රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා කෘෂිකර්මාන්ත කටයුතු කරගෙන යෑමට රජය ගත් තීරණය හමුවේ මේ වන විට ගැටලු රැසක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
"ආණ්ඩුව රසායනික වගාව වෙනුවට කාබනික වගාව වෙත රට ගෙන යාමට හදිසි තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ අනුව සියලු වගාවන්ට මෙතෙක් භාවිත කළ රසායනික පොහොර , කෘෂි රසායන සියල්ල අත්හිටුවා කාබනික පොහොර, කාබනික කෘමි හා වල්නාශක යොදවා වගා කළයුතු යැයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා.
නමුත් ආණ්ඩුවේ මෙම තීන්දුව ප්‍රායෝගික විය යුතුයි. විකල්පයක් සහිත විය යුතුයි.
මේ වන විටත් යල් කන්නය වගා කරලා තිබෙනවා. අනෙකුත් වගාවන් ආණ්ඩුවේ මෙම තීන්දුවත් සමග බරපතළ අර්බුදයකට ගොදුරු වෙලා තිබෙනවා. වෙළෙඳ පොළේ රසායනික පොහොර, කෘමි හා වල්නාශක මිල ගණන් පැවැති මිල වගේ දෙගුණයකටත් වඩා වැඩි වෙලා. ඒ වැඩි මිලටත් මිලදී ගන්න වෙළෙඳ පොළේ නැති තත්ත්වයක් උදාවෙලා.
උඩරට එළවළු හා මල් වගාකරුවන් දැඩි අර්බුදයක ඉන්නේ.
කල්පිටිය, නිලාවේලි, මන්නාරම හා යාපනය වැනි ප්‍රදේශවල එළවළු හා ලූනු ගොවියා මේ වෙද්දි දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දඹුල්ලේ ලූනු හා එළවළු ගොවියාත්, අනුරාධපුර එච් . කලාපයේ එළවළු ගොවියාත් මෙම යල් කන්නයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටිනවා. අම්පාර , මොණරාගල බඩඉරිඟු ගොවියාගේ මෙන්ම, ඇඹිලිපිටිය, හම්බන්තොට කෙසෙල් ගොවියාගේ ඉරණමත් එයමයි. බුලත්, පලතුරු, පොල් හා තේ වගාකරන කුඩා පරිමාණ ගොවීන්ට අත්වන්නේත් එම ඉරණමමයි. කාබනික පොහොර, කෘමි හා වල්නාශක ලබාදීමට ආණ්ඩුවට විකල්ප වැඩපිළිවෙළක් මේ වනතුරුත් නැහැ. ඒ වෙනුවට ඔවුන් අඩුවන අස්වැන්නට වන්දි ලබාදෙන බව පවසනවා. බිඳවැටෙන ආහාර නිෂ්පාදනයට ආහාර ආනයනය කරන බව පවසනවා.*
කාබනික පොහොර මෙරට නොමැති නම් පිටරටින් ගෙන්වන බව රජය පවසා ඇති අතර, කාබනික පොහොර විදේශයකින් ආනයනය කළහොත් බරපතළ පාරිසරික ගැටලුවක් මතුවීමට ඉඩක් ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.
"අපි බැලුවොත් මේ කාබනික පොහොර බොහෝදුරට ආනයනය කරන්න ඉඩ තිබෙන්නේ ඉන්දියාවෙන්. කොයි රටෙත් කාබනික පොහොර හදන්නේ නාගරිකව එකතුවන කුණු වලින්. ඒ අනුව නගරයක එකතු වන කුණු වල බැටරි, විවිධ රසායනික වර්ග අඩංගු වෙන්න පුළුවන්. ඉන්දියාවේ කසළ යොදාගෙන පොහොර හදන නිෂ්පාදනාගාර දිහා බැලුවාම ඒවා මහා පරිමාණයෙන් කරගෙන යන ඒවා බව පේනවා. ඒවායෙන් සිදුකරන්නේ නාගරිකව එකතුවන සියලුම කුණු කසළ කුඩු කරන එකයි. එහෙම කරලා පොලිතීන් වගේ නොදිරන ඒවා පසුව ඉවත් කිරීමයි සිදුකරන්නේ. මේ කුඩුවල විවිධ රසායනික තිබෙන්න පුළුවන්. කාබනික පොහොර කියලා කියන්නේ විශාල වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වන මාධ්‍යයක්. ඉන්දියාවේ හෝ වෙනත් රටක ඉන්න ක්ෂුද්‍ර ජීවීන් ලංකාවේ පසට එකතු කරපු ගමන් ලංකාවේ පසට නොගැළපෙන තත්ත්වයක් ඇතිවෙනවා. මේ නිසා කෝවිඩ් හැදුණා වගේ බැක්ටීරියා, වෛරස්, ඇල්ගී එකතුවෙලා මොනවා හරි ගැටලුවක් ඇතිවුණොත් එය සදහටම අපේ පොළවේ තිබෙන්න පුළුවන්. මීට පෙර ජපානයෙන් ඊ.එම්. කියලා එකක් ලංකාවට ගෙන්නුවා. ඒක නිසා ප්‍රශ්න ඇති වුණා. මේකෙන් පොළව දිරාපත් වුණා. ඒ වගේ ප්‍රශ්න තියෙන නිෂ්පාදන අපේ රටට ගෙනාවොත් ඇති වන තත්ත්වය භයානකයි. ලංකාවේ කාබනික පොහොර හදන්න අවශ්‍ය නම් අපිට රට ඇතුළේ මේවා නිෂ්පාදනය කළ හැකියි. මැනින් මාකට් එකෙන්ම ටොන් 200ක් පමණ එළවළු කුණු එකතු වෙනවා. රට වටේම ආර්ථික මධ්‍යස්ථාන වලින් කුණු එකතු කරගන්න පුළුවන්. ලංකාවේ වනජීවී කලාපවල හරක් ලක්ෂ ගානක් ඉන්නවා. උන්ව ක්‍රමවත්ව ගාල් කරලා ඕනතරම් ගොම, මුත්‍රා එකතු කරන්න පුළුවන්. ලංකාව ඇතුළේ කිහිපදෙනෙක් එකතුවෙලා මේ නිෂ්පාදන සිදුකරනවා මිසක් පිටරටින් ගේන ඒවා අපේ පොළවට එකතු කිරීම නොකළ යුතුයි."
මේ පිළිබඳ පොහොර ලේකම් කාර්යාලයෙන් අප කළ විමසුමකදී එහි නිලධාරියෙකු පැවසුවේ කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් දැනට පවතින්නේ සාකච්ඡා මට්ටමෙන් පමණක් බවත්, අවසන් තීරණයක් ගෙන නොමැති බවය. කෙසේ නමුත් මෙරට කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දිනක සඳහන් කර තිබුණේ කාබනික පොහොර ආනයනය කිරීමට රසායනික පොහොර ආනයනකරුවන් සමග සිදුකළ සාකච්ජාවකදී තමන් එකඟත්වය පළ කළ බවය.