ඇමතිතුමා 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මුලින්ම කතා කරමු?
19වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටට අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ තුළින් ජනාධිපති සතු විධායක බලය අතිශය හීන කිරීමක් සිදුවුණා. ඒ වගේම 19වැනි සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් බලාපොරොත්තු වුණ කාර්යයන් ඉටු වුණේ නැහැ.
ව්‍යවස්ථාදායක සභාව ක්‍රියා කළ ආකාරය එහි සංයුතිය සකස් වූ ආකාරය ආදී සියල්ල ගැන අපිට තිබෙන්නේ අමිහිරි අත්දැකීමක්. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවෙන් විවිධ කොමිෂන් සභා සඳහා පත්කළ පුද්ගලයන් කුමන ආකාරයෙන් ඔවුන්ගේ යුතුකම් වගකීම් පැහැර හැරියත් කිසි ලෙසක ඔවුන්ව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් එම නීතියේ තිබුණේ නැහැ. මේ නිසා බොහෝ විට එම කොමිෂන් සභාවලට පත්කළ පුද්ගලයන් අත්තනෝමතිකව හැසිරුණා. මේ නිසාම ජනතාව බලාපොරොත්තු වූ පරමාර්ථයන් ඒ තුළින් සිදුවුණේ නැහැ. මේ කරුණු සැලකිල්ලට අරගෙන 19වැනි සංශෝධනය වෙනුවට සංශෝධනයක් ගෙන එන බව පසුගිය මැතිවරණයේදී අපි පැහැදිලිව ජනතාවට කිව්වා. ඒ සඳහා සුවිශේෂී ප්‍රතිචාරයක් ලැබුණා. 19 ඉවත් කිරීම පිළිබඳ අදහස ජනතාව අනුමත කරලා සම්මත කරලා ඉවරයි. අපිට දැන් තිබෙන්නේ ක්‍රියාවට නැංවීම පමණයි. නමුත් 19 වැනි සංශෝධනයේ තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි සාධනීය ලක්ෂණ රාශියක් අපි ඒ විදිහටම තියා ගන්නවා.
20වැනි සංශෝධනය හරහා අපි බලාපොරොත්තු වන සංශෝධන මේ වනවිට ගැසට් කරලා තිබෙනවා. එහි සමහරක් මගහැරී තිබෙනවා. සමහරක් අතහැරී තිබෙනවා. මේ නිසා මෙය මීට වඩා දියුණු කළ යුතුයි කියලා ඒ ගැන අධ්‍යයනය කරන්න අගමැතිතුමා අපි 06දෙනෙකුගේ කමිටුවක් පත්කළා. අපි එය අධ්‍යයනය කර වාර්තාවක් ලබාදුන්නා. කොහොම වුණත් අවසාන තීන්දු පක්ෂ නායකත්වය විසින් ගත යුතුව තිබෙනවා.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට තිබෙනවාද?
මෙම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලික දෙයක්. මෙයින් පසුව තමයි වැදගත්ම ව්‍යවස්ථා සංශෝධනය තිබෙන්නේ. ජනතාව කාලාන්තරයක් පුරාවට ඉල්ලා සිටියේ මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා. ආසනයට වගකියන මන්ත්‍රීවරයෙකු බිහි කරන ක්‍රමයක්, මිල මුදල් රාශියක් වියදම් කරන්නේ නැතිව ජනතාව ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක්. ජනතාවට මත්පැන් දෙන්නේ නැතිව ඡන්ද කරන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. අපි ඒකට බොහොම වෙහෙසුණා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඡන්දය දුන්නේ 20වැනි සංශෝධනය හැටියට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදුකරනවා කියලා යහපාලන ආණ්ඩුව විසින් දෙන ලද සහතිකය මත. නමුත් අපි රැවැට්ටුවා. 19ට ඡන්දෙ ගත්තා නමුත් 20 ගෙනාවේ නැහැ. මෙවර අපිට ආයෙත් රැවටෙන්න බැහැ. ඒ නිසා අපි 20 වැනි සංශෝධනයට ඡන්දය දෙනවා වගේම ඉන් අනතුරුව අපිට සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක් එහෙමත් නැතිනම් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි.
20 වැනි සංශෝධනය හැදුවේ කවුද කියන එක හැමෝටම ප්‍රශ්නයක් වී තිබෙනවා. එය නිර්මාණය කළේ කවුද?
20වැනි සංශෝධනය කෙටුම්පත් කළේ නීති කෙටුම්පත් නිලධාරීන්. අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිම නීතියක් ලියන්නේ නැහැ. වෙනස් විය යුතු පරාසයන් සඳහන් කරලා අවශ්‍ය කෙටුම්පතක් නිර්මාණය කිරීමට අදාළ පුද්ගලයන්ට බලය දෙන ලෙස අපි කැබිනට් මණ්ඩලයට සංදේශයක් ගෙනෙනවා. එවිට නීති සම්පාදකයා විසින් අපි ලබාදෙන මාර්ගෝපදේශයන්ට අනුව කළ යුතු වෙනස්කම්වලට අදාළ කෙටුම්පතක් සකස් කරනවා.
විධායක ජනාධිපති ක්‍රමය ආරම්භක අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා නිදහස්ප ක්ෂය එයට විරුද්ධව කටයුතු කළා. ඒ පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කුමක්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනි මතයක් තියාගන්න පුළුවන්කමක් නැහැ. අපේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් සියල්ල ජනමතය එක්ක බැඳෙන්න අවශ්‍යයි. උඩුගම් බලා පීනන්න අපිට බැහැ. ජනමතය එක්ක අපි යා යුතුයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නට පසුව අපි ඒකට විරුද්ධ වෙලා ඇති වැඩක් තියෙනවද? එහෙම විරුද්ධ වුණොත් අපි ඒ විරුද්ධ වෙන්නේ ජනමතයට. ශක්තිමත් විධායකයක් අවශ්‍යයි කියන මතය මේ රටේ ජනතාව තහවුරු කරලා තියෙනවා. අපි ඒක පිළිගත යුතුයි. එය අපේ ප්‍රතිපත්තියේ හා වැඩපිළිවෙළේ කොටසක් බවට පත්කරගත යුතුයි. එහෙම කරගන්නේ නැතිව එයට එරෙහිව ගියොත් දේශපාලනිකව අපිට පැවතෙන්න පුළුවන්කමක් නැහැ. සෑම දේශපාලන පක්ෂයක්ම ජනතාවගේ හදගැස්ම තේරුම්ගත යුතුයි. ජනතාවට අවශ්‍ය කරන්නේ කුමක්ද එයට එරෙහිව වැඩ කරලා ජනතා ප්‍රසාදය දිනාගන්න, රටේ බලයට පත්වෙන්න පුළුවන්කමක් නැහැ.
එහෙම නැති වුණොත් වෙන්නේ සමහර කුඩා දේශපාලන පක්ෂ වගේ යම් යම් මතවාද දරමින් ඉඳලා පක්ෂයේ තිබෙන ආසන ගණන දෙක තුනකට සීමා කරගෙන පාර්ලිමේන්තුවේ බොහෝම ප්රබුද්ධ කතාවක් පවත්වන්න පමණයි. නමුත් ජනතාවට වැඩ කරන්න අවශ්‍ය රාජ්‍ය බලය ලබාගන්න හැකියාවක් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහා දාර්ශනික කතා පැවැත්වීම නෙවෙයි. ජනතාවට අවශ්‍ය ක්‍රියාත්මකව ජනතා ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරන දේශපාලන පක්ෂයි.
ඔබතුමා කියන ආකාරයට බහුතරයක් ජනතාව වැරදි දෙයක් ඉල්ලුවොත් ඔබතුමාලත් එයම ලබාදෙන්න ගියොත් රට අගාධයකට යාමක් නේද වෙන්නේ?
ප්රජාතන්ත්රවාදයේ මූලධර්මය අනුව බහුතර ජනතාවගේ මතය වැරදියි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ජනතාව නිවැරදියි කියන පදනම අපි අනිවාර්යයෙන් තේරුම්ගත යුතුයි. බහුතර මතයට අපි එකඟ වෙන්න අවශ්‍යයි. ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියලා කියන්නේ ඒකට.
මහ මැතිවරණයේදී ඔබතුමාලා ජනතාවට පැවසුවේ රටට වැඩ කරන්න තුනෙන් දෙකක බලයක් දෙන්න කියලා. ඒ අනුව දැන් ඔබලට තුනෙන් දෙකක අණ්ඩුවක් ලැබී තිබෙනවා. ලැබුණු තුනෙන් දෙකේ බලය භාවිත කරලා ආණ්ඩුව කරන්න බලාපොරොත්තු
වෙන්නේ මොනවද?
ව්‍යවස්ථාව වෙනස් කිරීමට අමතරව මේ රට ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නීතිරීති අපි සකස් කරගත යුතුයි. හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න අවශ්‍යයි. ඒ වගේම මේ රට සංවර්ධනය කිරීම, මේ රටට තිබෙන ලොකුම අභියෝගයයි. මුදල් උත්පාදනය, දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍යයි. විදේශ ආයෝජන ආකර්ෂණය කරගත යුතු වෙනවා. ශක්තිමත්ම රටක් බවට අපේ රට පත්කර ගන්න අවශ්‍යයි. කෝවිඩි වසංගතයේදී අනෙකුත් සියලුම රටවල් සමග සසඳලා බැලුවොත් කෝවිඩ් පාලනය කරපු විශිෂ්ටතම රටක් විදිහට ශ්‍රී ලංකාව නම්දරා තිබෙනවා. මේ නිසා යම් දිනක ගුවන් ගමන් අරම්භ කරලා සංචාරක ව්‍යාපාරය ආරම්භ කළාට පසුව වැඩිම සංචාරක පිරිසක් ගලා එන්නේ ශ්‍රී ලංකාවට. මොකද කෝවිඩ් මර්දනය නිසා අද ශ්‍රී ලංකාවේ කෝවිඩ් නැහැ කියන තත්ත්වයට ලෝකයම පිළි අරගෙන තිබෙනවා. ඉන්දියාවට ඇමෙරිකාවට එහෙම කියන්න බැහැ.
ශ්‍රී ලංකාව එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය කුමක්ද? යහපාලන ආණ්ඩුවේ වගේම වර්තමාන ආණ්ඩුවේත් කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන ඔබ මේ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද?
මේ සම්බන්ධයෙන් අපි සාමූහික තීරණයක් ගත යුතුයි. ඕනෑම කාරණයක් පිළිබඳව විවිධ පුද්ගලයන්ගේ විවිධ මත තිබෙනවා. නමුත් කැබිනට් මණ්ඩලයක ඉන්න විට, ආණ්ඩුවක ඉන්න විට, සාමූහික වගකීමක් තිබෙනවා. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව වත්මන් ආණ්ඩුව තවම අධ්‍යයනය කරගෙන යනවා. මේ පිළිබඳව විද්වතුන්ගේ වාර්තා තිබෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය අනාගතයේදී ඒ පිළිබඳව යම් තීන්දුවක් ගනීවි. අපි කැමති වුණත්, නැති වුණත් බහුතර කැමැත්තට අනුව කැබිනට් මණ්ඩලය ගන්න තීරණය වෙනුවෙන් අපි බැඳී සිටිනවා. මේ නිසා බොහෝ විට ඔබ හිතන ආකාරයට කැබිනට් අමාත්‍යවරයෙකුට තමන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීමේ අයිතියක් නැහැ.
එසේ නම් එම්.සී.සී. ගිවිසුම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාමූහික අදහස කුමක්ද?
මේ ගිවිසුම ගැන සොයා බලන්න විද්වත් කමිටුවකට අපි භාර දීලා තියෙනවා. එහි වාර්තාව අධ්‍යයනය කරන්න අපිට දීලා තියෙනවා. ඉදිරි දිනයකදී එය අධ්‍යයනය කළ පසුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගනිවි. නමුත් දැනට අපිට හදිස්සි එම්.සී.සී ගිවිසුම නෙවෙයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සහ අයවැය ලේඛනය ගෙන ඒමටයි අපි මහන්සි වෙන්නේ.
ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධයෙන් අදහස් දක්වනවානම්?
අපිත් අයවැය දිහා ඉතාම උපේක්ෂාශීලීව බලාගෙන ඉන්නවා. අපි අපේක්ෂකයන් වශයෙන් ජනතාවට නොයෙකුත් පොරොන්දු දුන්නා. ජනතාවට සංවර්ධනය ගැන කිව්වා. අපි ඒවා ලබාදෙනවා කියලා කිව්වා. පාරවල් හදලා දෙනවා කියලා කිව්වා. ජලය දෙනවා කියලා කිව්වා. ඒ දේවල් ඉෂ්ට කරන්න හැකිවන ආකාරයට අග්‍රමාත්‍යතුමා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරයි කියලා මම හිතනවා.
නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග කෙසේ වේවිද?
නිදහස් පක්ෂයට ඉතා දුෂ්කර ගමනක් නැවත ආරම්භ කරන්න සිදුවෙලා තිබෙනවා. ඇත්ත තත්ත්වය ඒකයි. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යහපාලන රජයට එකතු වුණා. එහි සාධනීය ලක්ෂණ වගේම අඩුපාඩුත් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ පක්ෂයත් දෙකඩ වුණා. පොදුජන පෙරමුණ බිහි වුණේ එහෙමයි. පොදුජන පෙරමුණ කියලා අලුත් ඡන්දදායකයෝ හිටියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයම තමයි ඔවුන්ට ඡන්දය දුන්නේ. මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් පොදුජන පෙරමුණේ අයටත් ජනතාව ඡන්දය දුන්නා. යම් ආකාරයක සුසංයෝගයක් ඇති වුණා. මේ රටේ ප්රගතිශීලී දේශපාලනය ගැන කල්පනා කරනවා නම් මේ පක්ෂ දෙක ඒකරාශී විය යුතුයි කියා මම හිතනවා. වෙන් වෙන්ව යාමෙන් අපිට ගමනක් නැහැ.