විශ්වවිද්‍යාල විද්‍යායතන ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග ඒවා තුළ අධ්‍යාපනය හදාරන සිසුසිසුවියෝ මේ වනවිට අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. උපාධියක් ලබාගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත ඇතුළත් වූ තමන්ට ඩිප්ලෝමාවක් ලබාගෙන එයින් පිටත්වීමට සිදු වේ දැයි මේ වනවිට ඔවුහු බියෙන් පසුවෙති. එසේම මේ වනවිට ඔවුන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.
විශ්වවිද්‍යාල විද්‍යායතන ආරම්භය
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු ක්‍රමයේ නව සංකල්පයක් යැයි පවසමින් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කෙරිණි.
දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළට සරිලන නිපුණතාවකින් යුත් ගෝලීය වශයෙන් තරගකාරී කළමනාකරණ පිරිස් බිහි කිරීමට මෙම ආයතන ආරම්භ කරන බව එවට එම රජය සඳහන් කළේය.
ඒ අනුව 2008 අංක 31 දරණ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත අනුව මෙම විද්‍යායතන පිහිටුවා ඇති අතර, එම පනත මගින් මෙම විද්‍යායතන සඳහා බී-ටෙක් (B-TECH) උපාධියද අනුමත කර තිබේ. නමුත් එය මේ වනතුරු ක්‍රියාත්මක කර නොමැත.
එමෙන්ම විශ්වවිද්‍යාල විද්‍යායතන ගැසට් පත්‍ර නාමාවලියේ 04(අ) වගන්තියට අනුව විශ්වවිද්‍යාල විද්‍යායතන යනු තාක්ෂණවේදී උපාධිය (NVQ -07) පිරිනැමීම සඳහා ආරම්භ කරන ලද ආයතනයකි. මෙම ආයතනය ආරම්භ කර වසර පහක් ගත වී තිබුණද තවමත් එහි අඩුපාඩු රැසක් පවතී.
ආයතන 06 ක්
දැනට ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල විද්‍යායතන 06ක් පිහිටුවා ඇත. මාතර, රත්මලාන, බටංගල,
කුලියාපිටිය, අනුරාධපුර, යාපනය යන ප්‍රදේශ කෙන්ද්‍ර කරගනිමින් එම විශ්වවිද්‍යාල විද්‍යායතන 06 ස්ථාපිත කර තිබේ.
මේ වනවිට එම විද්‍යායතන තුළ ස්වයංචලන තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණය, ගොඩනැගිලි සේවා තාක්ෂණය, විලේපනවේදය, ආහාර තාක්ෂණය, අවස්ථා කළමනාකරණය, සංචාරක හා සංවරණ කළමනාකරණය, ආගන්තුක සත්කාර කළමනාකරණය, විදුලි සංදේශ තාක්ෂණය ආදී විෂයයන් රැසක් ඉගැන්වීම ආරම්භ කර තිබේ.
එසේ වුවද මේ වනවිට එම විද්‍යායතන තුළ අධ්‍යාපන හදාරණ සිසුන්ට උපාධිය සම්බන්ධයෙන්, මහපොළ අරමුදල ලබාදීම සම්බන්ධයෙන්, නේවාසිකාගාර පහසුකම් සම්බන්ධයෙන් මෙන්ම ඉඩකඩ අපහසුතා සම්බන්ධයෙන්ද ප්‍රශ්න රාශියක් මතුව ඇත.
මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත ඇතුළත් වූ සිසුන්ගේ මූලිකම අරමුණ වූයේ බී-ටෙක් උපාධිය ලබාගැනීම වුවද තමවත් එය සිහිනයක් බවට පත්ව ඇත. ඔවුන්ගේ උපාධි සිහිනයට රජයෙන් තවමත් නිශ්චිත පිළිතුරක් නොමැත.
විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කිරීමේ පනත තුළ මෙලෙස උපාධියක් ලබාදෙන බව සඳහන් කර තිබුණද මේ වනතුරු එය ක්‍රියාත්මක නොවීමද ගැටලුවකි.
නව රජය පත්වීමෙන් පසුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරාගන්නා ලදී. මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතින බව වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙම ආයතන වසා දැමීමට සූදානම් වන බවට සිසුහු චෝදනා කරති. එසේ වුවහොත් වර්තමානයේ විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ ඉගෙනුම ලබන සිසුන් 5000ක් පමණ දැඩි දුෂ්කරතාවකට පත්වන බවද ඔවුහු සඳහන් කරති. දැනට විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් මෙම සිසුන් අදහස් දැක්වූ අතර ඔවුහු සිය නම් සඳහන් කිරීමට අකමැති වූහ.
විශ්වවිද්‍යාල විද්‍යායතන තුළ උපාධි මට්ටම දක්වා (NVQ-5, NVQ-6, NVQ-7) අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබෙන බව මේ පනතේම සඳහන් කර තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ලැබෙන සියලුම වරප්‍රසාද මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ටත් ලැබෙන බව එම පනතේ සඳහන් කර තිබෙනවා.
මේ සඳහා පළමු ශිෂ්‍ය කාණ්ඩය බඳවාගන්නේ 2015 වසරේදියි. එතැන් සිට මේ දක්වා ඒ කියූ කිසිම දෙයක් ලබාදීලා නැහැ. 2015 බඳවාගත් කණ්ඩායම මේ වනවිට NVQ-6 දක්වා අධ්‍යාපනය ලබා තිබෙනවා. නමුත් උපාධි මට්ටම ශිෂ්‍යයන්ට අහිමිකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන් ගණනාවක් සමග සාකච්ඡා කළා. එහිදී ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක වුණේ නැහැ. 2019දි වත්මන් ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා පත්වුණා. ඔහු පත්වුණ විගසම ප්‍රකාශ කළා ලංකාව තුළ විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් ඉදිකරන බව. නමුත් දැනට ස්ථාපිත කර තිබෙන ආයතන 06 සම්බන්ධයෙන් කතා කළේ නැහැ. ඉන්පසුව අපේ ශිෂ්‍ය සමිති ඔහු සමග සාකච්ඡාවකට සහභාගි වුණා. එහිදී ඔහු සඳහන් කළා මහින්ද චින්තන රජයෙන් කළ මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන 06 අසාර්ථක ව්‍යාපෘති බව. එය පර්යේෂණ මට්ටමේ තිබෙනවා කියා ඔහු කිව්වා. නමුත් මේ වනවිට විශාල සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. ඔහු කියන විදිහට අපි හැමෝම අරගෙන තියෙන්නේ පරීක්ෂණ කරන්නද? අපේ ජිවිත අසාර්ථක කරන්නද කියා අපි අහන්න කැමතියි. මේ නිසා බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර වහාම විසඳුම් ලබාදෙන්න කියා අපි ඉල්ලා සිටිනවා* යැයි ඔවුහු අවධාරණය කළහ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවධානය යොමුවන අතර, පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ සහ අනුර කුමාර දිසානායක මහත්වරු ආණ්ඩුවෙන් මේ පිළිබඳ ප්‍රශ්න කළහ. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පිළිතුරු ලබාදෙමින් පැවසුවේ එම ආයතන උසස් මට්ටමට ගෙන එන බවයි.
සිසුන් බරපතළ අපේක්ෂාභංගත්වයකට ලක්ව සිටිනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
මෙම විශ්වවිද්‍යාල විද්‍යායතනවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී ඔවුන්ට දෙන ලද අපේක්ෂාව වුණේ මෙම ආයතන හරහා ඔවුන්ට උපාධියක් ලබාගැනීමට හැකියාව ඇති බවයි. 2015 ආණ්ඩු මාරුවත් සමග මෙම පාඨමාලා සම්බන්ධයෙන් වෙනස් පිළිවෙළක් අනුගමනය කළා. ඒ අනුව ඔවුන්ට හිමිවනුයේ උපාධියක් නොව ඩිප්ලෝමාවක් බවට ප්‍රකාශයට පත් කළා. ඒ වගේම ඔවුන්ට ශිෂ්‍යාධාර සහ නේවාසික පහසුකම් අහිමි කර තිබෙනවා. විද්‍යාගාර පහසුකම් කප්පාදු කෙරෙනවා. මේ අනුව උපාධියක් ලබාගත හැකි බවට ඔවුන්ට ලබා දී තිබූ සිහිනය කප්පාදු කර තිබෙනවා. මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන 06ට අදාළ අඩුපාඩු සම්පූර්ණ කිරීම වෙනුවට ඒවා වසාදැමීමට සූදානම් වන බවට තොරතුරක් තිබෙනවා. මේ නිසා එම ආයතනය තුළ අධ්‍යාපනය හදාරන සිසුන් බරපතළ අපේක්ෂාභංගත්වයකට ලක්වී සිටිනවා.
විශ්වවිද්‍යාල විද්‍යායතන පනත වෙනස් කරනවා - උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
උසස් පෙළ සමත්වන, විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන 150,000ට අධික තරුණ තරුණියන් උපාධිය හැදෑරීම දක්වා ගෙනයන විප්ලවීය වැඩපිළිවෙළක් සකස් කරනවා. එය දවසකින් කරන්න අමාරුයි. සෑම දිස්ත්‍රික්කයකම විශ්වවිද්‍යාල විද්‍යායතන එක බැගින් හදන්න සූදානම් කරලා තිබුණා. එයින් හයයි හදන්න පුළුවන් වුණේ. මහින්ද චින්තනය යටතේ ඉදිරිපත් කරලා තිබුණු අධ්‍යාපන වැඩපිළිවෙළ පහුගිය රජය ක්‍රියාත්මක කළේ නැහැ. ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල විද්‍යායතනවල 2015දී මෙම පාඨමාලාව නිමකරලා තිබෙන්නේ සිසුන් 364ක් පමණයි. 2016දී 1000යි. 2017දී 1096යි. 2018දී 1395යි. ඒ අනුව 1000 - 1400ත් අතර පිරිසක් තමයි උපාධිය නිම කරන සංඛ්‍යාව අතර සිටින්නේ. අපි අනාගතයේදී විශ්වවිද්‍යාල විද්‍යායතන පනත වෙනස් කරනවා. විශ්වවිද්‍යාල විද්‍යායතනයක් මගින් ලබාදෙන්නේ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පමණයි. එතැන් සිට තව අවුරුදු දෙකක් අධ්‍යාපනය ලබන විට නියත වශයෙන්ම රක්ෂාවක් ලබන අතර උසස් අධ්‍යාපනයට යා හැකි පරිදි යුනිවෝටෙක් ඇතුළු උසස් අධ්‍යාපනය ආයතන විශේෂ අණපනත් මගින් සකස් කරනවා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. තව මාසයක් ඇතුළත සාකච්ඡා කරලා ඉදිරිපත් කරනවා. මෙම විශ්වවිද්‍යාල විද්‍යායතන 06 සිසුන් සුරක්ෂිත කොට පෝෂණය කොට අවශ්‍ය සියලුම උසස් තත්ත්වය ලබාදීම සඳහා කිසිදු සැකයකින් තොරව අවශ්‍ය සියලු පියවර ගන්නවා. කිසිදු ආයතනයක් වහන්ෙන් නැහැ. ඒ ශිෂ්‍යයන්ට උපාධිය ලබාදීම සඳහා මේ වනවිට සාකච්ඡා රාශියක් පවත්වලා තිබෙනවා. මේ සම්බන්ධ වගකීම මහාචාර්ය රංජිත් මහතාට භාරදී තිබෙනවා. එතුමා මේ දිනවල ශිෂ්‍යයන් සහ අනිකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා යුනිවෝටෙක් එකක වරලත් බලයත් ආයතනයක් බවට පත්කර ඒ මගින් උපාධි ලබාදෙන්නත්, මේ විද්‍යායතන නව පනතත් මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා* යැයි සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමවමත් ස්ථිර විසඳුමක් තමන්ට ලබානොදුන් බවට විශ්වවිද්‍යාල විද්‍යායතනවල අධ්‍යාපනය හදාරන සිසුහු චෝදනා කරති. තාක්ෂණ විෂය ධාරාව හරහා ඉදිරියට යෑමට අපේක්ෂා කරමින් සිහින රැසක් පොදිබැඳ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි මෙම සිසුසිසුවියන්ගේ හෙට දවස අඳුරු නොකරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිති.