සුබ නව වසරකට ආසිරි ලබමින් පවුලකට එක්වනු ලබන අමුත්තා හෙවත් බිලිඳා කෙරේ අනුපමේය සෙනෙහසක් දෙමාපිය වැඩිහිටියන්ගේ සිත්වල පහල වන්නේය. මේ බිලිඳා ආදරයෙත් ඇමතීමට නමක් තැබිය යුතුම වේ. ඒ සඳහා උචිත මුල් අක්ෂරය ඉතා වැදගත් වේ. උපත ලබන මොහොතේ විශ්ව තත්කාල කේන්දරය උපයෝගී කරගෙන එය සොයාගන්නා ආකාරය ජ්‍යෝතිෂ ශාස්ත්රයේ දැක්වේ. මෙහි පළමු කොටස පසුගිය සඳුදා දින පළකර ඇත.
ජ්‍යොතිෂ ශාස්ත්‍රය යනු කුමන විෂය පදනමක් උදෙසා බිහිවූවක්ද යන්න පැහැදිලිව දකිමු. මෙලොව උපත ලබන සියලු මනුෂ්‍ය හා සත්ත්වයන් කෙරෙහි විශ්ව ශක්තියේ බලපෑමක් ඇතිකරන බවසත්යයකි. ජ්‍යොතිෂය හා ශාකසාර වෛද්‍ය ක්‍රමය හෙවත් දේශීය (ඕනෑම රටකට ආවේණික) වෙදකම විද්‍යාවක් නොව ශාස්ත්රයකි. විද්‍යාවේ නිරීක්ෂණ ශීඝ්‍රයෙන් වෙනස් වේ. එය සත්‍ය බව ඔප්පුකර ඇත. එහෙත් ශාස්ත්රයේ සංඝටක කිසිදා නොවෙනස් වන තරමට මන්දගාමීය. විද්‍යව පරීක්ෂණ, නිරීක්ෂණ යනාදිය මත බිහිවූවකි. ශාස්ත්‍ර ගෙඩනැගෙන්නේ සිත දියුණු කිරීම මතයි. බුද්ධ දර්ශනය යුගයකදී මැකී ගියත්, ලොව කිසිදා නොවෙනස්ව පවතින සත්‍ය ධර්මතාවයකි. ස්වභාව ධර්මයේ ධර්මතාවය (පංච භූත කෝප වීම නොව) සදා නොවෙනස්ය. ස්වභාවධර්මයේ නිර්මාණවලට පටහැනිව සිත දියුණු කරන ආකාරය දක්වනුයේ බුද්ධ දර්ශනයයි.මෙයින් පෙනී යන්නේ සිත දියුණු කිරීමෙන් ලැබෙන ධර්මතා සියල්ලටම වඩා බලවත් බවයි. ස්වභාවධර්මය දුක, සැප, ඊර්ෂා, ක්‍රෝධ, වෛර, තණ්හා, ආශා, කාම යන සංඝටකයන් මත ක්‍රියාත්මකයි. දුක හා සැප ආරෝහණ, අවරෝහණ වශයෙන් නිති පෙරළේ. (දෝලනය වේ) බුද්ධ දර්ශනයේ අරුත සදාතනික සැපතයි. ඇසිපිය හෙළන මොහොතේ වේය වෙනසක් මේ බුද්ධ දර්ශනයේ දෘෂ්ටියයි.
පෘතුවිය ඇතුළු සියලුම ග්‍රහ ලෝක ඉතා වේගයෙන් භ්‍රමණය වේ. එවිට ග්‍රහලෝකවල කොතැනක හෝ යම් සිදුවීමක් සිදුවන මොහොතේ, එම ග්‍රහයන්ගේ ශක්ති ප්‍රභවයන් අවස්ථානුකූලව බලපානු ඇත. ග්‍රහලෝකවල දුරස්වීම, ළංවීම, නිකුත් කරන ශක්ති ප්රභවයන්ගේ තීව්‍රතාව, එකිනෙක ආකර්ෂණ, විකර්ෂණ, භ්‍රමණ හැඩතල හා වේගය, අස්ථ වීම, ආලෝකය යනාදී විශේෂිත සාධක ඉතා සුළු ප්‍රමාණයකින් හෝ එකිනෙකට ඉඳුරාම වෙනස් වේ. නූතනයේ තාරකා විද්‍යාඥයෝ නොයෙක් උපකරණ හා ගණිතමය ක්‍රම මගින් ග්‍රහලෝක දුරස්ථ ක්‍රියා දැනගෙන ඇත්තාහ. නමුත් ඒ වෙනස්වීමේ ඵල ජීවීන් කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර නැත. ඊට හේතුව මොවුන් මනස දියුණු කිරීමෙන් ලබාගත් දැනුමක් නොවන නිසාය.
ක්‍රිස්තු වර්ෂ 2021 වර්ෂය කල්ප වශයෙන් වර්ෂ කෝටි එකසිය අනූහතයි විසිනව ලක්ෂ හතළිස් නවදාස් එකසිය විසිඑකකි. (1972949121) කලියුග වර්ෂ 5121කි. බුද්ධ වර්ෂ 2564 වේ. කල්පයක් සකස් වීම සඳහා මහා යුග, උපයුග, දහස් වර්ෂ, සියස් වර්ෂ, වර්ෂ, මාස, සති, දින, පැය, විනාඩි, තප්පර, වශයෙන් කාලය ගෙවී යා යුතුයි. තවදුරටත් තප්පරය එයින් දාහෙන් පංගුවටත් වඩා සියුම්ව අවරෝහණය වේ. බුදුදහමේ දැක්වෙන නිමේෂය, තිතක්ෂණය මෙනෙහි කරන්න. සෘෂිවරයන් වහන්සේලා විසින් ඉහත කී ශාස්ත්‍ර ප්‍රගුණ කර ඇත්තේ සිත දියුණු කර බවද ග්‍රහ තාරකාවල විපර්යාස කාල නීර්ණ ඒ අනුව මනුෂ්‍යයන්ට බලපාන ගුණ දොස්ද ශාරීරික නිර්මාණද ශාක හා ඒවායේ ගුණාගුණද දැන වදාළ බව දුරාතීත පුරාණයේ විසූ භාරද්වාජ, සෘෂ්‍යශෘංග, ව්‍යාස, ෂණ්මුඛවාල, අශ්විනීන්, වාල්ඛිල්ය, අගස්ත්‍ය, මෘතංග, කාණ්ඩිකසෘෂි යන බමුණු පරම්පරාව විසින් ලියන ලද කාලශාස්ත්ර, ශක්තිතන්ත්ර, ආකාශතන්ත්ර, සෞමිණි කලා ශාස්ත්‍ර, අනුකරණ ශබ්ද ශාස්ත්‍ර යනාදී පුස්කොල පොත්වල සඳහන් වී ඇති බව දෛවඥ කාමධේනු පොත සාක්ෂි දරනු ඇත. මේ සියලු සෘෂිවරයන් වහන්සේලාගේද ගෞතම බුදුරජාණන් වහන්සේගේද උත්පත්තිය සිදුව ඇත්තේ මහාභාරත ජම්බුද්වීපයේ බව සත්‍යවේ. දැනුදු පවතින සියලු විද්‍යෘ හා ශාස්ත්‍රීය දැනුම ඒ සියල්ලේම අඩංගු සාධකයෝය යන්න අවිවාදයෙන් පිළිගත යුතුව පවතී. ධන්වන්තරීසාෂි උතුමන්ගේ ශාකසාර ගුණ සියලු රෝග හා වසවිස සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කරන බව දේශීය වෛද්‍ය ශාස්ත්රයේ දැක්වේ.මේ සියලු කාරණා ඉහතින් දැක්වූයේ මුලික වශයෙන් ළඳරු උපතක් සිදුවන විට කාලයේ වෙනස් වීම කොතරම් දුරට සියුම්ද යන්න පෙන්වාදීමටත්, ශාස්ත්‍රීය සත්‍යතාවය වටහා දීමටත්ය. තවද යම් කේන්ද්‍රයක් හිමි අයෙකුගේ අත්ලේ රේඛාවල හා ග්‍රහ මණ්ඩල පිහිටීම ගැන විමසිලිමත් වෙමු. එම පිහිටීම් අනුව ග්‍රහබල දුබලතාවයන් පෙන්නුම් කරයි. ආයුෂ අඩු වැඩි හෝ බාධක තිබේද නැද්ද යන්න ජීවන රේඛාවේ පිහිටීම අනුව තීරණය කළ හැකි වේ.
මෙසේම ශීර්ෂ රේඛාවෙන් බුද්ධියත්, හෘද රේඛාවෙන් සිතේ ශක්තිමත්කම හා පපුවේ රෝග ගැනත්, රවි රේඛාවෙන් පියා ගැන හෝ රජයේ රැකියා මෙන්ම පක්ෂපාතීත්වයත්, සුබ රේඛාවෙන් ධනය ලැබීම හා ඊට බාධකත් මනාව පෙන්නුම් කරයි. සිකුරු මණ්ඩලයෙන් ජීවිතේ සැප, දුක හා සතුට අසතුට මෙන්ම සිත් වේදනාද පෙන්නුම් කරයි. බුධ මණ්ඩලයෙන් බුද්ධි ප්‍රමාණයත්, ගුරු මණ්ඩලයෙන් තීක්ෂණ නුවණ හා ස්වාභාවික ප්‍රඥාවත් දක්වයි. ශාරීරික සෞඛ්‍යය හෙවත් රෝගී නිරෝගී තත්ත්වයන් කුජ මණ්ඩලයෙනුත් දැනගත හැකිවේ.
මේ සුවිශේෂී කරුණු එම මණ්ඩලවල උස්පහත් තත්ත්වයන් සලකා තේරුම්ගත හැකිය. උපත් කේන්දරයත් සමග අත්ලේ රේඛාත් සංසන්දනය කර බලා කරන ප්‍රකාශන පූර්ව ආත්ම හා මේ ආත්ම සම්බන්ධව ඵල ප්‍රකාශ කළ හැකි වේ. මෙහිදී දෙඅතම පරීක්ෂාව වඩාත් උචිත වේ. කේන්දරය පමණක් පරික්ෂාවෙන් කිව හැක්කේ පූර්ව ආත්මයේ සිට රැගෙන ආ කර්මයන් පමණි. සුබවාදී කර්ම ක්‍රියාත්මක කරගන්නත් අසුබවාදී කර්ම වළක්වා ගැනීමටත් ක්‍රම හා විධි ජ්‍යොතිෂයේ මනාව දැක්වේ. මේ සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමක් එහි නොදැක්වේ.
ඉහත දැක්වූ විස්තරයට ආවේණිකව එක හා සමාන ලග්න ස්ඵූඨ හා ග්‍රහ ස්ඵූට සහිත කේන්ද්‍ර දෙකක් කිසිදා කොහේදිවත් දෙදෙනකුට අයිති විය නොහැක. ඊට හේතු වන්නේ උපත ලත් වේලාව ඉතා සියුම්ව වෙනස් වන නිසයි. ඉහත කී ස්ඵූඨවල අගයන් අංශක, කලා, විකලා වශයෙන් හෝ වෙනස් වෙනු ඇත. නිදර්ශන වශයෙන් 2021-1-10 දින සවස 12.25ට උපතක් සිදුවූයේ නම් මේෂ ලග්න ස්ඵූඨය අංශක 02 කලා 51යි. නවාංශකයද මේෂ වේ. ශීඝ්‍රයෙන් වෙනස් වන ග්‍රහයා සඳු නිසා සඳු වෘශ්චිකයේ අංශක 17 කලා 38කි. එදිනම සවස 1.30 (පැය එකක මිනිත්තු 5 වෙනස) නම් මේෂ ලග්න ස්ඵූඨය අංශක 19 කලා 06කි. නවාංශකය කන්‍යා වේ. සඳු වෘශ්චිකයේ අංශක 18 කලා 14කි. නමුත් ඔබට ලැබෙන කේන්දර සටහන් දෙකෙහිම මේෂ ලග්නය කුජ 1, රාහු 2, චන්ද්‍ර කේතු 8, රවි සිකුරු 9, බුධ ගුරු ශනි 10 යනුවෙන් සඳහන් විය හැක. මෙසේ සාදන කේන්දර උපයෝගී කරගෙන ඵල ප්‍රකාශන හෝ පොරොන්දම් පරික්ෂා නිවැරදි වේද? නැත. මේ ගැන නුවනින් විමසා බලන්න. පාලක ග්‍රහයන් මොහොතින් මොහොත වෙනස් වන බවත්, භාවානුරූපව ග්‍රහයා ඉදිරියට යන බවත්, ස්ඵූඨ වෙනස් වන බවත් සලකා කේන්දර සෑදිය යුතු බවත් වටහා ගන්න.
2021 ජනවාරි මස 05 වන අඟහරුවාදා සවස 6.19 සිට 6 වන බුධ දින සවස 5.08 දක්වා හත නැකත උදාව පවතී. මේ කාලය තුළ ළමයෙකුගේ උපතක් සිදුවූයේ නම් පු,උ හා උපත ලැබූ ලග්නයට හිමි අක්ෂරද උපයෝගී කරගන්න. පහත සඳහන් ඒවාටද එසේ කර ගන්න.
ජනවාරි 6 වන දින සවස 5.9 සිට 7 වන ගුරු දින සවස 3.44 දක්වා කුජ හිමි සිත නැකත උදාව පවතී. මේ කාලයේදී උපදින ළඳරුවන්ට ඔබින අක්ෂර නම් පෙ, පො, ර, රි,
7 වන ගුරු දින සවස 3.45 සිට 8 වන කිවි දින සවස 2.12 දක්වා කාලය තුළ පවතිනුයේ රාහු ග්‍රහයාට අයත් සා නැකතයි. එම කාලය තුළ උපදින බිළිඳුන්ගේ නාමකරණ සඳහා උචිත අක්ෂර නම් උ, රු, රෙ, රො, ත,
8 වන කිවි දින සවස 2.13 සිට 9වන සෙනසුරාදා දහවල් 12.32 දක්වා උදාව පවතින්නේ ගුරු හිමි විසා නැකැතයි. මේ කාල පරාසය තුළ උපත ලබන ළඳරුවන්ගේ නම් සඳහා උචිත අක්ෂර ති,තු,තෙ,තො,ඉ,උ, එ, ඔ
9 වන සෙනසුරාදා දහවල් 12.33 සිට 10වන ඉරිදා උදේ 10.47 දක්වා ශනි හිමි අනුර නැකැත උදාවී පවතිනු ඇත. උචිත අක්ෂර වනුයේ න, නි, නු, නෙ, උ, අ, ඊ
10වැනි ඉරිදා උදේ 10.48 සිට 11වන සඳු දින උදේ 09.08 දක්වා බුධ හිමි දෙට නැකැත උදාව පවතී නාමකරණයට උචිත අක්ෂර වන්නේ තො, ය, යි, යු,ඔ, ඉ, උ
11වන සඳු දින උදේ 09.09 සිට 12වන කුජ දින උදේ 07.36 දක්වා කේතු හිමි මූල නැකැත උදාව පවතී. මේ කාලය තුළ උපත ලබන දරුවන්ට නම් තැබීමේදී යෙ,යො,බ,බි,එ,ඔ,ඉ
නිතර බණ ඇසීමම නොව ඇසූ බණ පිළිපදින්න පුරදු වන්න. ඒ ප්‍රමාණයට ග්‍රහ දෝෂ භංග වේ.
රාජපක්ෂ