ඉන්දීය හොඳ හිත පළුඳු කර ගැනීම


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ඉන්දියාවේ %රෝ^ ඔත්තු සේවය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. පසුගිය සතියේදී පැවැති කැබිනට් හමුවේදී තමන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාවේ %රෝ^ ඔත්තු සේවය සැලසුම් කරන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවා එය නොදන්නා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව මුලින්ම වාර්තා කළේ ඉන්දියාවේ %‘ද හින්දු’ පුවත්පතයි.
මෙම පුවත අසත්‍ය බවට කැබිනට් ලේකම් කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදන නිකුත් කළ අතර, ඒ නිවේදන තුනද පරස්පර විය. පසුව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම පුවත වාර්තා කළ පසුගිය බදාදා දින පස්වරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග දුරකථන සංවාදයකට එක්වූ බවත්, දෙරට හොඳ හිත නැවත ඇතිකර ගත් බවත්ය.

මෙම පුවත සැලවීමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තර්ංජිත් සිංදු මහතාද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී එහි සත්‍ය, අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් ඒ සියල්ල සිදු වූයේ ඉන්දු - ලංකා මිත්‍රත්වය ගැටලුවකට පත්කරමිනි.

මේ අතර %ද හින්දු^ ප්‍රකාශ සමූහයේ සභාපති එන්. රාම් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ, තම පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය පළකළ අතිශය නිවැරදි වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බවයි. එම වාර්තාකාරිනියද සඳහන් කළේ තමන් අදාළ පුවත පාර්ශ්ව කිහිපයකින්ම තහවුරු කර ගත් බවයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තුකරුවන් සිවුදෙනෙකු සිටින බවත්, ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන බවත්ය. මෙයද ඉතා බරපතළ ප්‍රකාශයකි. මන්දයත් ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කර නොමැති බවට පවසන අවස්ථාවේදී ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු තම කැබිනට් මණ්ඩලයේ %රෝ^ ඔත්තු සේවයට සම්බන්ධ අමාත්‍යවරුන් සිටින බවට ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජනපතිවරයා එවැනි ප්‍රකාශයක් කළ බවට වක්‍රාකාරයෙන් තහවුරු කිරීමකි.

මෙම කැබිනට් හමුවේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර මතගැටුමක් ඇතිවී තිබූ බවද මාධ්‍ය වාර්තා කළේය. 

එවැනි තත්ත්වයක් පවතිද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී ඉන්දීය නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අත්සන් කළ හවුල් ව්‍යාපාර ගිවිසුම් ක්‍රියාත්මක නොවීම ගැන තමන් කනගාටු වන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ බවයි.
මෙයින් අග්‍රාමාත්‍යවරයා වක්‍රාකාරව පවසන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවට ලබාදිය යුතු බවයි. අනෙක් අතින් මෙය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදු වූ අභ්‍යන්තර සාකච්ඡාවකි. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම හරහා අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම වටී.

කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ හමුව සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක එවැනි කිසිවක් සඳහන් නොවූ අතර, ඔවුන් සඳහන් කළේ එම හමුව සාර්ථකව අවසන් වූ බවත්, දෙරට අතර සබඳතා තවදුරටත් සාර්ථක වූ බවත්ය.

මේ කාරණා දෙකෙන් පැහැදිලි වන පොදු කරුණු කිහිපයක් පවතී. එකක් නම්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පවතින මතගැටුම මේ වනවිට ඉතා උග්‍ර අතට පත්ව ඇති බවයි. අනෙක් කරුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ සම්පත් විදේශයන් වෙත අලෙවි කිරීමේ කටයුත්තේ අඛණ්ඩව නියැළී සිටින බවයි. මෙවැනි ආකාරයකට ආණ්ඩුවක් ඉදිරියට පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ ගැටලුවක් තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දිනෙන්දින දරුණු අතට පත්වෙමින් පවතින අතර, මෙම සටහන ලියන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දැවැන්ත ලෙස කඩා වැටෙමින් තිබිණි. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (22දා) වනවිට ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 173 ඉක්මවා ගියේය. අනෙක් අතින් ආර්ථික අර්බුදය නිසාත්, අධික බදු බර නිසාත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ඔවුන්ගේ කර්මාන්ත වැසී යන තත්ත්වයට පත්ව තිබේ. 

හම්බන්තොට වරාය චීනයට බදු පදනම ලබා දුන්නද, මේ දක්වා එයින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම පිළිබඳ කිසිදු සටහනක් නොමැති අතර, එහි රාජ්‍ය ආයතන පවත්වා ගැනීම වෙනුවෙන් කුලී ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

වරායේ ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූවද, ඒ වෙනුවෙන් ඔවුන්ට  කුලී ලෙස වසරකට රුපියල් මිලියන 51ක් ගෙවීමට සිදුව තිබේ. අනෙක් අතින් විදුලිබල මණ්ඩලය එහි පවත්වාගෙන යන සුළං බලාගාරය වෙනුවෙන් රුපියල් මිලියන 23ක් වරායට කුලී ලෙස ගෙවා තිබේ.

මෙම සුළං බලාගාරය ඉවත් කිරීමට මේ වනවිට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ විදුලි සැපයුමයි. එයට විසඳුමක් ලෙස සූර්ය බලාගාර ගම්මාන ඉදිකිරීමට කටයුතු සකස් කළද, වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කළේය. අනෙක් අතින් දැන් ඔවුන් සුළං බලාගාරයද ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ කිසිම සැලසුමක් නොමැතිව රාජ්‍ය දේපොළ විකිණීමටත්, ඒවා වසා දැමීමටත් රජය කටයුතු කරමින් සිටින බවයි.

ආණ්ඩුව සිදු කරන සෑම කටයුත්තකින්ම ඔවුන් අසාර්ථක තත්ත්වයට පත්ව තිබේ. මේ සඳහා හොඳම උදාහරණය බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට කටයුතු කිරීමය. හෙරොයින් ජාවාරම් මැඬලීමට ආණ්ඩුවට මේ හරහා බලාපොරොත්තු වන්නේ නම්, එය බන්ධනාගාර නිලධාරීන් සමග ඒකාබද්ධව සිදුකළ යුතුය. එවැන්නක් සිදු නොවීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් කරමින් සිටිනුයේ පොලිස් රාජ්‍යයක් වෙත බවයි.

මේ අතර, මාලි රාජ්‍යයේ සාමසාධක කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලංකා භට පිරිස් කණ්ඩායමේ අනදෙණ නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුරට එල්ල වූ මානව හිමිකම් චෝදනා අනුව නැවතත් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් අනුවය. ජනපති මෛත්‍රීපල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දිගින් දිගටම පවසන්නේ තමන් ජාත්‍යන්තරය දිනාගත් බවයි. ජාත්‍යන්තරය දිනාගත්තේ නම් මෙවැනි දේවල් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවක් පවතී.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
සුබ අනාගතයක්! 

 



Recommended Articles