ඉවතලන අපද්‍රව්‍ය භාවිතයෙන් ගෑස් නිෂ්පාදනයට අලුත් මඟක්


ලංකාව මේ වන විට උග්‍ර කසළ ගැටලුවකට මුහුණ දී තිබෙන බව නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. කසළ කඳු නායයෑම්, කසළ එකතු වීම දිනෙන් දින ඉහළ යෑම, කසළ බැහැර කර ගැනීමට නොහැකි වීම ආදී හේතු නිසා වසර කිහිපයක් මුළුල්ලේ සිටම අප මෙම කසළ ගැටලුවට මුහුණ දෙමින් පීඩාවට පත්ව සිටියි. විශේෂයෙන් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ තුළ දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය විශාල වන අතර, ඒවා පළාත් පාලන ආයතනවලින් රැගෙන ගොස් රඳවා ගැනීමටද නොහැකි තත්ත්වයක් අද වනවිට උදා වී තිබේ. මේ වනවිට බොහෝ ප්‍රදේශ තුළ විවිධ පුද්ගලයන්, සමිති, ආයතන මෙම කසළ ගැටලුවලින් සමාජය මුදවා ගැනීමට විවිධ ක්‍රියාවලීන් සිදුකරයි.

දෛනිකව ගෘහයක එකතු වන කසළ ප්‍රමාණය ඉතා විශාල වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් එකතුවන්නේ මුළුතැන්ගෙයි ඉවුම්පිහුම් කටයුතුවලිනි. එම අපද්‍රව්‍ය කසළ රැගෙන යන්නන් වෙත ලබාදීමේදී ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙයි. විශේෂයෙන් කසළ එකතු කිරීමේ රථ පැමිණෙන තෙක් එම අපද්‍රව්‍ය රඳවා තබා ගැනීමට නොහැකි වීම, අධික දුර්ගන්ධයක් නිකුත් වීම යනාදී කාරණා නිසා ගෘහණියන් විශාල අර්බුදයකට ලක්වෙයි. එමෙන්ම මේ වන විට ලංකාව තුළ දෛනිකව එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණයද දිනෙන් දින වැඩි වීම නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු රැසකට අදාළ රාජ්‍ය ආයතන මුහුණ දෙමින් සිටියි. 

මෙම කසළ ගැටලුව විසඳීමට විවිධ පුද්ගලයන් විසින් සිදුකරන ලද නිෂ්පාදන, පර්යේෂණ, අදහස් ආදිය පිළිබඳව විටින් විට ඔබට ගෙන එන්නේද එමගින් නිවසෙහි එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන නිසාය. නිවසෙහි එකතු වන දිරාපත් වන අපද්‍රව්‍ය තුළින් විවිධ ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි නිෂ්පාදනයක් පිළිබඳව මෙවරද විස්තර ගෙන ඒමට අප සිතුවේ එබැවිනි. 

දෛනිකව නිවසෙහි එකතු වන අපද්‍රව්‍ය යොදා ගනිමින් නිවසට අවශ්‍ය ගෑස් ප්‍රමාණය නිවස තුළදීම නිපදවා ගැනීමට හැකියාවක් පවතී නම් ඉන් ඔබට මාසිකව ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වැය වන මුදලද ඉතිරි කරගත හැකිය. එමගින් මූල්‍යමය තත්ත්වයෙන් ඉතිරියක්ද, පරිසරයට විශාල සේවයක්ද සිදුවේ. එවැනි උපාංගයක් නිර්මාණය කළ නව නිපැයුම්කරුවෙකු අපට හමු විය. මෙම උපාංගය %ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකය^ නමින් හැඳින්වෙන අතර, නව නිපැයුම්කරුවකු වන ශ්‍රීමාල් තිසේරා මහතාගේ වසර හයකට අධික පර්යේෂණ රැසක ප්‍රතිඵලයක් ලෙස මෙම උපාංගය නිර්මාණය වී තිබේ. මෙම %ගෑස් උත්පාදන උපාංගය^ සඳහා ශ්‍රීමාල් තිසේරා මහතා පේටන්ට් බලපත්‍රයද ලබාගෙන තිබේ. වර්තමානයේ මෙහි නිෂ්පාදන කටයුතු සහ බෙදාහැරීමේ කටයුතු ශ්‍රීමාල් තිසේරා මහතා විසින් %ආර්පිකෝ^ පෞද්ගලික සමාගමට පවරා තිබේ. 

මෙම උපාංගය වර්තමානයේදී නාගරිකව ජීවත් වන නිවැසියන්ට බොහෝසෙයින් වැදගත් වේ. විශේෂයෙන් කුඩා ඉඩ ප්‍රමාණයක ජීවත් වන ජනයාට දෛනික කසළ, අපද්‍රව්‍ය බැහැර කිරීමට නොහැකි තත්ත්වයක් අද වන විට උද්ගත වී තිබේ. එම ගැටලුවට සාර්ථක සහ ප්‍රායෝගික විසඳුම මෙය බව ශ්‍රීමාල් තිසේරා මහතා අප හා පැවසීය. සාමාන්‍යයෙන් එක් නිවසක දිනකදී ඉඳුල් අපද්‍රව්‍ය කිලෝ තුනක් - හතරක් අතර ප්‍රමාණයක් එකතු වන අතර එම ප්‍රමාණයම මෙම ගෑස් උත්පාදන පද්ධතියට එකතු කළ හැකිය. ඉඳුල්, තේ කුඩු, පොල්කුඩු ඇතුළු පහසුවෙන් දිරාපත් වන ඕනෑම අපද්‍රව්‍යයක් මෙයට එක් කළ හැකි අතර එම එකතු වන අපද්‍රව්‍ය ජලය සමග කලවම් වීමෙන් මෙහි ගෑස් නිෂ්පාදනය වෙයි. 

රට තුළ කසළ ගැටලුව දිනෙන් දින ඉහළ යන අතර, අප විසින් නිවස තුළින්ම කසළ එකතුවීම අවම කරගත යුතුය. නැතහොත් එකතු වන කසළ නිවස තුළදීම දහනය කරගත යුතුය. එමගින් රටෙහි උද්ගත වී ඇති කසළ බැහැර කිරීමේ ගැටලුවට යම් සහනයක් ලැබෙන අතර, මෙම උපාංගය මගින් එය සැලකිය යුතු මට්ටමකට සිදුකර ගත හැකි බවද ශ්‍රීමාල් මහතාගේ අදහසයි. 
ගෑස් නිෂ්පාදනයට අමතරව මෙම උපාංගයෙන් සක්‍රිය කාබනික දියර පොහොර නිෂ්පාදනයද ස්වයංක්‍රීයව සිදුවෙයි. ගෑස් නිෂ්පාදනයෙහි අතුරු ඵලයක් වන මෙම %දියර පොහොර නිෂ්පාදනය^ පිළිබඳව මෙහි නිර්මාතෘ ශ්‍රීමාල් තිසේරා මහතා මෙලෙස අදහස් එක් කළේය. 

අද අපි ආහාරයට ගන්නේ සම්පූර්ණයෙන්ම වස විස පිරුණු ආහාර. අපට කාබනික එළවළු පලතුරු වෙ‍ෙළඳපොළෙන්වත් ලබාගන්න බැහැ. ඒ නිසා අපි ඉක්මනින් ලෙඩ වෙනවා. අපිට ගෙදරදීම ආහාර වේලක් සඳහා අවශ්‍ය එළවළු, පලතුරු ටික වවාගන්න අවශ්‍ය පොහොර නොමිලේම ලැබෙනවා නම් ඒක හොඳ දෙයක්. මේ ගෑස් නිෂ්පාදනයෙන් ලැබෙන අතුරු ඵලයක් තමයි කාබනික දියර පොහොර නිෂ්පාදනය. එක ගලකින් කුරුල්ලො දෙතුන් දෙනෙක්ට විඳින්න පුළුවන් විදිහට තමයි මම මේක නිර්මාණය කළේ. අපි නිරෝගීව ජීවත් වෙන්න වස විස නැති ආහාර පරිභෝජනය කරන්න ඕනේ. මේ උපාංගයෙන් කිසිම දෙයක් අපතේ යන්නෙ නැහැ. නිවසේ එකතු වන කුණු ටික මේ ටැංකිය ඇතුළට දානවා. ඊට පස්සේ ඒකෙන් අපිට උයන්න අවශ්‍ය ගෑස් ටික ලැබෙනවා. ඒ ඉතිරි වන ටිකෙන් පොහොර ලැබෙනවා.

ආර්පිකෝ පෞද්ගලික සමාගම මෙහි බෙදාහැරීම් කටයුතු මේ වනවිට සිදුකරන අතර, මෙම උපාංගය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. මෙහි පහළ කොටසෙහි කසළ පැසවීම සිදුවන අතර, නිපදවන ගෑස් ටැංකියෙහි ඉහළ කොටසෙහි තැන්පත් වී ඉන් ගෑස් උදුන වෙත සවිකර ඇති නළය ඔස්සේ ගෑස් පිටවීම සිදුවේ. 

මෙම උපාංගය මුළුතැන්ගෙට ආසන්නයෙහි ඉතා කුඩා ඉඩක පහසුවෙන් රඳවා ගැනීමට හැකිවේ. මෙම ග්‍රීන් ගෑස් පද්ධතිය ප්‍රමාණ කිහිපයකටම වෙළඳපොළෙහි ඇති අතර, සාමාන්‍ය නිවසකට ලීටර් පන්සියයේ ප්‍රමාණයේ ටැංකියක් ප්‍රමාණවත්ය. තවද හෝටල්, රෝහල්, පාසල්, කර්මාන්තශාලා ආදී විවිධ ආයතනවලට ඔවුන්ගේ දෛනික ගෑස් අවශ්‍යතාව මත විශාල ප්‍රමාණයේ ටැංකිද වෙළෙඳපොළෙහි ඇති බව ශ්‍රීමාල් මහතා පවසයි. මෙම උපාංගය සවිකර ගැනීම සහ ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳව උපදෙස් පත්‍රිකාවක් ආර්පිකෝ ආයතනයෙන්ම ලබාදෙන අතර, සවිකර ගැනීමෙන් අනතුරුව අපද්‍රව්‍ය කළ පසු ගෑස් උත්පාදන ක්‍රියාවලිය ඉතා කාර්යක්ෂමව සිදුවේ. තවද මෙම ජෛව ගෑස් බලාගාරය දිගු කල් පවතින බවත්, මෙම උපාංගය මිලදී ගැනීමට වැය වන පිරිවැය එක් වසරක් ඇතුළත ඉතිරි කරගත හැකි බවත් මෙහි නිර්මාණකරුවා පවසයි. මූල්‍යමය තත්ත්වය, ආර්ථිකය සහ නිරෝගීභාවය තුළින් සැවොම දියුණු විය යුතු බැවින් ඒ සඳහා අප උපයන ආදායම ඉහළට ගෙනයාම වෙනුවට වියදම අඩුකර ගැනීම වඩාත් පහසු බවත් ඔහු පවසයි. සාමාන්‍ය නිවසක භාවිතයට අවශ්‍ය වන ලීටර් පන්සියයේ ටැංකියකට මුළුතැන්ගෙට යාබදව අඩි තුනක පමණ බිම්කඩක් ප්‍රමාණවත් වේ. මෙහි කිසිවිටෙකත් ගෑස් කාන්දු වීමක් සිදුනොවන අතර, ජීව වායු නිපදවන නිසා එය සිරුරට අහිතකර නොවේ. පහසුවෙන් නඩත්තු කළ හැකි මෙම උපාංගය පහසුවෙන් ගලවා ඇතුළත කොටස් අලුත්වැඩියා කිරීමටද හැකි වේ. 

පරිසර දූෂණයෙන් තොර හා පරිසර හිතකාමී ජීව වායු බලාගාරයක් ලෙස මෙය හැඳින්විය හැකි බව ශ්‍රීමාල් තිසේරා මහතා පවසයි. සම්පූර්ණයෙන්ම දේශීය අමුද්‍රව්‍ය සහ ස්වාභාවික තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති මෙම ග්‍රීන් ගෑස් උපාංගය ලංකාවේ ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන බවද ඔහු පවසයි. සිය වසර හයක පර්යේෂණයන් තුළ විවිධ අවස්ථාවලදී අසාර්ථක වූ බවත්, එම අසාර්ථකත්වය තුළින්ම සාර්ථකත්වයට පැමිණි බවත්, සිය දැනුම ලබාගත්තේද මෙම අත්හදාබැලීම් තුළින්ම බවත් හෙතෙම පවසයි. නව නිපැයුම්කරුවෙකු ලෙස පරිසර හිතකාමී නිර්මාණ මෙන්ම මිනිසාට දෛනික කාර්යයන් සඳහා නිපැයුම්, රටෙහි පවතින ගැටලුවලට පිළියම් රැසක්ම තමා විසින් නිර්මාණය කර ඇති බවත් ඉන් බොහෝ නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍රද ලබාගෙන තිබෙන බවත් ඔහු පවසයි. ශ්‍රීමාල් තිසේරා මහතා පවසන්නේ මෙම සියලු නිර්මාණ තමන්ගේ නොව අපේ නිර්මාණ බවයි. %අපි එකට එකතු වී අපේ ප්‍රශ්නවලට පිළියම් සෙවිය යුතු බව^ ඔහුගේ අදහසයි. 

කැළුම් දේවින්ද



Recommended Articles