ඉදිරියේදී ග්ලයිෆොසේට් බෙදාහැරීමට අවසර ඇත්තේ සිපෙට්කෝ ආයතනයට පමණයි


සේට් තහනම් කිරීම සහ තහනම ඉවත්කිරීම පිළිබඳ ඇතිවුණු ආසන්නතම යෝජනා චෝදනා අදටත් එසේම ඇසේ. ඒ අතර ඉදිරි දිනවල මෙරට වැවිලි ක්ෂේත්‍රයට ග්ලයිෆොසේට් නිෂ්පාදන නැවත නිකුත් කිරීමට රජය පියවර ගන්නේ යැයිද චෝදනාවකි. අපි මේ සම්බන්ධයෙන් “අද, පාඨකයන් දැනුවත් කිරීමට පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා  හමුවුණෙමු.


 මොකක්ද මේ ආයෙත් ඇහෙන ග්ලයිෆොසේට් අර්බුදය? 

තාක්ෂණ කමිටුව විසින් දැනට පවතින ග්ලයිෆොසේට් අර්බුදය වෙනුවෙන් නිෂ්පාදන 13ක්  විමර්ශනය කළා. එමගින් සතුන්ට මිනිසුන්ට පරිසරයට ආදී වශයෙන් සිදුවිය හැකි අර්බුද විමර්ශනය කළා.

මේ වනවිට යුරෝපා සංගමයේ රටවල ග්ලයිෆොසේට් භාවිතය තහනම් කර තිබෙනවා. ඒ එහි අඩංගු පොලි ඔක්සි එතිලින් ඒමයින්ඩ්  (POAE) අන්තර්ගතය නිසා. නමුත් එම රටවල් ජලජ වල් පැළෑටිවලට යෙදීම පමණක් එහි තහනම් කර තිබෙනවා.  එමඟින් මාළුවන්, ගෙම්බන් වැනි සතුන්ට හානිකරයි.

ලංකාවේදී අප කරන ලද නියමිත පරීක්ෂණ අනුව වෙනත් නිෂ්පාදන වර්ග තුනක් තෝරා ගත්තා. ඒවා ලියාපදිංචි කළා. ඒවායේ අන්තර්ගතය පැහැදිලි කළොත් එම නිෂ්පාදනයන්හි අන්තර්ගත දේ පොල්තෙල්, ෂැම්පු,බොඩිලෝෂන් වැනි දේවලත්  අඩංගුයි.

 මෙතෙක් මේවා නිෂ්පාදනය කළේ මොන්සෙන්ටෝ සමාගමයි. එයට මෙවරත් අවස්ථාව ලැබී තිබෙනවාද? 

  මොන්සෙන්ටෝ නිෂ්පාදන ලංකාවේ ලියාපදිංචිය අත්හිටවනු ලැබුවා. ඒ අනුව මෙයට පසු මොන්සෙන්ටෝ සමාගමේ ග්ලයිෆොසේට් ලංකාව තුළ අලෙවියට ළඟ තබා ගැනීම, භාවිතය සහ වෙළෙඳාමත් තහනම් කෙරෙනවා. අනික එහෙම සමාගමක් දැනට නැහැ.   මම හිතන විදිහට එම සමාගම ජර්මනියේ බේයර් සමාගම යටතට අරගෙන තියෙනවා කියලත් මතයක් තියෙනවා.    
  චීනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව යන රටවල් වලින් අපි ඒ සාම්පල තෝරා ගත්තා. දැනට ඒවා ක්ෂේත්‍රයට යොදා ගැනීම පිළිබඳ අවශ්‍ය පර්යේෂණ වෙනුවෙන් තේ සහ රබර් පර්යේෂණායතනයන්ට යොමු කර තිබෙනවා. සහකාරක ද්‍රව්‍ය ප්‍රමාණය නැති ඒවා අපි තෝරා ගත්තේ.මේ වන විට ඒ වාර්තා කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සියල්ල භාවිතය වෙනුවෙන් අවසාන කටයුතු සැප්තැම්බර් 4 වැනිදා වන විට අවසාන කරනවා.

 ඔබ කියන  උපදේශක විද්වත් උපදේශක කමිටුව ගැන කෙටියෙන් පැහැදිලි කළොත්? 

  පළිබෝධ නාශක භාවිතය පිළිබඳ තීරණ ගන්නේ මෙම කමිටුව විසින්. කිසිම විටෙක එවැනි තීරණයක් මට පමණක් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පමණක් ගත නොහැකියි. ඒ සඳහා 15 දෙනෙකුගෙන් යුත් විද්වත් උපදේශක කමිටුවක් සිටිනවා. එයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, කෘෂිකර්ම පර්යේෂණ සභාව, බීජ නිෂ්පාදන අංශ, සෞඛ්‍ය තාක්ෂණ ආදී ආයතන, රජයේ ආයතන වගේම මෙම ක්ෂේත්‍රයට අයත් තේ, රබර් පොල් වැවිලි ක්ෂේත්‍රවලට අයත් නිපුණතාව ඇති විද්වතුන් ද අයත් වෙනවා.
   දැනට ලියාපදිංචි කර ඇති ග්ලයිෆොසේට් නිෂ්පාදන ආයතනයන්හි එම අනුමත කළ සමාගම්වලින් එම ග්ලයිපොසේට් රජයේ ආයතනයක් වන සිපෙට්කෝ ආයතනය හරහා බෙදනවා. තේ, රබර් වැවිලිකරුවන්ට අවශ්‍ය ප්‍රමාණය ඒ හරහා විධිමත් ක්‍රමවේදයක් මගින් ඇණවුම් කර ලබා ගත යුතුයි.

 වැවිලි සමාගම් විසින් දැනට ඉදිරිපත් කර ඇති වාර්තා අනුව මහකන්නය වෙනුවෙන් ඔක්තෝබර් මාසයේ පමණ නව නිෂ්පාදන බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළ යල මහ කන්නය වෙනුවෙන් බෙදනවා.

 එහෙම වෙනකොට කුඩා තේවතු හිමියන්ට වෙන්නේ කුමක්ද? 

  කුඩා තේවතු අධිකාරිය යටතේ පවතින ඒවායේ කුඩා තේවතු හිමියන්ට එම අධිකාරිය සමග දක්වා ඇති ක්‍රමවේදයක් යටතේ බෙදාහැරීමට පියවර ගන්නවා. කොහොම බෙදාහැරියත් ඒවා ඒ ආයතනවලට ලබාදෙන එකම අධිකාරිය ලෙස සිපෙට්කෝ සමාගම කටයුතු කරනවා.

 මෙයින් පස්සෙත් යමෙකු සතුව ග්ලයිෆොසේට් තිබුණොත්? 

 හැම බෝතලයකම සිපෙට්කෝ ලාංඡනය එම්බෝස් කර තිබෙනවා. යම් හෙයකින් වගාකරුවෙකු නොවන හෝ වෙනත් යම් බාහිර පාර්ශ්වයක් හෝ වෙළෙඳ සැලක හෝ ආදී වශයෙන් එවැනි බෝතලයක් තිබුණොත් ඒ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අප කටයුතු කරනවා.

  මේ තහනම හැමදාටමද? 

මෙය ඉදිරි අවුරුදු 3ක කාලයක් සඳහා පමණක් වලංගු බව මේ වන විට පවතින ගැසට් අණපනත් අනුව කිව හැකියි. ඒ කියන්නේ 2021 ජුනි 18 වැදායින් පස්සෙ  නැවත ග්ලයිෆොසේට් භාවිතයක්  දැනට පවතින ගැසට් අණපනත් අනුව තිබිය නොහැකියි. එහි තීරකයා රජයයි.

ඔබ එහෙම කියන්නේ කිනම් සාධකයක් මතද ? 

 ඒක මෙහෙම තේරුම් ගන්න. සමහරවිට රජයේ තීරණ අනුව කැබිනට් පත්‍රිකාවකින් දීර්ඝ කිරීමේ හෝ කෙටි කිරීමේ  හෝ වෙනත් විකල්පයක් සොයා ගැනීමෙන් පසු නතර කිරීමේ අවස්ථාවක්  යෙදිය හැකියි.

 එහෙම නම් දැනටමත් නව යෝජනාව ක්‍රියාත්මක කිරීම පමාවෙලා නැතිද?  
 

දැනටත් ක්‍රියාත්මක විය යුතු අවුරුදු 3න් මාස කීපයක් ගතවෙලානෙ. ඒ කියන්නේ විද්වත් කමිටුව දුන් තීරණයෙන් පසු අණපනත් සංශෝධනය, ගැසට් කිරීම, සාකච්ඡා කිරීම, අණපනත් උපදෙස් සහ ක්‍රමවේද සැකසීම, නිෂ්පාදන ලියාපදිංචිය සහ ඒ ආශ්‍රිත කටයුතු නිසා එවැනි ප්‍රමාදයක් සිදු වුණා. කොහොම වුණත් මෙම ඔක්තෝබර් පළමු සතියේ නව නිෂ්පාදන වගාකරුවන් අතට පත් කළ හැකි බවට අනුමාන කරනවා.

 අවස්ථා ගණනාවකදී තහනම් කළා කීවා. නැවතත් එම ගැසට් අවලංගු කළා කීවා. මේ පටලැවිල්ල මොකක්ද? 


 මේක මෙහෙම පැහැදිලි කරන්නම්. එදා මුදල් අමැතිවරයා ලෙස රවි කරුණානායක මහතා කටයුතු කළ අවස්ථාවේදී ආනයන අපනයන පනත යටතේ ග්ලයිෆොසේට් තහනම් කළා.

 එයින් පස්සේ? 

මලික් සමරවික්‍රම මහතා 2018 ජුනි මාසයේ තහනම ඉවත් කළා. එය බලපත්‍ර නිර්ණායකය. ඒ කියන්නේ, එතෙක් පැවති තහනම් (B) අංශයෙන් ඉවත්කර බලපත්‍ර යටතේ වන ලයිෂන් (L) යටතේ සම්මත වුණා. එහිදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමේ අධිකාරි බලය පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා සතුයි. එහි අවුරුදු 3ක් දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.

 ඊටත් පස්සෙ? 

නැවත ඊළඟ අවස්ථාව පැහැදිලි කරන්නම්.  එතෙන්දි 2015 ඔක්තෝබර් 23 වැනිදා ලංකාව ඇතුළත ලියාපදිංචිය තහනම් කළා. ලියාපදිංචිය තහනම් කිරීම තුළ ඒවා අලෙවිය භාවිතය අත්හිටුවනවා. ඒ අනුව යමින් 2018 ජූලි 11 වැනිදා රෙජිස්ට්‍රාර්වරයා ලෙස මම ගැසට් පතකින් එය පරිච්ඡින්න කළා. ඒ අනුව දැන් තහනමක් නැතැයි එයින් ප්‍රකාශ වුණා.   ඒ සමගම අනෙක් කරුණ ද මතක්කර දෙන්නම්. එදිනම තවත් ගැසට් පතකින් වකුගඩු රෝග වැඩි වශයෙන් හඳුනාගත් අනුරාධපුරය, බදුල්ල, මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල වැනි ප්‍රදේශවල මේවා අලෙවිය තහනම් කළා. එයින්ද බදුල්ලේ රිදීමාලියද්ද, කන්දෙකැටිය වැනි ප්‍රාදේශීය ලේකම් කොටස් තුළ ග්ලයිෆොසේට් සමග තවත් රසායනිකයන් 5 ක් භාවිත කිරීමත්, අලෙවියත් ළඟ තබා ගැනීම තහනම් කළා. ඒක 2014 ගැසට් පත යටතේ තිබුණේ. නමුත් තේ, රබර් යන වගා සඳහා ඉහත අදාළ පළාත්වල ග්ලයිෆොසේට් තහනමක් නැහැ.   එය 2018 ජූලි 11 දෙවැනි ගැසට් එකෙන් මුල් ගැසට් පතේ ග්ලයිෆොසේට් ඉවත් කර ඉතිරි ටික ක්‍රියාත්මක වන බව දැක්වෙනවා. නමුත් දැන් වැරදි මතයක් ව්‍යාප්තව ඇත්තේ හැමදෙයක්ම ඉවත් කර ඇති බවටයි.   එනිසා කිව යුත්තේ තේ, රබර් වගාව ඇති ඕනැම දිස්ත්‍රික්කයක මේවා භාවිත කළ හැකිය යන්නයි.

 නව පළිබෝධ නාශකයන්ගේ ප්‍රථම පියවර අනුව අවශ්‍යතාව සහ ඇණවුම කොපමණද? 

  මහකන්නයට ග්ලයිෆොසේට් ලීටර් පන්ලක්ෂ හතළිස්හතර දහසක් පමණ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇණවුම්කර තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩක් පමණයි.
 කැලිෆෝනියාවේ පුද්ගලයෙකුට වන්දි ගෙවන ලෙස ග්ලයිෆොසේට් නිෂ්පාදනය කළ මොනසැන්ටෝ සමාගමට නියම වූ පුවතක් ඇසුණා. එහෙම වෙනකොට අපේ රටට ඇතිවිය හැකි

අවදානම? 

විවිධ වාර්තා අනුව එකී පුද්ගලයා වසර 30ක් පමණ පළිබෝධ නාශක භාවිත කර තිබෙනවා. එහිදී ඒවා භාවිතයේදී ආරක්ෂණ ක්‍රම භාවිතය පිළිබඳ පැවැති අඩුපාඩු නිසා ඔහුට පිළිකා කාරක තත්ත්වයක් ඇති බවටත් වාර්තා දක්වනවා. මෙයින් අප උගත යුතු කරුණු ගණනාවක් තිබෙනවා.

  එකක් හැමදේටම නියමිත ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුතුයි. ඒවා වස විසනම් හෝ වෙනත් අයහපත් ප්‍රතිඵල ඇති කරන්නේ නම් ඒවා භාවිතයේ දී හානිය වළකින්නේ කොහොමද කියන එක අපි හැදෑරිය යුතුයි. හකුරු කන්ටත් ගුරුන් අවශ්‍ය යැයි කියලා පැරණි මතයක් තියෙනවානෙ.

  දෙවැන්න ප්‍රමාණය ඉක්මවා භාවිත කළොත් කොයිදේත් හානි කරයි. අති රසත් තිත්ත වෙනවා කියනවා කියන්නෙ ඒකයි.
තෙවැන්න පිළිකා කාරකයන් කොයි ආකාරයෙන් හානියක් කරනවා ද කාටවත් කියන්න බැහැ. එහෙමනම් ඒවා අවශ්‍ය යැයි දක්වා එදත් අදත් හෙටත් භාවිත කරන අයත් ඒ ගැන විමසිලිමත් වීමට උනන්දු විය යුතුයි. වගාවට අවශ්‍ය නිසා නිදහස් කර ගත්තාට ඒවා භාවිතයේදී  පිළිකා තත්ත්වයන් ඇතිවනවා නම් හෝ වෙනත් රෝග තත්ත්වයන් දැකිය හැකි නම් එයින් අත්මිදීමට හැකි ක්‍රම සොයා අනුගමනය කිරීම ඒවා භාවිත කරන අයගේත් වගකීමක්.

 ඒ වගකීම පිළිබඳ ඔබට යම් අදහසක් තිබෙනවාද? 

  ලංකාවේ ගොවියන් වගේම වෘත්තිය වශයෙන් පළිබෝධ නාශක ඉසින පුද්ගලයන් සිටිනවා. මා දන්නා තරමින් ගාල්ල, මාතර පැත්තේ එවැනි වෘත්තිකයන් ඉන්නවා. නුවරඑළිය පැත්තේ නිතර මේවා භාවිත වෙනවා. එහෙම වෙනකොට ඒ අයට මේවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වා ගත හැකි උපක්‍රම පිළිබඳ පුහුණුවක් අවශ්‍යයි.

අපේ ආයතනයෙන් එවැනි පුහුණුවක් සම්බන්ධයෙන් මාවිසින් මේ වන විට විෂය නිර්දේශයක් සකස් කර ඉදිරිපත් කර සම්මතවී තිබෙනවා. එය ක්‍රියාත්මක වන දෙයක්. නමුත් පළිබෝධ නාශකයන්හි අන්තරායකාරී බව සහ ඒවා තහනම් කළ යුතුයි කියන අය එතෙක් ඒවා භාවිතයේදී වැළැක්විය යුතු නොමනා ක්‍රියාකාරකම් සහ සනීපාරක්ෂක ක්‍රම ගැන කතා නොකරන්නේ ඇයි ද කියන ප්‍රශ්නය මට තියෙනවා.

 භාවිතය කියන දේ නියාමනය කළ යුතුයි. නියාමනය විය යුතුයි. එතෙනදි ඒක මේ තත්ත්ව ගැන වැටහීමක් ඇති හෝ හඬක් නගන අයටත් ඇති වගකීමක්.
  සාමාන්‍යයෙන් මෙවැනි දේ සඳහා පුහුණු වැඩසටහන් සංවිධානයේදී අවශ්‍ය දැනුම ඇති නිලධාරීන්, දේශන, ඉඩපහසුකම්, ඉලක්ක කණ්ඩායම් ඒකරාශි කිරීම වැනි විවිධ අර්බුද තියෙනවා. ඒවා වස විස නිවාරණය ගැන කතා කරන ආයතන, සංවිධාන කණ්ඩායම් සහ උනන්දුවන පුද්ගලයන් හරහා විධිමත් සංවිධානයකට යටත් විය යුතුයි කියලයි මම යෝජනා කරන්නේ.

 එවැනි දෙයක් වෙනුවෙන් ඔබ කාර්යාලය අවශ්‍ය මඟපෙන්වීමට සූදානම්ද? 

   ඔව්. එහෙම දෙයක් වෙනවා නම් අපි නිලධාරීන් ලෙස ඒ අයට අවශ්‍ය දැනුම මැදිහත්වීම ලබාදෙන්න හැමවිටම සූදානම්. 

 ග්ලයිෆොසේට් වෙනුවෙන් නැවතත් අනුමැතිය ලබාදීම වෙනුවෙන් යම් පිරිසක් අධිකරණයට යනවා කියලා චෝදනාවක් ඇහෙනවා. ඔබටත් එහෙම වෙයිද? 

මටත් ඇමතුම් කීපයක් ලැබුණා. ආණ්ඩුව හෝ රජය තීරණයක් ගත් පසු එම තීරණය ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය සේවකයෙකුම බැඳී සිටිනවා. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් වශයෙන් රජයෙන් නිකුත් කරන අණපනත්වලට යටත්ව කටයුතු කිරීමට මා වෙත පැවරී ඇති බලය සහ ප්‍රතිපාදන අනුව මා කටයුතු කරනවා. එය මගේ අභිමතය හෝ වෙනත් නිලධාරීන් කිසිවෙකුගේ බලපෑමක් නෙවෙයි. රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමට හැම නිලධාරියෙකුටම පැවරී ඇති බලය වෙනුවෙන් ඒ වගකීමට වගවීම පමණයි. නඩු දැම්මොත් උසාවි යනවා. අපි නීතියට යටත් නිලධාරීන් පුරවැසියන් නිසා එදාට ඒවා බලමු.



Recommended Articles