ඉදිරියේදී දන්ත වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලැබේවිද කියන ගැටලුව මේ වෙද්දි ඇතිවෙලා තිබෙනවා


ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22දා) දින එක්දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ඒ පිළිබඳව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහයන් සමග සිදුකළ සාකච්ඡාවකි.

වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වීමට හේතුවූ ගැටලු

රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අද (22දා) දිනයේ මෙලෙස සංකේත වැඩවර්ජනයකට හා උද්ඝෝෂණයකට එළඹෙන්නට ප්‍රධාන කාරණා පහක් හේතු වුණා. ඉන් පළමුවැන්න තමයි රජය විසින් වෛද්‍ය නිලධාරීන්ව විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 බවට පත් කළද, එය දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට තවමත් හිමිකර නොදීම. මේ පිළිබඳව අපි අමාත්‍යවරිය, අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ අවස්ථාවලදී මේ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකසන්න කියලා උපදෙස් දුන්නත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා (දන්ත සේවා) මේ කැබිනට් පත්‍රිකාව තව වනතුරු සකස් කර නැහැ. ඔහු මේ කැබිනට් පත්‍රිකාව හැදූ බවක් අපිට තවම දැනුම් දීලත් නෑ.

දෙවැනි කාරණය තමයි, සීමාවාසික පත්වීම් ලබා පුහුණුව ලබන වෛද්‍යවරුන් එම පුහුණුව ලබන්නේ අවුරුද්දක කාලයක්. එම අවුරුද්දක කාලයෙන් පසුව ඔවුන් වෛද්‍ය සංගමයේ ලියාපදිංචිය සඳහා යොමු වෙනවා. මේ ලියාපදිංචිය ලැබෙන්න අවම වශයෙන් සති 6ක කාලයක් ගත වෙනවා. මේ ලියාපදිංචිය ලැබුණාට පසුව තමයි පශ්චාත් සීමාවාසික පුහුණු පත්වීම් ලැබෙන්නේ. සාමාන්‍ය වෛද්‍යවරුන්ට මේ ක්‍රියාවලියේදී සිදුවන්නේ සීමාවාසික පුහුණුව ලබන ස්ථානයේම තබාගෙන, ඔවුන්ගෙන් සේවය ලබාගන්නා ගමන් ඔවුන්ට වැටුප් ගෙවීම. පශ්චාත් සීමාවාසික පත්වීම ලැබූ පසු ඔවුන් ඒ අදාළ ස්ථානවලට යොමු කරනවා. ඒ අනුව ඔවුන්ගේ සේවා කාලය කැඩීමකට ලක් නොකර වැටුප් සමග සේවයේ යෙදවෙනවා. නමුත් අපේ දන්ත වෛද්‍ය සේවාවේ පසුගිය 2020 මාර්තු මාසයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ගේ වැටුප් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විසින් නිකුත් කළ ලියුමකින් නැවැත්වුවා. මේ ළමයින්ට ඔක්තෝබර් මාසයේ තමයි පශ්චාත් සීමාවාසික පුහුණු පත්වීම ලැබුණේ. ඒ දක්වා ඔවුන් පඩි රහිතව සේවය කළා. අපි වෘත්තීය සංගමයක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කරලයි මේ වෛද්‍යවරුන්ගේ සීමාවාසික පුහුණුව අවසන් කළ දිනයේ සිට පත්වීම් ලබාදීම සිදුකරනු ලැබුවේ. මේ ප්‍රශ්නය නිසාම මේ ක්‍රමවේදය නිසි ආකාරව සකස්කර දෙන ලෙසට අපි ඉල්ලීමක් කළා. මේ ක්‍රමවේදය සකස් කළ හැක්කේ එක්කෝ කැබිනට් පත්‍රිකාවක් මගින්, නැත්නම් අමාත්‍යාංශය අභ්‍යන්තර චක්‍රලේඛයක් හරහායි. නමුත් තව වනතුරු එය සිදුකර නැහැ. 2021 ජූනි මාසයේ තවත් කණ්ඩායමක් සීමාවාසික පුහුණුව නිමා කරන්නටත් නියමිතයි. ඔවුන්ටත් මේ ගැටලුව මතුවෙනවා. දන්ත වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව හමු වුණේ 2019 වර්ෂයේයි. ඒ අනුව පළමු කණ්ඩායම 2020 මාර්තු මස 31 ඔවුන්ගේ සීමාවාසික පුහුණුව අවසන් කළා. අපි මෙය ආරම්භ කරද්දිම සාමාන්‍ය වෛද්‍ය සේවාවේ සිදුකරන ක්‍රමවේදයට සමානව දන්ත සේවාවටත් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ඉල්ලීම් කළා. නමුත් තව වනතුරු එය සකස් කර නැහැ.

තුන්වැනි කාරණය තමයි වාර්ෂික ස්ථාන මාරු 2020 ජනවාරි පළමුවෙනිදා ප්‍රසිද්ධ කළ යුතුයි. නමුත් එය තවම සිදුවී නැහැ. එයට හේතුවෙලා තියෙන්නේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ (දන්ත සේවා) නැගණියට නීතියට පිටතින් ස්ථාන මාරුවක් සකස් කරදීමත්, වෘත්තීය සමිතියක් ලෙස අපි එයට විරුද්ධ වීමත් කියන කාරණය. අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දීලා මේ ස්ථාන මාරුව අහෝසි කරන්න කියලා ඉල්ලීමක් කළා. ඔවුන් තුන් වතාවක් දැනුම් දීලා තියෙනවා මේ ස්ථාන මාරුව අහෝසි කර මේ වර්ෂයට අදාළ ස්ථාන මාරු සම්බන්ධ ලිපිය ප්‍රසිද්ධියට පත්කරන ලෙසට. නමුත් එය තවමත් සිදුකර නැහැ.

හතරවැනි කාරණය තමයි අපේ රටේ දන්ත කාර්මික ශිල්පීන් යනුවෙන් හැඳින්වෙන පිරිසක් ඉන්නවා. මොවුන් විසින් තමයි කෘත්‍රිම දත් ඇඳි සකස් කරන්නේ. මොවුන් පුහුණු කරන්නට රජයේ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. මේ අඩුපාඩුව දැකලා මහරගම දන්තායතනයේ මොවුන්ව පුහුණු කරන්නට රසායනාගාරයක් සකස් කරනු ලැබුවා. ඒ අනුව භෞතික කටයුතු සම්පාදනය කර අවසන්. නියෝජ්‍ය අධ්‍යක්ෂක (දන්ත සේවා) කාර්යාලයෙන් සිදුකරන්නට තිබෙන්නේ මේ සඳහා යොමුවෙන ශිෂ්‍යයන්ට උගන්වන්නට පුහුණු දන්ත කාර්මිකයන් පත්කිරීමයි. නමුත් මෙය තවම සිදුවී නැහැ.

පස්වෙනි කාරණය තමයි වැඩ බලන අධ්‍යක්ෂක ( දන්ත සේවා) අපේ දන්ත සේවාවේ වැඩපිළිවෙළ සියල්ලම අවුල් කර තිබීම. මේ අවුල් කිරීම නිසාම අපි ඉල්ලුවා මේ පත්වීමට නිසි සුදුසුකම් සහිත ස්ථිර නිලධාරියෙක් පත්කරන්න කියලා. නමුත් ඒ කිසිවක් සිදු වී නැහැ.

මේ සියලුම ගැටලු ඇතිවීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (දන්ත සේවා) විසින් හිතාමතාම මේ සේවාව කඩාකප්පල් කරන්නට ගෙන යන වැඩපිළිවෙළයි. ඒ නිසා අපි අද (22දා) දිනයේ සිදුකරන වැඩවර්ජනයේදී අලුත් ඉල්ලීමක් විදිහට බලධාරීන්ට කියනවා වහම මේ පුද්ගලයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකරලා හෝ ක්‍රියාමාර්ගයක් ගෙන ඔහුගෙන් දන්ත සේවාවට සිදුවන හානිය වළක්වා දෙන්න ක්‍රියාමාර්ග ගන්නා ලෙස.

උද්ඝෝෂණය හා වැඩවර්ජනය

අද (22දා) දිනයේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සිදුකරනවා. ඒ සඳහා 400ක විතර පිරිසක් සහභාගී වීමට නියමිතයි. උදෑසන 11.30ට අපි මේ විරෝධතාව ආරම්භ කර 1.00 පමණ වෙනතුරු එය පවත්වන්නට අදහස් කරගෙන සිටිනවා. ඉන්පසුව අපි වෙනත් ස්ථානයකට රැස්වෙලා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතයි. ඒ වගේම අපේ වැඩවර්ජනය උදෑසන 8.00 සිට දීපව්‍යාප්තව සිදුකරන්නට නියමිතයි. එය පසුදින උදෑසන 8.00 දක්වා පැවැත්වෙනවා. මේ කාලය තුළ රෝහල්වල දන්ත වෛද්‍ය සේවාවේ සිදුවන්නේ හදිසි ප්‍රතිකාර පමණයි. ළමා හා මාතෘ රෝහල්වල, පිළිකා රෝහලේ දන්ත වෛද්‍යවරුන් මෙයට සම්බන්ධ වෙන්නේ නැහැ. දිවයිනේ අනෙක් සියලුම රෝහල්වල දන්ත වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනයට එකතු වෙනවා. ඒ වගේම මේ උද්ඝෝෂණය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෛද්‍යවරුන් කොළඹට පැමිණෙනවා. ලංකාවේ දන්ත විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව වෛද්‍යවරුන් 2000ක් පමණ සිටිනවා. මේ 2000ම අද හදිසි ප්‍රතිකාර පමණයි සිදුකරන්නේ. ඒ අනුව ශල්‍යකර්ම, සංකීර්ණ දන්ත ප්‍රතිකාර කරන ආයතන, විකලාංග දන්ත වෛද්‍ය සේවය, බාහිර රෝගී අංශයෙන් සිදුවන දත් ගැලවීම, පිරවීම, සුද්ධ කිරීම ආදියත් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොළඹ ජාතික දන්තායතනයට කෝවිඩ් 19 වෛරසයේ බලපෑම් මත ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සීමාවෙලා තිබුණත්, දෛනිකව 450-500ත් අතර පිරිසක් පැමිණෙනවා. මෙතැනින් ඉතා හදිසි රෝගීන්ට පමණයි අද (22දා) දිනයේ ප්‍රතිකාර සිදුකරන්නේ. අනිත් සියලුදෙනාව හරවා යවනවා. ඒ වගේම දිවයින පුරා දන්ත ප්‍රතිකාර සිදුකරන සේවා ස්ථාන 650ක් පමණ තිබෙනවා. ඒවායෙත් හදිසි ප්‍රතිකාර පමණයි සිදුකරන්නේ. අපි මේ සිදුකරන්නේ ජනතාව අපහසුතාවයට පත්කිරීමක් නොවෙයි. සෞඛ්‍ය අමාත්‍යවරියට, ලේකම්තුමාට හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට පහසුවෙන් සිදුකළ හැකි තීන්දු තීරණ ක්‍රියාත්මක කරන ලෙසයි අපි මේ ඉල්ලා සිටින්නේ. මොකද පසුගිය සිකුරාදා පැවැත්වූ සාකච්ඡාවකදීත්  මේ සේවාව සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් (දන්ත සේවා) යළි ඉල්ලීමක් කළා. නමුත් මේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ (දන්ත සේවා) තිබෙන අත්තනෝමතික ක්‍රියා නිසයි මේ ගැටලු පැන නැගී තිබෙන්නේ. ඉතින් මේ පුද්ගලයා ගැන නිවැරදි තීරණයක් ගන්නා ලෙසයි අපි අමාත්‍යවරියගෙන් හා ලේකම්වරයාගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ.

ඉදිරි ක්‍රියාමාර්ග

අපි අද (22දා) උද්ඝෝෂණයෙන් පසු මහ සභා රැස්වීමක් පවත්වලා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජා කරනවා. අපිට තවත් වෘත්තීය සංගම් සහය දක්වන්න කැමැත්ත පළකර තිබෙනවා. නමුත් අපි මේ අවස්ථාවේ ඔවුන් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ වගේම දන්ත වෛද්‍ය ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගම් මෙන්ම දන්ත පීඨවලට තේරී පත්වූ සිසුන්ගේ දෙමව්පියනුත් අපිට සහයෝගය ලබාදෙන්න  කැමැත්තෙන් ඉන්නවා. මොකද මේ වෙද්දී දන්ත වෛද්‍ය වෘත්තියේ රැකියා සුරක්ෂිතභාවය අහිමි වෙලා තිබෙනවා. සීමාවාසික පුහුණුව අවසන් වෛද්‍යවරුන්ට වැටුප් නොගෙවීම මතයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඒ වගේම දන්ත වෛද්‍යවරුන්ට සේවය කළ හැකි අලුත් ස්ථාන බිහි නොකිරීමත් විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. තව අවුරුදු දෙක තුනකින් දන්ත වෛද්‍යවරුන්ට රජයේ රැකියා ලැබේවිද කියන ගැටලුව මේ වෙද්දි ඇතිවෙලා තිබෙනවා.



Recommended Articles