ආචාර්යවරයෙක්, පර්යේෂකයෙක් මෙන්ම පරිපාලකයෙකු ලෙසින් වසර ගණනාවක් සිය දායකත්වය ලබාදෙන, එමෙන්ම මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින මහාචාර්ය චරිත හේරත් මහතා මැතිවරණය පිළිබඳ දැක් වූ අදහස්
ඇයි ඔබ දේශපාලනය තෝරා ගන්නේ ?
මම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විදිහට උගන්වන, පර්යේෂණ කරන කෙනෙක්. ඊට අමතරව පහුගිය දශකයේම මම පාලනයට සහ පරිපාලනයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විදිහට අවුරුදු 3ක් වැඩකළා. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් හැටියට තවත් අවුරුදු 3ක් වැඩකළා. ඒ නිසා මම පරිපාලන කේෂ්ත්‍රයේ ඉඳලා, පරීක්ෂණ ක්‍ෂේත්‍රයේ (Research) ඉඳලා නැවත වතාවක් විශ්වවිද්‍යාලයට ගමන් කරනවට වඩා රටේ ප්‍රතිපත්ති හදන තීරුවට ගමන් කරන්න ඕන කියලා විශ්වාස කරන නිසා දේශපාලනයට පැමිණියා.
ඒ හරහා රටට ඵලදායී එකතු කිරීමක් කරන්න පුළුවන් වේවි කියා මම විශ්වාස කරනවා.
නමුත් රටේ ජනතාව චෝදනා කරනවා කවුරු බලයට පැමිණියත් බලය ලැබුණු පසු වෙනස් වෙනවා කියා?
සමහරු තමන්ගේ පරමාර්ථය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ රටේ හිටපු විදේශ කටයුතු ඇමතිවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා ජාතික දේශපාලනය සඳහා වට දෙකක් හෝ තුනක් ඉදිරිපත් වුණා. ඒ සෑම අවස්ථාවකදීම එතුමාට පැවරුණ වගකීම ඉතා හොඳින් ඉටුකළා. ඒ විතරක් නොවේ එතුමාට ලබාදුන් වගකීම හොඳින් ඉටුකරපු නිසා මරණයට පත්වෙන්නට පවා සිදුවුණා. ඒ නිසා අපි දකිනවා ප්‍රතිපත්තිමය දේශපාලනය කරපු සහ කරන දේශපාලනඥයන් ඉන්නවා. නැතුවාම නොවේ.
මට පෞද්ගලික රැකියාවක් හැටියට හෝ මුදල් උපයන ක්‍රමයක් විදිහට හෝ එසේත් නොමැති නම් ව්‍යාපාරයක් කරන විදිහට දේශපාලනයට එන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මම දේශපාලනයට එන්නේ මගේ වෘත්තීයභාවය ඇතුළේ කරන්න පුළුවන් මැදිහත්වීමට වඩා වැඩි මැදිහත්වීමක් කරන්නයි.
ඔබ සඳහන් කරන්නේ රටේ ජනතාවට ඔබ ගැන විශ්වාසය තබාගන්න පුළුවන් කියලද ?
මම විශ්වාස කරන්නේ මේ ප්‍රතිපත්ති තීරුව ඇතුළේ කරන්න විශාල වැඩ කොටසක් අපේ රටේ ඉතුරුවෙලා තියෙනවා. ඒක තමයි දේශපාලනඥයාගේ කාර්ය භාරය කියන්නේ. ඒ නිසා පරීක්ෂණ තීරුවයි, පරිපාලන තීරුවයි වගේම ප්‍රතිපත්ති තීරුවත් අලුත් වෙන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා ලංකාව අනිත් රටවල් වගේ ඉදිරියට යන්නේ නැත්තේ රටේ හෝ ජනතාවගේ තිබෙන වැරුද්දක් නිසා නොවෙයි දේශපාලනයේ දී සිදුවිය යුතු මැදිහත්වීම හරියාකාරව සිදුනොවන නිසයි කියලා.
ජනාධිපති ගෝඨාභය මහතාට වැඩ කිරීමට අවශ්‍ය සහාය ඔහු වටා තිබෙන දේශපාලන ධාරාවෙන් නොලැබෙන බවට ජනතාව තුළ මතයක් ගොඩ නැගෙමින් තිබෙනවා ?
එය සත්‍යයක් නොවේ. ඔය චෝදනාව නගන්නේ විපක්ෂයේ අය. ඒ අයට අවශ්‍යයි රට ඉදිරියට රැගෙන යන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ දේශපාලන ධාරාව ඇතුළේ යම් බෙදීමක් ඇති කරන්න. ඒ අය කියනවා ජනාධිපතිතුමාට වැඩ කරන්න අවශ්‍යයි. අනිත් අය ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් සත්‍යනම් ජනාධිපතිතුමාට අවශ්‍යයි වැඩ කරන්න. ඒ වගේම අනිත් අයට අවශ්‍යයි එතුමාට උදව් කරන්න. ඒ නිසා එහෙම කිසිම ගැටලුවක් නැහැ.
ඇයි ඔබලාට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය?
මේ රටේ අභියෝග දෙකක් හමුවේ තමයි අපි ඉන්නේ. එකක් තමයි සංවර්ධන අභියෝගය. සංවර්ධනය වෙනුවෙන් විප්ලවකාරී තීරණ ගන්න තියෙනවා. එම තීරණ ගන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අපිට අවශ්‍යයි. මොකද තියෙන නීතිරීති වෙනස් කරගෙන යන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා තුනෙන් දෙකේ බලයක් නැතුව කිසි දෙයක් කරන්න බැහැ.
දෙවැනි එක තමයි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විශාල අභියෝගයක් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ කියලා. 78 ව්‍යවස්ථාව ඇතුළේ තියෙන ප්‍රශ්න ගණනාවක් තවමත් විසඳිලා නැහැ. අපි ඒවාට විසඳුම් දෙන්න ඕන. සමහර ප්‍රශ්න විසඳන්න හරිම අමාරුයි. ඒ කියන්නේ 78 ව්‍යවස්ථාවට අනුව ගොඩනගපු 13 වැනි ව්‍යවස්ථා සංශේදනයට අනුව ප්‍රශ්න ගණනාවක් මතු කරලා තියෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රශ්න ගණනාවක් මතුකරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරන ක්‍රමයේ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකින් හෝ අලුත් ව්‍යවස්ථාවක් හරහා වෙනස් කරන්න පුළුවන් බලයක් අපට අවශ්‍යයි කියා.
සංවර්ධනය සඳහා අපිට කෙටිකාලීනව සහ දිර්ඝකාලීනව විසඳා ගන්නට තිබෙන ගැටලු මොනවාද ?
කෙටිකාලීනව තියෙන එක් ගැටලුවක් තමයි පහුගිය ආණ්ඩුව කාලයේ අවුල් කරපු ව්‍යාපෘති ගණනාවක් තියෙනවා නැවත යථා තත්ත්වයට පත්කළ යුතු. දෙවැනි එක මේ කොරෝනා උවදුර මගින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර රාශියක් අත්හිටුවලා තිබෙනවා. ඒවා නැවත ශක්තිමත් කරන්න ඕන.
තුන්වැනි කාරණය තමයි අපි ඊළඟ අවුරුද්දට අපේ සෞභාග්‍යයේ දැක්ම යටතේ සමහර ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ගමනාගමනය කියන රජයේ සුබසාධනය යටතේ ක්‍රියාත්මක වන කලාප තුන සදහා අලුත් ප්‍රතිපත්ති සකස් කොට රට ඉතාම වේගයෙන් සංවර්ධනයේ දිශාවට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
නමුත් දවසින් දවස ජනතාව මතට ණය බර පැටවෙනවා මිසක්, ණය බර අඩුවෙනවා පේන්නේ නැහැ නේද ?
මෙහෙමනේ ණය බර ජනතාවගේ තමයි. මොකද රටක් කියන්නේ ජනතාවනේ. හැබැයි ජනතාවගේ තෝරා ගැනීම අනුව යම් රජයක් බලයට පත්වුණාම ඒ රජයේ වගකීම තමයි බොහෝම බුද්ධිමත්ව විදිමත්ව ආර්ථිකය කළමනාකරණය කරන එක. මේ තාක් එය නිසි ලෙස සිදුනොවුණ එකයි මෙතන තියෙන ගැටලුව. අපි බලන්නේ ණය ලබාගනිමින්, ගත්ත ණය ගෙවමින්, රටට අලුත් සම්පත් නිර්මාණය කරමින්, නිවැරදි කළමනාකරණයකින් යුතුව සංවර්ධනය කරමින් ණය බරින් නිදහස් වුණ රටක් නිර්මාණය කරන්නයි.
ඔබ නියෝජනය කරන දේශපාලන ධාරාව බලයට පැමිණියහොත් රටේ ජනතාවට තබාගත හැකි බලාපොරොත්තු මොනවාද ?
අපි ජාතික ආරක්ෂාව ශක්තිමත්ව රකිනවා. රාජ්‍ය සේවය තුළ තියෙන සුබ සාධන යාන්ත්‍රණය ශක්තිමත් කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ආදී ලෙසින්. ආර්ථිකය නවීකරණය කරනවා. අලුත් රාජ්‍ය සේවයක් හඳුන්වා දෙනවා. අලුත් ආණ්ඩුක්‍රමයක් සඳහා ගමන් කරනවා. ආණ්ඩුක්‍රමය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයයි, පාලන ව්‍යුහය ගැනයි අපේ අවධානය යොමු කරලා තියෙනවා. මේ වගේ විශාල වැඩ කොටසක් කරන්න අපි සැලසුම් සකස් කරලා ඉවරයි.