ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට කෝව්ඩි තත්ත්වය සහ ඉදිරි උත්සව සමය පිළිබඳ එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සමග සාකච්ඡා කළෙමු.
මේ වන විට රට තුළ කෝවිඩ් ආසාදියන් හමුවීම සම්බන්ධයෙන් මුලින්ම කතා කරමු?
බස්නාහිර පළාත තුළ කේන්ද්‍රගත වී තිබූ මෙම රෝගය දිවයිනේ ගම්මාන දක්වා ව්‍යාප්ත වන තත්ත්වයක් දකින්නට තිබෙනවා. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමත් සමග මේ තත්ත්වය දකින්නට ලැබෙනවා.
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් තුළ වැඩි වශයෙන් රෝගීන් හමු වුණා. අනතුරුව දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තව තිබෙනවා. ඊළඟට රත්නපුර කලවාන ප්‍රදේශවලින් වාර්තා වුණා. අම්පාර, පොතුවිල්, සමන්තුරෙයි, අක්කරෙයිපත්තු ආදී ප්‍රදේශවල රෝගීන් වැඩි වශයෙන් වාර්තාවෙලා තිබෙනවා. යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේත් රොගීන් වාර්තා වෙනවා. හලාවත ආදී ප්‍රදේශවලත්, තිහාරිය වගේ ප්‍රදේශවලත්, අවදානමක් නැති ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබුණු මොණරාගල වගේ ප්‍රදේශවලත් දැන් රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම හැටන්, මහනුවර ආදී ප්‍රදේශවලත් රෝගීන් වාර්තා වෙනවා. මේ අනුව ලංකාවේ ගම්මට්ටමට රෝගය පැතිරිලා තිබෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා.
මේ ආකාරයට රට පුරා රෝගය පැතිරෙන්න හේතුව වුණේ සංචරණ සීමා ඉවත් කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම නිසා කියල කියන්න පුළුවන්. ඒ වගේම වෘත්තිකයන්ගේ පොකුරු වශයෙන් රෝගීන් ඇතිවුණා. පොලීසිය, බන්ධනාගාර, වරාය, සෞඛ්‍ය ආදී ලෙස වාර්තා වූ පොකුරු තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. මේ නිසාම පළමු රැල්ල පාලනය කිරීම හා ගත් කල දෙවැනි රැල්ල පැතිරීමේ යම් භයානකකමක් තිබෙනවා.
යම් ආකාරයකට ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදියි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් සෞඛ්‍ය උපදෙස්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කරලා ජනතාව කටයුතු කරන ආකාරයක් අපිට පෙනෙන්න තිබෙනවා. මේ ආකාරයට කටයුතු කළොත්, ඉදිරි දින කිහිපය තුළදී මේ රෝගී තත්ත්වය තවදුරටත් ගම්මාන මට්ටමට ව්‍යාප්ත වෙයි. කුමන ප්‍රදේශයෙන් පොකුරක් ඇතිවෙයිද කියන්න අමාරු තත්ත්වයක් දැන් තිබෙන්නේ.
මේ නිසා ජනතාව සමගව එකතුවෙලා රෝගය පාලනය කරන්න අපි දැඩි උත්සාහයක යෙදී ඉන්නවා.
ඉදිරියේ උත්සව සමය පැමිණෙනවා. ජනතාව ඒ සඳහාත් සූදානම් වන බව පෙනෙන්නට තිබෙනවා. එහි බලපෑම ගැන කතා කළොත්?
ඉදිරිය උත්සව කාලයක් උනත් එය පසුගිය වතාවන් වල පරිදි සමරන්න හැකියාවක් නැති තත්ත්වයක් තිබෙන්නේ. මේ වසර තුළ අපි අවුරුදු උත්සවය සැමරුවේ නැහැ, වෙසක් උත්සවය සැමරුවේ නැහැ, පොසොන් උත්සවය, ඇසළ උත්සවය මේ ආදී බොහොමයක් උත්සව අවස්ථාවන් මඟහැරුණා. ඒ වගේම වර්ෂ අවසානයේදී ජනතාව සාප්පු සවාරි යාම්, නත්තල් උත්සවයට සූදානම් වීම් දකින්න තිබෙනවා. මේ නිසාම වෙළෙඳ ප්‍රජාවත් විවිධ අලෙවි ප්‍රවර්ධන ක්‍රම මේ දිනවලදී අනුගමනය කරනවා. එවැනි තත්ත්වයක් තුළ වෙළෙඳ පොළ වෙත සංක්‍රමණය වන ජනතාවට අවශ්‍ය පසුබිම හැදෙමින් තිබෙනවා. ව්‍යාපාරයක් ලාභ අපේක්ෂාවෙන් කළත්, ජනතාවගේ ආරක්ෂාව ගැනත් හිතන්න අවශ්‍යයි.
කෝවිඩ් වසංගතයෙන් පසුව නව සමාන්‍යකරණය කියලා සංකල්පයක් අපි හඳුන්වලා දුන්නා තමයි. එහෙම කළේ අත්‍යාවශ්‍යම කාරණා සඳහා පමණක් නිවසින් බැහැර වෙන්න අවස්ථාව නිර්මාණය කරන්නයි. ඒ අනුව ජනතාව නිවැරදි තීරණයක් ගන්නෙ නැතිව අනවශ්‍ය ලෙස ජනතාව වැඩි වශයෙන් එකතුවෙන ස්ථානවලට ගියාම වෛරසය ආසාදන වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. එහෙම උනොත් තමන්ගෙන් නිවසේ පුද්ගලයන්ට වගේම ගමේ පුද්ගලයන්ට මේ රෝගය බෝවෙන්න පුළුවන්. ඒ නිසා නගරයෙන් ගමට කෝව්ඩ් රෝගය ගෙන යන වාහකයෙක් නොවීමට ජනතාව වග බලාගත යුතු වෙනවා.
ඒ වගේම සෞඛ්‍යාරක්ෂිතව ව්‍යාපාර පවත්වාගෙන යාමට ව්‍යාපාරික ප්‍රජාවටත් යම් වගකීමක් තිබෙනවා. ව්‍යාපාරික ස්ථානවලට එකවර විශාල පිරිසක් ඇතුල් කර නොගැනීම වගේම පැමිණෙන සියලුදෙනා ගැන තොරතුරු පවත්වාගෙන යාමත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමත් කළ යුතු වෙනවා.
හැකිතාක් නිවෙස්වලට වී නත්තල් උත්සවයේ සතුට භුක්තිවිඳින ලෙස ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි පූජක ප්‍රසාදීන් වහස්සේලාගේ මගපෙන්වීම යටතේ මෙවර නත්තල් උත්සවය යම් සීමාවන්ට යටත්ව සිදුකරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම උනොත් අපිට ජන තදබදය අඩු කරගන්න හැකියාව ලැබෙයි. ඒ ආකාරයට ජනතාව සීමාකරගන්න ලැබුණොත්, ගැටලුවක් ඇති නොවී ඉදිරි වර්ෂය කරා ගමන් කරන්න අපිට පුළුවන් වේවි. ඒ වගේම ජනවාරි මාසයේ සිට පාසල් විවෘත කරන්න සූදානමින් ඉන්නවා. මේ අවස්ථාවේ ජනතාව ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ඉදිරිය කොහොම වෙයිද කියලා අපිට පුරෝකථනය කරන්න පුළුවන් වෙයි. මේ නිසා සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹ නගරයේ තත්ත්වය කෙබඳුද?
ක්‍රමයෙන් ලංකාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වුණා. මේ වන විට දිනකට 600කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. එයිනුත් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ මහ නගර සභා සීමාව තුළයි. කොළඹ කියන්නේ ලංකාවේ හදවත. සියලු ආර්ථික කටයුතු, පරිපාලන කටයුතු සිදුවෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමිනුයි. මේ තත්ත්වය තුළ ජනතාව කොළඹට සංක්‍රමණය වීම නවත්වන්න බැහැ. නමුත් මේ තත්ත්වය කළමනාකරණය කරන්න සිදුවී තිබෙනවා. කොළඹට පැමිණ සිදුකරන කාර්යයන්, විවිධ සේවාවන් ප්‍රාදේශීය වශයෙන් සිදුකර ගැනීමට ජනතාවට අවස්ථාව සලස්වා දුන්නොත් මේ තත්ත්වය කළමනාකරණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තාක්ෂණය භාවිත කර මේ දේවල් කරන්න පුළුවන් නම් කොළඹට පැමිණෙන පිරිස අඩු කරන්න අපිට හැකියාව තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතු සඳහා රජයෙන් සහ සහ ජනතාවගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?
මෙපමණ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතු කරගෙන යන්න ජනතාවගෙන් උපරිම සහයෝගයක් ලැබුණා. නමුත් මේ වන විට ඇතැම් පාර්ශ්වයන්, නායකයන්, මගපෙන්වන්නන් අවිධිමත් ආකාරයට හැසිරෙන නිසා ජනතාව අන්ධානුකරණය වෙලා තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඇතැම් පුද්ගලයන්, ඇතැම් කණ්ඩායම් ජනතාව තුළ අනියත බියක් ඇතිකරලා තිබෙනවා. ඔවුන් සිතා හෝ නොසිතා කරන මේ ක්‍රියාවන් තුළින් ජනතාව අනවශ්‍ය දේවල්වලට පෙළඹෙනවා. මෙවැනි ක්‍රියා නිසා බණ්ඩරගම අටලුගම යම් ප්‍රශ්නයක් වුණා. තිහාරිය ප්‍රදේශයේ ප්‍රශ්නයක් වුණා, වැලිගම ප්‍රදේශයේ ප්‍රශ්නයක් වුණා. මෙවැනි ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලන නායකයෝ සහ ආගමික නායකයෝ විසින් ජනතාව නිලධාරීන්ට සහය වන ආකාරයට හැසිරවිය යුතුයි. අටලුගමද එක් පුද්ගලයෙක් අපේ නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළා. මේ නිසා ඒ නිලධාරියා, ඔහුගේ පවුලේ අය සහ සමීපතමයෝ නිරෝධායනයට ලක් කරන්න සිදුවුණා. ඒ පුද්ගලයාගේ නොමනා ක්‍රියාව පාලනය කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙනවා අපි දැක්කෙ නැහැ. මෙවැනි තත්ත්වයන් හමුවේ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්වෙනවා.
නව සාමාන්‍යකරණය කියලා තිබුණත් ඇතැම් ප්‍රදේශවල ජනතාවට මේක සාමාන්‍යකරණය වෙලා තිබෙන්නේ. ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් වත් අනුගමනය කරන්නේ නැහැ. මේ නිසා අපේ රට සම්බන්ධයෙන් ලෝකයට යන්නේ වැරදි චිත්‍රයක්. මොකද අපගේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. සංචාරකයෝ නොපැමිණියහොත් අපේ රට ආර්ථික අපහසුතාවයන්ට ලක්වෙනවා. නියම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැතිනම් සංචාරකයෝ රටට එන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම අපේ තේ වැනි අපනයන ගන්න අකමැති වෙන්න පුළුවන්. රටේ ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන එන්නට ජනතාව සහයෝගය දෙන්නෙ නැතිනම් ලෝකය හමුවේ අපි තවත් පහළට යාවි.
කෝවිඩ් තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය අංශවලට ජනතාව සහය ලබා දුන්නොත්, අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඇතැම් පිරිසකගෙන් එය නොලැබීම කණගාටුවට කරුණක් කියලා කියන්න පුළුවන්.
ඒ වගේම ගුවන් තොටුපොළ විවෘත කරන දින වකවානු ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. එය කළ යුතුයි. හැබැයි කෝවිඩ් වසංගතය දරුණුවටම පැතිරිලා තිබෙන රටවල් තිබෙන බව අපි දන්නවා. ඇමරිකාව, එංගලන්තය, බ්‍රසීලය වගේ රටවල් මෙන්ම යුරෝපයේ බොහෝ රටවලින් ලංකාවට සංචාරකයෝ පැමිණෙනවා. එවැනි රටවලින් පිරිස් ලංකාවට පැමිණීමට පෙර එම රටවල අවදානම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් කරනවා නම් හොඳයි. අඩුම තරමේ ඔවුන් ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය වාර්තාවක් ලබාගෙන පැමිණෙනවා නම් එය පහසුවක් වේවි. ඒ වගේම විදේශිකයන්ගේ සහ සංචාරකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රට පුරා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් මේ වසංගතය පැතිරීම පාලනය කරන්න පුළුවන් වේවි.
මේ වන විට පාසල් විවෘත කිරීම ගැනත් කතා වෙනවා. දැනට විවෘත කර තිබෙන පාසල් වලට ඉතාම අඩු පිරිසක් තමයි පැමිණෙන්නේ. ඒ කියන්නේ දෙමාපියන්, ළමයින් අතර තිබෙන භීතිය තවමත් අඩුවෙලා නැහැ. පාසල් විවෘත කිරීමට පෙර දරුවාට සුරක්ෂිත පාසලක් ඇතිකිරීමේ ක්‍රමවේදයක් අදාළ පාර්ශ්වයන් විසින් ඇති කළ යුතුයි කියලා අපි හිතනවා.