රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ 2009 වසරේ සිට හම්බන්තොට සිදුකළ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන් වන වනසතුන්ට වාසභූමියක් තැනීම පදනම් කරගෙන. එසේ නම් කරනු ලැබූ වනඅලි කළමනාකරණ රක්ෂිත වෙනුවෙන් හෙක්ටයාර් 50,000ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කරනු ලැබූ නමුත්, අද වනවිට ඉන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 10,000කටත් වඩා අඩු කොටසක් වීම කනගාටුවට කරුණකි
2009 වර්ෂයේදී හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සහ ඒ අවට සිදු වූ තවත් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදු වූ කැලෑ හෙළි කිරීමෙන් අවතැන් වූ වනඅලින් උදෙසා වනඅලි කළමනාකරණ රක්ෂිත භූමිය වෙන් කෙරුණු අතර, ඒ සඳහා මහවැලි රක්ෂිත ප්‍රදේශ මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශද අයත් විය. 2009 අංක 22 දරණ වනසත්ත්ව වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 02 වැනි වගන්තියට අනුව මෙම වනඅලි කළමනාකරණ රක්ෂිත භූමි ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. එම කටයුත්තද මෙතෙක් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනඅලින්ගේ මෙන්ම අනෙකුත් වනසතුන්ගේ වාසභූමිද අහිමි වීමේ පසුබිමක දැවැන්ත අලි මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.
හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ මහවැලි කලාපයට අයත් භූමි ප්‍රදේශය 2003 වසරේදී කිරි ගොවීන්ගේ තෘණ භූමි සඳහා වෙන්ව තිබිණි. පසුව 2008දී පමණ මෙම භූමි භාගය වනඅලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන් කරනු ලබන්නේ ඒ වනවිට වනඅලින්ගේ වාසභූමි දැඩි සේ හෙළි කරමින් සිදුකළ දැවැන්ත සංවර්ධනය හමුවේ නිර්මාණය වූ අලිමිනිස් ගැටුම සඳහා පිළියමක්ද ලෙසිනි. මේ අතර මෙම අලි කළමනාකරණ රක්ෂිතය දෙබෑ කරමින් 2014දී පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස හම්බන්තොට සිට මත්තල දක්වා ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමග වනඅලි කළමනාකරණ රක්ෂිතයට අයත්ව තිබූ තවත් විශාල භූමි ප්‍රමාණයක්ද අහිමි විය.
ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි-ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ හෙක්ටයාර් 2,000ක් පමණ ලබාගත් අතර, මේ වනවිට ඉන් හෙක්ටයාර 800ක් සංවර්ධනය කර තිබේ.
එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා හෙක්ටයාර 1,115ක් පවරාගත් අතර, මේ වනවිට ඉන් හෙක්ටයාර 800ක ප්‍රදේශයක් සංවර්ධනය කර අවසන්ය. නමුත් අවතැන් වූ අලි ඇතුන් 20කට අධික ප්‍රමාණයක් වරාය හෙළි නොකරන ප්‍රදේශයේ තවමත් ජීවත් වෙති.
ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහාද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.
මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජඳුර, බඳගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 05 හා 06 ප්‍රදේශවලට මෙන්ම මදුනාගල, මිරිජ්ජවිල, සූරියවැව යන ප්‍රදේශවල වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගාබිම්වලට හා දේපළවලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබෙන බවද ගොවීහු පවසා සිටිති.
මේ ආකාරයෙන් ඇති වූ අලි මිනිස් ගැටුම හේතුවෙන් 2019 වර්ෂයේදී පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනඅලින් 09 දෙනෙකු හා මිනිස් ජීවිත 06ක් පමණ අහිමි වූ අතර, 2020 වර්ෂයේ මේ වනවිට මිනිස් ජීවිත දෙකක් හා වනඅලින් දෙදෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.
මීට වසර 15කට පමණ පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මහවැලි අධිකාරියට අයත්ව තිබූ හෙක්ටයාර් තිස් දෙදහසකට අධික භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් පහළොස්දහසක පමණ ප්‍රමාණයක් මේ දක්වා විටින් විට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දී ඇතැයි හම්බන්තොට මයුරපුර මහවැලි අධිකාරියෙන් ලබාගත් තොරතුරුවල සඳහන් වේ.
හම්බන්තොට අලි කළමනාකරණ සැලසුම
හම්බන්තොට අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මගින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලිඇතුන් 450කගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. නමුත් මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව තිබුණද, එය හුදු වචනවලට හා නාමපුවරු කීපයකට පමණක් සිමා වී ඇති කටයුත්තකි.
ඉඩම් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වූ අලි කළමනාකරණ රක්ෂිතය
මේ අතර මහවැලි සංවර්ධන අධිකාරියට අයත් මෙන්ම රජයේ රක්ෂිත ප්‍රදේශවලට අයත් විවිධ ඉඩම් ජාවාරම්කරුවන් සහ දේශපාලන හිතවත්කම් ඇති පිරිස් විසින් ඔප්පු සකසාගනිමින් මේ වනවිට හෙළි කරමින් විවිධ වාණිජ භෝග වගා හා ඉදිකිරීම් සිදුකරමින් තිබේ. මේ ප්‍රදේශද යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිත භූමියට අයත් ඉඩම්ය. මෙම ප්‍රදේශ අතරින් හම්බන්තොට බුන්දල සිට වනඅලින් ගමන් ගන්නා හැඩිල්ල අලිමංකඩ ප්‍රදේශය දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ කිසිදු ආකාරයක මිනිස් වාසයක් මෙම ප්‍රදේශ තුළ නොතිබුණද පසුව මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කිරීමත් සමග විටින් විට ප්‍රදේශයේ රක්ෂිත හෙළි කරමින් ඉඩම් අල්ලාගැනීම් සිදුකර ඇති බවයි. එය මෙම ඉඩම් ජාවාරම් සඳහා කදිම නිදසුනකි.
මේ ආකාරයෙන් විවිධ ජාවාරම්කරුවන් නිලධාරීන්ගේද සහාය ඇතිව සිදුකරනු ලබන මෙම ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේද අවධානයක් නොමැති පසුබිමක, මෙම මහවැලි රක්ෂිත ප්‍රදේශ තුළ ඇති නින්දගම් ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා මහවැලි අධිකාරියෙන් කළ විමසීමකදී තහවුරු වූයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් කිසිදු ආකාරයක නින්දගම් වෙන්කොට නොමැති බවයි. එමෙන්ම මෙම ප්‍රදේශවල නින්දගම් ඉඩම් ලෙස ඔප්පු සකසා යම් යම් ඉඩම් විකිණීමේ ජාවාරමක් පැවතීම හේතුවෙන් තංගල්ල විශේෂ විමර්ශන ඒකකය මගින් ඒ සම්බන්ධයෙන් නිලධාරීන් කැඳවා 2020.07.03 දින විශේෂ සාකච්ඡාවක්ද සිදුකළ බව මහවැලි අධිකාරිය මගින් ලිපි අංක MA /TS /ADM /02-A (2016-12) iv යටතේ ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය. මෙහි විශාල භූමි භාගයක් හෙළි කර සංවර්ධනය කර ඇත්තේ හම්බන්තොට ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආසන සංවිධාකයවරයෙකු විසිනි.
අධිවේගයෙන් උග්‍ර වන අලිමිනිස් ගැටුම
මේ අතරතුර ඉදි වූ දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හා හම්බන්තොට දක්වා කොටස වශයෙන් තෝරාගනු ලබන්නේ වනඅලින් බොහෝ සෙයින් ජීවත් වූ ප්‍රදේශයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී මෙම ප්‍රදේශවල ජීවත්වන වන අලින්ගේ සංචරණ කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල වන හෙයින් 2015 දක්වා පැවැති ආණ්ඩුව මගින් වනඅලින්ගේ සංචරණ කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් කණු මත එම ප්‍රදේශ තුළ අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබුණද, පසුගිය ආණ්ඩුව මගින් එය වෙනස් කොට වන අලින්ට මාරු වීම සඳහා පාලම් දෙකක් (Under Passes) සකස් කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 5240.75ක මුදලක්ද යොදවා තිබේ.
එමෙන්ම ප්‍රදේශය දැඩි සේ වනඅලින් ගැවසෙන ප්‍රදේශයක් නිසා දැඩි ආරක්ෂාකාරී අලි වැටක් ඉදිකර තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 215.99ක මුදලක් යොදවා ඇති බවද අනාවරණය වේ.
කෙසේ නමුත් වනඅලින් බොහොමයක් රාත්‍රී කාලයේදී තම සංචරණ කටයුතු සිදු කිරීමේදී ගම්මාන තිබෙන රක්ෂිත ප්‍රදේශ තුළට පැමිණෙන අතර, එහිදී වනඅලින්ට තමන්ට සුපුරුදු මාර්ග ඔස්සේ ගමන් කිරීමට අවස්ථාවක් නොමැති වන පසුබිමක ප්‍රදේශයේ වගා බිම් මෙන්ම මිනිස් ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වේ. අධිවේගී මාර්ගය හරහා අදාළ ගුවන් පාලම් දෙක තුළින් වනඅලින් ගම් දෙසට පැමිණියද යළි පිටවීමේදී එය ප්‍රමාණවත් නොවීම හරහා වන අලින් ගම තුළ රැඳී මිනිසුන්ට හා දේපළවලට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.
තම සුපුරුදු මාර්ග ඔස්සේ ගමන් කිරීමට තැත් කරන සත්ත්වයෙකු වන වන අලියා කෙසේ හෝ තම වාසභූමි තුළ සංචරණය කිරීමට උත්සාහ ගැනීමේදී අධිවේගී මාර්ගයේ ඇති අලි වැටවල්වලට මෙන්ම දේපළවලටද අලාභ හානි සිදු කිරීම් මේ වනවිටත් විටින් විට දක්නට ලැබෙන දෙයක් වී තිබේ. එහිදී වනඅලින්ටද සිදුවන හානියද නොතකා හැරිය නොහැකි දෙයකි. මෙවැනි පසුබිමක පසුගිය දිනකදී හම්බන්තොටදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූයේ යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඉතිරිව තිබෙන බිම් කොටස් තුළින්ද විශාල භූමි ප්‍රමාණයක් යළි සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් දීමට සැරසෙන බවයි. ඉන් අධිවේගී මාර්ගය දක්වා කොටසක් අලි කළමනාකරණ රක්ෂිතයට අහිමි වන නිසා වනජීවී නිලධාරීන් දැඩි සේ කියා සිටියේ එසේ නොකරන බවයි. එසේ ඉඩම් ලබාගැනීමක් සිදු කරනු ලැබීම තුළින් වනඅලින්ට පාර මාරුවීම වෙනුවෙන් රුපියල් මිලියන 5240.75ක මුදලක්ද යොදවා අධිවේගී මාර්ගය හරහා ඉදිකරන ලද පාලම් දෙක සඳහා වැය කළ මුදල්ද අපතේ හැරීමක් වෙයි.
මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කාලයක් තිස්සේ සිදුවන සංවර්ධනය හමුවේ වනඅලින්ගේ නිජබිම් විනාශ වීම නිසා උද්ගත වී ඇති අලි මිනිස් ගැටුම අවම කිරීමට මේ වනවිට ඇති එකම විසඳුම වන්නේ යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වනජීවී දෙපාර්තමේන්තුව වෙත එය පවරා දීම වුවද එලෙස සිදු වී නැත.
කෙසේ නමුත් මෙම යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කළ විමසීමකදී අනාවරණය වූයේ මෙම ප්‍රදේශයට අයත් විවිධ රාජ්‍ය ආයතන මෙන්ම, සංවර්ධන කටයුතු සිදුකරනු ලබන ආයතන මගින් හා විවිධ පාර්ශ්වයන්ගේ එකඟතාව ලබාගැනීමට කල්ගත වීම තුළ එය ප්‍රමාද වී ඇති බවයි.