බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය ත්‍රස්තවාදය පෝෂණය කළේද? - 2 කොටස
එක්සත් ජනපදය විසින් පසුකාලීනව ත්‍රස්තවාදීන් ලෙස වර්ගීකරණය කොට පහරදීමට පටන් ගත් පිරිස මුල් කාලයේදී නඩත්තු කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින්මය. ඇෆ්ගන් මුජහිදීන් ත්‍රස්තවාදීන්ගේ ආරම්භය එය විය. එක්සත් ජනපද රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ. විසින් සුළි කුණාටුව නමින් නම් කරනු ලැබූ මෙහෙයුම ඔස්සේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නේය. එසේම ඒ සඳහා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය වන එම්.අයි. 06 සංවිධානයද සහයෝගය දැක්වූ බව වාර්තා පෙන්වා දෙයි. මෙම රහස් මෙහෙයුම එක්සත් ජනපදය විසින් වැඩිම මුදලක් වියදම් කරනු ලැබූ රහස් මෙහෙයුම් ලෙසද ඇතැම් වාර්තා පෙන්වා දෙයි.
එය එක්සත් ජනපදය තමන්ට අවශ්‍ය පුද්ගලයා බලයට ගෙන ඒම සඳහා ඕනෑම කටයුත්තක් කුමන හෝ උපායක් භාවිත කරමින් සිදුකළ කාලයක් විය. එක්සත් ජනපදයේ එකම සතුරා වූ සෝවියට් සංගමය සමග සම්බන්ධතා පවත්වන ඕනෑම ආණ්ඩුවක් පෙරළා දැමීමට එක්සත් ජනපදය නොගත් උත්සාහයක් නැත. අනෙක් පසින් සෝවියට් දේශයද තමන්ට අවනත නොවන දේශපාලනඥයන් කෙසේ හෝ මට්ටු කිරීමට හෝ අතු ගා දැමීමට අමතක නොකළේය. ඒ සඳහා වැදගත් වූයේ අවිආයුධ සහ සංවිධානාත්මක ලෙස ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරීම මිස මානව හිමිකම්, නීතියේ අධිපත්‍යය හෝ වෙනත් විශ්වීය අයිතීන් වැදගත් නොවීය. මෙම දේශපාලන භාවිතයේ කෙළිබිමක් බවට ඇෆ්ගනිස්තානය පත්වූයේ ඒ වනවිට ඇෆ්ගනිස්තානය පුරා ව්‍යාප්ත වෙමින් පැවැති සමාජවාදී අදහස්ය.
යුද අපරාධ සිදු කරමින් ලක්ෂ ගණනක් වූ නිරායුධ මිනිසුන් ඝාතනය කළද ජයගත නොහැකි වූ එක්සත් ජනපදය විසින් වියට්නාමයේ ආරම්භ කළ යුද්ධය බටහිර අහංකාරකමට නීරස පාඩමක් ඉගැන්නුවේය. වියට්නාමයේදී ලෝක අපවාදයකට ලක් වූ එක්සත් ජනපදයට අවශ්‍ය වූයේ, සෝවියට් දේශයට තමන්ට වියට්නාමයේදී අත් වූ ඉරණම අත්වනු දැකීමටය. ඒ නිසා එක්සත් ජනපදය ඇෆ්ගන් මුජහිදීන්ට නොදුන් සහයෝගයක් නැත. ඒ සඳහා භාවිත කළ කොරිඩෝව වූයේ පාකිස්තානයයි.
1987 දී ධවල මන්දිරය රතු පලස් මතින් මුජහිදීන් පිළිගත්තේය. එහිදී හිටපු ජනාධිපති රේගන් මහත් උද්දාමයෙන් සඳහන් කරනු ලැබුවේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට තම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවයි.
"අප අතර ශක්තිමත් වෙමින් තිබෙන සමගිය දැනටමත් යුද පිටියේදී දක්නට ලැබෙනවා. ගත වූ මාස 18 තුළ මුජහිදීන් ඔවුන්ගේ ආයුධ, උපක්‍රම සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කරගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස සෝවියට් හමුදා ඒකක මෙන්ම කාබුල් හමුදාවේ බෙදීම් ගණනාවක් සහ බරපතළ පරාජයන් මාලාවක් දක්නට ලැබෙනවා" යැයි රේගන් මුජහිදීන් ත්‍රස්තවාදීන් හමුවේ ප්‍රකාශ කළේය.
ජනාධිපති රේගන් තවදුරටත් එහිදී සඳහන් කරනු ලැබුවේ, "එක්සත් ජනපදයේ ඉලක්කය අවංකවම ස්වාධීන ඇෆ්ගනිස්තානයක්, බාහිර ඇඟිලි ගැසීම්වලින් තොර ඇෆ්ගනිස්තානයක්, ජනතාව කැමති ආකාරයේ ආණ්ඩුවක් තෝරාගන්නා ඇෆ්ගනිස්තානයක්. එවිට සෝවියට් ආක්‍රමණය හේතුවෙන් අවතැන් වූ මිලියන හතරක සරණාගතයන්ට ආරක්ෂිතව සහ ගෞරවයෙන් ආපසු පැමිණිය හැකියි" යනුවෙනි. නමුත් ඉන් දශක කිහිපයකට පසු එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයට කළ බරපතළ අතවරය විසින් ඔප්පු කරනු ලැබුවේ සුපිරි බලවතාගේ කුහකකම සහ තම දුෂ්ට දේශපාලන අරමුණු මුදුන් පමුණුවාගැනීම වෙනුවන් ඕනෑම අවලස්සන කටයුත්තක් කිරීමට පසුබට නොවන ස්වභාවයයි.
ඇෆ්ගන් අර්බුදය සහ ඉන් උගත හැකි පාඩම් ගැන හැදෑරිය යුත්තේ එය ගෝලීය බල අරගලයේ සන්ධිස්ථානයක් වන හෙයිනි. එහිදී අවධානය යොමුකළ යුතු මූලික සිදුවීම්වලින් එකක් වන්නේ සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට සකස් වූ පසුබිමයි. එය සැබැවින්ම ආක්‍රමණයක් ලෙස හැඳින්වීම බටහිර ජනමාධ්‍යය විසින් සිදුකළද සත්‍යය ඊට වඩා වෙනස් බව ඉතිහාසය පෙන්වා දෙනු ලබයි. ඒ ගැන සරල අවබෝධයක් හෝ නොමැතිව එක්සත් ජනපදය සිදුකළ ක්‍රමෝපායික මැදිහත් වීම සහ අවසානයේ සිදුකළ මහා පාවාදීම ගැන තුලනාත්මක අවබෝධයක් ලබා ගැනීම දුෂ්කරය. එබැවින් 1978 සිට 1989 දක්වා ඇෆ්ගනිස්තානය පාලනය කළ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය ආරම්භ වී මියැදුණු ආකාරය දැනගැනීම වැදගත් වේ.
ඇෆ්ගනිස්තානය වැනි ගතානුගතික සහ සාම්ප්‍රදායික රටකට කොමියුනිස්ට්වාදී අදහස් එන්නත් වීමට බලපෑ හේතු මොනවාද? කොමියුනිස්ට්වාදීන් බලයට පත් වූයේ කෙසේද? ඔවුන් පාලනය කළේ කෙසේද? සහ ඔවුන් බලයෙන් ඇද වැටුණේ කෙසේද? දේශපාලන බලයේ ඇති ගතික ස්වභාවය මින් මනාව ඔප්පු කරනු ලබන මෙම සිදුවීම් මාලාව ඛේදජනක සිදුවීම්වලින් බහුල එකකි. බලය ලබාගැනීම සඳහා විවිධාකාර උපායන් භාවිත කළ හැකි නමුත්, ලබාගත් බලය නඩත්තු කිරීම මහත් පරිශ්‍රමයක් දරමින් අවදි සිහියෙන් කළ යුතු කාර්යයක් බව එය ඔප්පු කරනු ලබයි.
ජෝශප් ස්ටාලින් යටතේ වර්ධනය වූ කොමියුනිස්ට් දේශපාලනය, එහි සැබෑ ලිඛිත මතවාදවලින් වෙනස් වූ එකකි. එය සැබැවින්ම නව වැඩවසම්වාදයක ස්වරූපයක් ගත් අතර, බොහෝ දුරට එය ගෝත්‍රවාදී වැඩවසම්වාදයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. වැඩවසම් රටක වෙසෙන ව්‍යාජ බුද්ධිමතුන්ට කොමියුනිස්ට්වාදයේ ධුරාවලිය මත පදනම් වූ මතවාදය සහ එහි ප්‍රායෝගික භාවිතාව බටහිර වෙළෙඳ පොළ ආර්ථිකයට වඩා සමීප සහ රොමාන්තික එකක් විය. මේ නිසා %ස්ටාලින්ගේ^ කොමියුනිස්ට් ක්‍රමය වඩාත් සාර්ථක පාලන විධික්‍රමයක් බව ඔවුහු අර්ථ ගැන්වූහ.
ඇෆ්ගනිස්තානය වැනි රටවලට බටහිර චිනත්නයෙන් හඳුන්වාදුන් ලාභය මත පමණක් පදනම් වූ අවුල්සහගත වෙළෙඳ පොළ ආර්ථිකයට වඩා සෝවියට් සංගමයේ පක්ෂ ආධිපත්‍යය සහිත සමාජය අවබෝධ කර ගැනීම පහසු විය. මෙම සංස්කෘතික හුරුපුරුදුකම සහිත සමාජවාදය පොදු විශ්වාසයන් සමග එකතු වූ විට කොමියුනිස්ට් පරිපාලනය විසින් සිහින දකින %පොරොන්දු දේශය^ අත්පත් කරගත හැකි බව කියමින් සාමාන්‍ය ජනතාව මුළාවේ හෙළීමට එම රටවල %බුද්ධිමතුන්ට^ හැකි විය. එය දේශපාලනික වශයෙන් බලය ලබාගැනීම සඳහා පහසු මාවතක් සකස් කරනු ලැබීය. සෝවියට් සංගමය සමග එකතු වූ බොහෝ රටවල සමාජවාදී ක්‍රමය අසාර්ථක වූයේ මේ නිසාය. එය එක්තරා සමාජ කණ්ඩායමක් විසින් තම අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනීම සඳහා භාවිත කළ මෙවලමක් විය. එමගින් සොඳුරු වාග් මාලාවලින් ඔබ්බට ගිය පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ කිරීමේ අවංක චේතනාවක් බොහෝ දෙනෙකුට නොතිබිණි. බොහෝ දෙනෙකු හිස් විවේචකයන් පමණක් වූ අතර, ඔවුන්ගේ දේශපාලන බලය කුහකකමින් සහ මමත්වයෙන් පිරී තිබුණි. මේ නිසා සෝවියට් සංගමයේ දේශපාලන මතවාදය සහ එහි ශක්තිය ක්‍රමයෙන් හැකිළීමට පටන් ගත්තේය.
මෙය ඇෆ්ගනිස්තානයේ සමාජ ව්‍යුහය වෙනස් වීමට බලපෑවේ කෙසේද? ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට්වාදය ආරම්භ වන්නේ කොමියුනිස්ට්වාදයේ ලෙනින්වාදී ස්වභාවයේ සහ ඇෆ්ගනිස්තානයේ විශේෂ ස්වභාවයේ මිශ්‍රණයක් ලෙසය. ඇෆ්ගනිස්තානය පුළුල් අර්ථයෙන් ගත්කල ජාතියක් (නේෂන්) නොවේ. එය විවිධ ගෝත්‍රික කණ්ඩායම්වලින් පිරුණු විසිරුණු භූගෝලීය ප්‍රදේශයකි. මෙම ගෝත්‍රික කණ්ඩායම් සඳහා එහි කඳුවලින් ගහන භූගෝලීය ස්වභාවය රැකවරණය සපයන ස්ථානයක් වන අතර, එකල එය රුසියානු අධිරාජ්‍යය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතර දෝලනය වූ ප්‍රදේශයක් විය.
ඇෆ්ගනිස්තානය සාර්ථකව පරිපාලනය කළ හැක්කේ යම් ෆෙඩරල්වාදී ව්‍යුහයක් යටතේ මිස ඒකීය දේශපාලන ව්‍යුහයක් පැනවීමෙන් නොවේ. නමුත් අවාසනාවට මෙන් ඇෆ්ගනිස්තානය ගැන අවධානය යොමුකළ බොහෝ අයවලුන් මෙම යථාර්ථය තේරුම්ගත් බවක් නොපෙනේ. මේ නිසා සංවිධානාත්මක ස්වරූපයේ සහ අසංවිධානාත්මක ස්වරූපයේ ප්‍රචණ්ඩකාරී ගැටුම් අඛණ්ඩව පවතින්නේය. තලේබාන් සංවිධානය බලය ලබා ගත්තද ඔවුන්ට මුහුණදීමට සිදුවන යථාර්ථයද මෙයයි.
විසිවැනි සියවසේ ඇෆ්ගනිස්තානයේ එක් වැදගත් ව්‍යාපාරයක් වූයේ ප්‍රතිසංස්කරණවාදීන්ය. ඇෆ්ගනිස්තානයේ ප්‍රතිසංස්කරණ සඳහා විවිධ දේශපාලන කණඩායම් සහයෝගය දුන්නේය. ආගමික මතවාද බැහැර කරමින් කොමියුනිස්ට්වාදී චින්තනය ක්‍රමයෙන් රට තුළට ගලා ඒම ආරම්භ වූයේ මෙම කාලයේදීය.
කොමියුනිස්ට්වාදියෙකු ලෙස දෘෂ්ටිවාදාත්මකව හඳුනාගත හැකි ඇෆ්ගනිස්තානයේ පළමු ප්‍රධාන චරිතය අබ්දුල් රහ්මාන් මහමුදි විය හැකිය. ඔහු ජනතාවගේ හඬ ලෙස අරුත් දෙන %නිදා-යේ ඛල්ක්^ නමින් පුවත්පතක් ආරම්භ කළ අතර, පසුව කාබුල් විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධ කරගෙන ඛාල්ක් නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීය. මෙය සිදු වූයේ 1940 ගණන්වල අගභාගයේ සිට 1950 ගණන්වල මුල්භාගය දක්වා කාලයේදීය. මහමුදි සිරගත කරන ලද නමුත් 1963දී ඔහුගේ මරණයට පෙර නිදහස් කරන ලදී. මහමුදිගේ ඥාතීන් 1970 දශකය දක්වාම ඔහුගේ දේශපාලන ව්‍යාපාරය කරගෙන ගියෝය. මෙම ව්‍යාපාරය පසුව මාඕවාදී ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක විය.
1960 ගණන්වලදී වඩාත් කැපී පෙනෙන වාමාංශිකයෙකු වූයේ මිර් මුහම්මද් සිද්ධික් ෆර්හාන්ගේය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු ලෙස හඳුනා ගත්තේය. නූර් මුහම්මද් ටරාකි එම යුගයේ සිටි තවත් කැපී පෙනෙන වාමාංශිකයෙකි. ටරාකි මුම්බායිහි පිහිටි ඇෆ්ගන් පලතුරු සමාගමක සේවය කළ අයෙකි. ටරාකි පසුව ඉන්දියාවේ සිට ඇෆ්ගනිස්තානයට පැමිණ ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් බවට පත්විය. මෙම ව්‍යාපාරය ඇෆ්ගන් රාජාණ්ඩු ක්‍රමයට තර්ජනයක් විය. එසේම එය ඇෆ්ගන් රාජාණ්ඩුව අභ්‍යන්තර ගැටුම් රාශියකට මුහුණදෙමින් සිටි කාලයක් විය.
ඇෆ්ගනිස්තානයේ රජු ලෙස කටයුතු කළ මොහොමඩ් සහීර් ෂා 1973 ජූලි 17 වැනි දින බලයෙන් පහකරනු ලැබීය. ඔහුගේ ඥාති සොහොයුරා වූ ජෙනරාල් මොහොමඩ් ඩාවුඩ් ඛාන් විසින් ඔහුව බලයෙන් පහ කරන ලදී. එය ඇෆ්ගනිස්තානයේ මෑත ඉතිහාසය තුළ සිදුවූ පළමු දේශපාලන කුමන්ත්‍රණය ලෙස හැඳින්විය හැකිය. රාජාණ්ඩුවේ අවසානය සහ ඇෆ්ගනිස්තාන ජනරජය පිහිටුවීම ජෙනරාල් ඩාවුඩ් ප්‍රකාශ කළේය. ජෙනරාල් ඩාවුඩ් වසර පහක් ඇෆ්ගනිස්තානය පාලනය කළේය. “මා වඩාත්ම සතුටට පත්වන්නේ සෝවියට් ගිනිකූරුවලින් මාගේ ඇමෙරිකානු සිගරට් දැල්වීමට හැකි වූ විටයි," යනුවෙන් ජෙනරාල් ඩාවුඩ් වරක් සඳහන් කළේය. ඔහු ක්‍රියාත්මක කළ ඇෆ්ගන් විදේශ ප්‍රතිපත්තියේ සාරය මෙම අදහස තුළ ගැබ්වී තිබේ.
1979 දී ප්‍රසිද්ධ වාමාංශික මීර් අක්බර් කයිබර්, ජෙනරාල් ඩාවුඩ්ගේ රජය සහ ඔහුගේ සගයන් විසින් මරා දමන ලදී. නමුත් එම ඝාතනය රජය නොකළ බව ජෙනරාල් ඩාවුඩ් සඳහන් කළේය. කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු ප්‍රකට වාමාංශික නායකයන් වූ නූර් මොහොමඩ් ටරාකි, බාබ්‍රැක් කර්මාල් සහ හෆීසුල්ලා අමීන් කුමන්ත්‍රණයක් සංවිධානය කොට ජෙනරාල් ඩාවුඩ්ගේ රජය බලයෙන් පහකරනු ලැබීය. ඒ සඳහා ඩාවුඩ්ගේ රජයේ ඇතැම් උසස් නිලධාරීන් රාශියක් සහයෝගය ලැබිණි. කුමන්ත්‍රණයෙන් පසු ටරාකි ජනාධිපති වූ අතර, හෆීසුල්ලා අමීන් අගමැති විය. බාබ්‍රැක් කර්මාල් සෝවියට් සංගමයට පලා ගියේය.
නව ආණ්ඩුවේ ප්‍රධාන නායකයන් වූ ටරාකි සහ අමින් ඇෆ්ගන් සංස්කෘතිය කෙරෙහි සැලකිල්ලක් නොදක්වමින් ඉතා බරපතළ සමාජ ප්‍රතිසංසකරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහ. කාන්තාවන්ගේ විමුක්තිය සඳහා සමහර ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වූ නමුත් රටේ පැලපදියම් වූ සංස්කෘතික පසුබිම තුළ එම වෙනස්කම් ඉතා කඩිනමින් පැනවීමට උත්සහ කිරීම නිසා රට පුරා විරෝධතා ඇති විය. ටරාකිට සමාජවාදී සිහිනයක් තිබුණි. නමුත් ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුම් මෝදුවෙමින් පැවතුණි.
වරක් ඔහු කියුබාවේ සමුළුවකට සහභාගි වීමෙන් පසු යළි ඇෆ්ගනිස්තානයට පැමිණියේ සෝවියට් සංගමයට ගොස් එහි නායකයන් හමුවීමෙන් පසුය. එහිදී ලියොනිඩ් බ්‍රෙෂ්ෙනව් හමුවීමට මොස්කව්හි නතර වූ ඇෆ්ගන් ජනාධිපතිවරයාට මොස්කව් පරිපාලනය වැදගත් තොරතුරු රාශියක් ලබාදුන්නේය. දැඩි සමාජ ප්‍රතිසංස්කරණ ලිහිල් කරන ලෙසත්, ඔහුගේ ආණ්ඩුව සඳහා පුළුල් ජනතා සහයෝගය ලබාගන්නා ලෙසත් බ්‍රෙෂ්නෙව් ඔහුට උපදෙස් දුන්නේය. තම අගමැති හෆීසුල්ලා අමින් වහාම ඉවත් කරන ලෙස බ්‍රෙෂ්නෙව් ටරාකිට නියෝග කළේ රට තුළ වර්ධනය වෙමින් පැවැති නව දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු හෙළිදරව් කරමිනි. ටරාකිගේ පෞද්ගලික ආරක්ෂකයන් අමීන්ගේ නියෝජිතයන් බව එහිදී හෙළිදරව් විය.
ටරාකි නැවත කාබුල් වෙත පැමිණි පසු වහාම තමා හමුවන ලෙස අමීන්ට නියෝග කළේය. සෝවියට් තානාපතිවරයා තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කළොත් පමණක් ජනාධිපතිවරයා හමුවිය හැකි බව අමීන් කිව්වේය. අමීන් තමන්ට එරෙහිව සංවිධානය වෙමින් පැවැති සියුම් මෙහෙයුම ගැන මනා අවධානයෙන් පසුවිය. අදාළ හමුව පැවැත්වූයේ නැත. ඒ වෙනුවට, අමීන් ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ආරම්භ කළේය. අමීන් ජනාධිපති මාලිගාවේ ආරක්ෂකයින් මාර්ගයෙන් ටරාකිව සිරකළේය. පසුව අමීන් රජයේ පාලනය සියතට ගත්තේය. ටරාකි "නොදන්නා අසනීපයකින්" මිය ගිය බව දින කිහිපයකට පසු අමීන්ගේ රජය නිවේදනය කළේය. මෙම "නොදන්නා අසනීපය" නම් ජනාධිපති මාලිගාවේ ආරක්ෂක භටයින් විසින් කොට්ටයකින් හුස්ම සිරකර ටරාකි මරා දැමීමයි. ඉන් පසු ආරම්භ වූයේ අමීන්ගේ නව පරිපාලනයයි.
නිලන්ත ඉලංගමුව
පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621
තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729
හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988