උද්ඝෝෂණවලට ජනතා ගුටි


පසුගියදා පිටකොටුව දුම්රිය ස්ථානයේදී සිදු වූ ගැටුම ජනතාවගේ ඉවසීමේ සීමාව අවසාන අවස්ථාව දක්වා පැමිණීම මත සිදු වූවකි. දුම්රිය තමන්ගේ පොදු ප්‍රවාහන සේවය ලෙස භාවිත කරනු ලබන බොහෝ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඒ සඳහා යොදාගනු ලබන්නේ මාසික වාර ප්‍රවේශ පත්‍රයයි. විශේෂයෙන් නිවසින් ලබාදෙන දිවා ආහාරය හා උදෑසන ආහාරය රැගෙන රැකියාවට පැමිණෙන බොහෝ දෙනා අත ඇත්තේ රුපියල් සියයකට අඩු මුදලකි. එසේම නිශ්චිත වේලාවට දුම්රිය ගමනාගමනයේ යෙදෙනවා යැයි යන උපකල්පනය මත බොහෝ දෙනාගේ දූදරුවෝ මෙන්ම නිවසේ වාසය කරන අයද ඔවුන්ගේ ආහාර පාන, ආරක්‍ෂාව හා ප්‍රවාහනය සලසා ගන්නේ කොළඹ රැකියාවට පැමිණ නැවත එන තම දෙමවුපියන්ගෙන් හෝ ඔවුන්ගේ දූපුතුන්ගෙන්ය. කොළඹ රැකියාව අවසන් වී දුම්රියපළට එන සේවක පිරිස් හැකි ඉක්මනින් තම ගම්බිම් බලා පිටත්ව යන්නේ ගම්බිම්වල ඔවුන් එනතුරු බලා සිටින තම දූදරුවන්, දෙමවුපියන් සහ ඔවුන් මත යැපෙන තවත් බොහෝ දෙනා ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂාවෙන් බලා සිටින බැවිනි. ඒ අතර දූදරුවන්ට බෙහෙත් ලබා දීම, දෙමවුපියන්ට බෙහෙත්හේත් ලබා දීම හා පන්තිවලින් ගෙදර රැගෙන යෑම වැනි දහසකුත් කටයුතු තිබේ.

එසේම මේ දිනවල උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මෙන්ම මෙරට පාසල් සිසු දරුදැරියන් විශාල ප්‍රමාණයක් භාවිත කරනු ලබන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර ප්‍රවේශ පත්‍ර හා ගමනාගමනයට දුම්රියන්ය. දුම්රියෙන් හැර  ළඟාවිය නොහැකි ගම්වල උසස් පෙළ දරුවන්ද විශාල අසාධාරණයකට ලක්ව තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පෙර දැනුම්දීමක් නොකර සතියේ වැඩ දිනක, තුනට පමණ ක්‍රියාත්මක කරන ලද දුම්රිය වර්ජනය හේතුවෙන් රටේ සියලුම ජනතාවට විශාල අසාධාරණයක් සිදුවිය. එසේම එම දිනයේ සවස රැකියා අවසන් වී දුම්රියපළට පැමිණි බොහෝ දෙනෙකුට දැනගැනීමට ලැබුණේ ඒ මොහොත වන විට රටේ සම්පූර්ණයෙන්ම දුම්රිය ගමනාගමනය අඩපණ වී ඇති බවයි. එයින් කිපුණු මහජනතාව හිතුමතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සියලු දෙනාට ඉතා ආවේගකාරී ලෙස අමතන්නට උත්සුක වූහ. එසේම දුම්රිය මගීන් සියලු දෙනා පාහේ ප්‍රධාන මාර්ගයටත්, බස් රථවලටත් බාධා කරමින් කොළඹ කොටුව තුළ විශාල කලබැගෑනියක් ඇති කළේය. එමෙන්ම ඔවුන් ඇමතීමට පැමිණි වෘත්තීය සමිතිවල සාමාජිකයන් අතර එක්තරා ආකාරයක පහරදීමක් සිදු වූ බවටද තොරතුරු වාර්තා වී තිබේ. 

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම වෘත්තීය සමිති යුද්ධය ප්‍රකාශ කර තිබුණේ විශේෂයෙන්ම පිටකොටුවේ උද්ඝෝෂණය කිරීම විශාල මෝස්තරයක් වන තරමටය. විශ්වවිද්‍යාල සිසුන්ගේ සිට දුම්රිය වෘත්තීය සමිති දක්වා සියලු දෙනා රැකියා අවසන් වී සේවකයන් ගෙදර යන අවස්ථාවේදී පිටකොටුවේ උද්ඝෝෂණය කිරීම මෝස්තරයක් බවට පත්ව තිබේ. ඔවුන් එයින් අපේක්‍ෂා කරනුයේ ජනතාව ආණ්ඩුව ගැන කලකිරෙනු ඇති බවය. එක්තරා ප්‍රමාණයකට ආණ්ඩුව සම්බන්ධයෙන් අර්බුදයක් පැවැතියද ජනතාව වෘත්තීය සමිති සහ උද්ඝෝෂකයන් කෙරෙහි දැඩි තරහක් පවතින බව පසුගියදා කොටුව දුම්රියපළ අසල දී වෘත්තීය සමිති නායකයන්ට ජනතාව විසින්ම පහර දීමෙන් පෙන්වා දුන්නේය. ජනතාව තම පන්තියේ වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව නැගීසිටීම එක්තරා ආකාරයක ඉරණම් සහගත සිදුවීමකි. එසේම දුම්රිය වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලීම් ඉතා අසාධාරණ වන අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා දුම්රිය නියාමකයන්ගේ මෙන්ම දුම්රිය රියදුරන්ගේ වැටුප රුපියල් ලක්‍ෂ දෙකකට වඩා වැඩි බව පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ඔවුන්ගේ වැටුම්පත්වලින් පෙන්වා දෙයි. එතරම් විශාල වැටුපක් ගන්නා වෘත්තිකයන් කණ්ඩායමක් වන ඔවුන් විසින් උසස් පෙළ ළමයින්ගේ හා රටේ ජනතාවගේ අනාගතය බිල්ලට තබා අතිවිශාල වැටුපක් ඉල්ලනුයේ රටේ නීතිරීතී මෙන්ම වෘත්තීය සදාචාරයද බින්දුවට දමාය.

පසුගිය සතියේ සිදු වූ අනෙක් විශේෂිත සිදුවීම වන්නේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයෙකු පත්කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉල්ලන ලද ඉල්ලීමය. එහිදී ඔවුන්ගේ පක්‍ෂය විසින් වර්තමාන විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් වෙනුවට දිනේෂ් ගුණවර්ධන පත්කරන ලෙස ඉල්ලා සිටියේය. එසේම වර්තමාන විපක්‍ෂනායකයා වෙනුවට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇතැයි පවසා ඒකාබද්ධ විපක්‍ෂයෙන් විපක්‍ෂනායකයා පත්කර ගැනීමට දැඩි බලපෑමක් කථානායකවරයාට හා පාර්ලිමේන්තුවට සිදු කළේය. දැනට මාස කිහිපයකට පෙර පොහොය දෙකක් යෑමට පෙර ආණ්ඩුවක් බිහි කරන බවට පෙරුම් පුරා පාරම්බෑ ඒකාබද්ධ විපක්‍ෂය අද ආණ්ඩුවක් හදනවා වෙනුවට විපක්‍ෂනායක ධුරය හිඟාකන තත්ත්වයකට පත්වීම කනගාටුදායකය. අඩුම තරමේ ආණ්ඩුවක් හදනවා වෙනුවට විපක්‍ෂනායක ධුරය සඳහා හෝ ඔවුන් අභ්‍යන්තරයේ එකඟතාවක් නැති බව පෙනී ගියේ වෙල්ගම හෝ දිනේෂ් ගුණවර්ධන පත්කිරීම වෙනුවෙන් කණ්ඩායම් කිහිපයක් එකිනෙකාට විරුද්ධව ආඩපාලි කීම නිසාය.

ඒකාබද්ධ විපක්‍ෂයේ අභ්‍යන්තර අසමගිය ආණ්ඩුවේ අගමැති ධුරය හා ජනාධිපති ධුරයේ සිට විපක්‍ෂනායක ධුරය දක්වා පසුබැස ඇති අතර, ඒකාබද්ධ විපක්‍ෂයේ පහළම මට්ටමේ සාමාජිකයන් අතර හා දෙවැනි පෙළ නායකයන් එකිනෙකා අතර විශාල විරසකයන් ඇති වී තිබේ. මේ අනුව අවසාන වශයෙන් කිව යුත්තේ විපක්‍ෂනායක ධුරය හෝ පොහොය දෙකකින් දිනා ගැනීම ඒකාබද්ධ විපක්‍ෂයේ සටන බවට දැන් පත්ව ඇති බවයි. අඩුම තරමින් එය 2020 දී හෝ සාර්ථක වේවා යන්න ලියුම්කරුගේ ප්‍රාර්ථනාවයි.



Recommended Articles