ඉංග්‍රීසියෙන් බල්ලන් ඇමතීම


ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් වේ. ඒවා නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසිය. සිංහලත්, දෙමළත් මෙරට ජීවත් වූ ජනතාව වසර දහස් ගණනක් තිස්සේ කතා කළ භාෂා වන අතර, ඉංග්‍රීසිය යනු අවසන් වරට මෙරට යටත් විජිතකරණයට ලක්කළ තුන්වැනි යුරෝපීය ජාතිය කතා කළ භාෂාවයි. 

අද වනවිට ඉංග්‍රීසිය මාතෘ භාෂාවක් වශයෙන් මිලියන 400ක පමණ ජනතාවකුත්, විදෙස් බසක් ලෙසින් මිලියන 700ක පමණ ජනතාවකුත් කතා කරති. 
භාෂාවක නොයෙකුත් ප්‍රයෝජ්‍යතා පවතී. ඉන් ප්‍රධානතම ප්‍රයෝජනය නම් සන්නිවේදනය කර ගැනීමයි. ඊට අතිරේක ලෙසින් ඉතා සියුම් දෑ භාෂාව තුළින් මූර්තිමත් වේ. එවැනි සියුම් ලක්ෂණයක් නම් භාෂාව තුළින් මිනිසුන් අයත් වන සමාජ පන්ති නිරූපණය වීමයි. 

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ රටවල මිනිසුන් ඉංග්‍රීසිය යනු තවමත් ඉහළ පැළැන්තියේ ජනතාවගේ භාෂාවක් ලෙස හඳුනා ගනියි. තමන් සාමාන්‍ය ජනතාවගෙන් වෙනස්ව වෙනත් ප්‍රවර කණ්ඩායමකට අයත් ජන කොට්ඨාසයක් ය යන හැඟීම ඇති කිරීම සඳහා ඉංග්‍රීසිය යොදා ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරති. 

ශ්‍රී ලංකාවේ වුවද ඇතැම් මිනිස්සු බල්ලන්ටද ඉංග්‍රීසියෙන් කතා කරති. සුපිරි වෙළෙඳ සැල් වැනි සෙනඟ ඇති තැන්වලදී කුඩා සිඟිත්තන්ට ඉංග්‍රීසියෙන් කතා කරන මිනිසුන් දකින්නට ලැබෙන අතර, ඇතැම් විට ඒ සිඟිත්තෝ සිංහලෙන් පෙරළා කෑ මොර දෙති. 

මෙවැනි උත්සාහයන් තුළින් මිනිසුන් උත්සාහ ගන්නේ ඉංග්‍රීසිය සමගින් බැඳී සමාජ අධිකාරීත්වය තමන් වෙත ආකර්ෂණය කර ගැනීමටයි. එය භාෂාවේ ඇති මූලික ප්‍රයෝජ්‍යාර්ථය ඉක්මවා යෑමකි. 
සහිත් ඕලා නම් ලේඛකයා පෙන්වා දෙන කරුණක් නම් ඉංග්‍රීසි භාෂාව සමග සමෘද්ධිය බැඳී ඇති බවට අදහසක් ඉන්දියානු මිනිසුන්ගේ සිත් තුළට කාවැදී ඇති බවයි. ඉන්දියාව සහ එංගලන්තය සංසන්දනය කළොත් ඒ දෙරටින් ඉංග්‍රීසි වැඩි වශයෙන් කතා කරන පිරිස ඉන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ මිනිසුන්ගෙන් මිලියන 125ක් ඉංග්‍රීසි කතා කරයි. ඇතැම් ඉන්දියානුවන්ට ඉංග්‍රීසි හැර වෙනත් කිසිදු භාෂාවක් බැරිය. 
නමුත් සම්පූර්ණ අප්‍රිකාවටම වඩා වැඩි දිළින්දන් සංඛ්‍යාවක් සිටින්නේ ඉන්දියාවේය. අප්‍රිකාවේ ඇති දිළිඳුම රටවල් 26යේ සමස්ත ජනතාවට වඩා වැඩි දිළිඳු ජනතාවක් ඉන්දියාවේ සිටිති. බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ බටහිර බෙංගාලය වැනි ‍ප්‍රදේශවල මිලියන 421කට වැඩි පිරිසක් අන්ත දිළිඳුභාවයේ ගිලී සිටිති. 

මෙනයින්, ඉංග්‍රීසි කතා කරන්නවුන් විසින් ඉන්දියාවට ගෙන එන ලැබූ සමෘද්ධියක් නැත. ලෝකය දෙස ආපසු හැරී බැලුවහොත් ඉතා සමෘද්ධිමත් සමාජ බිහි වී ඇත්තේ නවෝත්පාදන බිහි කෙරෙන්නේ තමන්ගේ ස්වභාෂාවලින් වැඩ කටයුතු කරන රටවලය. කොරියාව, චීනය, ජපානය, ජර්මනිය, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඉතාලිය ආදී සෑම රටක්ම කටයුතු කර ඇත්තේ ස්වභාෂාවෙනි. සමාජයක් තුළ අනන්‍ය වූද සුවිශේෂිත වූද නිර්මාණ බිහි වන්නේ ස්වභාෂාවකිනි. මක්නිසාද යත් භාෂාව සහ චින්තනය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක් බැවිනි. 
එනයින්, භාෂාවක් යනු ආභරණයක් හෝ හීන මානය වසා ගැනීම සඳහා පැලඳුමක් හෝ නොවේ. භාෂාවක් යනු සංවර්ධනය වෙනුවෙන් යොදා ගතයුතු මෙවලමකි. ලෝකයේ එතෙක් මෙතෙක් මිනිසුන් නිර්මාණය කළ ඥානය සැඟ වී ඇත්තේ භාෂාවන් තුළය. 

 



Recommended Articles