කොරෝනා වෛරස් ආසාදිතයන් මෙරටින් පළමුවරට හමුවූ අවස්ථාවෙන් පසුව මාර්තු 13 වනදා සිට සියලු පාසල් වසා දැමීමට රජය පියවර ගත් අතර ඒ අනුව මාස තුනකට වැඩි කාලයකට පසුව යළිත් පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට පාසල් පද්ධතියේ ලක්ෂ 50ක් පමණ දරුවන් පිරිසක් නිවෙස්වලට වී සිටිති.
ඒ අනුව අදියර හතරක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන තිබෙන අතර රට තුළ පවත්නා සෞඛ්යාරක්ෂිත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශද පදනම් කරගනිමින් පාසල් විවෘත කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙවැනි අදියර
සිසු දරුවන් වෙනුවෙන් පළමුවෙන්ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරේදීය. ඒ යටතේ ජුලි මස 06 වන සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ. තුන්වන අදියරේදී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා ජුලි මස 20 වනදා සිට ආරම්භ කෙරේ. සිව්වන අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙනුයේ, ජුලි මස 27 වනදා වන අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේදී පාසල් වෙත කැඳවේ.
පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන
01 සහ 02 ශ්‍රේණිවල සිසු දරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය දැනුම්දීම තවදුරටත් ප්‍රමාද කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළ අතර පෙරපාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන දින පිළිබඳවද මෙතෙක් සඳහන් කර නොමැත.
ප්‍රවාහන පහසුකම්
පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණදීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බැවින්, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස් රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්‍රවාහන අංශයේ බලධාරීන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් විමසීමේදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සැකසීම
ඉදිරියේදී පැවැත්වෙන විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සැකසීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුයේ මෙවැන්නකි.
විභාග සියල්ල සඳහා ප්‍රශ්න පත්‍ර සැකසීමට සම්පූර්ණ විෂය නිර්දේශයම යොදාගන්නවා. ඒ නිසා තමයි මාස දෙකක වැඩිපුර කාලයක් ලබාදී තිබෙන්නේ. උසස් පෙළ විභාගය ගත් විට ඒ සඳහා පළමුවරට ඉදිරිපත් වෙන පිරිස වගේම දෙවන තුන්වන වරට ඉදිරිපත්වන පිරිසක් ඉන්නවා. පළමු වරට විභාගයට ඉදිරිපත්වන අයට විෂය නිර්දේශ සම්පූර්ණ වී නොතිබුණත් අනිත් දෙපිරිසම සම්පූර්ණ විෂය නිර්දේශය යටතේ විභාගයට සුදානම් වී සිටිනවා. මේ නිසා ප්‍රශ්න පත්‍ර සැකසීම සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සිදුකළ යුතු වෙනවා. පළමු වර විභාගයට ඉදිරිපත්වන අයට අසාධාරණයක් නොවීම සඳහා තවත් මාස දෙකක අමතර කාලයක් ලබා දී තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගයේ තත්ත්වයත් ඒ ආකාරයෙන්මයි. ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ සාමාන්‍ය විදිහටයි. කිසිම විශේෂත්වයක් නැහැ.
පාසල් දරුවන් කාණ්ඩ කිරීම
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ මෙවැනි අදහසකි.
කොරෝනා වසංගතයෙන් පසුව යළිත් පාසල් ආරම්භ කිරීමේදී අපි එය කාණ්ඩ කර තිබෙනවා. ඒ වගේම එහිදී පාසල් පැවැත්විය යුතු කාල සීමා වෙන්කර තිබෙනවා. මේ ලබා දී තිබෙන කාලය තුළදී යළිත් කොරෝනා වසංගතය උත්සන්න වුණේ නැත්නම් සෞඛ්‍ය අංශ මගින් විශේෂ යමක් දැනුම්දුන්නේ නැත්නම් ක්‍රමානුකූලව පාසල් පැවැත්වීම සාමාන්‍යකරණය කරන්න පුළුවන්. ඉන්පසුව සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙනවා.
මේ නිසා තමයි 01 සහ 02 වසරවල දරුවන් පාසලට ගෙන්වීමට තවමත් දිනයක් තීරණය නොකළේ. ඔවුන් ගෙන්වීම අවසානයට කරන්නේ. පාසල් ආරම්භ කළ පසුව එහි තත්ත්වය පිළිබඳ නිගමනයකට එන්න විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ක්‍රමානුකූලව තත්ත්වය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා. පාසල් ආරම්භ කළ පසුව සෑම දරුවෙක් ගැනම අපි අවධානය යොමු කරනවා. මෙම නිරීක්ෂණ කාලය අවසන් වන විට සෞඛ්‍ය තත්ත්වයත් සාර්ථක වී තිබෙනවා නම්, ළමුන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරනවා නම් ඉන්පසුව සාමාන්‍ය තත්ත්වයට එන්න අපිට පුළුවන්කම ලැබෙනවා.
සමාජ දුරස්ථභාවය
පාසල් ආරම්භ කිරීමට දැන් සැලසුම් කර තිබුණත් අපි පාසලට ළමුන් ගෙන්වන්නේ පන්ති කොටස් කරලා. මොකද සමාජ දුරස්ථභාවය තවදුරටත් තබාගැනීම අවශ්‍යයි කියල සෞඛ්‍ය අංශ අපිට දැනුම්දීලා තිබෙනවා. ඒ අනුව උදය වරුවේ කොටසක් සහ හවස් වරුවේ කොටසක් ලෙස ළමුන් කොටස් කර පාසලට ගෙන්වනවා. මොකද ඇතැම් පාසල්වල දුරස්ථභාවය තියාගෙන පන්ති පවත්වාගෙන යන්න ඉඩ නැහැ. මේ නිසා පංතියේ ළමුන් කොටස් කර ගෙන්වනවා. පන්තියක ළමුන් 40ක් ඉන්නවා නම් අපිට 20 බැගින් තමයි පන්තියට ඇතුළත් කරන්න වෙන්නේ. එතකොට තැන් දෙකක උගන්වන්න වෙනවා. ගුරුවරුන් ඉන්න ප්‍රමාණයට මේ සියල්ල තුලනය කරගෙන පාසල් පවත්වාගෙන යන්න වෙනවා.
පාසල් පවත්වන වෙලාව
දරුවන්ට අධ්‍යාපන කාලය විශාල වශයෙන් අහිමිවෙලා නිසා ඊළඟ වාරය තෙක් පාසල් පවත්වන කාලසීමාව 03.30 දක්වා පවත්වන්න සිදුවේවි. විභාගයට ඉදිරිපත්වීමට ඉන්නා දරුවන්ට පැය 400කට ආසන්න ඉගෙනුම් කාලයක් අහිමිවෙලා තියෙනවා. එම ප්‍රමාණය අපි ආවරණය කළ යුතුයි. විභාග පැවැත්වීමෙන් පසුව එය තවදුරටත් දීර්ඝ කරන්න අවශ්‍ය නොවේවී. ඉන්පසුව සාමාන්‍ය පරිදි පාසල් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා
මුහුණු ආවරණ පැලඳීම
සියලුදෙනා මුහුණු ආවරණ පැලඳිය යුතුයි කියල සෞඛ්‍ය උපදෙස් ලබාදී තිබෙන නිසා සියලුදෙනා මුහුණු ආවරණ පැලඳීය යුතුයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරුවන් සියලුදෙනාට මුහුණු ආවරණ ලබාදීමට හැකියාවක් නැහැ. මේ සඳහා විශාල මුදලක් වැයවෙනවා. ඒ වගේම මුහුණු ආවරණ ලබාදීම සෞඛ්‍යාරක්ෂිතව කළ යුතුයි. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසුයි. මේ අවදානම සැලකිල්ලට ගනිමින් තමන්ගේ දරුවන්ට මුහුණු ආවරණ ලබාදීමට කටයුතු කරන ලෙස අපි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සඳහා උපකාර කරන්න කැමති අය ඉන්නවා නම් ඒ සඳහා අපිට උදව්කරන්න අවස්ථාව තිබෙනවා.
ඒ වගේම අත්සෝදන ද්‍රව්‍ය , ආදී සියල්ල අපි පාසල් වෙත දෙනවා. මුහුණු ආවරණ පමණයි අපි ලබානොදෙන්නේ.
දෙමාපියන්ට වචනයක්
ළමුන් පාසලට එවන විට ප්‍රවාහන පහසුකම් ලබාදීමේදීත් දෙමාපියන් සැලකිලිමත්වෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ප්‍රවාහන පහසුකම් ලබාදීමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුවිය යුතුයි. නිවසින් පිටතට පැමිණෙන දරුවා යළි නිවසට පැමිණෙන තුරු සෞඛ්‍යාරක්ෂිතව සිටීමට ඔවුන්ට උපදෙස් ලබාදෙන්න. දරුවන් රැකගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පමණක් කාර්යයක් නොවෙයි. එය අධ්‍යාපන බලධාරීන් වන අපගේත් , දෙමාපියන්ගේ වගේම මුළුමහත් සමාජයේම වගකීමක්. ඒ වගකීම අපි සැමදෙනාම ඉටුකරමු.