සතියක පමණ කාලයක් අසනීප තත්ත්වයේ පසුවී සිටි මා එය සුව වී තවත් සති දෙකකින් අනතුරුව නැවත රැකියාවට යෑම සඳහා මාගේ වෛද්‍යවරියගෙන් විමසීමේදී එයට පෙර සිදුකළ යුතු පරීක්ෂණ කිහිපයක් සඳහා බ්‍රේෂියා ප්‍රධාන රෝහලට පැමිණෙන ලෙස පවසද්දී යම් චකිතයක් හා තිගැස්මක් නොදැනුනාම නොවේ.
ඒ, මේ දිනවල රෝහලකට යාම වසංගතය අතේ ගෙන ඒමක් යැයි සිතෙන තරමට රෝහල් තුළ රෝගීන් පිරී සිටින බැවිනි. පරීක්ෂණ සඳහා නිවසෙන් පිටත් වෙද්දී බිරිඳගෙන් ලද උපදෙස් හා ආරක්ෂිත ක්‍රමවේදවලින් ආවරණය වී මාගේ වාහනයෙන් රෝහලට ඇතුළු වනවිට රාත්‍රි 9.00ට පමණ විය. වාහනය රෝහල් රථගාලේ නවතා, ‘චිවිලේ’ රෝහලේ පිටතින් පිහිටා තිබූ සැක සහිත රෝගීන් පරීක්ෂා කෙරෙන ගොඩනැගිලි මෙන්ම, හඳට යෑමට මෙන් ආරක්ෂිත ඇඳුම් පැලඳගෙන සිටින ආකාරය දකින විට මා සිතේ තිබූ තිගැස්ම තවත් වැඩිවිය.
මා එනතුරු පෙර මග බලා සිටි වෛද්‍යවරිය දුටු විට සිත මදක් සැහැල්ලු විය. ඇය පිටතින් පිහිටා තිබූ කූඩාරමකට මා ගෙන ගොස් හෘද ස්පන්දනය, රුධිරයේ ඔක්ෂිජන් වැනි පරීක්ෂා කිරීම් කිහිපයක් සිදුකොට, තවත් පරීක්ෂණ කිහිපයකට රැගෙන ගියේ බොහෝ ලෙංගතුකමෙන් යුතුව යැයි කීවොත් එය නිවැරදිය.
මේ වනවිට රාත්‍රී 10.00ට පමණ වී තිබුණි. මා සිතා පැමිණියේ කඩිනමින් මාගේ නිවසට යාමට හැකි බවයි. නිවසින් රාත්‍රි ආහාරය හෝ දිගු කලක සිට දියවැඩියා රෝගයට ගන්නා බෙහෙත් පවා රැගෙන නො ආවේ ඒ නිසාය. එහෙත් ඊළඟ මොහොතෙදී මාගේ වෛද්‍යවරිය පැවසූයේ පරීක්ෂණවල ප්‍රතිඵල එනතුරු මා හට රෝහලේ සිටීමට වන බවයි.
මා හට දෙවියන් සිහිවිය. මාගේ මුහුණේ තිබූ බිය ඇයද දුටු නිසාදෝ ඇය මාගේ සිත සනසවමින් “ඔබ කිසිම දේකට බයවෙන්න එපා. මෙතැන හැමතැනකටම වඩා සුරක්ෂිතයි” කියමින් මාව වාට්ටුවට ඇතුළු කරන විට මා හට සිහි වූයේ මාගේ බිරිඳවය. ඒ ඇය මගින්මගට දුන් උපදෙස් අනුව මා හට රෝහලේ නවතින්නට යැයි පැවසූ විට ඇය තවත් කලබල වන බව මා හොඳින්ම දන්නා නිසාවෙනි.
මා ඇතුළු කළ ගොඩනැගිල්ලේ ඇඳන් 65ක් පමණ තිබුණද, එහි සිටියේ 30 දෙනෙකු පමණි. වාට්ටුවට ඇතුළු වෙද්දීම මා සමීපයට පැමිණි හෙදියක් මාගේ ඇඳ ළගට මා කැඳවාගෙන ගොස් මාගේ බිය තුනී කර, මාගේ ශරීර උශ්ණත්වය, රුධීර පීඩනය පරීක්ෂා කර, මා රාත්‍රී ආහාරය නොගෙන ඇති බව දැන එයද මා ළඟට ගෙනත් දීමට තරම් කාරුණික විය.
අනතුරුව උද්ගත වූ අමාරුම කරුණ වූයේ මේ පිළිබඳව බිරිඳට දැන්වීමය. දුරකතන ඇමතුමක් දී සිදු වූ දෙය පවසත්ම මා සිතූ ලෙසම ඇය කලබල විය. එහෙත් මා රෝහලේ තත්ත්වය පවසා ඇයගේ කලබලවීම සමනය කළෙමි.ඇය මා හට උපදෙස් මාලාවක් දුන්නාය.
ඒ මගේ ආරක්ෂාවටය. රාත්‍රී 11.00ට පමණ මාගේ වෛද්‍යවරිය පැමිණි විට මා ඇයට පවස සිටියේ මා මෙය බලාපොරොත්තු නොවූ බවත්, මේ සඳහා කිසිදු සූදානමකින් නොපැමිණි බවත්ය. එහිදී ඇය පැවසූ දෙයින් මා තවත් කලබලයට පත්විය. ඒ මා සුව වී සිටියද, කැස්ස තරමක් තිබූ බැවින් රෝහලට පැමිණි නිසා අනෙක් පරීක්ෂණ සමග කොවිඩ් 19 පරීක්ෂණයක්ද සිදුකළ යුතු බවයි.
ඇඳවල්වල සිටින මිනිසුන් හයියෙන් හුස්ම ගනී. ඇතැමෙක් හයියෙන් කහී. මේ සෑම කෙනෙක් සමීපයටම හෙදියන් යයි. තමන්ගේ සගයන් ලෙඩ වෙද්දීත්, මිය යද්දීත් මේ කරුණාවන්ත හදවත්, රෝගීන් වෙනුවෙන් කැප වී සිටින ආකාරය හිතා ගන්නට බැරිය. ඔවුන් සිටිනුයේ සැහැල්ලුවෙනි. හිනා වෙයි. විහිළු කරයි. එන මිනිස්සුන්ව ආදරයෙන් බලා ගනී. මෙය සියැසින් දැක ගන්නට ලැබීමද මාගේ වාසනාවක් විය.
පසුවදා උදෑසන 6.00ට පමණ මාගේ වෛද්‍යවරිය මා අසලට පැමිණ මාගේ පරීක්ෂණ සියල්ලම හොඳ බවත්, කෝවිඩ් පරීක්ෂණයද නෙගටිවු වන අතර, දවල් වනවිට නිවසට යෑමට පුළුවන් බවත් පවසන විට මා හට විශාල සතුටක් දැනුණි. මා බිරිඳට දුරකථන ඇමතුමක් ගෙන මේ පිළිබඳව පැවසූයේ ඇයද මේ පිළිබඳව බයෙන් සිටිනා බව දැනුන නිසාවෙනි. ඇය පැවසූයේ තමාට කෝවිඩ් පිළිබඳව බයක් නොතිබූ බවත්, තිබූ එකම බය රෝහලේ සිටීම බවත්ය.
උදැසන 7.00 වෙද්දී රෝහලේ නැවතත් සියලුම පරීක්ෂාවන් සිදුකෙරේ. ඉන් අනතුරුව උදැසන ආහාර ගැනීමය. එහෙත් රාත්‍රී සේවයේ නිරත හෙදියන් යන පාටක් නැත. තමන්ගේ සගයන් වැඩ බාර ගත්තද ඔවුන් තවමත් රෝගීන් ළඟය. උදෑසන තවත් රෝගීන් කිහිප දෙනෙකු වාට්ටුවට ඇතුළු කෙරිණි. උදෑසන 9.00ට පමණ වාට්ටුව බාර රෝගීන් පරීක්ෂා කර මගේ පරීක්ෂණ යහපත් බැවින් නිවසට යා හැකි බවට පැවසීය.
11.00 ට පමණ මාව රෝහලින් නිදහස් කෙරුණේ තවත් එවන් කිහිප දෙනෙකු සමගිනි. නැවතත් අත්වැසුම් දමාගෙන, විෂබීජ නාෂක ආලේප කරගෙන නිවසට පැමිණෙද්දී මට ඒ කාලය වසරක් ගෙවුණා වැනි විය. මාගේ බිරිඳ සහ පුතා නිවසේ දොරකඩ සමීපයට වී මා එනතුරු මග බලාගෙන සිටි අතර, විෂබීජ නාෂකයෙන් පිරිසුදුව මා නිවසට ඇතුළු වූයේ ලෝකය පුරාම කෝවිඩ් 19 රෝගයෙන් මිනිසුන් ආරක්ෂා කර ගැනීමට, සුවපත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කරන සේවාවන්ට පින් දෙමිනි.
චන්දන ප්‍රනාන්දු - (ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට)