ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක කාලයක්


නව කොරෝනා රෝගය (COVID-19) වැළඳී ඇති බවට ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් 106 වැනි රෝගියා ද ඊයේ සවස වාර්තා විය. කොරෝනා ආසාධිතයින් 06 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. දැන් බිය විය යුතු නැති බවට සඳහන් පෝස්ටර ද සමාජ මාධ්‍ය හරහා සංසරනය වනු පෙනෙයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක කාලයක් බවයි.

ඉදිරි දෙසතියක කාලය ගත කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සකස් කර තිබේ.

කොරෝනා (COVID-19) යනු බෝවන රෝගයකි. බෝවන රෝගයක් සඳහා කරන ප්‍රතිකර්ම කොටස් තුනක් යටතේ වර්ග කළ දැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. එනම් රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම, නිශ්චිත රෝගී ප්‍රතිකාර සහ රෝගයෙන් ඇතිවන සංකූලතා කළමනාකරණය කිරීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෝවන රෝගයක අවස්ථා 04ක් හඳුනාගෙන ඇත. ඉන් පළමු වැන්න රෝගීන් නොමැති අවස්ථාවයි. දෙවැන්න අහඹු ලෙස හමුවන රෝගීන් සිටින අවස්ථාවයි. තෙවැන්න සමූහ ලෙස රෝගීන් හමුවන අවස්ථාවයි. තෙවැන්න කොටස් දෙකක් යටතේ දක්වයි. පළමු කොටස නිවසේ සමූහයකට රෝගය වැළඳෙන අවස්ථාව වන අතර තුන් වැන්න කුඩා කණ්ඩායමක සමූහයකට රෝගය වළැඳීමයි. හතර වැනි අවස්ථාව වන්නේ රෝගය සමාජය තුල පැතිරෙන අවස්ථාවයි.

වසංගත රෝග විද්‍යා අංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රීක්ෂණය කර ඇත්තේ පසුගිය සතිය අවසන් වන තෙක් ලංකාවේ පැවැතියේ තුන් වැනි අවස්ථාවේ පළමු කොටස බවයි. එනම් පවුලේ උදවියට වැළඳෙන අවස්ථාවයි.

කොරෝනා වෛරසය ශරීර ගත වූවකුට එහි රෝග ලක්ෂණ පහළ වීමට ඇතැම් විට දින 14ක් දක්වා වූ කාලයක් යා හැකි බව වෛද්‍ය මතයයි. ලංකාවෙන් සොයා ගත් පළමු කොරෝනා ආසාධිතයා චීන කාන්තාව වන අතර ඇගෙන් කිසිවකුට රෝගය වැළැඳී තිබුණේ නැත. දෙවැනි ආසාධිතයා සොයාගෙන තිබුනේ මාර්තු 11 වැනි දා ය. ඔහුගෙන් රෝගය වැළඳෙන අයකුට එහි රෝග ලක්ෂණ පෙන්වීමට ගත වන කාලය දෙස බැලූ විට එය අවසන් වන්නේ මාර්තු 24 වැනි දා ය. ඉතිරි රෝගීන් හමුවූයේ ඉන් පසුව වන අතර ඔවුන්ගෙන් යම් අයකුට රෝගය ආසාධනය වී ඇත්දැයි දැන ගැනීමට එතැන් සිට දින 14ක කාලයක් සිටිය යුතුය. අලුතින්ම කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු වූ හතර දෙනාගෙන් වෙනත් අයකුට ආසාධනය වී ඇත්දැයි දැන ගැනීමට ගත වන කාලය ඉදිරියට දින 14කි. එසේ හෙයි ඉදිරි කාල වකවානුව ඉතාම තීරණාත්මක කාල වකවානුවක් බව වෛද්‍යවරු පවසති.

රට තුල සිටි (විදේශයන්ගෙන් නොපැමිණි) කොරෝනා ආසාධනය වී ඇතැයි තහවුරු කර ගත් රෝගීන් ගණන මෙන් අට ගුණයක් කොරෝනා ආසාධිතයන් රට තුල විටින බවට විද්‍යාත්මකව නිගනමය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. එනම් 550 දෙනකු පමණ සිටිය හැකි බවයි. එම පිරිස සමඟ ස්පර්ශක සබඳතා පැවැත්වූ 19000ක් රට පුරා විසිරී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. එබැවින් ඉදිරි දෙසතිය අතිශයින් තීරණාත්මකය.

මෙම තත්ත්වයට මුහුණ දීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය මෙසේ කියයි.

‘COVID-19 කියන්නේ අපි කාටවත් තනි තනියම මුහුණ දෙන්න පුළුවන් අභියෝගයක් නෙවෙයි. මේ අපහසු අවස්ථාවෙන් අපිට ගොඩවෙන්න පුළුවන් වෙන්නෙත් එකිනෙකා තනියෙන් නෙමෙයි. රටක් විදිහට. සමාජයක් විදිහට. COVID නිල බල මිලමුදල් තරාතිරම අඳුනන්නේ නැහැ. සාමුහික වගකීමකින් යුතු සමාජ COVID ජයගනිමින් සිටින අවස්ථාවේදී සාමූහික වගකීමක් නැතිව ක්‍රියාත්මක වෙන සමාජයන් නොසෑහෙන්න බැට කනවා.

කෙනෙකුට COVID වෛරස ශරීරගත වීම ඒ පුද්ගලයාගේ වැරැද්දක් නෙවෙයි. රටේ අනෙක් හැම පුද්ගලයෙකුටම හිමි සෑම අයිතිවාසිකමක්ම පුද්ගලයාටත් තියනවා. ජනතාවගේ මුදලින් නඩත්තුවන සෞඛ්‍යය සේවයක් විදිහට ඒ පුද්ගලයන් රැකබලා ගැනීමට බැඳී සිටිනවා. කොපමණ අපහසුතා අවදානම් මධ්‍යයේ වුවත් වළක්වා ගත හැකි එකදු මරණයක් හෝ නොවන්නට සෞඛ්‍යය සේවකයන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒ හින්දයි. ඒ අයටත් රැකබලාගන්න දරුවෝ දෙමව්පියෝ ඉන්නවා. මේ වසංගත කාලයේ දීත් ඒ අය හැමදාමත් වැඩට එන්නේ ආපහු නිවසට යන හැම වතාවකම තම ආදරණීයයන් ගේ ජීවිතවලටත් අවදානමක් එකතු කරන බවට නොදැන නෙමෙයි. ඒ තමාගේ වගකීම නිසා.

යම් විදිහකින් ප්‍රතිකාර ගැනීමට එන රෝගියෙක් තමන්ගේ විස්තර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් සඟවනවා නම් ඒ පුද්ගලයා අනතුරේ හෙලන්නේ සෞඛ්‍ය සේවකයෙක් හෝ දෙන්නෙක් නෙමෙයි ඒ සමස්ත කාර්ය මණ්ඩලයම. ඒ වගේ අවස්ථාවල සමස්ත කාර්ය මණ්ඩලයම නිරෝධායන කිරීමට සිදු වෙච්ච අවස්ථා අපට දකින්නට ලැබුණා. මේ වගේ දේ වලින් වෙන්නේ සීමිත මිනිස් බලයකින් ක්‍රියාත්මක වන සමස්ත සෞඛ්‍ය සේවයේම ක්‍රියාකාරීත්වය තදබල ලෙස අඩපණ වීමක්. මේ විදිහට යොදා ගත හැකි මිනිස් බලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා නම් එය බලපාන්නේ corona පාලනය සම්බන්ධ කටයුතුවලට පමණක් නෙමේ. සෞඛ්‍ය සේවකයන් සපයන සියළුම සෞඛ්‍ය සේවා වලට. දරුවෙක් ලැබෙන්න ඉන්න මවක්, හදිසි අනතුරකට ලක්වුණ සිඟිත්තෙක්, හෘදයාබාධයක් නිසා රෝහලට ගෙන එන පියෙක් යනාදී සෞඛ්‍ය සේවා බලාපොරොත්තුවෙන් එන සියලු දෙනාගේ ජීවිත මෙමගින් අනතුරේ හෙළනවා.

ඒ නිසා කරුණාකර, වෛද්‍යවරයෙකු හමුවීමට යාමේදී ඔබ පසුගිය සති දෙක ඇතුළත පිටරටකින් පැමිණියේද, එබඳු කෙනෙක් ඇසුරු කළේද, COVID -19 ආසාදිතයෙකු ආසාදිත යැයි සැකකෙරෙන කෙනෙක් ඇසුරු කළේ ද නොසඟවා වෛද්‍යවරයාට දැනුම් දෙන්න. ඒ, එය ඔබගේ සාමූහික වගකීමක් නිසා පමණක් නොව, ඔබට ලබාදිය හැකි සියලු ප්‍රතිකාරයක් නියමිත කාලයට ලබාගෙන ඉක්මනින්ම රෝහලෙන් පිටවී යාමට ද හේතුවක් වන නිසා.

ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් පියවර කිහිපයක් අනුගමනය කළ යුතු වෙනවා. වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මිස වෙන කිසිම දේකට නිවසෙන් පිට යන්න එපා. හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න. අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න. හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න. නිවසට ආගන්තුකයන් ගෙන්වා ගන්න එපා. ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුයි. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.

වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න. 1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුලුවන්. ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න පුලුවන්. 



Recommended Articles