ඉවතලන කඩදාසි යොදා ලොවටම අත්කම් නිර්මාණ බෙදාහරින්න අපේක්ෂා කරනවා


වසර ගණනාවක් පුරා දෛනික පරිභෝජනයෙන් ඉවතලන බොහෝ දේ කිසිදු පරිසර ආරක්‍ෂණයකින් තොරව බැහැර කිරීම හේතුවෙන් නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ට ලාංකේය සමාජයට මුහුණ දීමට සිදුව තිබේ. එමෙන්ම එයට සාපේක්‍ෂව පරිසරයටද සිදු වූ හානිය නිමා කළ නොහැකිය. නමුත් පරිසරයට අහිතකර පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කිරීමත්, ඒ හා සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමත් නිසා බොහෝ අය දැන් දැන් පරිසර හිතකාමී දේ භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. 

ලාංකේය ව්‍යවසායකයන්ද දැන් දැන් පරිසර හිතකාමී මෙන්ම ඉවතලන දෙයට වටිනාකමක් එක්කරමින් තමන්ගේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයත් ශක්තිමත් කිරීමට දායක වීමේ වැඩි නැඹුරුවක් තිබේ. එවැනි වූ ව්‍යවසායකයෙකු ලෙස ඉවතලන පත්තරවලින් නිෂ්පාදන රැසක් සිදු කරන මහනුවර නෙළුම්පොකුණ ප්‍රදේශයේ ගයාන් සසංක මල්වත්තගේ හඳුන්වා දිය හැකිය. 

මහනුවර සරසවි උයන මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරු ඔහු ඉවතලන කඩදාසි, පත්තර ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් නොයෙක් නිෂ්පාදන රැසක් සිදුකරන ව්‍යවසායකයෙකි. ඔහු තම නිෂ්පාදන කටයුතු සඳහා වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ පරණ පත්තර, කඩදාසි ආදියයි. අත්කම් නිර්මාණ වශයෙන් සිදු කරන මෙම නිර්මාණ බොහෝමයක් සකස් කරන්නේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කර සකස් කර ගන්නා පල්පයක් භාවිතයෙනි. ඔහුගේ මේ අත්කම් නිර්මාණ සඳහා වැඩි දායකත්වයක් සපයන්නේ කාන්තාවන්ය. ඔහු මෙම කාන්තාවන් සඳහා අවශ්‍ය පුහුණුව මුලින් ලබා දෙන අතර, පසුව කාන්තාවන්ට තම නිවෙස්වලදී එම නිර්මාණ සිදු කිරීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ලබා දෙයි. කාන්තාවන්ගෙන්ද මේ සඳහා වැඩි වශයෙන් යොමු වී තිබෙන්නේ ගෘහණියන්ය. ඔවුහු සෑම නිර්මාණයක්ම තම නිවෙස්වලදී හිමිවන අතිරේක කාලසීමාවලදී සිදු කරති. මේ වන විට ඔහුගේ නිර්මාණ කාර්යය සඳහා කාන්තාවෝ 50කට ආසන්න සංඛ්‍යාවක් සිය සේවය ලබා දෙති. 

එක් දිනක පැමිණ අවශ්‍ය උපකරණ, ද්‍රව්‍ය සියල්ල රැගෙන යන කාන්තාවෝ එම කාර්යය සිදුකර අවසන් වූ විට එය නැවත ගයාන් මහතාට ලබා දෙති. ඔහු ප්‍රකාශ කරන පරිදි නිර්මාණ කාර්යය සඳහා අවශ්‍ය කඩදාසි, ඉවතලන පත්තර පල්පයක් හෝ වෙනයම් ආකාරයකට සකස් කිරීම වෙනමම කාර්යයකි. ප්‍රථමයෙන් පත්තර ගෙනැවිත් ඒවා කපා අවශ්‍ය අයුරින් සකස් කර කාන්තාවන්ට ලබා දෙයි. පත්තර බටයක් සේ ඔතා අවශ්‍ය නිර්මාණ සඳහා යොදා ගැනීම සිදු කරයි. මෙහි කාර්යයන් රැසක් අන්තර්ගත වේ. ඔහුට මේ පිළිබඳ ඇති දැනුම නිසා නියමිත පරිදි මානව සම්පත කළමනාකරණය කරමින් අවශ්‍ය නිෂ්පාදන කාර්යය සාර්ථකව කිරීමට ඔහු සමත් වේ. ඒ ඒ කාර්යයට ඒ ඒ පුද්ගලයන්ව ඔහු යොදාගනු ලබන්නේ ඔවුන් තුළ ඇති හැකියා, දක්‍ෂතා ඉවහල් කරගෙනය. ඒ ඒ කාන්තාවන්ගේ හැකියා, දක්‍ෂතා තේරුම් ගනිමින් සුදුසු කාර්යය ඔවුන් වෙත පැවරීම මේ අනුව සිදු කෙරේ. 

සාමාන්‍යයෙන් නිවසේ වැඩකටයුතු හා ස්වාමියා, දරුවන් ගෙදරින් බැහැර වූ අවස්ථාවක තමන්ගේ වැඩකටයුතු කර අවසන් වී ඉතිරි වන කාලය සඳහාද මූල්‍යමය වටිනාකමක් හිමිකර ගැනීමටත් ඔවුහු සමත් වෙති. එයින් අපතේ යන ඔවුන්ගේ කාලයටත් වැඩි වටිනාකමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, මූල්‍යමය වශයෙන් යම් ප්‍රාග්ධනයක් හිමිකර ගැනීමටද හැකියාව ලැබේ. ඔවුන්ගේ සෑම නිෂ්පාදනයක් සඳහාම සාධාරණ වූ ගෙවීමක් සිදු කිරීමට ගයාන් මහතා අමතක නොකරයි. 

අතීතයේ සිට පැමිණි මෙම නිර්මාණාත්මක කලාව අන්තර්ජාලය ඔස්සේ නොයෙක් වීඩියෝ තුළින් ප්‍රගුණ කර එයට තමන්ගේද අදහස් එකතු කර වඩාත් නිර්මාණාත්මක නිෂ්පාදන කිරීමට ඔහු සමත්ව තිබේ. ඒ ඒ කාර්යයන්ගේ පහසුව සඳහා ඒවාට උචිත උපකරණ ආදිය සකස් කිරීම ඔහුගේ නිර්මාණශීලීත්වය තවත් ඉස්මතු කරන්නකි. ඒ නිසා තවත් ඉක්මනින් හා පහසුවෙන් ඒ ඒ කාර්යයන් ඔහුට සිදුකර ගැනීමට හැකිව ඇත. ඇතැම් නිර්මාණ කරගෙන යන විට ප්‍රායෝගික ගැටලු මතුවන බැවින් හා එවැනි උපකරණ වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බැවින් ඔහු විසින්ම ඒවා නිර්මාණය කරගෙන තිබේ.
ඔහු මෙය වෘත්තියක් ලෙස ආරම්භ කර දැනට වසර දෙකක පමණ කාලයක් ගත වී තිබෙන අතර, නොයෙක් හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන සිය ව්‍යාපාරය මෙම ක්‍ෂේත්‍රයෙන් කරගෙන යෑමට කටයුතු කළ අයෙකි. මෙවැනි නිෂ්පාදන ලංකාවේ මහාපරිමාණ වශයෙන් සිදු වීම ඉතා අඩුය, නොමැති තරම්ය. එම නිසා අනෙක් පුද්ගලයන්ට වඩා වෙනස් වූ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් ඔහු මෙම ව්‍යාපාරය ආරම්භකර ඇත. ගයාන් මේ ව්‍යාපාරය දෙස බැලුවේ නවමු වූ මානයකිනි. පොලිතින් තහනම, පරිසර දූෂණය වැනි නොයෙක් කරුණු කාරණා නිසා නැවතත් ජනතාව පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතයට වැඩි නැඹුරුවක් දක්වති. ඒ නිසා එය වටිනාකමට ගත් ඔහු මේ ව්‍යාපාරය තව තවත් වර්ධනය කරමින් පවත්වාගෙන යෑම සඳහා කටයුතු කළේය. සෑම දෙයක්ම අද විදේශීකරණය වී හමාරය. කෘෂිකාර්මික රටක් වුවද, අප සහල් පවා ගෙනෙනුයේ විදේශ රටවලිනි. අපනයනයට එහා ගිය ආනයනයක් අපේ රටේ දැන් උද්ගතව තිබේ. පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න දෙන සෑම ක්‍රීඩා භාණ්ඩයක්ම පාහේ ගෙන එනුයේ විදේශීය රටවලිනි. ඒවායේ ප්‍රමිතිය, පිළිකාකාරක බව යනාදී කිසි දෙයක් පිළිබඳ අනුදැනුමකින් තොරව අප අපේ ළමයින්ට ඒවා සෙල්ලම් කිරීම සඳහා ලබා දෙයි. නමුත් දැනට වසර කිහිපයකට පෙර මේ තත්ත්වය උද්ගතව නොතිබිණි. ඉස්සර කැටපොල්ලක් සකස් කර සෙල්ලම් කළද, දැන් එම කැටපොල්ල පවා ගෙන්වන්නේ බොහෝ අවස්ථාවල විදේශ රටවලිනි. ඒ තරම් අපි විදේශීකරණය වී හමාරය. ඒ නිසා අපටම කියා සකස් කර ගත හැකි සුළු සුළු දේවල් පවා අප ආනයනය කරන්නේ වෙනත් රටවලිනි. ඒ ආකාරයෙන් වූ නොයෙක් හේතු කාරණා නිසා විදේශික භාණ්ඩ අපේ රටේ වැඩි වී ගොසින්ය. එවන් තත්ත්වයක දේශීය ආර්ථිකයට අපනයන ක්‍ෂේත්‍රයට සුළුවෙන් හෝ දායක වීමට මේ රටේ ව්‍යවසායකයන් ගන්නා උත්සාහය ගැන අප කෘතගුණ දැක්විය යුතුය. 

ගයාන්ට ඔහුගේම කියා ප්‍රදර්ශනාගාරයක් නොතිබුණද විදේශිකයන් පැමිණෙන අලෙවි සැල් කිහිපයකට ඔහු තම නිෂ්පාදන ගෙනගොස් දමයි. නුවර වෙළෙඳ සැලකට තම නිෂ්පාදන ගෙනගොස් බාරදෙන ඔහු අන්තර්ජාලය ඔස්සේද ස්වකීය නිෂ්පාදන අලෙවි කරයි. ඔහු වැඩි වශයෙන් අපනයන අංශයට වැඩි නැඹුරුවක් දක්වයි. ගයාන්ගේ මෙම පරිසර හිතකාමී නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි වන්නේ විදේශිකයන් අතරය. දේශීය පාරිභෝගිකයන් සිටිනුයේ අල්ප වශයෙනි. ඇතැම් දේශීය පාරිභෝගිකයන් වුවද, මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීමට යොමු වනුයේ එහි ඇති වටිනාකම හා අගය කිරීම මතය. මෙම නිෂ්පාදන සිදු කිරීම වෙහෙසකර ක්‍රියාවලියක් සේම කාලය වැය වන දෙයකි. එබැවින් සාමාන්‍ය නිෂ්පාදනයට වඩා මෙම නිෂ්පාදනවල මිල අධිකය. රුපියල් 20ට, 30කට ප්ලාස්ටික් වට්ටි ඕනෑතරම් වෙළෙඳ පොළේ මිලදී ගැනීමට තිබෙන බැවින් ඊට වඩා වැඩි මුදලක් ගෙවා මෙවැනි නිර්මාණ ගැනීමට  බොහෝ පිරිස් වැඩි කැමැත්තක් නොදක්වති. 

මෙම නිෂ්පාදන විදේශ රටවලට අපනයනය කිරීමට ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරන ගයාන්, දැනට ඉවතලන කඩදාසි හා පත්තරවලින් විවිධ ප්‍රමාණයේ %ටේබල් මැට්^ නිෂ්පාදනය කර තිබේ. එසේම එයින් අත්බෑග් නිෂ්පාදනය කරන ඔහු මේ දිනවල පුටුවක් පවා පත්තරවලින් නිර්මාණය කිරීම අප අගය කළ යුතුය. එය කලාවට කැමැති පරිසර හිතකාමී අදහස් හා එහි වටිනාකම දන්නා පාරිභෝගිකයන්ට නිෂ්පාදනය කරන පුටුසෙටියකි. තේ මේසය ඇතුළුව පුටු හතරක් එයට අයත් වේ. ශක්තිය පිළිබඳ සැකයක් ඇතිකර ගැනීමට මෙහි කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඔහු එය සකස් කරනුයේ යකඩ රාමුවක් පදනම් කරගෙනය. මෙහි ඇති තවත් සුවිශේෂීත්වය වන්නේ වතුර හෝ සෙදුම්කාරක යොදා පිරිසුදු කර භාවිත කිරීමේ හැකියාවක් තිබීමය. මෙය කිසිසේත් කෙටිකාලීන දෙයක් ලෙස සලකා බැහැර කිරීමට අපට නොහැකිය. මෙය දීර්ඝකාලීනව භාවිත කළ හැකි අතර, මෙම නිෂ්පාදනවලට අමතරව වට්ටි, කූඩ වැනි දේවල්ද ඔහු  නිෂ්පාදනය කරයි. 

ඔහුගේ ඉදිරි අභිප්‍රාය වනුයේ අපේ නිෂ්පාදන විදේශීය වෙළෙඳ පොළ දක්වා රැගෙන යෑමය. අපේ රටේ සුන්දරත්වය විඳ ගැනීමට හෝ නොයෙක් හේතු මත පැමිණෙන විදේශිකයන්ට තම මවුරටට ගෙන යන්න අපේ රටේ නිෂ්පාදනයක් තිළිණ කිරීමට ඒ තුළින් හැකියාව තිබේ. සැහැල්ලු හා රැගෙන යෑමේ පහසුව නිසා මෙය ඉතා වටිනා නිෂ්පාදනයකි. 
මෙවැනි නිෂ්පාදන සිදු කරන කාන්තාවන්ට වුවද මෙය ආර්ථික අතින් අත්පත් වන වාසියකි. මෙරට කාන්තාවන්ට නිවසේ තිබෙන වැඩකොටස් සිදුකර උදෑසන රැකියාවක් සඳහා යොමුවීම අපහසුය. එවැනි කාන්තාවන්ට තමන්ට වැඩකටයුතු නිමා කරමින් විවේකීව ගතකරන වේලාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට මෙය ඉතා වැදගත්ය. ඇතැම් කාන්තාවන්ට මෙය භාවනාවකි. මෙම නිර්මාණ සිදුකරන ඇතැම් පුද්ගලයන් රෝගී තත්ත්වයේ සිටින අය වෙයි. එවැනි පිරිසට මෙය ඉතා හොඳ රැකියාවක් ලෙස සිදු කළ හැකිය.

මෙරට මේ සම්බන්ධ තිබෙන වෙළෙඳ පොළ ඉතා අවම බැවින් පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් නොමැත. ඔහු ඉවතලන කඩදාසිවලින් පෑනක් හා පැන්සලක්ද නිෂ්පාදනය කරන නමුත් ඒවාට වෙළෙඳ පොළ තත්ත්වයක් තවම ගොඩනැගී නොමැති බැවින් ඒවා නිෂ්පාදනය කරනුයේ අඩු වශයෙනි. නමුත් මෙම නිෂ්පාදන සඳහා ඇනවුමක් පැමිණියහොත් එම අවශ්‍යතාවට සරිලන අයුරින් නිෂ්පාදනය කර පාරිභෝගිකයන්ට ලබා දීමට ගයාන් සූදානම්ය. ඔහු අලුතින් නිෂ්පාදනය කරන පුටුසෙටි වුවද ඕනෑම වර්ණයකින්, ඕනෑම හැඩයකින් සකස් කරගත හැකිය. මුල් කාලයේදී මේ සඳහා වෙළෙඳ පොළක් සකස් වී නොතිබූ බැවින් සැපයුමට සරිලන ඉල්ලුමක් නැති අඩුපාඩුව බරපතළ ලෙස දැනී තිබිණි. අනෙක් නිෂ්පාදනවලට සාපේක්‍ෂව මිල ගණන් වැඩි බැවින් මිනිසුන් මෙවැනි නිෂ්පාදන ගැනීමට යොමු වීමේ අඩු ප්‍රවණතාවක් ඇත. එබැවින් ව්‍යාපාර ආරම්භයේ සිටම ගැටලුකාරී තත්ත්වයක් මතු වූ නමුත් ඉදිරියේදී මෙම නිෂ්පාදනයන්ට අවශ්‍ය වෙළෙඳ පොළ සකස් කරගෙන යෑමට ඔහු අපේක්‍ෂා කරයි. ඒ සම්බන්ධයෙන් මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ඔහුට විශාල සහයෝගයක් ලැබී තිබේ. එමෙන්ම ඔහුගේ දරු දෙදෙනා හා බිරිඳ ඔහුට නොමද සහයෝගයක් ලබා දෙති.

ඔහු සියලු නිෂ්පාදන පරිසර හිතකාමී නිර්මාණ ලෙස සිදු කරන අතර, ඒ හරහා වැඩි වටිනාකමක් එම නිර්මාණවලට ලැබී තිබුණද ඒ පිළිබඳ සලකා මේ ගැන යොමුවන පිරිස් බොහෝ අවමය. නමුත් මේ වන විට ඒ සඳහා උචිත වෙළෙඳ පොළක් සකස් වන බැවින් මෙවැනි නිෂ්පාදන අවශ්‍ය අයෙකුට ඔවුන්ගේ අවශ්‍යතා පරිදි සකස් කර දෙමින් පරිසර හිතකාමී වටිනාකමක් ලබා දීමට ඔහු සූදානම්ය. ඒ සඳහා කැමැති අයෙක් වෙතොත් 075-5821822, 081 2387672 යන දුරකථන අංකය අමතා ඔහුගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

ෂෙහානි දිල්රුක්ෂිකා

 



Recommended Articles