කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් මුළු ලෝකයම තාවකාලිකව නැවතී තිබුණු අතර, මේ වනවිට එය ක්‍රමයෙන් යළිත් සක්‍රීය වෙමින් පවතී. ක්‍රමයෙන් සුවපත් වෙමින් තිබූ පරිසරයට මෙම තත්ත්වය කෙසේ බලපානු ඇතිද යන්න පිළිබඳව මෙවර සොබා බදාදා තුළින් සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු. එබැවින් අපි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු.
කාබන් විමෝචනය
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට කාබන්ඩයොක්සයිඩ් ආඝ්‍රාණය වීමෙන් වසරකට පුද්ගලයන් මිලියන 07කට වැඩි පිරිසක් මිය යන අතර, එය මෙතෙක් කොරෝනා වසංගතයෙන් මියගිය පිරිසට වැඩි පිරිසක් වෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ පරිසර තත්ත්වය වෙනස්වී ඇති බව ලෝකයේ වැඩි වශයෙන් සාකච්ඡා වූ අතර, සැබැවින්ම ලෝකයේ පරිසර තත්ත්වයන් වෙනස් වී තිබෙනවා.
ලෝකයට කාබන් විමෝචනය වීම බොහෝ ලෙස පහළ යාම එයට ප්‍රධානතම හේතුව වෙනවා. ඒ අනුව යුරෝපා රටවල 23%ක් පමණ කාබන් විමෝචනය නතර වී තිබෙන අතර, ඉන්දියාවේ 24%, චීනයේ 23%, ඉතාලියේ ස්පාඤයේ 24%, ආදී ලෙස සියලුම රටවල් කාබන් විමෝචනය අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේද කර්මාන්තශාලා වසා දමමින් තිබුණ බැවින් කාබන් විමෝචන සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. එය බොහොම හොඳ තත්ත්වයක්. ලෝක සෞඛ්‍යයට මෙය හොඳ බලපෑමක්.
ජලය පිරිසුදුභාවය
ලෝකය පුරා කර්මාන්තශාලාවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ අපජලය මාස දෙකකට වැඩි කාලයක් ඇළ දොළ ඇතුළු ජලාශ වෙත මුදා නොහැරුණ බැවින් ලෝකයේ ජලාශ ක්‍රමයෙන් පිරිසුදු වූ අතර, මාස දෙකකට පසු බොහෝ ජලාශවල ජලය පානය කිරීමට සුදුසු මට්ටමට පත්වුණා.
චීනයේ ගංගාවන්, ඉන්දියාවේ දිල්ලි හරහා ගලන ගංගා, ඉතාලියේ ගංගා ලංකාවේ කැලණි ගඟ ආදී ගංගා බොහොමයක ජල තත්ත්වය මේ අනුව ඉතාම හොඳ තත්ත්වයට හැරී තිබෙනවා. පානය කිරීමට සුසුදු මට්ටමට ජලය පිරිසුදු වෙලා තිබෙනවා. එය බොහොම හොඳ තත්ත්වයක්.
වසර 205කට පසුව උදා වූ තත්ත්වය
1815දී ලෝකයේ කර්මාන්තකරණය ආරම්භ වීමෙන් අනතුරුව වසර 205කට පසු ලෝකය මෙලෙස කෙටි කාලයකට නතර වූයේ පළමුවැනි වරටයි. වසර 205කට පසුව මුළු ලෝකයේම ජනතාව නිවෙස් වෙතට ගාල් වුණ බැවින් ලෝකයටම හුස්ම ගන්න අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම මතක තියා ගත යුතු දෙය තමයි මෙය මිනිසුන් උදා කරගත්තු තත්ත්වයක් නෙවෙයි. මිනිසුන්ව මුළා කරගෙන සොබාදහම උදා කරගත්තු තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම මේ ඇතිවුණ තත්ත්වය නිසා කැලෑබදව හිටපු සත්තු නගරයට එන්නත් පටන් ගත්තා. ඇතැම් වෙලාවට කැලය සහ නගරය අතර වෙනසක් නැති තරමට පරිසර තත්ත්ව හොඳ අතට හැරී තිබීමට එය හේතුව වෙන්න පුළුවන්.
වනාන්තර විනාශයන්
මේ ආකාරයට පරිසර තත්ත්වයන් ක්‍රමයෙන් යහපත් වෙමින් පැවතියද බ්‍රසීලයේ ඇමසන් වැනි වනාන්තරවලින් කොටස් මහා පරිමාණ සීනි වගාවන් සඳහා මහා පරිමාණ සමාගම් වෙත ලබාදී තිබුණා. ඒ වගේම පෙර පරදිම වනාන්තර කැපීම් සිදු වුණා.
ලංකාවේත් වනාන්තර කැපීම් සිදු වුණා. උදාහරණ ලෙස දැදුරු ඔය නිම්නයේ වනාන්තර, මොරටුව කදුරු දූව ප්‍රදේශයේ, අත්තනගල්ල ප්‍රදේශයේ වනාන්තර, එල්ලාවල රත්නපුර ප්‍රදේශයේ වනාන්තර විනාශ කර තිබුණා. ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව පැතිවල හේන් වගාව සඳහා වනාන්තර විනාශ කිරීම් සිදුකළා. කැලණි ගඟේ තත්ත්වය හොඳ අතට හැරුණත්, කොළඹ වායු ගෝලයේ තත්ත්වය වෙනස් වුණත් පරිසර විනාශය අවම වුණේ නැති එක කනගාටුවට කරුණක්. කොහොම වුණත් මෙම අක්‍රමිකතා සියල්ල මධ්‍යයේ වුණත් මිනිස්සු පරිසරය ගැන හිතන එක වැඩි වුණා.
යළිත් සාමාන්‍යකරණයට
මේ වනවිට ක්‍රමයෙන් රට යළි සාමාන්‍යකරණය වෙමින් තිබෙන අතර, ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට හැරෙමින් තිබෙනවා. අතීතයේ සිට ක්‍රම ක්‍රමයෙන් සිදුවුණ වායු දූෂණය, ජල දූෂණය ආදියෙහි පැවැති තත්ත්වය හේතුවෙන් යථා තත්ත්වයට පත්වුණත් යළි සාමාන්‍යකරණය වීමත් සමග ඉතාම කෙටි කාලයකින් යළිත් පරිසරය දූෂණය වෙන්න පටන් ගනිවී.
මේ නිසා මෙහි අර්බුදය වෙනදාටත් වඩා වැඩියෙන් ඇතිවෙයි කියලා අනාවැකි පළවෙලා තිබෙනවා. වසර 205ක් පුරාවට විනාශ වුණ පරිසරය මාස දෙකක් වැනි කෙටි කාලයකට දූෂණය වීම නතර වුණා. යළිත් කර්මාන්තශාලා එක්වරම විවෘත වීමත් සමග පරිසර දූෂණය වැඩි වෙනවා. නැවතී තිබෙන කර්මාන්තශාලා එක්වරම විවෘත වීමේදී ස්ථාවර නොවී තිබෙන පරිසර දැඩි ලෙස විනාශ වීමකට යොමු වෙනවා.
ඉදිරි මාස දෙක
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කියන විදිහට ඊළඟ මාස දෙක කියන්නේ ලෝකයේ පරිසර අර්බුදයේ ඛේදවාචකයක් වන මාස දෙකක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඊට හේතුව තමයි පරිසර දූෂණයන් එක්වරම ආරම්භ වනවිට මේ යහපත් වී තිබෙන පරිසරයේ සිටින සතුන්, ශාක අනුවර්තනය වීමට කාලයක් නොමැති වීම. කොරෝනාවලින් අනතුරුව එන කාලය පරිසර විනාශයට අත වනන කාලයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වය පුළුවන් තරම් අවම කිරීමටයි අපි කටයුතු කළ යුත්තේ.
මේ වනවිට ලෝක ආර්ථිකය බොහොම පසුගාමී තැනක තිබෙන බැවින් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනුයේ ආර්ථිකය දෙගුණ කිරීම පිළිබඳවයි. ඒ අනුව ආර්ථිකය දෙගුණ කිරීමට පරිසර විනාශය වැඩි වශයෙන් සිදුකිරීමටත් ඔවුන් පෙලඹෙනවා. මේ හේතුවෙන් දූපත් රාජ්‍යයක් වන ලංකාවට පරිසර හානි නිසා වන අර්බුද වැඩි වෙනවා.
ලංකාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. ආර්ථික දියුණුව කෙරෙහි අවධානය යොමු කරන විට පරිසරය විනාශ කරගෙන කරන ආර්ථික දියුණුවේ ඵලක් තියෙනවද කියන කාරණය ගැන අපි දැන්වත් සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ලංකාවේ ජනතාවට මාස දෙකක කාලයක් ආහාර ලබාදීමට ආණ්ඩුවට නොහැකි නම් වසර 70ක් පුරාවට කළ ආර්ථික දියුණුවේ තේරුම කුමක්ද යන්න පිළිබඳව අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා.
පරිසර සම්පත යළි අපිට නිර්මාණය කරන්න බැහැ. ඒ නිසයි අපි එය ආරක්ෂා කරගත යුතුව තිබෙන්නේ. ලෝකයට කොරෝනා වසංගතය පැමිණීමෙන් අනතුරුව රටවල් බොහොමයක් කොරෝනාවලින් පාඩම් ඉගෙන ගත්තා. දේශගුණ විපර්යාස අඩු කරන්න ගොඩක් රටවල් කතා කරනවා. නමුත් ලංකාව තුළ එවැනි වැඩපිළිවෙළක් නොමැති වීම කනගාටුවට කරුණක්.
මේ තත්ත්වය තුළ ලංකාවේ චින්තන වෙනසක් ඇතිවුණේ නැහැ. ඔවුන් හිතුවේ කන්නේ කොහොමද කියලා විතරයි. ඒ වගේම මේ තත්ත්වය තුළ ලංකාවේ වගා කරන්න පටන් ගත්තා. එය ආරක්ෂා සුරක්ෂිතතාවට හොඳ දෙයක්. නමුත් වගා කරන්න යොමු වුණේ සාමාන්‍ය ජනතාව. ඔවුන් භාවිත කළේ දෙමුහුං බීජ වගේම රසායනික පොහොර.
මේ රසායනික පොහොර භාවිතය හේතුවෙනුත් පරිසර දූෂණය දෙගුණ වෙනවා. මේ සියල්ලටම ජාතික සැලැස්මක් ඇතිකර ගැනීමට මෙම කාලයවත් ප්‍රයෝජනයට ගන්නවානම් එය රටට වැදගත් වේවි.