කලක් රූපවාහිනී මාධ්‍ය තුළ කටයුතු කළ සංජීව එදිරිමාන්න මෙවර පොදුජන පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වී තිබේ.
ඔබ දේශපාලනයට එන්න අදහස් කළේ ඇයි ?
මම ජනමාධ්‍යවේදියකු ලෙසත් දේශපාලනික කාර්යභාරයක් සිදුකළා. ඡන්දය ඉල්ලන්න දේශපාලනයට පැමිණීමට එයත් එක් හේතුවක් වෙනවා. ඒ වගේම දේශපාලනයට එක්වීම, දේශපාලන නායකයෙකු වීම කුඩා කාලයේ සිටම මට තිබුණු හීනයක්. 2005න් පසුව ඇතිවුණ අපේ රටේ තීරණාත්මකම දශකයේ මාධ්‍යකරුවෙකු ලෙස මා ප්‍රධාන දේශපාලන කාර්යභාරයක් සිදුකළා. 2015 ජනාධිපති ප්‍රතිඵලයෙන් අනතුරුව මම මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු නවතා පරිපූර්ණ ලෙසම දේශපාලනය පටන් ගත්තා.
මන්ත්‍රීවරයෙකු වුණොත් ඔබ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙසේද ?
මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුණාම මගේ පළමු රාජකාරිය විදිහට මම විසින් තෝරා ගත්තේ කළුතර මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් සෙවීමයි. ඒ තීරණය ආවට ගියාට ගත්තු තීරණයක් නෙවෙයි. ගමින් ගමට ගිහින් සමස්තය අධ්‍යයනය කරලා කළුතර මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක කරුණු සොයා බැලීමෙන් පසුවයි මම මේ නිගමනයට ආවේ.
අපිට තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. ජනතාවට ආදායමක් නැහැ. එහෙම නැතිනම් ආදයම ප්‍රමාණවත් නැහැ. මේ ප්‍රශ්නයට උත්තරයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් පවතින ආර්ථික වේදිකාව තුළ කළුතර මිනිස්සු වෙනුවෙන් හැකි උපරිම ලෙස යුත්තිය ඉටු කරන්න කටයුතු කරනවා. ඒ වගේම කළුතර සම්පත් මත පදනම් වුණ, අලුත් ආර්ථිකයකට කළුතර යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඔබ තෝරාගත් දේශපාලන පක්ෂය සුදුසුම පක්ෂයද ?
මම පක්ෂයක් තෝරා ගත්තේ නැහැ. අපි විසින් පක්ෂයක් හදලා ඒ පක්ෂය මේ රටේ ජනතාව සමග එකතුවෙලා දේශපාලනය කරමින් ඉන්නේ. මහජන අවශ්‍යතාව මත පදනම් වෙලා පක්ෂයක් හදන වැඩපිළිවෙළේ ප්රමුඛ කාර්යභාරය කළේ අපි. බැසිල් රාජපක්ෂ මහත්මා ළඟම හිඳිමින් අලුත් පක්ෂය හදන වැඩකටයුතු සිදුකරලා, අපි විසින් හදපු පක්ෂය සමගයි දේශපාලනය කරමින් ඉන්නේ.
පොරොන්දු ගොන්නක් ජනතාවට ලබාදී පාර්ලිමේන්තු ගිය බොහෝ දෙනෙක් ඒවා ඉටුකර නැහැ. ඔබත් ඒ ගොඩට වැටෙයිද ?
පාර්ලිමේන්තු ගිහින් කියපු දේ නොකළ බොහෝ දෙනෙක් ඉන්නවා. භාරගත්තු රාජකාරිය නොකරපු මිනිස්සු ලංකාවේ වැඩියි. නමුත් මම මගේ ජීවිත කාලයේ වගකීම් දෙකයි දැනට භාරගත්තේ. ඒ දෙකම හරියටම ඉටුකළා. මම මාධ්‍යකරුවෙකු විදිහට වැඩකළා. අපි රාජකාරි කළ ආයතනය මේ රටේ අංක එකේ ආයතනය බවට අපි පත්කළා. එය ඉවර කරලා අපි එළියට ආවා. ඊට පසුව දේශපාලන පක්ෂයක් හදන්න මහජන උවමනාවක් වෙනුවෙන් මම භාරගත්තු කාර්යභාරය අකුරටම ඉටුකළා. පක්ෂයක් හදලා එය මේ රටේ මිනිසුන්ගේ හදවතේ ජනප්‍රිය කරවලා අංක එකේ දේශපාලන ව්‍යාපාරය බවට පත්කළා. දැන් මම භාර ගන්න තුන්වැනි වගකීම කළුතර අනාගතය වෙනුවෙන් දේශපාලන කාර්යභාරය සිදුකිරීමයි. පෙර වැඩ හරියටම සිදුකළ පුද්ගලයෙකු විදිහට මම මේ වැඩේටත් අවංකවම ලෑස්තියි.
කළුතර ජනතාව ඔබ තෝරාගත යුත්තේ ඇයි කියා පැහැදිලි කළොත් ?
අලුත් හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යවමු කියලා සමාජය ඇතුළෙන්ම අලුත් රැල්ලක් ඇතිවී තිබෙනවා. මේ වෙලාවේ මිනිස්සු විසින් හදාගත්තු සටන් පාඨ කිහිපයක් තියෙනවා. 2015 මහින්ද මහත්තයා අතහැරලා ගියාද නැද්ද ? සංජීව එදිරිමාන්න මහින්ද මහත්තයා ගාව හිටියා. මේ අපේක්ෂකයා ඉගෙන ගත්තු කෙනෙක්ද නැද්ද? මේ අපේක්ෂකයාට ඒ සුදුසුකම තියෙනවා. ඒ වගේම මෙයා පෙර වැරදි තියෙන කෙනෙක්ද නැද්ද? ජනමාධ්‍යකරුවෙකු විදිහට රටේ සියලු තැන්වලට බලපෑම් කළ හැකි කෙනෙක් විදිහට ඉඳලත් ඉතා අවංක සහ පරිස්මින් ජීවත්වුණ මිනිසෙක් විදිහට ජනතාව මාව හඳුනා ගත්තා. ඒ වගේම අනාගතය වෙනුවෙන් චින්තනයක් ඇතිවයි මම ඡන්දෙ ඉල්ලන්න එන්නේ. මම මගේ වැඩපිළිවෙළ කළුතර ජනතාවට ඉදිරිපත් කළා. ජනතාවගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර නිසාමයි මම මේ වගේ දේශපාලනයට එන්නේ.
ඔබේ අදහසට අනුව නව පාර්ලිමේන්තුව කෙසේ විය යුතුද?
අපි ඉතාම ශක්තිමත් අලුත් පාර්ලිමේන්තුවක් හදාගත යුතුයි. එය ඔළුගෙඩි විදිහට ශක්තිමත් වෙන්නත් අවශ්‍යයි. ඒ වගේම චින්තනයක් විදිහට ශක්තිමත් වෙන්නත් අවශ්‍යයි. ඔළුගෙඩි වැදගත් වෙන්නේ 19 සංශෝධනය වෙනස් කරන්න. 19 සංශෝධනය නිසා පහුගිය ආණ්ඩුව මේ රට ව්‍යවස්ථා අර්බුදයක හිර කරලා තියෙනවා. එයින් රට ගලව ගන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් සහිත ආණ්ඩුවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තුව වෙනස් පාර්ලිමේන්තුවක් විය යුතුයි. 1970 ගණන්වල පැවැති පාර්ලිමේන්තුව සම්භාව්‍ය දේශපාලන සංවාද සහිත පාර්ලිමේන්තුවක් වුණා. දේශපාලන විෂය ඉගෙන ගන්න දරුවෙකුට මූලාශ්‍රයක් විදිහට භාවිත කරන්න පුළුවන්, සංවාද, මතවාද සහිත පාර්ලිමේන්තුවක් අපි හදාගන්න ඕන. මම ඒකට ලෑස්තියි.