එක කටකුත්, කන් දෙකකුත් ලැබිලා තියෙන්නේ ටිකක් කතා කරලා හුඟක් අහන්නටය කියනවාය. ඒත් අපේ අය පුරුදු වෙලා ඉන්නේ ඇහිල්ල පැත්තකට තියා තොරතෝංචියක් නැතිව කතා කරන්නටය. කනක් ඇහිලා ඉන්න බැහැ කියලා කියන්නේ එහෙම එක දිගටම හයියෙන් කතා කරන විටය.
කොහොම වුණත් කතාව නවත්වලා, කියන්නෙ මොකක්ද කියලා හොඳට අහලා බලනවා නම් කාටත් හොඳය. සමහරු පුරුදු වෙලා ඉන්නේ කියන දෙයක් අහන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව වගේ ඉන්නටය. කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාර වැඩ කරන ළමයින් හදාගන්න දඬුවම් දෙන්න දෙමවුපියන්ට සිදු වෙලා තියෙනවාය. සමහරු කියන දේ කන්වලින් අහන්නේ නැතුව කටවල් දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා සිටිනවාය.
හොඳ දේවල් කියනවා අහන්න කැමැති වුණත් නරක දේවල් නම් අහන්න කැමැති නැත්තේය. පරුෂ වචන ඇහිල්ලට කවුරුවත් කැමැති නැත්තේය. එහෙම පරුෂ වචන ඇහෙන විටද දරාගෙන ඉන්න බැරිය. ඇහෙන කෙනා බණින කෙනාව නවත්වන්න ගියොත් එතැන සිදු වෙන්නේ ආරවුලක්ය. තමා ගැන ගුණ ගායනා අහන්න කවුරුත් කැමැති නමුත් අගුණ කියනවා අහන්න නම් කැමැති නැත්තේය.
වැඩක් නැති වෙලාවට එක එක්කෙනාගේ ඕපාදූප අහන්න පුරුදු වෙලා ඉන්නවාය. එහෙම අහන්න පුරුදු වෙලා ඉන්නේ කරන්න වැඩක් නැති කම්මැලියන්ය. සමහරු අහන්න කැමැති දේවල් තව කෙනෙක් අහන්න කැමැති නැත්තේය. එහෙම ඇහිල්ල නොඇහිල්ලට ඒ ඒ අයගේ රුචි අරුචිකම් අනුව සිදුවෙනවාය.
බොහෝ අය කැමැති අනුන්ගේ අඩුපාඩු ගැන කියන දේවල් අහන්නටය. එහෙම අය තමන්ගේ අඩුපාඩු ගැන අහලා කලබල වෙනවාය. ඒත් තමන් ගැන අනුන් කියන දේවල් ඇහිල්ල අනුන්ගේ දේවල් ඇහිල්ලට වැඩිය හොඳය. සමහරු පුරුදු වෙලා ඉන්නේ කවුරුවත් කියන දේවල් හැංගිලා ඉඳලා අහගෙන ඉන්නටය. එහෙම රහසිගතව අහගෙන ඉන්නෙ, මූණ ඉස්සරහ අහගෙන ඉන්න තරම් හැකියාවක් නැති හින්දාය. තමන්ගේ අඩුපාඩු ගැන අහගෙන ඒවා හදා ගැනිල්ල කේන්ති ගන්නවාට වැඩිය හොඳය. කොහොම වුණත් අද අපට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ නරක ආරංචිය. නඩුවේදී නීතිඥයන් සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අහනවාය. එහෙම හරස් ප්‍රශ්න අහලා සාක්ෂි බොරු බව ඔප්පු කළොත් නඩුව දිනන්න පුළුවන් බව නීතිඥයන් දන්නවාය. විනිසුරුවරයා නම් කරන්නේ පැමිණිල්ල, විත්තිය යන දෙපාර්ශ්වයෙන්ම අහගෙන ඉඳලා තීන්දුවදෙන එකය. නඩු ඇහිල්ල කියන්නේ එහෙම අහගෙන ඉන්න දේවල් මත සලකා බලා තීන්දු කිරීමය.
බණ අහන්න යන උපාසක අම්මලා අහනවාට වැඩිය කරන්නේ නිදිකිරා වැටෙන එකය. හරියට බණ ඇහුවොත් නිවන් දකින්න පුළුවන් යැයි බෞද්ධයන් කියනවාය. ඒ නිවන් දැකිල්ල කොහොම වෙතත් බණ අහලා මෙලොව ජීවිතය සකස් කර ගන්නවා නම් එය වැඩියෙන් හොඳය. බණ ඇහිල්ලට වැඩිය පිරිත් ඇහිල්ලෙන් සෙත් ශාන්තිය ළඟාකර ගන්න පුළුවන්ය. පිරිත් හඬ ඇහිල්ලෙන් භූතයන් පලායන බව කියනවාය. විශාලා මහනුවරදී දෙසූ පිරිත් ඇහිල්ලෙන් එම නගරයේ සිටි අමනුස්සයෝ පලා ගියහ. ඒ වගේම පිරිත් ඇහිල්ලෙන් ලෙඩරෝග සුව වෙන බවද කියනවාය.
ඇහෙන නිසා අහන අයද ඉන්නවාය. උගන්වන විට ගුරුවරයා කියන දේවල් හරියට අහගෙන හිටියොත් විභාගය සමත්වෙන්න පුළුවන්ය. ඒ වුණත් අද එහෙම අහගෙන ඉන්න සිසුන් අඩුය. කියන්න කොහොම කිව්වත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනෑ යැයි කියනවාය. සිහිබුද්ධියෙන් ඇහුවොත් කියන දේවල් සත්‍යයද, අසත්‍යයද යන්න වටහාගත හැකිය. එහෙම නැතුව කියන හැම දෙයක්ම අහලා කටයුතු කරන්නට ගියහොත් අමාරුවේ වැටෙනවාය. කේලම් ඇහිල්ලෙන් ළඟින් ඇසුරු කළ මිතුරන් පවා තරහ වෙනවාය. ඒ හින්දා නැති වැරදි ඇති කරන කේලම් ඇහිල්ල ප්‍රවේසමින් කළ යුතුය.
කියන දේවල් තැන්පත් කර තබාගෙන ඒවා යළි ඇහිල්ලට පුළුවන්ය. නාමල් කුමාරගේ හඬපටය ඇහිල්ලෙන් සමහරුන්ට හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වුණාය. ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැනද අහන්න සිදු වූයේ මේ හඬපට හින්දාය. කොහොම වුණත් මේ දවස්වල අපට අහන්න ලැබෙන දේවල් නම් එච්චර ඇඟට ගුණ නැත්තේය. වැඩියෙන්ම ඇහෙන්නේ හොඳට වැඩිය නරකය. කෙනෙකුගේ නරක අහන්න කැමැති අය එයාගේ හොඳ අහන්න කැමැති නැත්තේය.
ඇහෙන බෙරපදය අනුව තොවිලය මොකක්ද කියා තේරුම් ගන්න පුළුවන්ය. වැඩිය බෙර ගහන්න ගියොත් සිද්ධ වෙන්නේ %නටපු තොවිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත^ කියලා අහගන්නටය. ගෙරවිලි හඬ ඇහෙන්නේ විදුලිය කෙටුවාට පස්සේය. ඒත් ගෙරවිල්ලක් ඇහෙන තරමටම වහින්නේ නෑ කියලා කතාවක් තිබෙනවාය. අහස ගොරවන හඬ අහන්න පුළුවන් වුණත් සමහර බීරියන්ට එක ඇඳේ නිදාගෙන සිටින තම සැමියාගේ ගෙරවිලි හඬ අහන්න බැරිය.
බල්ලාගේ බුරන හඬ ඇහෙන කොට ඌ හපන බල්ලෙක් නොවන බව දන්නවාය.
පාර්ලිමේන්තුවේ කියන දේවල් ඇහෙන කොට %අනේ අපි ඡන්දේ දුන්නේ මොකටද^ කියලා හිතෙනවාය. කොහොම වුණත් මේ දවස්වල පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවන් එක්කගෙන යෑම යහපත් නොවන්නේ ඇහෙන දේවලට වඩා සැරවෙන දේවල් දකින එක නරක හින්දාය.