාරී සේවාවට බඳවා ගත්තා. 2012 බඳවා ගැනීමේදී කිසිදු ක්‍රම‘වේදයක් තිබුණේ නැහැ. ඒ නිසා මෙම පිරිස රුපියල් දස දහසේ මාසික වැටුපට බඳවා ගත්තා. එම පිරිස් ස්ථිර කරන්න වසරක් ගතවුණා. හැබැයි ඒ වන විට රාජ්‍ය චක්‍ර‘ලේඛවල සඳහන් කරලා තිබුණේ රාජ්‍ය සේවයට එක්වන පිරිස් දින 180 ස්ථිර කරනවා  කියලා. 2012 වසරින් පසු උපාධිධාරීන්ට රැකියා ලබාදීම දිගින් දිගටම කල් දැම්මා. ඒ නිසා යළිත් වතාවක් උපාධිධාරීන් රැකියා ඉල්ලා මහපාරේ සටන් කළා. ඒක නිසා 2016 හා 2018 සහ 2019 වසරවල උපාධිධාරීන් සුළු සුළු කණ්ඩායම් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගත්තා. අද වෙද්දි සංවර්ධන නිලධාරී සේවාව තුළ එක්ලක්‍ෂ තිස් දහසක් පමණ සේවය කරනවා.

සංවර්ධන නිලධාරීන්ට රාජකාරී පැවරීම

සංවර්ධන නිලධාරී තනතුරට රාජකාරී ලැයිස්තුවක් සකස් කරලා නැහැ. ඒ කොහොම වුණත් 2004 වසර වන තෙක් බඳවාගත් පිරිස්වලට අදාළ ආයතන ප්‍රධානීන් නිශ්චිත රාජකාරී ප්‍රමාණයක් පවරලා තියෙනවා. ඒත් 2012 සිට මේ දක්වා බඳවාගත් උපාධිධාරීන්ට එවැනි රාජකාරී පැවරීමක් සිදුකරලා නැහැ. ඒක නිසා ආයතන ප්‍රධානීන්ට පුළුවන් මේ උපාධිධාරීන් ලවා සනීපාරක්‍ෂක කම්කරු තනතුරට අදාළ රාජකාරී වුණත් කරවා ගන්න. දැනටමත් ප්‍රා‘දේශීය ලේකම් කාර්යාල යටතේ සේවය කරන පිරිසගෙන් පිළිගැනීමේ නිලධාරී තනතුර, ලිපිකරු තනතුර වගේම පොල් පැළ, අඹ පැළ බෙදා දීම හා රජයේ ගෙවතු වගා වැඩපිළිවෙළවල් යටතේ බීජ වර්ග බෙදාදීමත් සිදුකර ගන්නවා. ඒත් උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීම ආරම්භ කළ කාලයේදී කිව්වෙ නම් රටේ සංවර්ධනයට දායක කර ගන්නවා කියලා. හැබැයි අදටත් උපාධිධාරීන්ගේ දැනුමට අදාළව රටේ සංවර්ධනයට යොදාගන්න වැඩපිළිවෙළක් නැහැ.

2018 බඳවාගත් පිරිස

2018 වසරේදී සංවර්ධන නිලධාරී සේවාවට තුන්දහසකට අධික පිරිසක් බඳවා ගත්තා. එම වසරේ අගෝස්තු මාසයේදී බඳවාගත් පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කර ගැනීමට තිබුණේ 2019 වසරේ අගෝස්තු මාසයේදී. ඒත් අද වෙනකම් මෙම පිරිස ස්ථිර කරන්න කටයුතු කළේ නැහැ. 2018 වසරේදී බඳවාගත් පිරිස් බඳවා ගත්තේ රුපියල් විසිදහසක (20,000) මාසික දීමනාවකට. මෙම ක්‍රමයට අපි මුල ඉඳලම විරුද්ධ වුණා. ඒත් පසුගිය ආණ්ඩුවත් උපාධිධාරීන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක් කළා. වර්තමාන ආණ්ඩුව පවා සිදුවෙමින් තිබෙන මෙම වරද නිවැරදි කිරීමට තවමත් කටයුතු කරලා නැහැ. ඒක නිසා ආණ්ඩුවට අපි යෝජනා කරන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට බලපැවැත්වෙන ආකාරයට ස්ථිර පත්වීම් ලබාදෙන්න කියලයි. ඒ වගේම එම මාසයේ සිට ලබාදිය යුතු හිඟ වැටුප් ලබාදෙන්න ඕන. අනික පසුගිය වසරේ අගෝස්තු මාසයේදී උපාධිධාරීන් දහසය දහසක් සංවර්ධන නිලධාරී සේවාවට බඳවා ගත්තා. මේ පිරිසත් කඩිනමින් ස්ථිර සේවයට ඇතුළත් කරගත යුතුයි. ඒත් මෙතෙක් රැකියා ඉල්ලා සටන් කළ අපිට රැකියාවට බඳවාගත් පිරිස් ස්ථිර කරන ලෙසට හා හොඳ වැටුපක් ලබාදෙන ලෙසත් සටන් කරන්න අද සිද්ධ වෙලා.

රටට සේවය නොකර වැටුප් ලබාගැනීම

ඒක උපාධිධාරීන්ගේ වරදක් නොවෙයි. මේ රටේ පාලකයන්ට උගතුන් බුද්ධිමතුන්ගෙන් රටට සේවයක් ලබාගන්න වැඩපිළිවෙළක් නැහැ. දේශපාලන වාසියක් ගන්න හිතුනම බඳවා ගැනීමක් කරනවා. සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගත් සමහර උපාධිධාරීන්ට තමන් සේවය කරන ආයතනයේ ස්ථිර පුටුවක්, මේසයක් නැති පිරිස් ඉන්නවා. යම් වැඩපිළිවෙළක් යටතේ බඳවාගැනීම් සිදුකළා නම් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා උපාධිධාරීන් රටේ සංවර්ධනයට දායක කර ගන්න වැඩපිළිවෙළක් හදන්න කියලා එදා ඉඳලම අපි අරගල කළා. ඒත් තාම රාජකාරී ලැයිස්තුවක් සකස් කරගන්න බැරිවෙලා තියෙනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්.

සංවර්ධන නිලධාරී සේවාවේ උසස්වීම්

උසස්වීම් ලබාදීමට විධිමත් ක්‍රම‘වේදයක් නැහැ. සංවර්ධන නිලධාරී සේවාවේ බඳවාගැනීම් ක්‍රම‘වේදයට අනුව තුන්වැනි ශ්‍රේණියට බඳවා ගන්නවා එම ශ්‍රේණියේ වසර දහයක් සේවය කළාම දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගන්නවා. දෙවැනි ශ්‍රේණියේ වසර දහයක් ගතවුණාම පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නවා. ඒත් අනෙකුත් රාජ්‍ය සේවා තුළ කෙටි කාලයක් තුළදී ආසන්න ශ්‍රේණියට ඇතුළත් වීමට අවස්ථාව තිබෙනවා. මීට අමතරව විවිධ තනතුරුවලට පත්කරන ක්‍රම‘වේද තියෙනවා. ඒත් සංවර්ධන නිලධාරීන්ට එහෙම ක්‍රම‘වේදයක් නැහැ. ඒක නිසා සංවර්ධන නිලධාරී සේවාව අද එකතැන පල්වෙන තත්ත්වයකට පත්වෙලා. ඒ හින්දා 2012 සිට මේ දක්වා බඳවාගත් කිසිදු සංවර්ධන නිලධාරියෙක් හිතේ සතුටින් රාජකාරී කරනවා කියල හිතන්න බැහැ. 

රජයේ රැකියා ඉල්ලා අරගල කිරීම සාධාරණද?

රටේ උගත් පිරිසට සරිලන රැකියාවක් හා හොඳ වැටුපක්, විශ්‍රාම වැටුපක් ලබාදෙනවා නම් මේ රටේ උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා මහ පාරේ සටන් කරන්නේ නැහැ. කුමන තත්ත්වයක් යටතේ වුවත් පෞද්ගලික අංශය තුළ උපාධිධාරීන් විශාල පිරිසක් සේවය කරනවා. උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදෙන්න බැරි නම් පෞද්ගලික අංශය තුළ සේවක සුරක්ෂිතතාවක් ඇති කරන්න ඕන. විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන්න ඕන. ඒක කරන්න පුළුවන් වෙන්නේ රජයට, එහෙම නැත්නම් ආණ්ඩුවට. එවැනි වැඩපිළිවෙළක් සකස් කළොත් කිසිදු උපාධිධාරියෙකු රජයේ රැකියා ඉල්ලා මහ පාරේ සටන් කරන එකක් නැහැ.

වර්තමාන ආර්ථිකයට ගැළපෙන ලෙස උපාධිධාරීන් බිහිකර ගැනීම

ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ තත්ත්වය අපි 2002 වසරේ ඉඳලා දැකපු දෙයක්. ඒක නිසා අපි එදා ඉඳලා ඒ වෙනුවෙන් අරගල කරලා තියෙනවා. අපි එදා කිව්වා විශ්වවිද්‍යාලවලින් වර්තමානයට ගැළපෙන උපාධිධාරීන් බිහිකරන වැඩපිළිවෙළක් සකස් කරන්න කියල. ඒත් අද වෙනකම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළේ නැහැ. විශ්වවිද්‍යාල තුළට නවීන තාක්‍ෂණය ගෙන ගොස් ඒ දැනුම දෙන්න වැඩපිළිවෙළක් නැහැ. මොකද බොහෝ උපාධිධාරීන්ගේ බලාපොරොත්තුව උපාධියක් ලබාගෙන හොඳ රැකියාවක් කරන්න. ඒත් විශ්වවිද්‍යාල තුළ වර්තමානයට ගැළපෙන ලෙස ඉගැන්වීම් සිදුනොවන නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ බලාපොරොත්තුව ඉටුවෙන්නේ නැහැ. 

ලබාගන්න උපාධියට සරිලන රැකියාවක්

ඒක අපේ එක් සටන් පාඨයක්. මොකද සෞන්දර්ය විෂය ඉගෙන ගන්න පිරිස් පාසල්වල සෞන්දර්ය විෂය ඉගැන්වීම සඳහා යොමු කරන්න පුළුවන්. සිංහල, ගණිතය, විද්‍යාව වැනි විෂයන් හදාරන පිරිස්, ඉංග්‍රීසි භාෂාවෙන් හදාරන පිරිස් ගුරුවරුන් ලෙස හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට බඳවාගන්න පුළුවන්. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව ඉගෙන ගන්න පිරිස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෝ ඊට අනුබද්ධ ආයතන හරහා කෘෂිකර්මය දියුණු කරන්න යොදාගන්න පුළුවන්. රාජ්‍ය සේවය ගත්තම මේ ක්ෂේත්‍රවලට අදාළව විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. හිටපු අධ්‍යාපන ඇමැතිවරයා කිව්වා ගුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. හිටපු ජනාධිපතිවරයාත් එය තහවුරු කළා. 

රැකියා විරහිත උපාධිධාරීන්

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් නොමැති නිසා 2012 වසරේ සිට උපාධිය ලබාගත් පනස්දහසකට අධික පිරිසක් රැකියා විරහිතව සිටිනවා. ජනවාරි 01 වන දින උපාධිධාරීන් පනස් හතරදහසකට රැකියා දෙනවා කියලා කිව්වා. ඒත් තාම ඊට අදාළ වැඩපිළිවෙළක්  නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ විශාල පිරිසක් රට තුළ සිටිනවා. විශ්වවිද්‍යාලවල ඉඩ සීමිත නිසා තමයි මෙම පිරිසට උසස් අධ්‍යාපනය අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා උසස්පෙළ සමතුන්ට, සාමාන්‍යපෙළ සමතුන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන.
 
උපාධියට හිමිවෙන්නේ සංවර්ධන නිලධාරී සේවාව පමණක්ද?

එහෙම නැහැ. ඒත් මේ රටේ දේශපාලනඥයන් තම තමන්ගේ දේශපාලන වාසි තකා සංවර්ධන නිලධාරී සේවාව ඉලක්ක කර උපාධිධාරීන් බඳවා ගන්නවා. ඒත් උපාධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළොත් ගුරු සේවය, විදුහල්පති සේවය වගේම රජයේ අනෙකුත් සේවා සඳහාත් උපාධිධාරීන් යොදාගන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේදී එක් වසමකට උපාධිධාරියෙකු යන සංකල්පය යටතේ උපාධිධාරීන් දහසය දහසක් (16,000) බඳවා ගත්තා. එතැනදී සැලසුම් කරලා තිබුණේ ග්‍රාම නිලධාරී වසමක සිටින රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම. ඒත් එම වැඩපිළිවෙළ නිසි ලෙස සිදුවුණේ නැහැ. අද වුණත් මෙවැනි වැඩපිළිවෙළක් සකස් කරලා උපාධිධාරීන් ගමේ සංවර්ධනයට යොදාගත හැකියි.  



Recommended Articles