ඈනුම සහ විද්‍යාව


විද්‍යාව ඔස්සේ බොහෝ දේ පැහැදිලි කර ගැනීම සඳහා අපි යොමු වී සිටින්නෙමු. විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කළ නොහැකි නම් එය සත්‍යයක් ලෙස පිළිනොගැනීම ලෝකයේ සිදුවෙයි. විද්‍යාව මූලික වශයෙන් විශ්වාස කරන්නේ හේතුව සහ ඵලය අතර සම්බන්ධයකි. 

එහෙත් හේතුඵල සම්බන්ධයක් පැහැදිලි කිරීමට නොහැකි බොහෝ දේ මේ ලෝකයේ ඇත. උදාහරණයක් ලෙස අපගේ මුවින් පිටවන ඈනුම සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිදු විද්‍යාඥයෙකුට හේතුඵල සම්බන්ධයක් ගොඩනැඟීමට හැකි වී නැත. අසවල් හේතුව නිසා ඈනුම් යන්නේ යැයි කිසිවෙකුත් විද්‍යාත්මකව තහවුරු කර නැත. 

අතීතයේ විද්‍යාඥයන් සිතා සිටියේ මිනිසුන් ඈනුම් අරින්නේ ශරීරයට වැඩි වශයෙන් ඔක්සිජන් ලබාගැනීම වෙනුවෙන් බවයි. එහෙත්, එම න්‍යාය මේ වන විට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වී තිබේ. මොළය සිසිල් කිරීමේ අරමුණින් මිනිසුන් ඈනුම් යවන බවට තවත් විද්‍යාඥයෝ පිරිසක් මත දක්වති. එහෙත් එය සම්බන්ධයෙන් ද පොදු එකඟතාවක් නොමැත. 
සෑම විද්‍යාඥයෙකුම පිළිගන්නා කරුණක් නම් ඈනුම යනු ඉතා ප්‍රාථමික අවිඥානික ක්‍රියාවක් බවයි. මිනිසුන් පමණක් නොව සත්ත්ව රාජධානියේ බොහෝ සතුන්ද ඈනුම් යැවීම සිදුකරන බව නිරීක්ෂණය වී තිබේ. චාර්ල්ස් ඩාවින් 1838 වසරේ දී වරක් රචනා කළේ බල්ලෙකු, මිනිසෙකු සහ අශ්වයෙකු ඈනුම් යවන අයුරු දැක සියලු සතුන් එකම ව්‍යුහයක් යට‍තේ කොතෙක් දුරට නිර්මාණය වී ඇත්ද යන හැඟීම තමන් වෙත පැමිණි බවයි. 

ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසක් වන්නේ මිනිසුන්ගේ පරිණාමයේ ප්‍රාථමික අවදියේදී ඈනුම් ඇරීම සහනුභූතියේ ලකුණක් ලෙස පැවැති බවයි. වාචික සන්නිවේදනය නොදියුණුව පැවැති එම යුගයේදී මිනිසුන් කිසියම් කාර්යක් ඇරඹීම සඳහා ඈනුම භාවිත කළා විය හැකි බවට ඔවුන්ගේ අදහසක් පවතී. කෙසේවෙතත්, අද වනවිට ඈනුම සමාජීය කාර්යක් ඉටුකරමින් සිටී. එනම් ඈනුම තුළින් කිසියම් කෘත්‍යයක් සම්බන්ධයෙන් ඇති කුසීතභාවය පෙන්නුම් කෙරේ. එක් අයෙකුට ඈනුමක් ගිය විට තවත් පුද්ගලයෙකුට ඈනුමක් යෑමේ ස්වභාවයක් පවතී. එයද අතීතයේ සිට සන්නිවේදනයේ සඳහා ඈනුම භාවිත කළ බවට ලකුණකැයි විද්‍යාඥයෝ පවසති. 

කෙසේවෙතත්, කිසිදු විද්‍යාඥයෙකුට මේ වන තෙක් ඈනුම තුළ ඇති හේතුව සහ ඵලය පැහැදිලි ලෙසින් සනාථ කර ගැනීමට‍ නොහැකි වී තිබේ. ඈනුම් යැවීමට පමණක් නොව පූසෙකු පුරු පුරු ගෑම වුවද පැහැදිලි කළ හැකි විද්‍යාත්මක න්‍යායක් මෙතෙක් පහළ වී නොමැත.  පුරු පුරු ගෑම සම්බන්ධයෙන් ඇති එක් මතයක් වන්නේ පූසන්ගේ අස්ථි ශක්තිමත් වීම සඳහා එය හේතුවක් වන බවයි. 

විද්‍යාවේ අර්ථ දැක්වීම තුළින්ම සත්‍යය යැයි පිළිගැනෙන්නේ පරීක්ෂා කළ හැකි ප්‍රපංචයන් පමණකි. එහෙත් ඈනුම් ඇරීම හෝ පූසෙකු පුරු පුරු ගෑම වැනි ප්‍රපංචයන් පවා විද්‍යාව තුළින් පැහැදිලි කිරීමට නොහැකි නම් පරීක්ෂණයට සහ නිරීක්ෂණයට ලක් කළ නොහැකි දේවල්හි සත්‍යය කෙසේ නම් විද්‍යාවක් තුළින් පැහැදිලි කරන්නේද යන ගැටලුව ඇති වෙයි. 

 



Recommended Articles