උත්සව සමයේ මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳ පැමිණිලි ඇතොත් අපිට දැනුම් දෙන්න


උත්සව සමයේ තමන්ගේ භාණ්ඩ අලෙවි කර ගැනීම වෙනුවෙන් වෙළෙන්දන් විවිධාකාරවූ උපක්‍රම යොදන අතර මෙම උපක්‍රම අතර පාරිභෝගිකයා රැවටෙන උපක්‍රමද දැකගත හැකියි. තමන් විසින් මුදල් ගෙවා මිලදී ගත් භාණ්ඩය තමන් නොමග යවා අලෙවි කර ඇති බවට හැ‍ඟේ නම් ඒ පිළිබඳ නීතිමය උපකාර ලබා ගැනීමට ඇති ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. මේ උත්සව සමයේ නොමග නොයා හරිමග යන්නට පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය අද ට මෙලෙස සම්බන්ධ කරගතිමු.


?උත්සව සමයේ විදුලි උපකරණ හා ඇඳුම් සේල් බහුලව දැකගන්නට ලැබෙනවා. මෙවැනි ස්ථානවලින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නීතියෙන් ලැබෙන රැකවරණය කෙබඳුද 

උත්සව සමයේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් විදුලි උපකරණ මිලදී ගැනීමට හුරුවී සිටිනවා. පාරිභෝගික අධිකාරී පනත යටතේ මෙලෙස මිලදී ගන්නා සියලුම විදුලි උපකරණවලට අවම මාස 6ක වගකීම් සහතිකයක් ලබා දිය යුතුයි. නමුත් එසේ වගකීම් සහතිකයක් ලබා නොදී විදුලි උපකරණ මේ සමයේ අලෙවි කරනවා නම් ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළ හැකියි. ඒ වගේම මේ වගකීම් සහතිකය භාෂා තුනෙන්ම තිබිය යුතුයි. ඒ වගේ දේවල් අනුගමනය කරන්නේ නැති නම් එහෙමත් නැත්නම් මෙලෙස මිලදී ගත් උපකරණය දවසින් දෙකෙන් අක්‍රීය තත්ත්වයට පත් වෙනවා නම් ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් යොමු කළ හැකියි. 

ඒ වගේම උත්සව සමයේ රෙදිපිළි මිලදී ගැනීමට පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමු වෙනවා. නත්තලට, ජනවාරි පළමුවැනිදාට කාර්යාලයට අඳින්න අලුත් ඇඳුම්  මිලදී ගන්න මේ දිනවල සාප්පු සවාරියේ යෙදෙන පිරිස් වැඩියි. තමන් මිලදී ගන්නා මේ රෙදිපිළි මිලදී ගන්නා අවස්ථාවේ ඇස නොගැටුණ යම් දෝෂයක් නිවසට ගොස් එය පරික්ෂා කරන අවස්ථාවේ දක්නට තිබෙන්නේ නම්, එසේත් නැත්නම් ලකුණු කර තිබෙන මිලට වඩා වැඩි මිලකට ඒවා අලෙවි කර ඇත්නම්, ඒ වගේම පාරිභෝගිකයා නොමගයවන ආකාරයේ යමක් සිදු කර ඇති බවට හැ‍‍‍ඟෙනවා නම් ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියේ ක්‍රියාත්මක පැමිණිලි අංශයට හෝ 1977 කියන සෘජු දුරකථන අංකයට පැමිණිල්ලක් යොමු කළ හැකියි. ඒ වගේම 0117-755 481 /0117-755 482/0117-755 483 යන දුරකථන අංක ඔස්සේද පැමිණිලි යොමු කළ හැකියි. 

?තමන් පෞද්ගලිකව මුහුණ දෙන ගැටලු වගේම පොදුවේ පාරිභෝගිකයන් රවටන අවස්ථා දැකගත හැකියි. මේ අවස්ථා දෙකේදීම පාරිභෝගිකයෙකු කටයුතු කළ යුත්තේ කෙසේද 

පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් පුද්ගලික ගැටලුවක් ඇතිවෙනවා නම්, නැත්නම් අසාධාරණයක් සිදු වෙනවා නම් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. පුද්ගලිකව තමන් මුහුණදුන් යම් ගැටලුවක් පිළිබඳ පැමිණිල්ලක් යොමු කරන අවස්ථාවක තමන්ගේ බිල්පතේ පිටපතක් සහිතව ලිඛිත පැමිණිල්ලක් පාරිභෝගික අධිකාරියට යොමු කිරීම ඉතාමත් සුදුසුයි. 
මීට අමතරව උත්සව සමයේ සාප්පු සවාරියේ යෙදෙන විට ඔබට, ඔබ මිලදී ගැනීමට අදහස් නොකරන භාණ්ඩ සම්බන්ධයෙන් යම් අසාධාරණකම් වෙනත් පාරිභෝගිකයන්ට සිදුවෙනවා යැයි දැකගැනීමට ලැබෙන විටකදීත් අපට දැනුම් දීමක් සිදු කළ හැකියි. විශේෂයෙන් මේ සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන ස්ථාන හා නරක් වූ , කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවි කරන ස්ථාන හමුවුවහොත්  අදාළ වෙළෙඳ සැල හෝ ආයතනය පිළිබඳ  අපේ ආයතනයට පැමිණිල්ලක් යොමු කරන්නට පුළුවන්. මේ  සමයේ දිවයින පුරා අපේ දිස්ත්‍රික් කාර්යාල 25 සිටින නිලධාරීන් නිරන්තර වැටලීම් හා පරීක්ෂා කිරීම් සිදුකරනු ලබනවා. ඒ අනුව වැරදි කරන වෙළෙන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට ලැබෙන යම් යම් තොරතුරු අපට ලබා දෙන්නට පුළුවන්. 

?උත්සව සමයේ පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමට ආයතනයෙන් ගෙන ඇති පියවර මොනවාද

උත්සව සමයේ පාරිභෝගික අධිකාරිය විදිහට නිරන්තරයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම වෙනුවෙන් වැඩසටහන් සිදු කරනු ලබනවා. පාරිභෝගියෙකු විසින් යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී පරීක්ෂා කළ යුතු දේ මොනවාද කියන එක සම්බන්ධයෙන් අපි දැනුම ලබා දෙනවා. අපේ පනත යටතේ අපිට පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න පුළුවන් කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනුම අපි ලබා දෙනවා.

අපිට මේ වෙලාවේ පාරිභෝගිකයන්ට දෙන්න තියන පණිවිඩය තමයි යමක් මිලදී ගැනීමට වෙළෙඳ පොළට යන්නට ප්‍රථමයෙන් තමන් මිලදී ගන්නට යන භාණ්ඩ පිළිබඳ සැලැස්මක් සකස් කර ගන්නා ලෙස. 
ඒ වගේම මේ දිනවල වැඩි වශයෙන් භාණ්ඩ %සේල්^ දක්නට ලැබෙනවා. ඒ ආකාරයේ සේල් දැමූ තැනකට ගිහින් භාණ්ඩ මිලදී ගත්තත් පරීක්ෂා නොකර භාණ්ඩ ගන්න එපා කියලයි අපි ඉල්ලා සිටින්නේ. අනිත් දේ තමයි අපි පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යය කරපු තොරතුරු කිහිපයක් තිබෙනවා. ඒවා තමයි භාණ්ඩයේ මිල, නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය, කල් ඉකුත්වීමේ දිනය හා බර. මේ දේවල් ඔබ මිලදී ගන්න භාණ්ඩයේ සඳහන් වෙනවාද කියන දේ පරීක්ෂා කරන්න. කිලෝ එකක මිල රුපියල් 60 කියලා ගහලා ග්‍රෑම් 750ක් රුපියල් 60ට විකුණන්න බැහැ. නමුත් මෙවැනි දේවල් බහුලව සිදු වෙනවා. ඒ වගේම ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අලෙවි කරන අවස්ථා තිබෙනවා. මේ නිසා සැලකිලිමත් වෙන්න. එසේ සැලකිලිමත් වෙලත් ඔබ නොමග ගොස් ඇති බවට  හැ‍ඟෙනවා නම් අපිට පැමිණිලි කරන්න. වෙළෙන්දෝ විවිධ උපක්‍රම හරහා තම භාණ්ඩ අලෙවි කරගන්න සෑමවිටම උත්සාහ කරනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔවුන්ට රැවටෙන්නට එපා කියලයි. ඒ වගේම ගුණාත්මක භාණ්ඩ සැමවිටම මිලදී ගන්නට උත්සාහ කරන්න. යමක් මිලදී ගැනීමට පෙර ලේබලයේ තිබෙන සියලුම දේ කියවා තේරුම් ගන්නට සැමවිටම උත්සාහ කරන්න.

ඒ වගේම කියන්නට ඕන ඔබ මිලදී ගත් දෝෂ සහිත භාණ්ඩය ඔබ මිලදී ගත් වෙළෙඳ සැලේ බවට තහවුරු කරන්නට අනිවාර්යෙන් තිබිය යුතු සාක්ෂිය තමයි බිල්පත. මේ නිසා සැමවිටම තමන් මිලදී ගන්නා භාණ්ඩය වෙනුවෙන් බිල්පතක් ඉල්ලා සිටීමට පාරිභෝගිකයාට අයිතියක් තිබෙනවා. එහි විකුණුම් දිනය, විකුණු භාණ්ඩය කුමක්ද, කොපමණ ප්‍රමාණයක් විකිණුවාද, වෙළෙඳ සැලේ නම ආදිය සඳහන්ව තිබිය යුතුයි. ඒ වගේම බිල්පත්වල භාණ්ඩයේ නම වෙනුවට වෙනත් යනුවෙන් සටහන් කර තිබෙනවා නම් එය නිවැරදි බිල්පතක් නොවෙයි. එවැනි බිල්පත් නිකුත් කරන ස්ථාන පිළිබඳ අපිට දැනුම් දුන්නොත් ඔවුන්ට අවවාද කිරීමේ හැකියාවක් අපිට තිබෙනවා. අතින් ලියලා හරි මේ බිල්පතේ භාණ්ඩය කුමක්ද කියලා සඳහන් කරන්න අවශ්‍යයි. එසේ නොමැති වුණොත් අපි කොහොමද ඔප්පු කරන්නේ වෙනත් ලෙස සටහන් කරලා තිබෙන්නේ මොනවගේ භාණ්ඩයක්ද කියලා.

කාන්තාවන්ට මේ සමයේ කියන්න දෙයක් තිබෙනවා. ඇඳුම් මිලදී ගැනීමේදී ඇතැම් ඇඳුම්වල සටහන් කරලා තිබෙනවා එම ඇඳුම් සෝදන්නට එපා ඩ්‍රයි ක්ලීන් කිරීම පමණක් සිදු කරන්නට කියලා. මේවා බොහෝ කාන්තාවන් කියවා බලන්නේ නැහැ. ඒ වගේම ආහාර මිලදී ගැනීමේදීත් අවවාද සටහන් කර තියෙනවා. විශේෂයෙන් දරුවන්ගේ ආහාර වර්ගයක් නම් එම ආහාර වර්ගය ලබා දිය යුතු වයස් කාණ්ඩය ආදිය සම්බන්ධයෙන්. නමුත් බොහෝ දෙනා මේවා කියවන්නේ නැහැ. ඒ වගේම ආලේපන වර්ගවල විවිධ අවවාද සටහන් වෙනවා. සේල් සේල් කියලා තියෙන තැන් වලටවත් අඩුවට දෙනවා කියන තැන්වලටවත් රැවටිලා යන්න එපා. අපිටත් පාලනය කරන්න බැරි සමහර තැන් හදාගන්න පුළුවන් මිනිස්සුන් දැනුවත් කිරීම මගින්. මේ දේවල් පාලනය කර ගන්න අපිට මහජනතාවගේ සහාය අවශ්‍යයි. මොකද ගුණාත්මක බවින් තොර දෙයක් ආහාරයට ගතහොත් අපිමයි එහි ප්‍රතිඵලය විඳින්නේ. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන පාරිභෝගික පිරිසක් ඇති කිරීම මේ වෙලාවේ අවශ්‍යයි. 

?පාලන මිල යෙදූ භාණ්ඩවල මිල වැඩි වීමක් උත්සව සමයේ සිදුවේවිද

පාලන මිල යෙදූ භාණ්ඩවල නම් හදිසියේ මිල වැඩි වීමේ තත්ත්වයක් නැහැ. ඒ වගේම කියන්න ඕන මිල පාලනයට යටත් නොවන උත්සව කාලයේ වැඩි ඉල්ලුමක් ඇති කේක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙන්නට පුළුවන්. එම නිසා මෙවැනි අවස්ථාවක අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වෙළඳපොළේ තැන් කිහිපයකින් මිල පරීක්ෂා කර වඩාත් සුදුසු භාණ්ඩ මිලදී ගන්නා ‍ලෙසයි. මුළු ලෝකෙම වර්තමානයේ කතා කරන්නේ අවබෝධාත්මක පරිභෝජනය කියන සංකල්පය පිළිබඳවයි. ඒ නිසා අවබෝධයෙන් භාණ්ඩ පරිභෝජනය කරන්න කියන පණිවිඩය අපි ලබා දෙන්නට අවශ්‍යයි.



Recommended Articles