ඉහළ පහළ ගිය තෙල් මිල මේ වසරේදීත් මහජනතාව සූරාකයි?


මේ රටේ භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීමේදී ප්‍රධානම සාධකය වී තිබෙන්නේ ඉන්ධනය. මේ නිසා ගෙවී ගිය කාලය පුරාම ඉන්ධන මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන භාණ්ඩ හා සේවා මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය. එහෙත් අවාසනාවකට කරුණ වී තිබෙන්නේ ඉන්ධන මිල අඩුවීමේදී භාණ්ඩ මිල අඩුකිරීමට වෙළෙඳ ප්‍රජාව හෝ වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරන සංගම් කටයුතු නොකිරීමය.
මෙරට පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම ආයතනය වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියයි. එම ආයතනය තුළින් යම් සේවාවක් සිදුවුවත් මෙරට ජාවාරම්කරුවන්ගේ ප්‍රමාණය අතිවිශාල වීම හේතුවෙන් අදාළ කටයුතු නිසි ලෙස පාලනය වීමක් සිදුවී නොමැත. අද දවස වනවිට ලංකාවේ බොහෝ භාණ්ඩවල හා සේවාවල මිල තීරණය වී තිබෙන්නේ ව්‍යාපාරිකයාගේ අභිමතය පරිදිය.
බොහෝ භාණ්ඩ හා සේවාවල පාලන මිලක් හෝ ප්‍රමිතියක් පිළිබඳ නීතිරීති රට තුළ නොමැති අතර, මෙය ජාවාරම්කරුවන්ට ජාවාරම් කිරීමට පහසුවී තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑමේදී ප්‍රධාන වශයෙන් බස් ගාස්තු, ත්‍රි‘‘රෝද රථ ගාස්තු, පාසල් ප්‍රවාහන රථ ගාස්තු විශාල ලෙස ඉහළ යෑම සිදුවේ. මීට අමතරව අටවා ගත් සංගම් විසින් ඩීසල් මිල ඉහළ යෑමේදී තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන හා බත් පැකට්ටුවේ මිල පවා ඉහළ දැමීමට කටයුතු කළේය.

මේ නිසා අටවාගත් සංගම්වල ප්‍රකාශ මත භාණ්ඩ ඉහළ දැමීමට සමහර ව්‍යාපාරිකයෝ කටයුතු කරති. බස් ගාස්තු ඉහළ යෑමේදී කරුණු 12ක් සැලකිල්ලට ගන්නා අතර, ඉන්ධන යනු ගාස්තු ඉහළ දැමීමේදී එක් සාධකයක් පමණි. එහෙත් මේ වසරේ මැයි මාසයේ සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන බස් ගාස්තුව අවස්ථා 02කදී 16.5෴කින් ඉහළ දැමීමට බස් හිමියෝ කටයුතු කළහ.
මීට අමතරව අවම ගාස්තුව ලෙස අය කළ රුපියල් 10ක මුදල, රුපියල් 12ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරනු ලැබිණි. බස් ගාස්තුවට අමතරව ත්‍රි‘රෝද රථ ගාස්තුව රුපියල් 10කින් හා පාසල් ප්‍රවාහන රථ ගාස්තුව 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි. මීට අමතරව බත් පැකට්ටුවේ මිල හා බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිලද සමහර පිරිස් විසින් ඉහළ දැමීමට කටයුතු කරනු ලැබීය. එහෙත් නොවැම්බර් පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඉන්ධන මිල අවස්ථා තුන දී අඩුවූ අතර, ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව අවස්ථා දෙකකදී බස් ගාස්තුව 6%කින් අඩුකෙරිණි. මෙහිදී මුල් අවස්ථාවේදී බස් ගාස්තුව 2%කින් අඩුවූ අතර, එය නීත්‍යනුකූල බස් ගාස්තු සංශෝධනයක් වුවත් එම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බොහෝ බස් හිමියෝ කටයුතු නොකළහ.

ඉන්පසුව 04%ක බස් ගාස්තු අඩුකිරීමක් සිදුවුවත් තවමත් එයද නිසිලෙස ක්‍රියාත්මක නොවන්නේය. 04%ක් වැනි සුළු මුදලකින් බස් ගාස්තු අඩු වුවත් අවම ගාස්තුව ශත පහකින් වත් අඩු වූයේ නැත. 4% ගාස්තු සංශෝධනයේදී කෙටි ගමන් සේවා බස් රථවලින් අය කරන ගාස්තු අඩුවී යන්නේ රුපියලක් දෙකක් රුපියල් 05ක් වැනි මුදලකිනි. මේ නිසා ඉතුරු මුදල් පවා නිසිලෙස ලබානොදන අතිබහුතරයක් වූ බස් රථ සේවකයන් ගාස්තු සංශෝධනයේදී අඩු වූ රුපියල, දෙක පවා ලබා නොදෙන්නේය. ත්‍රි‘රෝද රථ ගාස්තුව නියාමනය කිරීමට මෙරටට ආයතනයක් නොමැති අතර, මේ නිසා එහි මිල පාලනය කිරීම ත්‍රි‘රෝද රථ හිමියන්ගේ හා රියදුරන්ගේ සංගම් විසින් සිදුකරනු ලබයි. ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව එක් ත්‍රි‘රෝද රථ සංගමයක් පළමු කිලෝ මීටරයේ ගාස්තුව රුපියල් 10කින් හා දෙවැනි කිලෝමීටරයේ සිට ගාස්තුව රුපියල් 15කින් අඩු කිරීමට තීරණය කළද එය රට තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවේ.

රටේ අනාගතය භාරගැනීමට සිටින බොහෝ දරුවන් නිවසේ සිට පාසලටත් පාසලේ සිට නිවසටත් ප්‍රවාහනය කිරීම පාසල් වෑන් රථ විසින් සිදුකරනු ලබයි. එහෙත් එම සේවාව නියාමනය කිරීමටත් මෙරට තුළ නිසිලෙස වැඩපිළිවෙළක් නොමැත. මේ නිසා ඉන්ධන මිල සුළු වශයෙන් ඉහළ යන අවස්ථාවල පවා ගාස්තුව විශාල ලෙස ඉහළ දමා ගැනීමට ප්‍රවාහන රථ හිමියෝ කටයුතු කරති. එහෙත් ඉන්ධන මිල අඩුවූ අවස්ථාවලදී ගාස්තු පහළ දැමීමට සූදානමක් නොමැත.

මීට අමතරව සී සෑමට භාවිතා කරන ට්‍රැක්ටර් රථයේ සිට ගොයම පාගන මැෂිම, ඉඩම් වාහන ගාස්තුව හා රථවාහන සර්විස් කරන ගාස්තුව පවා ඉන්ධන මිල ඉහළ යෑමේදී ඉහළ දැමීම සාමාන්‍ය ක්‍රමවේදයක් වී තිබේ. එහෙත් ඉන්ධන මිල අඩුවීමට සාපේක්‍ෂව මෙම සේවාවල ගාස්තු අඩුවීමක් සිදුනොවන අතර, බස් ගාස්තු සංශෝධනය වුවත් එය ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව සිදුවී නොමැත. මේ සම්බන්ධයෙන් විරෝධයක් ඇතිවී තිබෙන අතර, එහිදී බස් හිමියන් සඳහන් කරන්නේ, ගාස්තු සංශෝධනයේදී කරුණු 12ක් සලකා බලන බැවින් ඉන්ධන මිල අඩුවූ පමණින් විශාල ලෙස ගාස්තු පහළ දැමිය නොහැකි බවයි. 
ඉන්ධන මිල ඉහළ දමන විට ආහාර පාන ඉහළ යන බව සඳහන් කරන සංගම් ඉන්ධන මිල පහළ යෑමේදී ආහාර මිල අඩු කරන බවට ප්‍රකාශ සිදුකිරීම අමතක කර දමා තිබේ. ආහාර මිල ඉහළ යන බවට සඳහන් කරන සමහර සංගම් නමට පමණක් ක්‍රියාත්මක වන සංගම් වන අතර, ඔවුන් යැපෙනේත් ආහාර අලෙවි කරන ආයතනයකින් මාසිකව ලැබෙන මුදලකිනි. මේ නිසා මෙවැනි සංගම් සෑම විටම පෙනී සිටින්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙනි. මේ අනුව රජය විසින් ඉන්ධන මිල අඩු කළද එහි වාසිය පොදු ජනතාවට ලැබී නොමැත. මෙම විකෘතිතාව නිවැරදි කිරීමට රජයද මැදිහත් වීමක් සිදුනොකරයි. මේ නිසා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා එකතු වී පාරිභෝගික ජනතාව රැකගැනීම පිණිස විධිමත් වැඩපිළිවෙළක් රට තුළ සකස් කළ යුතු අතර, හිතු හිතු ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ දමන, නමට පමණක් ක්‍රියාත්මක වන සංගම් අහෝසි කිරීමටද රට තුළ නීති සකස් විය යුතු කාලය එළැඹ තිබේ 

අපි වැඩි කරද්දී වැඩි කරලත් නැහැ, අඩු කරද්දී අඩු කරන්න යන්නේත් නැහැ   - බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන

බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම් කිසිම විදියකින් සිදු කරන්න අපට බැහැ. මොකද අපි තෙල් තියා ගෑස් මිල ඉහළ ගියත් කිසිම දවසක බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කළේ නැහැ. පසුගිය කාලයේ තෙල් මිල කිහිප වරක් ඉහළ ගියා, ගෑස් මිලත් ඉහළ ගියා. නමුත් අපි බේකරි කෑමවල මිල ගණන් කිසිම අවස්ථාවකදී වැඩි කළේ නැහැ. මිල වැඩි කිරීම් අපි ඒ අවස්ථාවලදී කළේ නැති නිසා දැන් මිල අඩු කරන්න යන්නෙත් නැහැ. ත්‍රීවිල් ගාස්තු, බස් ගාස්තු වැඩි කළාට අපි අපේ නිෂ්පාදනවල මිලට අත තියන්න ගියේ නැහැ. අපි වැඩි කරද්දි වැඩි කරලත් නැහැ. අඩු කරද්දි අඩු කරන්න යන්නේත් නැහැ.   

මගී ජනතාවට ලබාදිය යුතු සහනය ලබා දෙන්න රජය මැදිහත් වෙන්න - ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන

තෙල් මිල අඩු වීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමේ තීරණය අපි ගත්තේ පසුගිය සඳුදා දිනයේදීයි. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිව සිටි කාලසීමාවේ මුදල් ඇමති විදියට තෙල් මිල රුපියල් දහයකින් අඩු කළා. ඉන් පසුව රුපියල් පහකින් අඩු කළා. නැවතත් පාර්ලිමේන්තුව විසින් රුපියල් පහකින් අඩු කළා. මංගල සමරවීර මහතා නැවත මුදල් ඇමති වුණාට පසුව තෙල් මිල රුපියල් හයකින් අඩු කළා. දැන් රුපියල් තිහකින් පෙට්‍රල් මිල අඩු වෙලා තියෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා පෙට්‍රල් මිල අඩු කළාම අපි කිව්වා පළමු කිලෝමීටරයට අයකළ මුදලින් රුපියල් දහයක් අපි අඩු කරන්න තීරණයක් ගත්තා කියලා. අපේ කට්ටියගෙන් කොටසක් මේ අඩු කිරීම සිදු කරනවා. තවත් කොටසක් එය සිදු කරන්න පියවර ගනිමින් ඉන්න අතරම තවත් කොටසක් මිල අඩුකිරීම සිදු කරන්නේ නැහැ. මේ නිසා අපි මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න කියලා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිව සිටින කාලයේදී අපි එම ආණ්ඩුවෙන් ඉල්ලුවා. නැවත රුපියල් දහයකින් මිල අඩු වුණාට පස්සේ ප්‍රවාහන අමාත්‍යවරයාගෙනුත්, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙනුත් ලිඛිතව ඉල්ලුවා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. මේ අය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා සියලුම ත්‍රිරෝද රථ සංගම්වලින් පාරිභෝගිකයන්ට සහන සලස්වන්නට එකතු වෙන්නට කියලා ඉල්ලීමක් කරමින්. නමුත් ඇතැම් ත්‍රිරෝද රථ  සංගම්, ත්‍රිරෝද රථ, ටැක්සි ව්‍යාපාරික ආයතනයන් සමග ඩීල් දාගෙන. ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් මේ ව්‍යාපාරිකයන් සමග එකතු වෙලා මගීන්ට ලැබෙන්න තිබෙන සහනය නැති කරලා තිබෙනවා.

ඒ නිසා අපි ඊට එරෙහි වෙනවා. එයට එරෙහිව අපි ලිපියක් භාරදුන්නා කරුණාකර තෙල්වලින් ලැබුණු රුපියල් තිහේ වාසිය මේ රටේ ජනතාවට ලබාදිය යුතුයි යන්න සඳහන් කරලා. අපි දන්නෙ නැහැ මිල සූත්‍රය අනුව තෙල් මිල කොයි වෙලාවේ ඉහළ යයිද කියලා. නමුත් මේ වනවිට ත්‍රිරෝද රථ රියැදුරන් විසින් සාමාන්‍ය ජනතාව කොල්ලකමින් සිටින නිසා මම සංගමයක් විදියට කියන්නේ කරුණාකරලා මගී ජනතාවට ලබාදිය යුතු සහනය ලබා දෙන්න රජය මැදිහත් වෙන්න කියලයි. එසේ නොමැතිව සමාගම්කරුවන් පොහොසත් කරන්න, ඔවුන්ගේ පැත්තේ ඉඳන් ඇමතිතුමා තීන්දු තීරණ ගන්නවා නම් අපි අමාත්‍යවරයාට එරෙහිව නැගී සිටින බව ලිපියකින් දැනුම් දීමක් සිදුකරනු ලැබුවා. තෙල් මිල අඩු වනවිට මීටරය යළි සකස් කිරීම සඳහා දවසක් මිඩංගු කර එම ආයතනවලට පැමිණෙන්න සිදුවන බවට ත්‍රිරෝද රථ රියදුරන් සිදුකරන ප්‍රකාශ බොරු ලෙසයි මම කියන්නෙ. එයට හේතුව තමයි ත්‍රිරෝද රථ වෘත්තිකයා හිතාමතාම මේ මිල අඩු කිරීම සිදුකර ගන්න යන්නේ නැති වීම. ත්‍රිරෝද රථ මීටර සවි කරලා තියෙන්නේ බහුතරයක්ම කොළඹ ප්‍රදේශයේ තිබෙන ත්‍රීවිල් රථවලයි. පිට පළාත්වල මීටර නැහැ. පිට පළාත්වල ඉන්න ත්‍රීරෝද රථ රියදුරන් කොළඹට ඇවිත් ටැක්සි කොම්පැණිවල සේවය කරනවා. ඔවුන් සිතාමතා මේ මිල අඩු කිරීම් සිදු කරන්නේ නැහැ. මොවුන් බොරු කියනවා මීටරය අඩු කරගන්න අපි හෙට යනවා, අනිද්දා යනවා කියලා. එහෙම කියලා මගීන්ව කොල්ලකනවා. ඒ නිසයි මම කියන්නේ රජය මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. මේ මීටර වෙනස් කිරීමේ කටයුත්තට ගාස්තු අයකිරීම ඉවත් කරන්න රජය මැදිහත් විය යුතුයි. මොකද රුපියල් දෙදහසකට හෝ තුන්දහසකට චීනයෙන් හෝ ඉන්දියාවෙන් ආනයනය කරන මේ මීටරය ත්‍රිරෝද රථවලට විකුණන්නේ දාහතරදහස් පන්සියයේ සිට විසිදහස දක්වා වන මිල ගණන්වලට. ඒ නිසා කරුණාකරලා තෙල් මිල ඉහළ පහළ යන වෙලාවට මීටරය සකස් කර ගන්න අයකරන ගාස්තුව ඉවත්කර දෙන්න. මොකද මේ ගාස්තු අය කිරීම නිසා ත්‍රිරෝද රථ රියදුරන් හිතාමතාම මීටර වෙනස් කරගන්න යන්නේ නැහැ. ඒ නිසා රජය මෙයට මැදිහත්වෙලා ත්‍රිරෝද රථ මීටර කොම්පැණි විසින් අයකරන මේ ගාස්තුව ඉවත් කළ යුතුයි. මේ මීටර ගෙන්වන සමාගම් මීටර සවි කිරීමට විශාල මුදලක් ත්‍රිරෝද රථවලින් අය කරනවා. ඒ වගේම මේ මීටර වෙනස් කරන්න ත්‍රිරෝද රථ රියැදුරන්ට හැකියාවකුත් නැහැ. මෙහෙම ලංකාව පුරා මීටර් ලක්‍ෂ දෙකක් පමණ සවි කරලා තියනවා.

මීටරයක් වෙනස් කරන්න රුපියල් 150ත්, 200ත් අතර මුදලක් එම ආයතන විසින් අයකර ගන්නවා. එහෙම කෝටි දෙකහමාරක් තුනක් මේ ආයතන සද්ද නැතිව උපයා ගන්නවා. මේ මුදල් රජයට යන්නේත් නැහැ. මෙලෙස කූට ව්‍යාපාරයක් මේ ආයතන විසින් සිදු කරනවා. මේ නිසයි ත්‍රිරෝද රථ රියැදුරන් තමන්ගේ මීටරය වෙනස් කර ගන්න එම ආයතන වෙත නොගොස් තවදුරටත් මගීන් සූරාකෑම සිදු කරන්නේ. මේකට මුදල් අමාත්‍යවරයාටත්, ප්‍රවාහන අමාත්‍යවරයාටත් මැදිහත්වීමේ හැකියාවක් තිබෙනවා. ලංකාවේ ත්‍රිරෝද රථවලට මීටර් සවිකරන ආයතන පහක් පමණ තිබෙනවා. නමුත් අපි හිතමු කවුරුහරි ඒ කිසියම් මීටරයක් සවිකළා කියලා. එහෙනම් එම රියැදුරා මීටරය වෙනස් කරන්න ඒ අදාළ ආයතනයටම යා යුතුයි. මේ ආයතනවලින් මීටරය අඩු කරන්න ගියත් වැඩි කරන්න ගියත් මුදල් අය කරනවා. මීට අමතරව මගීන්ට කියන්න ඕන සමහර මීටර්වලට තිබෙනවා දුරස්ථ පාලකයක්. මේ දුරස්ථ පාලකය තියෙන්නෙ විදේශිකයන් නැග්ගම වැඩි ගාස්තුවක් අය කරන්න මීටරය වෙනස් කර ගැනීම සඳහායි. කිලෝමීටරයට රුපියල් 57.50යි, රුපියල් 67.50 ලෙස මේ වගේ ගාස්තුව වෙනස් කරන්න මේ දුරස්ථ පාලකය හරහා හැකියාවක් තිබෙනවා. සමහර ත්‍රිරෝද රථ රියදුරන් මේ දුරස්ථ පාලකය මගින් මිල වෙනස් කිරීම සාමාන්‍ය අපේ රටේ මගීන් නැග්ගමත් සිදු කරනවා. මගියා දන්නේ නැහැ රියදුරා මීටරයේ ගණන් වෙනස් කර ගැනීම සිදු කරලා. මේක විශාල කොල්ලකෑමක්. පළමු කිලෝමීටරයට රුපියල් 57.50ක් අයකරන මේ මීටරයෙන් දෙවැනි කිලෝමීටරයට රුපියල් 79ක් වගේ මුදලක් අය කරනවා. මේ විදියට රාත්‍රී ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයට දවල්ටත් ගාස්තු අයකරන අයත් ඉන්නවා. මේ වගේ මීටර් සවිකරණ ආයතනවල ඉන්න ඇතැම් සේවකයොත් වංචනික ක්‍රම හරහා ත්‍රිරෝද රථවලට මේ වගේ මීටර සවි කරනවා. මේ නිසා අපි කියන්නේ අපේ රටේ ප්‍රමිතියෙන් යුතු ත්‍රිරෝද රථ මීටර් නැහැ කියලා. අපි පසුගිය කාලයේ මේ පිළිබඳ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට ගිහින්, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවටත් ඇමතිවරයාටත් විරුද්ධව පැමිණිලි කරනු ලැබුවා. මොකද මේ අය කම්පැණිකරුවන් එක්ක එකතු වෙලා බිස්නස් එකක් කරන්නේ. මේ කම්පැණිකරුවන්ට ආදායමක් හොයලා දෙන ගමන් ඔවුනුත් කම්පැණිකරුවන්ගෙන් ගාණක් ගන්න එකයි මේ සිදු කරන්නෙ. ඒක තමයි දැන් රණතුංග ඇමතිවරයාටත් වෙලා තියෙන්නෙ. මිනිසුන්ට සහන දෙන්න කලින් කම්පැණිකරුවන් මුදල් පෙන්නලයි තියෙන්නේ. තෙල් මිල අඩු වෙද්දි ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන්න වෘත්තිකයන් කටයුතු කරන්නෙ නැති නිසාත්, රජය එයට මැදිහත් නොවන නිසාත් අපි කිව්වා කිලෝමීටරයට රුපියල් 50ට වැඩි ගණනක් අයකරනවා නම් එය මංකොල්ලයක් ගණයට වැටෙන බව. ඒ කියන්නේ කිලෝමීටරයට රුපියල් 60ක් අයකරනවා නම් මගියාගෙන් රුපියල් 10ක් මංකොල්ලකෑමක් තමයි ඒ රියැදුරා සිදු කරලා තියෙන්නේ. මෙය උසාවියට පවා යොමුකළ හැකි වරදක්. මේ නිසා මම කියන්නේ රුපියල් 50ට යන්න පුළුවන් ත්‍රිරෝද රථ මේ වෙලාවේ භාවිතයට ගන්න කියලා. නිවැරදිව ගාස්තු අය කරන ත්‍රිරෝද රථයක පළමු කිලෝමීටරයට රුපියල් 50ක් ඊළඟ කිලෝමීටරයේ සිට රුපියල් 35කුත් ලෙසයි අය විය යුත්තේ. එලෙස නොකරන ත්‍රිරෝද රථ රියදුරන් සිදු කරන්නේ වංචාවක්, කොල්ලකෑමක්. ඒ නිසා තමයි අපි එවැනි රියදුරන් පිළිබඳ 119 කියන පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා පැමිණිලි යොමු කරන ලෙස මගීන්ව දැනුවත් කළේ. 

ඩීසල් මිල රුපියල් 95 දක්වා අඩු වෙනකල් ගාස්තු අඩුකිරීමකට යන්නේ නැහැ- පාසල් ප්‍රවාහන රථ සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න

දැනට අපි ගාස්තු අඩු කිරීමකට නොයන්නට තීරණය කර තිබෙනවා. මොකද ජනවාරි දහ වැනිදා වනවිට නැවත ඩීසල් මිල රුපියල් පහකින් පමණ අඩු වෙයි කියලා අනාවැකි පළවෙනවා. මිල සූත්‍රය අනුව තෙල් මිල වෙනස් වෙන්නේ දහ වැනිදා නිසා අපි ජනවාරි දහ වැනිදා වෙනකල් මිල වෙනස් නොකර සිටින්න තීරණය කළා. ඒ අනුව ජනවාරි දහ වැනිදා රුපියල් පහකින් ඩීසල් මිල අඩු වුණොත් අපි පාසල් ප්‍රවාහන සේවා ගාස්තුව 05෴කින් අඩු කරනවා. ඩීසල් මිල රුපියල් 95ක තිබිලා වැඩි වුණු පළමු අවස්ථාවේදී තමයි අපි 10%ක උපරිමයකට යටත්ව පාසල් ප්‍රවාහන සේවා ගාස්තු වැඩි කළේ. ඉන්පසු අවස්ථා තුනකදී ඉන්ධන මිල ඉහළ ගියා. නමුත් අපි අපේ අයකිරීම් වැඩි කළේ නැහැ. ඒ නිසා නැවත ඩීසල් මිල රුපියල් 95 දක්වා අඩු වෙනකල් ගාස්තු අඩුකිරීමකට යන්නේ නැහැ. ඒ නිසා අපි ජනවාරි දහ වැනිදා වෙනතුරු අපේ අයකිරීම් වෙනස් කරන්නේ නැහැ. ගාස්තු වෙනස් කිරීමක් වුණත් අපි සිදු කරන්නේ ඩීසල් මිල ජනවාරි දහවැනිදා අඩු වුණොත් විතරයි. 

මිල පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති - රංජිත් විතානගේ

ඉන්ධන මිල ඉහළ යන විට ක්ෂණිකව බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු, භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස ඉහළ දමනවා. ඒත් ඉන්ධන මිල අඩුවුණාම ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවාවල මිල, ප්‍රවාහන ගාස්තු අඩුකරන්නේ නැහැ.

මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදුවුවත් එය ප්‍රමාණවත් නැහැ. මීට අමතරව ගාස්තු අඩුවීමේ වාසියත් සමහර බස් රථ සේවකයන් ජනතාවට ලබාදෙන්නේ නැහැ. ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව ආහාර මිල රුපියලකින් අඩු කළේ නොමැති අතර, අනෙකුත් සේවා හා භාණ්ඩවල මිල අඩු වුණෙත් නැහැ. මේ නිසා රටට භාණ්ඩ හා සේවා මිල පිළිබඳව විධිමත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. බස් ගාස්තු සංශෝධනයට ක්‍රමවේදයක් තිබුණත් එය ජනතාවට සාධාරණ වන ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.      

නදීශානි පතිරණ/ ඉන්දික හේවාවිතාරණ



Recommended Articles