උදය ගම්මන්පිලට ආණ්ඩුව ඇතුළෙන්ම දියත් වූ ප්‍රහාරය පසුගිය දින කිහිපය පුරා පැතිර යන්නේ ආණ්ඩුව ඇතුලේ කචල් එකක් තිබේ යැයි විපක්ෂයට යම් සංඥාවක් කරමිනි. මේ නිසාම විපක්ෂය උදයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනෙයි. එය අද කථානායකට භාරදුනි.
විපක්ෂය මේ වෙලාවේ කරන වැඩේ හරිද? කිසිම වැරැද්දක් බැලූ බැල්මට නැත. ජනතාවට බර දැනෙන වෙනසක් ආණ්ඩුව කළ විට එයට ජනතාව වෙනුවෙන් ප්‍රතික්‍රියා දැක්වීම විපක්ෂය විසින් කළ යුතුය. අනෙක් අතින් 2015 දී රාජපක්ෂලා පරාජය කර ආතල් එකේ ඉන්න සිතූ වර්තමාන විපක්ෂයේ පිරිසට යළිත් මහින්ද සුළඟක් ගෙනාවේ උදය සහ විමල් ප්රමුඛ පිරිසයි. මේ නිසා එතැනත් විසඳාගත යුත්තක් විපක්ෂයට තිබේ.
ඉන්ධන මිල වැඩි කරන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා පමණක් නොව නාමල් රාජපක්ෂ ද සිටි ජීවන වියදම් කමිටුවේ තීරණයකට අනුව බව උදය කියූ විට එය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් උදය මේ කතාව කිව්වා කියා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු දැඩි කිපීමකට ලක්ව සිටිති.
පොහොට්ටුවේ ලේකම් තමන්ට චෝදනා කරන විට මෙය මගේ වැඩක් නොවේ යැයි උදය ප්‍රසිද්ධියේ කීම පොහොට්ටුවට අනුව වැරදිය. තෙල් මිල වැඩි කිරීමත් වැරදිය. වැඩි කරන්නට කතා කළ අය හෙළි කිරීමත් වැරදිය. වැඩි කළේ ජනාධිපති සහ අගමැති දැනගෙන බව කීම පට්ට වැරදිය. මේවා මොන වර්ගයේ තියරිදැයි දන්නේ නැත. කෙසේ වුවද විපක්ෂය විශ්වාසභංගයක් ගෙනා නිසා උදය ඇමතිකමින් ඉල්ලා අස්විය යුතු යැයි පොහොට්ටුවේ පිරිසක් කියන්නට පටන් ගෙන තිබේ. මෙය ජනාධිපතිවරයාටද කියමින් එය කරවාගන්නට උත්සාහ කරන පිරිසක්ද සිටින බව කියවෙයි.
රට ගෙනියන්න ඩොලර් නැතිව ආණ්ඩුවේ නායකයා නායකත්වය දරන කමිටුවක තීරණයක් මත ඉන්ධන මිල වැඩි කර ජනාධිපතිත්, අගමැතිත් බේරාගන්නට එය ජනතාවට කියන්නම් කියූ විෂය භාර ඇමතියා බිල්ලට දීම අතිශය පුදුම තත්ත්වයකි. එය එසේ වුවහොත් මෙය මහා සැලසුමක කොටසක් බව එළියට එනු ඇත. දැන් මේ රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉතිරිව ඇත්තේ තමන් මහා සැලසුමක කොටස්කරුවන් වෙමින් උදයට ඛනිජ තෙල් ඇමතිකම නැති කරන්නට ප්ලෑනක් ගැසුවාද, නැද්ද යන්න ජනතාවට ඔප්පු කිරීම පමණි.
උදයට අස්වෙන්න කිව්වොත් හෝ උදය අස්කළොත් ප්ලෑනක් ගැසූ බවක් ඔප්පු වනු ඇත. විශ්වාසභංගය පරාජයට පත්වෙන්නට ඉඩ තිබ්බොත් එයද මේ සැලසුමේම කොටසක් වනු ඇත. මේ කුමන තත්ත්වයකට හෝ ඉඩ දෙමින් තමන්ගේ ඇඟේ මඩ ගා ගැනීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කැමතිද දන්නේ නැත.
උදයගේ ඛනිජ තෙල් ඇමතිකමට බලපෑම් එන්න ගත්තේ ත්‍රිකුණාමලයේ චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවෙන් යළි ශ්‍රී ලංකාවට ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් දැමූ පසුව බව පසුගිය ඉරිදා ලංකාදීපයේ විග්රහ කර තිබුණි. මේ ගැන තව සොයායද්දී කැබිනට් පත්‍රිකාව උදය කැබිනට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇමතිවරුන් රැසක්ම එයට විරුද්ධ වූ බව ආරංචි වෙයි.
ඒ විරෝධය කොතරම්ද යත් කැබිනට්ටුව නිමාවීමෙන් පසුව උදය ජනාධිපතිවරයා කෙටි පණිවුඩයක් යවා කියා ඇත්තේ තමන් හිටියේ ඉන්දියන් කැබිනට් මණ්ඩලයේදැයි සිතෙන බවයි. එසේ නම් ඒ බලපෑම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. කැබිනට් මණ්ඩලයේ සිටින ඉන්දියානු ඒජන්තවරුන් ගැන අප දන්නේ නැත. එහෙම ඉන්නවා නම් විරුද්ධ වූයේ ඒ අය වෙන්නටත් පුළුවන.
නැත්නම් උදයගේ යෝජනාව අහක යන නයෙකු රෙද්ද අස්සෙ දමා ගැනීමක් යැයි සිතා විරුද්ධ වූවා වන්නටත් බැරි නැත. අනෙක් අතින් උදය තෙල් පිරිපහදුවක් හදන්නට අවසර ගත්තේය. මෙය ලංකාවට අත්‍යවශ්‍යව තිබූ දෙයකි. මේ පිරිපහදුව හදන්නට විවෘත තරගකාරී ටෙන්ඩර් කැඳවීමක් සිදුවන බව ඇමතිවරයා මාධ්‍යයට කීවේය. ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් කෝටි හැටදහසකි (කෝටි 60,000). මිලියනවලින් කියන්නේ නම් මිලියන ලක්ෂ 06කි. පොඩි නැත.
මේ ව්‍යාපෘතියේ කොමිස් නැති වෙන්නේ තරගකාරී ටෙන්ඩර් කැඳවීමක් කළ නිසාය. දැන් ඔබට යමක් මතක් කරන්නට අවශ්‍යය. ඉන්නා ඇමති වෙනස් වී අලුත් ඇමතිවරයෙක් පැමිණ මේ ව්‍යාපෘතියෙන් 10%ක කොමිස් එකක් ගත්තොත් එය කීයක්ද? රුපියල් කෝටි 6,000කි. ඔව් කෝටි හයදාහකි. මිලියන නම් 60,000කි. හත්මුතු පරම්පරාවක් ගොඩයන්නට ඒ ඇතිය.
උදය මේ ඇමතිකමේ හිටියොත් කාටවත් කොමිස් ගන්නට බැරි බව බොහෝ දෙනාගේ අදහසයි. එය ඇත්තක්මද දන්නේ උදය පමණි. කෙසේ වුවද අලුත් ඇමති කෙනෙකු යනු අලුත් පාරක් විය නොහැකිද? මෙපමණක් නොවේ. මේ වනවිට තවත් රුපියල් කෝටි විසිදහසක වෙනත් ව්‍යාපෘතිද ඛනිජ තෙල් අමාත්‍යාංශය හරහා සිදුවෙයි.
ඒ අනුව රුපියල් කෝටි 80,000ක ව්‍යාපෘති තිබේ. 10%ක් ගැහුවොත් කෝටි 8,000කි. එපා කියන්නට පුළුවන්ද? අහක බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ මුදල ගැන යමෙකුගේ හද කකියයි නම් කළ යුත්තේ මොන ගැටයක් හෝ ගසා උදය ඉවත් කිරීමයි. එහෙම හද කකියන අය මේ ආණ්ඩුවේ ඇතුළේ හෝ පිට සිටියිද? අතීතයේ දී නම් 10%ක් ඉල්ලූ අය සිටියා කියා මතකය. දැනුත් එහෙමද? ඒ අය සක්‍රීයද කියා දන්නේ නැත.
විපක්ෂය මේ අවස්ථාවේදී විශ්වාසභංගයක් ගෙනා නිසා පොහොට්ටුවේ සදාචාර සම්පන්න දේශපාලනඥයන් උදයට ඇමතිකමේ රැඳීමට සදාචාරයක් නැතැයි කියමින් ඇමතිකමෙන් ඉවත් වෙන්න යැයි බල කර අලුත් ඇමති කෙනෙක් පත් කරගත්තොත් විපක්ෂය වක්‍රාකාරයෙන් කාට හෝ කෝටි 6,000ක් ලබා දෙන්නට පාර කපනවා යැයි කියා කියන්නට කෙනෙකුට හැකිය.
දෙපැත්තේම සිටින ඉන්දියානු හිතවාදීන් විසින් එක ගලෙන් කුරුල්ලන් දෙතුන් දෙනෙකුට වැඩක් දෙන්නට හදනවා වෙන්නත් බැරි නැත. ඒවා තවත් සති කිහිපයක් ගතවෙද්දී තේරුම්ගත හැක. නැත්තම් මෙය පොහොට්ටුව උදයලා විමල්ලාට ගහන ගැහිල්ලේ කොටසක් විය හැකිය. 18 වැනිදා දහවලේ ජනාධිපතිවරයා සමග පොස්පේට් සමාගම ගැන, පොහොර නිෂ්පාදනය ගැන පැය භාගයක්ම කතා කරන විමල් පසුවදා නිවුස් ඇලර්ට් එකකින් තමන්ගෙන් පොස්පේට් සමාගම ගැලවී ඇති බව දැනගැනීම මාරය.
ගැසට් එක එන්නේද 18 වැනිදා දිනය සහිතව වීම මාරම මාරය. ඇතැම් විට මේ සිදුවීම් පෙළ කිසිම සැලසුමක් නැති එන එන පැත්තට උළුවස්ස ගැහුවා වගේ වැඩක් වෙන්නට පුළුවන. එහෙත් ප්‍රතිඵලය මාර සැලස්මක ප්‍රතිඵලයක් යැයි පසුව කාට හෝ ලියන්නට හැකිය. අර යහපාලනය ගෙන ඒම ගැන පොත් ලිව්වා වැනිය.
ඉන්දියාව උදයගේ සිද්ධියේ පැත්ත පළාතක නැති බව උපකල්පනය කළද විපක්ෂය ගෙනෙන මේ විශ්වාසභංගය යකඩ බෝල වැඩියෙන් පිරවූ බෝම්බයක් වැනිය. මේ විශ්වාසභංගය ජූලි 08 වැනිදාට ගත්තොත් බොහෝ දෙනාට තුවාල වෙන්නට ඉඩ තිබේ. ඒ හරහා ඉන්දියාවේ පැතුම ඉටු වෙන්නටද හැකිය.
උදයලා විමල්ලා ආණ්ඩුවෙන් ගැලවී බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ බලාපොරොත්තුව වන පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් හැදෙන්නටද පුළුවන. සුළං නිර්මාණය කළ විමල්ලා සුළි සුළඟට හසුවී රාජපක්ෂවරුන්ට උදව් කරන්නට යෑම ඉල්ලන් කෑමක් බව යළි තහවුරු වෙන්නටද පුළුවන. ඒ අස්සේ 'මිස්ටර් ටෙන් පසන්ට්' කෙනෙකු බිහිවී කෝටි හය හත්දාහක් උපයාගන්නටද පුළුවන. එයින් තවත් වතාවක් ඉන්ධන මිල වැඩි වී ජනතාව හොම්බෙන් යන්නටද පුළුවන. මේ සියල්ල නතර කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාට හැකිය. එය වෙයිද? එහෙම වෙනවාද නැද්ද කියා බලා ඉමු. අනෙක බලා ඉන්නවා හැර මොනවා කරන්නද? එහෙමද? දැනට නම් එහෙමය.
කාංචන දසනායක