උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි


උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි​ - ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි

උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් රට තුළ විශාල අරගලයක නිරත විය. මේ අනුව වර්තමාන ආණ්ඩුව විසින් උපාධිධාරීන් හැට දහසකට අධික පිරිසක් මේ වනවිට රැකියා පුහුණුවට බඳවා ගෙන තිබේ.

එහෙත් අදාළ බඳවා ගැනීම් තුළ ගැටලු පවතින බව සඳහන් කරමින් රැකියා විරහිත උපාධිධාරී සංගම් නැවත විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ පිළිබඳව අද අප ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් සමග මෙසේ කතාබහක නිරත විය.

උපාධියක් ලබාගන්නා සියලුම දෙනාට රජයේ රැකියා ලබාදිය යුතුද?

රජයේ රැකියාවක් ලැබිය යුතුයි කියලම කියන්නේ නැහැ. හැබැයි අපේ රටේ පෞද්ගලික අංශය ගත්තම සේවා සුරක්ෂිත භාවයක් නැහැ. සේවය කරලා විශ්‍රාම ගියාම ජීවත් වෙන්න අවශ්‍ය නිසි පසුබිමක් නැහැ. මේ නිසා උපාධිධාරීන් ඇතුළු අතිබහුතරයක් පිරිස් උත්සහ කරන්නේ සේවා සුරක්ෂිතතාවක් සහිත රාජ්‍ය සේවයට එක්වීමට. හැබැයි පෞද්ගලික අංශය තුළින් සේවා සුරක්ෂිතතාව ඇතිකරලා, සේවයට සරිලන වැටුපක් ලබාදීලා, ජීවන සුරක්ෂිතතාව සහිත විශ්‍රාම වැටුපක් ලබාදීමට රට තුළ වැඩපිළිවෙළක් හැදුවොත් පෞද්ගලික අංශයට ගොස් උපාධිධාරීන් රැකියාව කරයි. හැබැයි දැනට එහෙම සැලැස්මක්වත් නැහැ. ඒකනිසා උපාධිධාරීන් වගේම අතිබහුතරයක් දෙනා උත්සහ කරන්නේ රාජ්‍ය අංශයට ඇතුළත් වීමට.

නිකන් ඉඳලා වැටුප් ගැනීමට රාජ්‍ය සේවයට එක්වන බවට නැගෙන චෝදනාව

මම හිතන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා කියලා. රාජ්‍ය සේවය තුළ තියෙන ක්‍රියාපිළිවෙත අනුව උපාධිධාරීන් වගේම රාජ්‍ය සේවයට ඇතුළත් වන අතිබහුතරයක් පිරිස තමන්ගේ වගකීම ඉටුකරනවා. ඒත් රාජ්‍ය සේවය තුළ වැඩකිරීමට අවශ්‍ය පහසුකම් හා සම්පත් ප්‍රමාණයන් නොලැබී යාම වැනි කාරණා නිසා ජනතාව බලාපොරොත්තු වන සේවය රාජ්‍ය නිලධාරීන්ගෙන් නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ සඳහා වගකිව යුත්තේ රජය. මොකද උපාධිධාරීන් කියන්නේ රටේ උගත් පිරිසක්. ඔවුන් රටේ සංවර්ධනයට යොදා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ වගකීමක්. නිකන් පඩිගන්න රාජ්‍ය සේවයට යනවා කියලා මම හිතන්නේ නැහැ. ඒක රජය කළ යුතුව තිබෙන්නේ. උපාධිධාරීන් රටේ සංවර්ධනයට යොදා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම.

රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට වසරක පුහුණුවක් ලබාදීම.

ඒක අනුමත කරන්න බැහැ. මොකද වසරක පුහුණුවකට කියලා මෙම පිරිස් බඳවාගෙන රාජ්‍ය ආයතනවල ස්ථිර සේවකයන් කරන රාජකාරි උපාධිධාරීන් හරහා සිදුකර ගන්නවා. පුහුණු කාලය තුළ මාසයකට ලැබෙන්නේ රුපියල් විසිදහසක දීමනාවක්. මුලින්ම හිතන්න ඕන මේ මුදලින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක. ඒ ගැන කිසිදු සොයා බැලීමක් නොකර රුපියල් 20,000ක දීමනාවකට රජයේ රාජකාරි ඉටුකර ගන්නවා. ඒක නිසා අපි කියන්නේ රැකියා පුහුණුවට බඳවාගන්න උපාධිධාරීන්ට පුහුණුවක් අවශ්‍ය නැහැ කියලා. යම් රැකියාවකට පුහුණුවක් අවශ්‍ය නම් ස්ථිර සේවයට ඇතුළත් කරගෙන පුහුණුවක් දුන්නට කමක් නැහැ. ඒකනිසා අපි යෝජනා කරන්නේ සැප්තැම්බර් 02 වැනි දින රැකියා පුහුණුවට බඳවාගත් සියලුම දෙනා අඩුම තරමින් මාස හයක් ඇතුළත ස්ථිර කළ යුතුයි කියලා.

උපාධිධාරීන් රැකියා පුහුණුවට බඳවා ගැනීමේ ආණ්ඩුවේ පොරොන්දුව

ඒක සීයට සීයක් ඉටුකළේ නැහැ. උපාධිය ලබාගෙන ජීවත් වෙන්න සුළු රැකියාවල් කළ පිරිස් පවා මෙවර රැකියා පුහුණුවට බඳවා ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. උපාධියක් අරගෙන රාජ්‍ය අංශයේ රැකියාවලට එන්න බලාපොරොත්තු වන උපාධිධාරීන්ට රජයේ රැකියාව දෙන තෙක් පෞද්ගලික අංශයේ රැකියා කිරීම තහනම් කරනවා නම් උපාධිය අරගෙන ගෙදරට වෙලා ඉන්න කාලයට රජයෙන් දීමනාවක් ලබාදිය යුතුයි. පෞද්ගලික අංශයේ රැකියා කළ පිරිස් රැකියා පුහුණුවට බඳවා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අප විශාල අරගලයක් කලා. මේ නිසා අදාළ පිරිස් රැකියා පුහුණුවට බඳවා ගන්නා බවට රජය පොරොන්දු වී තිබෙනවා. එම පොරොන්දුව කඩිනමින් ඉටුකළ යුතුයි. අපිට පොරොන්දුවෙලා තියෙනවා මේ මාසේ 15 වැනි දිනට පෙර අදාළ පිරිස සඳහා විසඳුමක් ලබාදෙනවා කියා.

වයස අවුරුදු 45 සම්පූර්ණ වූ පිරිසට රැකියා ඉල්ලීම

මුලින්ම සොයා බලන්න ඕනේ උපාධියක් අරගෙන වයස අවුරුදු 45 යනතුරු රැකියාවක් නැත්තේ ඇයි කියලා. ඒකට හේතුව තමයි උපාධිය ලබාගන්නා පිරිසට වාර්ෂිකව රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම. මේ නිසා 2012 වසරේ ඉඳලා උපාධිය ලබාගත් පිරිසට පසුගිය සැප්තැම්බර් 02 වැනි දින තෙක් කාලය තුළ විධිමත් ලෙස රැකියා ලැබුණේ නැහැ. ඒකනිසා තමයි වයස අවුරුදු 45 සම්පූර්ණ වූ උපාධිධාරීන් පිරිසක් තවමත් රැකියා විරහිතව සිටින්නේ. මෙම පිරිසටත් කඩිනමින් සාධාරණයක් ඉටුකළ යුතුයි. ඒ වගේම ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට වර්තමාන ආණ්ඩුව විසින් උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් ස්ථිර කිරීම

රැකියා පුහුණුවට බඳවා ගැනීමේදී කියන්නේ වරසක පුහුණු කාලයකින් පසු ස්ථිර සේවයට ඇතුළත් කරගන්නවා කියා. ඒත් 2019 අගෝස්තු මාසයේදී රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් තවමත් ස්ථිර කරලා නැහැ. ඔවුන් ලබන ජනවාරි මාසයේදී ස්ථිර කරනවා කියලා කියනවා. එහෙම වුණොත් එතකම් රුපියල් විසිදහසේ මාසික දීමනාවට මෙම පිරිසට සේවය කිරීමට සිදුවෙනවා. එය ඉතාමත් අසාධාරණ ක්‍රියාවක්. මේ නිසා 2019 අගෝස්තු මාසයේදී බඳවාගත් උපාධිධාරීන් වහාම ස්ථිර කරන ලෙස ඉල්ලා අරගලයක් ආරම්භ කරලා තියෙන්නේ.

විදේශීය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් පිරිසට සිදුවූ අසාධාරණය

පොදුවේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් පිරිස රැකියා පුහුණුවට බඳවා නොගැනීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒකනිසා ඔවුන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. මොකද අපි කියන්නේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කළ යුතුයි කියලා. අපි හැමවිටම කියන්නේ අධ්‍යාපනය ලබාදීම පෞද්ගලික අංශයට දෙන්න එපා කියලා. මොකද පෞද්ගලික අංශය කරන්නේ ලාභය මත පදනම්ව කටයුතු කිරීම. මේ නිසා අපි පසුගිය කාලයේත්, වර්තමානයේත් යෝජනා කරන්නේ සියලුම දෙනාට නිදහස් අධ්‍යාපනයේ අවස්ථා දෙන්න කියලා. සමහර අවස්ථාවල රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා ඉගෙනගෙන උපාධියක් ගත්තත් ඒ උපාධිය කොළයකට සීමාවෙලා තියෙනවා කියලා සමහර දෙමාපියන් සඳහන් කරනවා. ඒකනිසා සියලුම දෙනාම සිදුකළ යුතුව තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරගෙන සියලුම දෙනාට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබා ගැනීම.

ප්‍රසූත නිවාඩු ගැටලු

රාජ්‍ය අංශය ගත්තම මෙතෙක් ප්‍රසූත නිවාඩු ලෙස රජය වැඩකරන දින අසූහරක නිවාඩුවක් ලබාදුන්නා. ඒත් මේ වනවිට රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට හිමිවන්නේ අඛණ්ඩ දින හතළිස් දෙකක නිවාඩුවක් කියලා ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ලෝක කම්කරු නීතිරීතිවලට අනුව හා ලෝක සෞඛ්‍ය සංවිධාන නිදේශවලට අනුව ප්‍රසූත නිවාඩුව ලෙස වැඩකරන දින අසූහතරක් ලබාදිය යුතුයි. එවන් තත්ත්වයක් තුළ මෙවර බඳවාගත් උපාධිධාරීන්ට ප්‍රසූත නිවාඩුව දින 42ක් වුණේ කොහොමද කියන ගැටලුව තියෙනවා.

ගැබිනි හා කිරිදෙන මව්වරුන්ගේ නායකත්ව පුහුණු ගැටලුව

පොදුවේ රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලබාදෙනවාට අපි විරුද්ධයි. ඒත් රාජ්‍ය සේවයට බඳවා ගත්ත පිරිස තුළ විනයක් ඇති කිරීමට පුහුණුවක් ලබාදෙනවා නම් එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මැදිහත්ව සිදුකළ යුතුයි. ඒ වගේම ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරු නායකත්ව පුහුණුවෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තවමත් තීන්දුවක් අරගෙන නැහැ. ඒක නිසා මෙම පිරිස සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව පොදු තීන්දුවක් ප්‍රකාශයට පත්කළ යුතුයි.

උපාධියට රැකියාවක් ඉල්ලා කරන අරගලය

මෙතෙක් කල් සිදුකළ අරගලවලට අනුව තමයි උපාධිධාරීන්ට රජයේ රැකියා ලැබුණේ. ඒක නිසා වරසක් පාසා උපාධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළහොත් රැකියා ඉල්ලා අපිට මහපාරේ සටන් කරන්න අවශ්‍ය නැහැ. එදාට උපාධියට රැකියාවක් ඉල්ලා කරන අරගල නවතා දමනවා. අපි මූලිකව ඉදිරිපත් කළ ඉල්ලීම් දෙකක් තියෙනවා. එකක් තමයි රැකියාව අයිතියක් ලෙස පිළිගැනීම, දෙවැනි කාරණය තමයි රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.



Recommended Articles