ඉන්දු-පාකිස්තාන සාමය වෙනුවෙන් පෙනී සිටි ශාස්ත්‍රී ඝාතනය කළේද?


සෝවියට් වාර්තාවලට අනුව නේරුගේ කොංග්‍රස් පක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රමුඛ වාමාංශික සඟයෙකු සහ නේරුගේ සමීප උපදේශකයෙකු ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණ මෙනන් කෙරෙහි කේජීබිය දැඩි අවධානයක් යොමු කර ඇත. ඔහු ලන්ඩනයේ ඉන්දීය මහකොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිතයා ලෙස කටයුතු කිරීමෙන් පසු 1957දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත්විය.

මෙනන් ගැන සෝවියට් සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය අන්ද්‍රේයි ග්‍රෝමිකෝ වරක් මෙසේ සඳහන් කළේය, &මෙනන් කියන්නේ සෝවියට් සංගමයේ පෞද්ගලික මිත්‍රයෙක්. ඔහු ඉන්දියානු ජනතාව යටත් විජිතවාදීන් විසින් සූරාකෑ ආකාරය ගැන සහ ඉන්දියානුවන් ඔවුන් කෙරෙහි ඇති වෛරය ගැන උස් හඬින් කතා කරන්නේය.* මේ නිසා නේරුගෙන් පසු බලය ලබා ගැනීම සඳහා මෙනන්ට සහාය ලබා දීමට 1962 මැයි මාසයේදී සෝවියට් සංගමය නිල වශයෙන් තීන්දු කර ඉන්දියාවේ කේජීබි මෙහෙයුම් තවත් වර්ධනය කළේය. එසේම මෙනන් ආරක්ෂක අමාත්‍යාංශය පාලනය කළ සමයේදී ඉන්දියාවේ ප්‍රධාන ආයුධ ආනයන මූලාශ්‍රය බවට බටහිර වෙළෙඳපොළ අභිභවා සෝවියට් සංගමය පත්විය.

කෙසේ වෙතත් 1962 ඔක්තෝම්බර් මාසයේදී චීනය ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසු ඇති වූ ඉන්දු-චීන යුද්ධය නිසා මෙනන්ගේ වෘත්තීය දේශපාලන ජීවිතය කඩාකප්පල් විය. ඉන්දියාවට එරෙහි චීන ප්‍රහාරය ආසන්න වන තුරුම ආක්‍රමණයේ ස්වභාවය ගැන බැරෑරුම් ලෙස සැලකීමට අපොහොසත් වූ මෙනන් 1962 ඔක්තෝබර් මාසයේදී අකමැත්තෙන් වුවද ධුරයෙන් නෙරපා හැරීමට නේරු කටයුතු කළේය.

කෙසේ නමුත් 1967 මැතිවරණය සඳහා කොන්ග්‍රසයෙන් නාමයෝජනා ලබාදෙනු ඇතැයි ඔහු විශ්වාස කළද එය සාර්ථක නොවූ හෙයින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත්විය. එහෙත් එය අසාර්ථක වෑයමක් විය. ඉන් වසර දෙකකට පසු ඉන්දීය කොමියුනිස්ට්වාදීන්ගේ සහාය ඇතිව ඔහු බටහිර බෙංගාලයෙන් ස්වාධීනව තේරී පත් විය. නමුත් ඒ වනවිට මෙනන් දේශපාලනික වශයෙන් වියැකෙමින් සිටි චරිතයක් විය.

මෙනන්ගේ දේශපාලනය දිරා ගොස් තිබූ හෙයින් 1964 මැයි මාසයේදී නේරුගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස කරළියට ගෙන ඒමට උත්සාහ කළ මොස්කව් පරිපාලනයේ අපේක්ෂකයා වූයේ ස්වදේශ කටයුතු අමාත්‍ය සහ කැබිනට් මණ්ඩලයේ අංක දෙක වූ ගුල්සාරිලාල් නන්දයි. කේජීබි දිල්ලි කාර්යාලයට ඔහුගේ අපේක්ෂකත්වය ඉදිරියට ගෙන යෑම සඳහා හැකි සෑම දෙයක්ම කරන ලෙස නියෝග ලැබුණු අතර, ඔහු අසාර්ථක වුවහොත් නේරුගේ සමීපතම සඟයෙකු වූ ලාල් බහදූර් ශාස්ත්‍රි වෙත සහයෝගය ලබාදෙන ලෙස නියෝග ලැබුණු බව කේජීබි වාර්තා පෙන්වා දෙන්නේය. එහෙත් කෙජීබි නියෝජිතයන් නන්ද හෝ ශාස්ත්‍රි සමග ඍජු සම්බන්ධකම් පැවැත්වූ බව ඔප්පු කරන සාක්ෂි කිසිවක් ප්‍රසිද්ධ වී ඇති කේජීබි වාර්තාවල නැත.

කෙසේ වෙතත් ඔවුහු දෙදෙනාට සහාය දැක්වීම සඳහා සෝවියට් සංගමයට පොදු හේතුවක් තිබුණි. එනම් උදෑසන අවදි වී තමන්ගේම මුත්‍රා කෝප්පයකට දමා පානය කිරීමෙන් දවස ආරම්භ කිරීමට පුරුදු වී සිටි හින්දු සම්ප්‍රදායිකවාදියෙකු වූ මොරාජි දේසායි නේරුගේ අනුප්‍රපාප්තිකයා වීම කෙසේ හෝ වැළැක්වීමය. ( උදෑසන අවදිවී තමන්ගේම මුත්‍රා පානය කිරීමෙන් දවස ආරම්භ කිරීම පුරාණ ඉන්දියානු වෛද්‍ය නිබන්ධනවල ප්‍රශංසා කරන ලද පිළිවෙතක් බව සඳහන් වී ඇති අතර, එම පිළිවෙත ඉන්දියානු සමාජයේ ඇතැම් පිරිස් අනුගමනය කර ඇත.) නේරුගේ අනුප්‍රාප්තිකයා වීමේ තරගයෙන් අකමැත්තෙන් හෝ ඉවත් වීමට දේසායි පොලඹවා ගැනීමෙන් පසුව, කොන්ග්‍රසයේ ඒකමතික කැමැත්ත ඇතිව ශාස්ත්‍රි අගමැති විය. ශාස්ත්‍රි ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් ඇතිවීම ගැන ඉතාම කනගාටුවට පත්වූ නායකයෙකු විය. දෙපාර්ශ්වය අතර පැවැති විරසකය සාමකාමීව විසඳීම සඳහා ඔහු හැකි උපරිම උත්සාහය ගත්තේය.

&සටන් නොකිරීමට මගේ වුවමනාව දුර්වලකමේ ලක්ෂණයක් ලෙස පාකිස්තානය වරදවා වටහා ගත්තා. මම කවදාවත් යුද්ධයට යන්නේ නැහැ කියලා හිතලා ඔවුන් උත්සාහ කළේ කාශ්මීරයෙන් අනවශ්‍ය වාසි ලබා ගැනීමට. ඔවුන් එසේ කරන විට, ඉන්දියාව සමග යහපත් හා සාමකාමී සම්බන්ධතා ගැන පාකිස්තානය අවංක නැති බව මට තේරුම් ගියා. ඒ අනුව මට කටයුතු කිරීමට සිදුවුණා" යනුවෙන් ඉන්දු පාකිස්තාන යුද්ධය ගැන ශාස්ත්‍රි තමන්ට ප්‍රකාශ කළ බව කුල්දිප් නයාර් තම චරිතාපදානයේ සඳහන් කර ඇත. නිදහස් ඉන්දියාවේ දෙවැනි අගමැතිවරයා වූ ශාස්ත්‍රිගේ දේශපාලනය ඉතාම ආන්දෝලනාත්මක එකකි.

1965 අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පාකිස්තානය සහ ඉන්දියාව අතර දින 17ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කරමින්, අගමැති ශාස්ත්‍රී සහ පාකිස්තානයේ ජනාධිපති අයුබ් ඛාන් විසින් දෙපාර්ශ්වය අතර සාමය උදෙසා වූ ප්‍රකට ටශ්කෙන්ට් සාම ගිවිසුම අත්සන් කරනු ලැබීය. ඒ 1965 සැප්තැම්බර් 22වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් සහතික කිරීමෙන් මාස කිහිපයකට පසුය. සෝවියට් සංගමයේ මැදිහත්වීමෙන් අත්සන් කරනු ලැබූ ගිවිසුමෙන් පැය කිහිපයකට පසු ඉන්දීය අගමැති ශාස්ත්‍රි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්විය. එම මරණය හා බැඳුනු සිදුවීම් රාශියක් අදටත් අභිරහසක්ව පවතී. ඔහුගේ පුත්‍රයෙකු වූ අනිල් ශාස්ත්‍රී, දෙපාර්ශ්වය අතර සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා ටශ්කෙන්ට් නුවරට ගිය අගමැති ශාස්ත්‍රිට සෝවියට් සංගමය විසින් පිළියෙළ කර තිබූ වාසස්ථානය නගරයෙන් කිලෝමීටර් පහළොවක පමණ දුරකින් පිහිටි බවත්, ඔහු සමග ගමන්ගත් පිරිස වෙනුවට ඔහුගේ ආරක්ෂාවට වෙනත් පිරිසක් යෙදූ බවත්, අගමැතිවරයා නැවතී සිටි කාමරයට කිසිම සන්නිවේදන පහසුකමක් නොතිබූ බවත් කියන්නේය. එසේම හෘදයාබාධයකින් මියගිය අගමැතිවරයාගේ මුහුණ නිල්පැහැති වීම සහ මුහුණේ සුදුපාට බිබිලි මතුවීම සැකසහිත බව ඔහු සඳහන් කර ඇත.

අදාළ මරණය විමර්ශනය කිරීම සඳහා රාජ් නාරේන් කමිටුව 1977දී පත් කරනු ලැබීය. කමිටුව ඉදිරියේ සාක්ෂි දීම සඳහා පැමිණෙමින් සිටි අගමැති ශාස්ත්‍රිගේ ප්‍රධාන වෛද්‍යවරයා වූ ආර්.එන්.චුග් සහ ඔහුගේ පෞද්ගලික සේවක රාම් නාත් රිය අනතුරුවලට ලක්වූහ. ඔවුන් දෙදෙනා ශාස්ත්‍රි සමග ටශ්කෙන්ට් සාම ගිවිසුම අත්සන් කිරීමේ සංචාරයට එක්වූ දෙදෙනෙකි. වෛද්‍යවරයා අනතුර සිදුවූ ස්ථානයේදීම මියගියඅතරරාම්නාත් සාක්ෂි දීම සඳහා පාර්ලිමේන්තුවට යමින් සිටි අවස්ථාවේදී අනතුරට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබීම හේතුවෙන් මතකය අහිමිවිය. සාක්ෂිදීමට පෙර ඔහු ශාස්ත්‍රිගේ වැන්දඹු බිරිඳ බැලීමට ගොස්&මම මේ බර උසුලාගෙන ගොඩක් කල් හිටියා. මම එය අද හෙළිදරව් කරනවා*යැයි පවසමින් සාක්ෂිදීම සඳහා පාර්ලිමේන්තුව බලා ගමන්කළ බව සඳහන් වේ.

රාජ් නාරේන් කමිටුවට තම විමර්ශනය අවසන් කිරීමෙන් පසු සකස් කළ කමිටු වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලීම් රාශියක් ඉදිරිපත් වුණත් එය අදටත් සිදු වී නැත. අදාළ වාර්තාව පරිශීලනය කිරීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ පුස්තකාලයේවත් දක්නට නැත. ලෝකබලවතුන් දෙදෙනකු නිර්දය ලෙස අනෙකුත් රටවල්වල බලය අත්පත්කර ගැනීම සඳහා සීතල යුද්ධයක නිරතවී සිටිඅවධියක සිදුවූ ශාස්ත්‍රිගේ මරණය යම්කිසිවෙකු සිතා මතා කළ ඝාතනයක් බවට නැගෙන චෝදනාවට නිවැරදි පිළිතුරු දීමට ඔහුගේ මරණය සිදුවූ අවස්ථාවේ සිටි කිසිම බලධාරියෙකු හෝ ඔහුගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකර අවසන් කටයුතු සිදුකළ ඉන්දීය බලධාරීන් කිසිවෙකු තවමත් සමත්වී නැත.

අගමැතිවරයාගේ මෙම අවාසනාවන්ත මරණය අයෙක් සී.අයි.ඒ. ගිණුමට බැරකරන අතර, තවත්අයෙකු ඉන්දියාවේ ඉහළපෙළේ පවුලක් විසින් කළ ඉල්ලීමක් ප්‍රකාරව කේජීබි අගමැතිවරයාගේ ආහාරවලට වසදීමෙන් සිදුකළ ඝාතනයක්  බව සඳහන් කර ඇත. නමුත් ඒ කිසිම චෝදනාවකට පිළිගත හැකි සාක්‍ෂි කිසිවක් නොමැත. අවාසනාවන්ත කාරණය වූයේ ඒ ගැන විමර්ශනය කළ කොමිසමද තම වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමට වගබලා ගැනීමය. නේතාජි සුභාෂ්චන්ද්‍ර බෝස්ගේ මරණයමෙන්, ලාල් බහදූර් ශාස්ත්‍රිගේ මරණයද ඉතිහාසයේ නොවිසිඳුණු එහෙත් සෑම විටම අවධානය යොමුවන සිදුවීම බවට පත්වී හමාරය. මේ නිසා එය කුමන්ත්‍රණ න්‍යායන් රාශියක් අතර පැටලී ඇති දේශපාලනඥයෙකුගේ මරණයක් බවට පත්වී ඇත.

කෙසේ වෙතත්, 1966 ජනවාරි මාසයේදී ශාස්ත්‍රිගේ හදිසි මරණයෙන් පසුව, කොන්ග්‍රස් නායකයන්ගේ කණ්ඩායම කේජීබිය විසින් වැනෝ නම් ඛේත නාමයෙන් හඳුන්වනු ලැබූනේ රුගේ රූමත්දියණිය වන ඉන්දිරා ගාන්ධි නායකත්වයට පත් කරනු ලැබීය.

ඉන්දිරා ගාන්ධි සමගKGBහි පළමු දිගුකාලීන සබඳතාව ඇති වූයේ 1953දී ස්ටාලින්ගේ මරණයෙන් මාස කිහිපයකට පසු ඇය සිදුකළ පළමු සෝවියට් සංචාරයේදීය. එය ඇයට මෙන්ම සෝවියට් පරිපාලනයට ඉතාම සාර්ථක සංචාරයක් විය. සෝවියට් සංගමය තම බුද්ධි සේවයේ කටයුතු කළ කඩවසම් තරුණයන් ඇගේ ආරක්ෂාවට යෙදූ අතර, ඇයට කළු මුහුද ඇතුළු ප්‍රදේශ කිහිපයක සාර්ථක නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලම ලබා දුන්නේය.සංචාරයයෙදී ඇතිවූ පෞද්ගලික ගනුදෙනු ගැන සඳහන් නොකළත් ජීවිතයේ ලැබූ අමතක නොවන අත්දැකීම් රාශියක් තමන්ට විඳීමට හැකි වූ බව ඉන්දිරා පසුව තම පියාණන් වූ නේරුට යවනු ලැබූ ලිපියක සඳහන් කිරීමට අමතක නොකළාය.

කෙසේ වෙතත් ශාස්ත්‍රිගෙන් පසු කොංග්‍රසයේ බලය හිමිකර ගැනීමට ඉන්දිරා ගාන්ධි සමත් වුවද ඇයට දේශපාලනික වශයෙන් කැළඹීම් රාශියකට මුහුණදීමට සිදුවූවාය. පක්ෂය තුළ අභ්‍යන්තර කුලල්කා ගැනීම් බහුල විය. ඇතැම් සමාජවාදී දේශපාලනඥයන් ඉන්දිරා පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔලොක්කුවට මෙන් පටබැඳී නාමය වූයේ ගොළු බෝනික්කා (ඩම්ප් ඩෝල්) පාර්ලිමේන්තු එනවා යැයි කියාය. එහෙත් 60 දශකය අගභාගය වන විට ඉන්දිරා කලාපයේ ප්‍රමුඛ දේශපාලන චරිතයක් බවට පත්වී සිටියාය. කලාපයේ අනෙකුත් රටවල බොහෝ දේශපාලන තීන්දු තීරණ ගැනීම සිදුවූයේ ඇගේ නිර්දේශයට මූලික තැන ලබා දෙමිනි. ඒ සඳහා සෝවියට් සංගමය ඇයට අගේ සෙවණැල්ල මෙන් සහයෝගය ලබාදුන්නේය. එසේම කලාපයේ රටවල කටයුතු සඳහා තම කේවල් කිරීමේ බලය වැඩි කිරීම සඳහා බුද්ධි අංශය පුළුල් කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමටද ඇය විශාල පරිශ්‍රමයක් දැරීය.  

ඉන්දීය බුද්ධි සේවයේ (අයි.බී.) බාහිර බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රමේෂ්වර් නාත් කාඕ ( ආර්.එන්. කාඕ), 1968 සැප්තැම්බර් 21වැනිදා ඇතිකළ රෝ සංවිධානයේ සමාරම්භක ප්‍රධානියා ලෙස ඉන්දිරා ගාන්ධි විසින් පත් කරනු ලැබුවේ එහි මූලික පියවරක් වශයෙනි. එය පිහිටුවීමෙන් පසු පළමු මාස කිහිපය තුළ ඔහු තම ආයතනයට ප්‍රමුඛතා දෙකක් ලබා දුන්නේය. පළමුව, පාකිස්තානය සහ චීනය පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීම විය. දෙවනුවනැගෙනහිර පාකිස්තානයේ රහසිගත ක්‍රියාමාර්ග සඳහා එහි හැකියාව ශක්තිමත් කිරීමය.

1971 මාර්තු මාසයේදී නැගෙනහිර පාකිස්තානයේ ජනතාව පාකිස්තාන ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම ආරම්භ කරන විට රෝ සංවිධානයේ වයස අවුරුදු දෙක හමාරකි. බාහිර බුද්ධි ආයතනයක් ලෙස එය තම වපසරිය මැන බලමින්, දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්පත් ඒකරාශී කරගනිමින් සිටි ප්‍රථමික අවධිය විය. ස්වාධීන රටක් ලෙස බංග්ලාදේශය ස්ථාපිත කිරීම වෙනුවෙන් සටන් කරන බෙංගාලි ජාතිකයන්ගේ අරගලය වෙනුවෙන් ආයතනයට පැවරුණු වගකීම පළමු බරපතළ මෙහෙයුම විය. නමුත් අඩුවෙන් කතා කරන රෑ දහවල් නොබලා ඉන්දියාවේ අවශ්‍යතාවන් වෙනුවෙන් තම රාජකාරිය ඉටු කිරීමට දක්‍ෂ පුද්ගලයෙකු වූ රාම් ජී ලෙස බොහෝ දෙනෙකු හඳුන්වනු ලැබූ ආර්.එන්. කාඕට ඒ සඳහා නිවැරදි ක්‍රමෝපායික වැඩපිළිවෙළක් තිබුණි. බංග්ලාදේශය නිර්මාණය කිරීමේදී ඉන්දීයාවේ ප්‍රධාන බුද්ධි අංශය වන පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ (රෝ) කටයුතු විමසා බැලීම වැදගත් වන්නේ ඒ නිසාය.

ටශ්කෙන්ට්ම සාමගිවිසුම අත්සන් කිරීමෙන් පැය කිහිපයකට පසු ඉන්දීය අගමැති ශාස්ත්‍රී හෘදයාබාධයකින් මියගියබව සඳහන් කළ නමුත් ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉන්දියාවේදී හෝසෝවියට සංගමයේදී සිදු නොවීය. දේහය ඉන්දියාවට රැගෙන ඒමෙන් පසු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් ගරුබුහුමන් දැක්වූ අවස්ථාව

නවවැනි කොටස හෙට...

සටහන - නිලන්ත ඉලංගමුව



Recommended Articles