ඇවිදින්න කැමති කස​කස් මිනිස්සු


Kazakhs මිනිස්සු ජීවත් වෙන්නේ, කසක්ස්තානයේ විතරද? කසක්ස්තානය නම් වෙන්නේ කසක්ස් කියන ගෝත්‍රයට අනුගතවයි. කසක්ස්තානයේ විතරක් නෙවෙයි, චීනය, උස්බෙකිස්තානය, රුසියාව, මොන්ගෝලියාව, කිරිගිස්තානය වගේ ආශ්‍රිත රටවලත් කසක්ස් මිනිස්සු ජීවත් වෙනවා.

මේ අයව වැඩි වශයෙන් තුර්කි භාෂාවට ආසන්න බසක් කතා කරන, ආසියානු සහ මොන්ගෝලියානු පෙනුමත් මුහු වුණු ජාතියක්, පැවතෙන්නේ තුර්කි සම්භවයෙන්. 11වැනි සියවසේ සිට කසක්ස්තාන භූමියේ තමන්ගේ නව ජීවිතය අරඹන ඔවුන් ක්‍රම ක්‍රමයෙන් Kazakhs නම් විශේෂිත නමින් තමන්ව හඳුන්වා ගනිමින් කසක්ස්තාන භූමියට අරක්ගත් එඬේරුන් විදියට ශිෂ්ටාචාරගත වෙනවා. ඒ ශිෂ්ටාචාරගත වීමට 13 වැනි සියවසේ සිට මේ භූමි කලාපය මොන්ගෝලියානු අධිරාජ්‍යයට නතු වීමත් ප්‍රධාන හේතුවක්. මොන්ගෝලියානුවන්ට කසක්ස්තාන භූමිය හමු වෙන්නේ, ආසියාව සහ යුරෝපය යා කරමින් ප්‍රචලිත වුණු සේද මාවතේ නවාතැන්පොළක් වීම හේතුවෙනුයි. ඒ නිසාම මොන්ගෝලියානු සම්භවය මේ කී තුර්කි ගෝත්‍ර නැත්නම් එඬේර කස්ක්ස් ජනයා සමග මුහු වීම සිද්ධ වෙනවා.

තුර්කි භාෂාවට අනුව Kazakh කියන්නේ ඇවිදින්නා (to wander) යන්නයි. ඇත්තටම මේ අය තමන්ගේ රවුම් කූඩාරමත් (Yurt) කරත්තයක පටවගෙන මධ්‍යම ආසියාව පුරා කරක් ගහමින් ජීවත් වුණු එඬේරුන් විදියට ප්‍රධාන කොට සැලකිය හැකියි. වර්තමානය වෙද්දි කසක්ස් ගෝත්‍රය හෝ සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම් ගැන ලෝකයේ වැඩි කතාබහට ලක් නොවුණත්, මනුෂ්‍ය කොට්ඨාසයක් විදියට ගත්තොත් වැදගත් කාරණා කිහිපයක් ඔවුන්ගේ ඉතිහාස කතාව ඇතුළේ නැතිවමත් නෙමෙයි.

Image Caption 01

පුරාණ කසක්ස්වරුන්ගේ ආගමික විශ්වාසය වෙන්නේ සර්ව සජීවවාදය (Animism) සහ ආත්මවාදය (Shamanism). ජීවි අජීවි සියලු දේට ජීවයක් තිබෙන බව විශ්වාස කළ ඔවුන් උපතේ සිට මරණය දක්වා ජීවත්වීම, දුක, සැප, ලෙඩ දුක් සියල්ල අධ්‍යාත්මය සහ ස්වභාව ධර්මය සමග බැඳී තිබෙන බව විශ්වාස කළ අය. ඒ අතරේ ආසියාවත්, යුරෝපානු කලාපයේත් ඇවිදිමින් ජීවත් වුණු නිසාමදෝ බුදුදහම සහ කිතුනු දහමත් විශ්වාසයට ගත් කසක්ස් පැරැන්නන් ගැනත් අසන්නට ලැබෙනවා. කොහොම නමුත් වර්තමානයේ කසක්ස්වරු වැඩි වශයෙන් ජීවත් වෙන කසක්ස්තානයේ ප්‍රධාන ඇදහීම වෙන්නේ ඉස්ලාම් ධර්මය. ඉස්ලාම් දහම මුලින්ම කසක්ස්වරුන් අතරට එන්නේ 08 වැනි සියවසේ අරාබීන් මධ්‍යම ආසියාකරයට පැමිණීමත් සමගයි.

නමුත් ඉස්ලාම් දහම කසක්ස්වරුන් අතර වඩ වඩාත් පැතිරෙන්නේ මොන්ගෝලියාවේ ජෙන්ගීස් ඛාන්ගේ මුණුබුරා බටු ඛාන්ගේ රාජ්‍ය පාලන සමයේදී. ඒ කියන්නේ 14 වැනි සියවස අග භාගයේදී. මේ කාලයේදී කසක්ස්වරු විතරක් නෙමෙයි අනෙකුත් ගෝත්‍ර බොහෝමයක් ඉස්ලාම් දහමට නැඹුරු වුණු බවයි කියැවෙන්නේ.

Image Caption 02

භූගෝලීය පිහිටීමට අනුව කසක්ස්ථානය රුසියාවට මායිම් වෙනවා. ඉස්ලාම් දහම අදහපු කසක්ස්වරුන්ගේ ජීවිත සෝවියට් සමූහාණ්ඩුවේ නැගී සිටීමත් එක්ක තර්ජනයට ලක් වෙනවා. මේ කාලසීමාවේදී කසක්ස්වරු බොහෝමයක් මරා දැමුණු බවත්, ඔවුන්ගේ බිම් බොහෝමයක් රුසියානු පාලනයට නතු වීමත් සිදුව තිබෙනවා. මේ නිසාම කසක්ස්වරු වැඩි පිරිසක් තමන්ගේ දරුපවුල්, ගව බැටළු පට්ටි අරගෙන චීනයට හෝ ඇෆ්ගනිස්ථානයට පලාගොස් තිබෙනවා. සෝවියට් දේශයේ බිඳවැටීමත් එක්ක නැවතත් සිය ආගමික සංකල්පයන් රැකගනිමින් ජීවත් වන්නට කසක්ස්වරුන් උත්සාහ ගෙන තිබෙනවා. කෙසේ නමුත් අදටත් කසක්ස්තානයේ ජීවත් වෙන රැසියානුවන් එහි මුළු ජනගහණයෙන් 20%ක් විතර වෙනවා.

Image Caption 03

වර්තමානය කස්ක්ස්තානය ගැන අවධානය යොමු කළොත් මුළු ජනගහණයෙන් භාගයකට ආසන්න අගයක් තවමත් ජීවත් වෙන්නේ දුෂ්කර කඳුකරයේ. වඩාත් පුදුම විය හැකි කාරණාව තමයි ඉන් පහෙන් තුනක්ම එරට ප්‍රධාන ජනවර්ගය වෙන කසක්ස්වරුන් වීම. නගරබදව වැඩි වශයෙන් ජීවත් වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ සහ සෝවියට් සමූහාණ්ඩුව බලගතු වුණු කාලේ කසක්ස්ථානයට සංක්‍රමණය වුණු බෙලාරුස්, ජර්මානු, රැසියානු, යුක්රේන ජාතිකයන්. නගරයෙන් ඈත ගම්බ්ම්වල ජීවත්වෙන බොහෝමයක් කසක්ස් ජනතාව තවමත් අර කියූ සාම්ප්‍රදායික එඬේර ජීවිතය ගත කරන උදවිය. ඔවුන්ට හිමි වටිනාම වස්තුව තමයි ඔවුන් සතු අශ්වයන්, බැටළුවන්, එළුවන් සහ ගවයන්. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නෙත් කිරි සහ මස්. කසක්ස්වරුන්ගේ ආහාර අතර අශ්ව කිරි සහ මස් ඉතාම ප්‍රචලිතයිලු. ඒ හැරෙන්නට වගාවට තරම් සුදුසු බිමක් ඔවුන් සතුව නැහැ. නමුත් වර්තමාන කසක්ස් දෙමවුපියන් තමන්ගේ දරුවන්ව නගරබද ඉස්කෝලවලට යවා නිසි අධ්‍යාපනයක් ලබාදීමේ උත්සාහයක යෙදෙන බවයි අසන්නට ලැබෙන්නේ. ඒ ඇරුණාම ඔවුන් ජීවත්වන ප්‍රදේශ ඉතා අඩු පහසුකම්වලින් යුතු, ජල පහසුකම් පවා ඉතාම අවම මට්ටමක තිබෙන බව වාර්තා වෙනවා.

Image Caption 04

Kazakh family in China

කසක්ස්තානය ඇරුණාම අනෙකුත් අවට රටවලට පලාගිය කසක්ස්වරුන්ගේ යම් පිරිසක් සෝවියම් සමූහාණ්ඩුව බිඳ වැටීමත් එක්ක නැවතත් සිය නිජබිම වෙත ආවත් තවමත් ඒ ඒ රටවල, විවිධ නගරවල සැලකිය යුතු කසක්ස් ජනතාවක් ජීවත් වෙනවා. නමුත් මේ අය පරම්පරා ගණනක් යනතුරුම විවිධ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නු ජන කොට්ඨාසයක්. උදාහරණයක් විදියට ටිබෙටය වෙත පළා ආ කසක්ස් ජනයා මරා දමන්නට හෝ පලවා හරින්නට ටිබෙට් ජාතිකයන් පෙළඹී තිබෙනවා. ඇෆ්ගනිස්තානයට ආපු අය රැසියා - ඇෆ්ගන් යුද්ධයට මැදි වෙනවා. තවත් සමහර රටවලින්, ඔවුන්ට වහලුන් විදියට යොදාගත් අවස්ථා ගැන අසන්නට ලැබෙනවා. චීනය සහ මොන්ගෝලියාව යන රටවලින් කසක්ස් ජනයාට තමන්ගේ බිමේ පදිංචි වෙන්න ඉඩ දුන්නත් අදටත් ඒ අය බොහෝම හුදෙකලාව ජීවත් වෙන, තවමත් කසක්ස් (තුර්කි) භාෂාව කතා කරන ජන කොටසක් විදියටයි ගැනෙන්නේ.

Image Caption 05

කසක්ස්තානය හෝ එහි ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන ලෝකයට අනාවරණය වෙන්නේ නැති තරම්. ඒ නිසාම ඔවුන්ගේ ජන ජීවිතය ගැන කතාවත් අපේ භාවිතායෙන් බොහෝම දුරස්. බැලු බැල්මට ඔවුන් ගැන දැනගත යුතු දෙයක් නැහැ කියලා හිතුණත් ඇත්තටම කසක්ස් ජනතාව කියන්නේ මුළු ලෝකයටම නෑකම් කියන ජනතාවක්. ඔවුන්ගේ ජාන මුහුවීම් ගැන කරපු සංගණනයකට අනුව කසක්ස් කියන්නේ, ස්වදේශීක ඇමෙරිකානුවන්, උතුරු නැගෙනහිර ආසියානුවන්, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාවටත් යුරෝපයටත් නෑකම් කියන බවයි.

Image Caption 06

ඒ කතා කොහොම නමුත් රටක් විදියට කසක්ස්ථානය සාමකාමියි. රටේ භූමියෙන් තුනෙන් දෙකක් විතර නිසරු වුණත් සංචාරයට ඔබින කලාපයක් විදියට සැලකෙනවා. කසක්ස්ථානය 1990දී සෝවියට් බලපෑමෙන් නිදහස් වුණාට පස්සේ පත් වුණු ජනාධිපතිවරයා Nursultan Nazarbayevයි අද වෙනතුරුත් කසක්ස්තානය නායකත්වය දෙන්නේ. ප්‍රධාන වශයෙන් කසක්ස්වරු ඇරුණාම විවිධ ජාතීන් 130ක් එහි දිවි ගෙවනවා. ඒ වුණත් රටවල් පහකින් වටවුණු කසක්ස්තානය තමයි ලෝකයේ අඩුම ජන ඝනත්වයක් සහිත රට. නමුත් ඒ ජනගහනයෙන් භාගයක්ම අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් වීමයි වඩා වැදගත්. එහි අගනගරය අස්තානා දිනෙන් දින අහස උසට ගොඩනැගෙමින් කසක්ස්ථානයට දියුණු අනාගතයක් තනා දෙන්නට වෙර දරනවා. කඳුකර බෑවුම්වල දුෂ්කර එඬේර ජීවිතයට තවදුරටත් ඇබ්බැහි වුණු කස්ක්ස් ගෝත්‍ර කතාවෙන් තරමකට බැහැර වෙලා හිතුවොත් ඇත්තටම  කසක්ස්ථානය කියන්නේ ගොඩනැගෙමින් තිබෙන නූතන ශිෂ්ටාචාරයක්.

සටහන: නිමේෂා තන්ත්‍රිමුදලි



Recommended Articles