ඉදිරි වසර විස්ස ඇතුළත සෑම පුද්ගලයෙකුගේම ජීවිතවලට නැනෝ තාක්ෂණය ඇතුළත් වෙනවා


හරිත ලොවක් සඳහා ගෝලීය සමාජය තුළ නැනෝ තාක්ෂණයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තවදුරටත් අපට නැනෝ තාක්ෂණය නොමැතිව සුරක්ෂිත වීමට අවස්ථාවක් නොමැති බැවිනි. නැනෝ තාක්ෂණය පිළිබඳ ලංකාවේ සිටින විද්‍යාඥයෙකු වන ශ්‍රීී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‍ෙජ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය නදීෂ් අඩස්සූරිය සමග අප කතාබහක නිරත වීමට සිතුවේ එබැවිනි.


නැනෝ තාක්ෂණය ඇයි මේ මොහොත්දී හරිත සංකල්පය එක්ක වැදගත් වෙන්නේ? 

නැනෝ තාක්ෂණය කියන්නේ පසුගිය දශක කිහිපය තුළ වැඩිපුරම කතාබහට ලක්වූ මාතෘකාවක්. ඒත් ඒ විප්ලවයේ ප්‍රතිඵල දැන් තමයි අපට පැමිණෙමින් පවතින්නෙ. ඉන් පසු ඉදිරි වසර විස්ස ඇතුළත සෑම පුද්ගලයෙකුගේම ජීවිතවලට නැනෝ තාක්ෂණය ඇතුළත් වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා 2021 වසර වෙද්දි නැනෝ තාක්ෂණයෙන් බලාපොරොත්තු වෙන ආදායම ඇ.ඩො. බිලියන අනූවක් පමණ ගෝලීයව බලාපොරොත්තු වෙනවා.

කොහොමද මේ “නැනෝ ලෝකය^ ඇතිවෙන්නේ?

සංඝටකවල %නිනිති^ තාක්ෂණය^ (Nano Technology) කියන්නේ ක්ෂුද්‍ර අංශු වලට (micro)පස්සේ අදියර. ඒ කියන්නේ ක්ෂුද්‍ර අංශුවලට වඩා තවත් දහස් ගුණයක් කුඩා තාක්ෂණය තමයි %නැනෝ තාක්ෂණය^ වශයෙන් අපි හඳුනාගන්නේ. නිනිති අංශුවල ප්‍රමාණය හරියට කෙස් ගහක් අරගෙන එහි විෂ්කම්භය පනස්දාහකට බෙදුවා හා සමානයි. ඒක තමයි නිනිති පරිමාණය විදියට හැඳින්වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වයෙන් වැඩි අංශු භාවිත කරමින් යෙදෙන විද්‍යාව තමයි අපි %නැනෝ විද්‍යාව^ වශයෙන් හඳුනා ගන්නෙ. මේ නිනිති අංශුවල ක්‍රියාකාරීත්වය සඳහා ඒවායේ අධික මතුපිට වර්ගඵලය වගේම කොන්ටම් බලපෑමකුත් පවතිනවා. ඒ අනුවයි %නැනෝ ලෝකය^ නිර්මාණය වෙන්නේ. ඇමෙරිකානු විද්‍යාඥ රිචඩ් ෆේමන් තමයි මේ සඳහා පුරෝගාමී වෙන්නේ. ඒ සඳහා ඉලෙක්්ට්‍රෝරෝන අන්වීක්ෂය වැනි උපකරණ සොයා ගැනීමත් බලපෑවා. ඒ අනුවයි අද වෙද්දි එදිනෙදා වෙළෙඳ පොළේ නැනෝ තාක්ෂණය භාවිත භාණ්ඩ මිලදීගත හැකි තත්ත්වයකට නැනෝ තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. එපමණක් නෙමෙයි අභ්‍යාවකාශයට යන්න උත්තෝලකයක් නිර්මාණය කරන්නත් ජපානය මේ වෙද්දි මේ හරහා උත්සාහ කරමින් සිටිනවා.

ඒත් මීට පෙර සිටම ඔබ කියූ නැනෝ ලෝකය සොබාදහම තුළ පැවතුණා නේද?

ඔව්. මේක ස්වභාවධර්මයාගේ විද්‍යාවක්. සොබාදහම නැනෝ තාක්ෂණය භාවිත කළේ කාලය ආරම්භ වීමත් සමග. හොඳම උදාහරණය තමයි නෙළුම් කොළය. නෙළුම් කොළය මත ජලය රැඳෙන්නේ නැහැ. ඊට හේතුව එහි පෘෂ්ඨය මතුපිට පවතින නැනෝ තන්තු මගින් ජලය ගෝලයක් බවට පත්කරනවා. ඒ අනුව ජලය ඉවතට විසිවෙනවා. ඒ ආකාරයට තමයි සොබාදහම නැනෝ තාක්ෂණය භාවිත කළේ. අපි විද්‍යාඥයන් හැටියට සිදු කරන්නේ ඒ තාක්ෂණය විකිරණය කිරීමක්. ඒ නිසයි අපි ඒ හරහා දූවිලි, ද්‍රාවණ බැඳෙන්නේ නැති පෘෂ්ඨ සහිත රෙදිපිළි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. මකුළු දැල, සමනල තටු තුළ තියෙන්නේ නැනෝ තාක්ෂණය. මෝරාගේ සම මත කුණු බැඳෙන්නෙත් නැත්තේ නැනෝ පෘෂ්ඨයකින් එය සකස් වෙලා තියෙන නිසා.

කෙසේ නමුත් ව්‍යවහාරික සමාජය තුළට නැනෝ තාක්ෂණය අනුගත වන ආකාරයයි වඩාත් වැදගත් වෙන්නේ?

ඔව්. එහෙම බැලුවොත් නැනෝ තාක්ෂණය භාවිත වෙන්නේ නැති පැත්තක් නැති තරම්. විශේෂයෙන්ම ආහාර තාක්ෂණයේදී ආහාර ඇසිරීමේදී නැනෝ අංශු භාවිත කරන ලද ඇසුරුම්  භාවිත  කරනවා. ඒ හරහා අපට පුළුවන් ආහාර කරා එන බැක්ටීරියා විනාශ කරන්න. ඒ වගේම ආහාර දීර්ඝ කාලයක් කල්තබා ගන්නත් පුළුවන්. කල්තබා ගන්නා ආහාර නැනෝ ස්ටිකර් ආධාරයෙන් වර්ණය වෙනස් වීම හරහා නරක් වූ බව හඳුනා ගන්නත් පුළුවන්. ඒ නිසා අද වෙද්දි නැනෝ තාක්ෂණය භාවිත කළ ශුද්‍ර ජීවීන් නාශක ශීතකරණ, ටයිල් ආදිය පවා වෙළෙඳ පොළට ඇවිත් තියෙනවා.

ඒත් මේ පිළිබඳ සමාජය දැනුවත්ද?

ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න හරිම අමාරුයි. ඒක ලංකාවේ බරපතළ අර්බුදයක්. ඒ නිසා තමයි අපට අපේ පේටන්ට් බලපත්‍රර පවා වෙන රටවලට විකුණන්න සිදු වෙලා තියෙන්නේ. එවැනි තැනකයි අපේ රට ස්ථානගත වෙලා තියෙන්නේ. ඒත් එංගලන්තය වගේ රටවල් බැලුවම උපාධි අපේක්ෂකයන් පවා එම ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවේම තමන්ගේ පර්යේෂණය නිෂ්පාදන අවධිය දක්වා අරගෙන යනවා. කුඩා සමාගමක් විදිහටයි ඔවුන් එය ආරම්භ කරන්නේ. ඒ සඳහා ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සලසලා දීලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් ලංකාව තුළ ඇති වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා යාවත්කාලීන වෙන්න ඕන. ඒ වගේම ක්‍රියාකාරී වෙන්න උත්සාහ දරන අලුත් අයට අවස්ථාව ලබා දෙන්නත් ඕන.

කෘෂිකර්මය හා සබැඳි නැනෝ පර්යේෂණවල යෙදුණු කෙනෙක් ඔබ?

ඔව්. මට අවස්ථාවක් ලැබුණා ශ්‍රීී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ පළමු විද්‍යාඥයන් කණ්ඩායම අතරට එකතු වෙන්න. එතැනදී තමයි මම නැනෝ තාක්ෂණයට අත්පොත් තැබුවේ. ඒ අනුව තමයි මට එහිදී කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න අවස්ථාව ලැබුණේ. ශාකවලට අවශ්‍ය පෝෂකවලින් නයිට්‍ර්ජන් යන්න ඉතා වැදගත්. ඒ නිසා ලංකාවේදී ඒ වෙනුවෙන් භාවිත කළේ යූරියා. ඒත් එය ජලයේ ඉතා ඉක්මනින් දිය වෙන්නක්. අවට ජලාශවලට ඒ හරහා බරපතළ අහිතකර තත්ත්වයන් ඇතිවෙන්නේ මේ හින්දා. ඒ නිසා තමයි අපි මේ ගැටලුව ගැන දීර්ඝව පර්යේෂණ කටයුතු කරගෙන ගියේ. එහි ප්‍රතිඵලයක් විදියට අපි නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙන පාලිත මුදා හැරීමකට සුදුසු පරිසර හිතකාමී යූරියා නිෂ්පාදන කළා. ඒ හරහා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කියලත් අපි තහවුරු කර ගත්තා.                 

ඒ වෙනුවෙන් අපට ජනාධිපති සම්මානය පවා හිමිවුණා. මේ ආකාරයට පොස්පරස් පෝෂක පවා නැනෝ තාක්ෂණය යොදාගෙන සකස් කර ගන්න පුළුවන්. අපි ඒක තහවුරු කර ගත්තා. ඉන් පස්සෙත් අපි නිනිති වාහක පිළිබඳ පර්යේෂණ සිදුකළා. ඒ වෙනුවෙන් නැනෝ තාක්ෂණ ආයතනය විසින් ඇමෙරිකානු පේටන්ට් බලපත්‍ර පවා ලබා ගත්තා. ඒ නිසා නැනෝ තාක්ෂණයෙත් වසර දෙකක් සේවය කිරීමෙන් අනතුරුව තමයි මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් දිනා ගන්න ලැබීම විශේෂත්වයක්. ඒත් මම නැවතත් ඇවිත් නැනෝ තාක්ෂණ ආයතනයේ සේවය කළා. එම ආයතනයේදී මම ඒ වතාවේ කළේ මා විසින්ම කළ ව්‍යාපෘතියක්. කහවල (turmeric) අඩංගු මූලික සංඝටක දිය කරන්න පුළුවන් විදියේ නැනෝ ක්‍රමවේදයක් සකස් කළා. එම පර්යේෂණ පත්‍රිකාව සඳහා පසුගිය වසරේදී ජනාධිපති සම්මානයත් හිමි වුණා. ඉන් පස්සෙයි නැවතත් මම ආචාර්ය උපාධිය සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයටම යන්නේ. ඊට මම පාදක කර ගත්තෙත් නැනෝ තාක්ෂණය භාවිත කරමින් විද්‍යුත් ශක්තිය ගබඩා කර ගත හැකි ද්‍රව්‍යය (High Permittivity Dielectric Nanocomposites). ඉන් පස්සේ ආචාර්ය උපාධිය ඉතා සාර්ථකව අවසන් කරලා ගිය වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තාවකාලික ‍ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම තවත් විශ්වවිද්‍යාලවලත් බාහිර කථිකාචාර්යවරයෙකු විදියට දේශන පවත්වනවා. පවතින සීමිත සම්පත් සහ අවස්ථාවන් යටතේ ලංකාවේ වගේම පිටරට වෙසෙන සමහර කීර්තිධර පර්යේෂකයන්ගේ සහාය ඇතිව මම නොකඩවා පර්යේෂණත් පවත්වනවා.

ප්ලාස්ටික් සම්බන්ධව බරපතළ පාරිසරික අර්බුදයක් ඇතිවෙලා. ඒ සඳහා නැනෝ තාක්ෂණයේ උපයෝගිතාව කොහොමද?

ඔබ දන්නා තරමින් මේ වෙද්දි පෘථිවියේ ස්ථාන පහක ප්ලාස්ටික් එකතු වෙලා තියෙනවා. කැලිෆෝනියා සහ හවායි අතර මුහුදේ පමණක් වර්ගකිලෝමීටර් මිලියන 1.6ක ප්ලාස්ටික් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රංශය වගේ තුන්ගුණයක්. ශ්‍රී ලංකාව වගේ තිස් ගුණයක වර්ගඵලයක ප්ලාස්ටික් එකතු වෙලා තියෙනවා. ඒ තරම් බරපතළ තත්ත්වයක්. ඒ සඳහා නැනෝ තාක්ෂණය භාවිත කර විසඳුමක් ගෙන ඒම කාලීන මාතෘකාවක්. අපට පුළුවන් ඒ ගැන ඉදිරියේදී කතා කරන්න.

එහෙනම් කොහොමද අපි රටේ සංවර්ධනයට නැනෝ තාක්ෂණය යොදා ගන්නේ?

අපට ලංකාවේ ස්වාභාවික සම්පත් එක්ක නැනෝ අංශු නිර්මාණය කර ගැනීමේ ඕනතරම්  ක්රමවේද තියෙනවා. අපට බුද්ධිමතුන්ගේ අඩුවක් නැහැ. පහසුකම්වල අඩුවකුත් නැහැ. ඒ නිසා මේ ආකල්පමය අඩුව පුරවා ගත්තොත් අපට පුළුවන් පරිසර හිතකාමී සංවර්ධනය කරා ගමන් කරන්න.



Recommended Articles