පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර, මේ වනවිට පාසල් පද්ධතියද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇත. පාසල් පද්ධතියේ ඉදිරි කටයුතු සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
?මේ වනවිට පාසල්වල ක්‍රියාකාරීත්වය කෙබඳුද
මේ වනවිට පාසල්වල ළමුන්ගේ පැමිණීම ඉතාම හොඳ මට්ටමකට ඇවිත් තිබෙනවා. විශේෂයෙන්ම අපි මැයි මාසයේ 06දා පාසල් ආරම්භ කරන්න තීරණය කළෙත් ආරක්ෂක අංශ අපිට ලබාදුන්න තහවුරුභාවය මතයි. ආරක්ෂක අංශ ඒ තහවුරුභාවය ලබානොදුන්නා නම් අපි තව මාස 06ක් ගියත් පාසල් පටන්ගන්නේ නැහැ. ඒ වගකීම අපි භාරගත්තා.
නමුත් බොහෝ දෙනෙක් එය විවේචනය කළා. මට පහර දුන්නා. මගේ දරුවො දෙන්නා පාසල් නොයවා ඇයි අනික් අයගේ දරුවො පාසල් යවන්න හදන්නේ කියලා ඇහුවා. මගේ දරුවො පාසල් යවන්න පුළුවන් නම් යවනවා. මගේ දුවටයි, පුතාටයි වයස අවුරුදු දෙකහමාරයි, තුනහමාරයි. එයලා ඉස්කෝලෙ යවන්න බැහැනේ. යවන්න පුළුවන් නම් යවනවා.
කොතරම් අසත්‍ය ප්‍රචාර යැව්වත් පසුගිය දිනවල අභීතව පාසල් පැමිණි දරුවන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට මම මගේ ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කරනවා.
තවදුරටත් පාසල් පැවැත්වීම කඩාකප්පල් කරන්න හදන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද විභාග තිබෙනවා. ඒවා නිසි කාලයට පවත්වන්න අවශ්‍යයි.
මේ වනවිට පාසල්වල ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා. ඒ නිසා වෙනදා වගේ දෙමාපියන්ට දරුවන්ව පාසල් යවලා යන්න පුළුවන්කම තිබෙනවා. දෙමාපියන් පාසලේ සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පැමිණිය යුතුයි. හැමදාම බය ඇතිකරමින් ජීවත් වෙන්න බැහැ.
පාසල් හැමදාම වහල තියන්න විපක්ෂයේ දේශපාලනඥයන්ට අවශ්‍ය වුණා. රටේ අධ්‍යාපනය අකර්මණ්‍ය වෙනවා දැකලා ඒ තුළින් ඔවුන්ගේ දේශපාලනය සිදුකරන්නයි ඔවුන් සූදානම් වුණේ. පසුගිය කාලයේ ඔවුන් සිදුකළ ප්‍රකාශවලින් එය පැහැදිලිව පෙනෙනවා. පසුගිය 13දා සිදුවීමක් ඇතිවෙනවා කියලා විපක්ෂයේ අය කිව්වා. නමුත් එහෙම දෙයක් ඇතිවුණේ නැහැ. ඒ වෙනුවට රටේ ඔවුන් විසින් නිර්මාණය කරපු කලබල තමයි තිබුණේ. දැන් පාසල් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ.
?අප්‍රේල් නිවාඩුවට පසුව දීර්ඝ කාලයක් පාසල් වසා තැබුණා. මේ තත්ත්වය මත පාසල්වල ඉදිරි කටයුතු සැලසුම්කර තිබෙන්නේ කොහොමද
විශේෂයෙන්ම විභාග කිසිවක් කල් නොදමන්න අපි තීරණය කළා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පෙර පරිදිම පවත්වන්න කටයුතු කරනවා. ඒ සඳහා විෂය ආවරණය කරගන්න අවශ්‍ය නම් අතිරේක පන්ති පවත්වන්න පුළුවන්කම තිබෙනවා.
?පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කරනවාද
පාසල්වල ආරක්ෂාව සඳහා ආරක්ෂිත කැමරා (සීසීටීවී කැමරා) ආදිය සවි කිරීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. අවශ්‍යතාවය අනුව ඒවා ලබාදෙන්න අපි කටයුතු කරනවා.
?දැනට පවතින සිංහල, දෙමළ, මුස්ලිම් පාසල් වෙනුවට මිශ්‍ර පාසල් ඇතිකරන්න කියා සමාජයේ බොහෝදෙනා යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස ඔබේ අදහස කුමක්ද
ඒ කාරණයේ සත්‍යයක් තිබෙනවා. ඉදිරියේදී ආරම්භ කරන සියලුම පාසල් මිශ්‍ර පාසල් විදිහටයි ආරම්භ කරන්නේ. මෙම කරුණු කාරණා ඇතුළත් කරලා ඒ වගේම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ඇතුළු සියලුම අධ්‍යාපන කාරණා ඇතුළත්ව අලුත් අධ්‍යාපන පනතක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලුම ජාතීන්ට එකට අධ්‍යාපනය ලබාගැනීමට හැකි අවස්ථාව ලබාදීමටයි අපි ඒ හරහා උත්සාහ කරන්නේ.
ඒ වගේම මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්නට දැන් තීරණය කර තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ රෙගුලාසිවලට යටත්ව තමයි ඉදිරියේදී එය පාලනය වෙන්නේ.
?අලුත් අධ්‍යාපන පනත සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කළොත්
අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියල්ලන්ටම තහවුරු කරන පනතක් විදිහටයි මෙය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අධ්‍යාපනයේ යාවත්කාලීන කිරීම්, අනාගතයට ගැළපෙන අධ්‍යාපන වෙනස්කම්, දැනුම පදනම් කරගත් සමාජයක් සහ වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමය, වසර 13ක අධ්‍යාපන ක්‍රමය, ගුරු මාරු ප්‍රතිපත්තිය ආදී මේ සියල්ලම අධ්‍යාපන පනතට ඇතුළත් කර තිබෙනවා. එය ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරෙත්තු වෙනවා.
?සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් නැවතත් කතාබහ වෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද
සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළේ පළමු අදියර ආණ්ඩුවේ ආයතනයක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග ක්‍රියාත්මක කළා. එතැනින් එහා කටයුතු ඔවුන්ගේ වගකීමක්. එය අපිට අදාළ නැහැ. රජයේ ආයතනයක් නිසා අපිට පහසුවෙන් එය කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. නමුත් අපි බලාපොරෙත්තු වුණ මට්ටමින් එය සිදුවුණේ නැහැ. දෙවෙනි වරත් රජයේ ආයතනයටම දෙන්න අපි උත්සාහ කළා. නමුත් මේ ව්‍යාපෘතියේදී 75෴ක් මුදල් ගෙවීම් සිදුකර නොමැති නම් එය නැවත රජයට පවරාගන්නවා කියලා කොන්දේසියක් ඇතුළත් කළා. මොකද පළමු අදියරේදී එවැනි දේවල් අපි දුටුවා. ඊට පසුව දෙවැනි අදියරේදී අපි තරගකාරී මිල ගණන් කැඳෙව්වා. එහිදී තෝරාගත් ක්‍රමවේදයට පසුව එක් ආයතනයක් අභියාචනා මණ්ඩලයට ගියා. එහිදී අභියාචනා මණ්ඩලය ප්‍රකාශ කළා පෞද්ගලික ආයතනවලට ලබාදෙන්න කියලා . ඒ අනුව තමයි මේ ලබාදීම් සිදුකළේ. මේ කරුණු සොයා බලන්නේ නැතිව අපිට ඇතැමුන් මඩ ගහනවා. නමුත් අපේ අමාත්‍යාංශයේ අපි එය හරියටම සිදුකර තිබෙනවා.
?ජාත්‍යන්තර පාසල් සහ අර්ධ රාජ්‍ය පාසල් නියාමනය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ කෙබඳුද
ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් සුපරීක්ෂණය සඳහා සුපරීක්ෂණ මණ්ඩල පිහිටුවන්නට අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් එම සුපරීක්ෂණ මණ්ඩල පත්කිරීම සිදුකරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය තුළින් අර්ධ රාජ්‍ය පාසල් නියාමනය දිගටම සිදුවෙනවා.
?පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම තවදුරටත් ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙනවාද
ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ අලුතින් සකස් කරලා තිබෙනවා. බොහෝදුරට එම ගැටලු නිරාකරණය කරලයි තිබෙන්නේ.
ඉස්සර වැරදි ලිපිනයන් දාලා, බොරු බදු ෆයිල් හදලා බොරු වැඩ ගොඩක් කළා. නමුත් අද එහෙම නැහැ. අද වන විට චක්‍රලේඛ නිවැරදිව සකස්කර තිබෙනවා. ස්ථිර පදිංචිය වගේම කුලියට හා බද්දට සිටීම කියන කාරණා දෙකත් සැලකිල්ලට අරගෙන තමයි නව චක්‍රලේඛය නිර්මාණය කර තිබෙන්නේ. ඒ කියන්නේ කාලයක් පුරාවට කුලියට හිටියා නම් එයටත් ලකුණු ලැබෙන ක්‍රමවේදයක් ඇතුළත් කර තිබෙනවා.
2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය මේ සතියේදී අපි නිකුත් කරනවා. එහිදී මේ කාරණා පිළිබඳව තවත් දැනගන්නට පුළුවන් වේවි.
?මේ පවතින තත්ත්වයත් සමග ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගයට කුමක් වේවිද
ශිෂ්‍යත්වය පිළිබඳ අපිට ප්‍රශ්න තිබෙනවා. නමුත් දැනට ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරලා නැහැ. කැමතිනම් ලියන්න පුළුවන්. නමුත් දක්ෂ ළමුන්ට හොඳ පාසල් ලබාගන්න පුළුවන් ආකාරයට ක්‍රමවේදයක් ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනප්‍රිය පාසල් සඳහා තිබෙන තදබදය අඩුකරන්නයි අපි ළඟම පාසල හොඳම පාසල සංකල්පය ඉදිරිපත් කර තිබෙන්නේ.
?ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙළ සාර්ථකද? මේ වන විට එහි කටයුතු කුමන ආකාරයෙන්ද සිදුවෙන්නේ
ප්‍රධාන පාසල්වල තිබෙන පහසුකම් ගමේ පාසල්වලටත් ලබාදීමේ අරමුණින් තමයි අපි ළඟම පාසල හොඳම පාසල සංකල්පය ඉදිරිපත් කරලා එය කරගෙන යන්නේ. මේ වනවිට එහි කාරණා බොහෝදුරට ඉටුවෙමින් පවතිනවා. ග්‍රාමීය පාසල්වලට පහසුකම් බොහොමයක් ලබා දී තිබෙනවා. ගුරුවරුන් බඳවාගෙන තිබෙනවා. ගොඩනැගිලි 1500ක් හැදුවා. ජංගම විද්‍යාගාර 3000ක් ලබාදුන්නා. මේ ආකාරයෙන් භෞතික හා මානව සම්පත් ලබාදීම සිදුකරනවා.