ඉහළ යන දෑ පහළ නොබසින්නේ ඇයි ?


ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවල ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගාස්තු ඉහළ දැමීම මෙරට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන සංගම් නිරතුරුවම සිදුකරන ක්‍රියාවකි. මීට අමතරව තිරිඟු පිටි මිල ඉහළ යන විට බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම හා ගෑස් මිල ඉහළ යන විට හෝටල්  හා ආපන ශාලවලින් අලෙවි කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දැමීමත් සිදුකරනු ලබයි. එහෙත් රජය විසින් ඉන්ධන මිල පහළ දමන අවස්ථාවලදී බස් ගාස්තු, ත්‍රිරෝද රථ සඳහා අයකරන ගාස්තු, ලොරි රථ සඳහා අයකරන ගාස්තු අඩු කිරීමට, මෙරටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් හා ප්‍රවාහන වෘත්තීය සංගම් මැලිකමක් දක්වයි. මේ අනුව රට තුළ සාධාරණ ව්‍යපාර සිදුනොකර බවට ව්‍යපාරිකයන්, බස් හිමියන්, ත්‍රිරෝද රථ හිමියන්, ලොරි රථ හිමියන්, ආපන ශාලා හිමියන් හා හෝටල් හිමියන්  නිරතුරුවම පෙන්වා දෙයි.

පෙරේදා (17දා) දින මධ්‍යම රාත්‍රියේ සිට 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද අඩු කිරීමට කටයුතු කෙරිණි. මේ රටේ භාණ්ඩ හා සේවා මිල තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් බවට ඉන්ධන හේතු වී තිබෙන අතර, මේ අනුව ඉන්ධන මිල සුළු මුදලකින් ඉහළ යන අවස්ථාවල ප්‍රවාහන ගාස්තු ඉහළ යාමට අමතරව, ලුණු ඇටයේ සිට සියලුම ආහාර පානවල මිලද ඉහළ යාම සිදුවේ. මේ වන විට සහල්, එළවළු, පලතුරු මිල, මස්, මාළු මිල, පොල් මිල ඇතුළු භාණ්ඩ රැසක මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබේ. මේ ආකාරයට අදාළ භාණ්ඩ  මිල ඉහළ ගොස් තිබෙන්නේ ප්‍රවාහනයේදී විශාල මුදලක් දැරීමට සිදුවන නිසා බවට ව්‍යපාරිකයන් නිරතුරුවම පෙන්වා දෙයි. එහෙත් ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව එළවළු, පලතුරු මිල, මස්, මාළු මිල, පොල් මිල අඩුකරන බවට ව්‍යපාරිකයන් කිසිදු ප්‍රකාශයක් සිදුකළේ නැත.

 තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 400 සිට රුපියල්  290 දක්වා අඩු කළ බව පිටකොටුව තොග වෙළෙඳුන් පසුගියදා ප්‍රකාශ කළ නමුත්, ඊට සාපේක්ෂව පාන්, බනිස් මිල, කේක් මිල පහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කර නැත. අද වන විට මධ්‍යම පාන්තිකයෙකුටත් පාන් ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි තරමට පාන් මිල ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය තත්ත්වයේ පාන් ගෙඩියක මිල රුපියල් 200 ඉක්මවා ගොස් ඇති අතර, රුපියල් 20ට, 25ට අලෙවි වූ බනිස් ගෙඩියක මිල රුපියල් 70 ඉක්මවා ගොස් තිබේ. මීට අමතරව තිරිඟු පිටි ආශ්‍රිත කෙටි ආහාරවල මිලද ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබේ. බේකරි නිෂ්පාදන ඉහළ යාමට තිරිඟු පිටි මිල ඉහළ යාම හා අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතු වී තිබෙන බව බේකරි හිමියන් පෙන්වා දෙන කාරණයකි. එහෙත් තිරිඟු පිටි මිල යම් මුදලකින් අඩු වූ විට බේකරි නිෂ්පාදන මිල සුළු මුදලකින් හෝ අඩු කිරීමට ඔවුන් කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි.

 ගෑස් මිල ඉහළ යන විට ආහාර පාන මිල ඉහළ දැමීමට කටයුතු කළත්, පසුගිය කාලයේදී ගෑස් මිල අඩු වීමට සාපේක්ෂව කිසිදු අහාරයක මිල අඩු කිරීමට ව්‍යපාරිකයන් කටයුතු කළේ නැත. ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් අඩු නොකිරීම තුළින් බස් හිමියන්, ලොරි හිමියන්, ත්‍රිරෝද රථ හිමියන් පවා පෙන්වා දෙන්නේ රජය තමන්ට සහන ලබාදුන්නත්, එම සහන ජනතාවට ලබා දිය නොහැකිය යන්නයි. බස් ගාස්තු නියාමනය කිරීමට රට තුළ ජාතික ගමනාගමන කොමිසම පිහිටුවා තිබෙන අතර, මේ අනුව ජාතික ප්‍රතිපත්තියකට අනුව බස් ගාස්තු වසරකට වරක් සංශෝධනය කරයි. නමුත් ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යන අවස්ථාවල බස් සංගම්වල ඉල්ලීමට අනුව ගාස්තු ඉහළ යාම සිදුවේ. කෙසේවුවද බස් රථ කොන්දොස්තරවරුන්ගෙන් වැඩි පිරිසක් ජනතාවට ඉතිරි මුදල් නිසි ලෙස  ලබා නොදීම නිසා, නියමිත බස් ගාස්තුවක් තිබුණද බස් මගින් ජනතාව සුරාකෑමකට ලක්වේ. ගමන් ගාස්තුවට අදාළව ටිකට්පතක් නිකුත් කළයුතු බවට නීතියක් පනවා තිබුණද, කෙටි ගමන් සේවාවල නිරත වන අති බහුතරයක් බස් රථ ටිකට්පතක් නිකුත් කරන්නේ නැත. බස්නාහිර පළාත තුළදී බස් රථ සේවකයින්ට නිලඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කළත්, මේ වන විට අදාළ නිලඇඳුම් පැලඳගෙන සේවය කරන සේවකයන් සොයා ගැනීමටවත් නැති තරම්ය. මේ පිළිබඳව සොයා බැලීම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල වගකීමක් වන අතර, මේ අනුව ඇතැම් අවස්ථාවල මාර්ග පරීක්ෂකවරුන් බස් රථ නැවැත්වීමට කටයුතු කරයි. එහෙත් අදාළ පරීක්ෂකවරුන් බස් රථයට ඇතුල් වී ටිකට්පත් ලබා දී තිබෙනවාද යන්න හෝ ඉතිරි මුදල් ලබාදීම සම්බන්ධ ගැටලු තිබෙවාද යන්න සොයා බලන්නේ නැත. ඔවුන් විසින් බස් කොන්දොස්තරවරයා විසින් රැගෙන යන කඩදාසි කිහිපයක් පෙරළා බලා ඔවුන්ගේ රාජකාරිය නිම කරයි.

 මගී ජනතාවගේ පහසුව සඳහා ත්‍රිරෝද රථ ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් රට තුළ ධාවනය කරන බවට ත්‍රිරෝද රථ වෘත්තීය සංගම් පෙන්වා දෙයි. එහෙත් රට තුළ මගී සේවවාල නිරත වන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට හෝ නියාමනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා සැබෑ ලෙසම මගී ප්‍රවාහන කටයුතුවල නිරත වන ත්‍රිරෝද රථවල සැබෑ ප්‍රමාණය කිසිවෙකුත් දන්නේ නැත. පොලිස් ස්ථාන මගින් තම බල ප්‍රදේශයට අයත් ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් සොයාබැලීම් සිදුකරන නමුත්, ලංකාවට ගෙන්වා තිබෙන සමස්ත ත්‍රිරෝද රථවලින් යම් ප්‍රමාණයක් ස්වයංරැකියා කටයුතු සඳහා සහ පවුලේ වාහනයක් ලෙසද භාවිත කරනු ලබයි. මගී ත්‍රිරෝද රථ නියාමනයක් සිදුනොවන නිසා මගීන්ගෙන් අයකරන ගාස්තුවත් කිසිදු ආකාරයකින් නියාමනයක් සිදුවන්නේ නැත. මගියාගෙන් අයකරන මුදල තීරණය කරනු ලබන්නේ ත්‍රිරෝද රථ රියැදුර විසින් වන අතර, ගාස්තු මීටර සවිකර ඇති ත්‍රිරෝද රථ මගින්ද විවිධ මුදල් අයකර ගන්නා අකාරයට ගාස්තු මීටරය සකස් කරගෙන තිබේ. මේ අනුව පොදුවේ සැලකීමේදී බොහෝ ත්‍රිරෝද රියැදුරන් විසින් සිදුකරනු ලබන්නේ මගියා සුරාකෑමක් වන අතර, කුලී ලොරි රථ හෝ කුඩා ප්‍රමාණයේ වෙනත් වාහන සඳහා අයකරන මුදල පවා අදාළ රථයේ හිමිකරුගේ තීර‘ණය අනුව සිදුවේ.

 රජය විසින් යම් භාණ්ඩයක මිල අඩු කිරීමට කටයුතු කරන්නේ ජනතාවට සහන සැලසීමක් වශයෙන් වන නමුත්, අදාළ ප්‍රතිලාභ ජනතාවට නොලැබීම තුළින් රජය සිදුකරන සාධනීය කටයුත්තෙන්ද ඵලක් නොමැත. මේ නිසා ඉන්ධන, තිරිඟු පිටි, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල පහළ යන විට ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවා ගාස්තු අඩු කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබේ.

 

 



Recommended Articles