ඇලවිල්ල ගැන කතා කරන විට වැඩියෙන්ම පෙනෙන්නට ඇත්තේ පෝස්ටර් ඇලවිල්ලය. අද කොහේ බැලුවත් පෝස්ටර් අලවලා තියෙනවාය. මේ දවස්වල ඇලවිල්ලෙන් කප් ගහලා ඇත්තේ ටියුෂන් සර්ලාය. ඒ ගොල්ලොත් පාරේතොටේ හැම තැනම, තාප්පවල, බොක්කුවල, ලයිට්කණුවල පෝස්ටර් ඇලවිල්ල කරනවාය.
අර සර්, මේ සර් ආදී වශයෙන් නළුවන්ගේ මුහුණු පෙන්වන ටියුෂන් පෝස්ටර් හැම තැනම ඇලවිල්ල ජයටම සිදු වෙනවාය. ටියුෂන් පන්තිවල ඉගෙනගෙන විභාග ඉහළින් සමත් වූ දරුවන්ගේ නම් ගම් හා මුහුණු දමාපු පෝස්ටර්ද හැමතැනම ඇලවෙනවාය.
මේවා අලවන්නේ තමන්ගේ ටියුෂන් කඩ සාර්ථක කරගන්නටය. ගැසට් කරපු ආණ්ඩුවේ විභාගවලට පවත්වන පන්ති පිළිබඳ විස්තරද මේ අලවන පෝස්ටර්වලින් කියැවෙනවාය. පුවත්පත්වල දැන්වීම් දැමීමට මුදල් වැයවෙන නිසා මෙහෙම පෝස්ටර් ඇලවිල්ලට බොහෝ දෙනා පෙලඹී සිටිනවාය.
ඊළඟට ඇලවෙන පෝස්ටර් වන්නේ ඡන්ද පෝස්ටර්ය. දැන් ළඟ ළඟ මැතිවරණ එන නිසා ඡන්ද පෝස්ටර් ඇලවිල්ල ඉදිරියේදී තවත් වැඩිවෙනවාය. මැතිවරණයට තරග කරන පක්ෂ ස්වකීය අපේක්ෂකයන් ඡන්ද දායකයන්ට හඳුන්වා දෙන්නේ මෙහෙම දැන්වීම් ඇලවිල්ලෙන්ය. ඡන්ද ගැන විතරක් නොව දැන්වීම් ඇලවිල්ලෙන් නොයෙක් දේවල් ප්‍රචාරය කරන්න පුළුවන්ය. මෙහෙම අලවන දැන්වීම් වැඩි හරියක් වටිනා ඔප කඩදාසිවල විවිධ වර්ණවලින් මුද්‍රණය කළ ඒවාය.
සමහර දැන්වීම්වලට කොහොම ඇලෙව්වත් වැඩි ආයුෂයක් නැත්තේ අලවලා අහක බලන විටම තව කෙනෙක් ඒවා උඩින් වෙනත් දැන්වීම් අලවන හින්දාය. පෝස්ටර් අලවන්න පාවිච්චි කරන්නේ පාප්පය.
ඊළඟට මතක් වෙන්නේ ලියුම් කවරේ මුද්දර ඇලවිල්ලය. ලියුම් කවරවල මුද්දර ඇලවිල්ලට බොහෝ දෙනා පාවිච්චි කරන්නේ කටේ කෙළය. කෙළවලින් අලවන්නේ මුද්දර අලවන්න හදිසියේ වතුර සොයා ගැනීමට අපහසු නිසාය.
බොහෝ තැපැල් කන්තෝරුවල මුද්දර ඇලවිල්ලට තියෙන ගම් බෝතල් වේලිලා ගිහිල්ලා හින්දා කටේ කෙළ හොඳම විසඳිල්ල වෙනවාය. ලියුම් කවර අලවන්නේ ගම්වලින්ය. සමහර ලියුම් කවරවල තියෙන ගම්වලින් ඒවා අලවන්න බැරි හින්දා නැවතත් ගම් ගාන්න සිද්ධ වෙනවාය.
පොත් බඳින විට බඳින්න පෙර ගම්ගාලා අලවනවාය. ඉරිච්ච කොළ අලවන්නේ ගම් ගාලාය. ඉස්සර නම් බොහෝ දේවල් ඇලවිල්ලට කජු මැලියම් පාවිච්චි කළත් අද වනවිට පිටරටින් ගේන ගම් කුප්පියෙන් ඇලවිල්ලට පුරුදු වෙලා තියෙනවාය. ඉරුණු ඇඳුම් ඉස්සර මහලා මහන්සිවෙන්න සිද්ධ වුණත් අද වනවිට රෙදි ඇලවිල්ලට ගම්ජාති තියෙනවාය. එහෙම ඇලෙව්වාම මහනවාට වැඩිය හොඳට ඉරුණු තැන් එකතු වෙනවාය.
රෙදි පමණක් නොව ගෘහ භාණ්ඩ හා දොර ජනෙල් වගේ දේවල්ද ඇලවිල්ල කෙරෙනවාය. ඒවා අලවන්නට විවිධ මැලියම් වර්ග, පොටි වර්ග පාවිච්චි කරන්නට වඩු කාර්මිකයන් පුරුදු වෙලා ඉන්නවාය. ගෙවල්වල පොළොවට ටයිල් අල්ලන්නේ නැතුව, විවිධ මෝස්තර තියෙන ෂීට් වර්ග ඇලවිල්ල වියදම් අඩු ක්‍රමයක්ය. සීලිං ගැසීමේදීද ලී හෝ ෂීට් පාවිච්චි නොකර ඍජු ෆෝම් වර්ග ඇලවිල්ලෙන් අඩු වියදමෙන් සීලිං නිමාව ඇති කළ හැකිය.
තට්ට හිසේ කෙස් ඇලවිල්ල අද බොහෝ අය කරගන්නා උපක්රමයකි. හිසේ කෙස් ඇලවූ විට ස්වභාවික කෙස් වාගේ පෙනෙන නිසා තරුණ පෙනුමක් ලබාගන්න පුළුවන්ය. මෙහේ සමහර අය පසුගිය දවස්වල පිටරටවලට ගිහිං කෙස් අලවාගෙන ආ බවට ආරංචි පළවිය. එහෙන් මෙහෙන් කෙස් ඇලවිල්ලට ලොකු මුදලක් වියදම් වන හින්දා සෑම දෙනාටම එය කරන්න අපහසුය. තරුණ කතුන් රූමත්වීම සඳහා ඇහිබැම ඇලවිල්ල වගේම සිරුරේ නොයෙක් තැන්වල විවිධ දේවල් අලවා ගන්නවාය.
කෙලින් තිබුණු දේවල් කුණාටුවට ඇලවෙනවාය. ගස් ගල් සුළඟට ඇලවෙන අතර, සමහර ගස් සුළං පහරට ඇල නොවී ඉදිරී වැටෙනවාය. ඇලවිල්ල කියන්නේ කඩාගෙන වැටිල්ලට පෙර ඇතිවන ලක්ෂණයක්ය. සමහර දේවල් ඇලවිලා කඩාගෙන වැටෙනවාය. පසුගිය දිනවල පැවැති තද සුළං පාරට විශාල ගස් පමණක් නොව ගෙවල්දොරවල් පවා ඇලවිලා ගියාය. නාය යෑම් පටන්ගන්නා විටද ගොඩනැගිලි මුලින් ඇලවිලා පසුව එක්වරම පොළොවට සමතලා වෙනවාය. සමහර ඒවා ඇලවුණු විට මුක්කු ගහලා තාවකාලිකව ඇලවිල්ල නවත්තා ගන්නවාය. එහෙත් ඇලවෙච්ච දේවල් එහෙම මුක්කු ගහලා නවත්වා ගන්න බැරි අතර ළඟදීම කඩාගෙන වැටෙනවාය. සමහර තාප්ප ඇල වෙන්නේ නැතුව එකපාරටම කඩාගෙන වැටිලා පාරේ යන අයද යටකරලා දමනවාය. තද වැස්සෙන් පසුව පාරේ ඇති ලයිට් කණු ටැලිෆෝන් කණු ඇලවිලා තියෙන්නේ හරියට නොහිටවලා තියෙන හින්දාය.
ඉතාලියේ පීසා නගරයේ කුළුණ ඇලවුණු කුළුණ යැයි විරුදාවලි ලබා තියෙනවාය. සමහර අය දස්ස වාසි පැත්තට ඇලවෙන්නටය. මහලු අය කැමති නිතරම ඇලවෙලා ඉන්නටය. ඒ ගොල්ලෝ ඇඳන්වල හෝ හාන්සි පුටුවල ඇලවෙලා කල් ගෙවනවාය. ඇඳන් නැති දුප්පත් අයට බිම ඇලවෙලා ඉන්න සිද්ධ වෙනවාය. සමහර කොල්ලන් කෙල්ලන් ලව්කරන කාලේ වැඩියෙන්ම කැමති එකිනෙකාට ඇලවෙලා ඉන්නටය. හැබැයි ඒ ගොල්ල කසාද බැන්දට පස්සෙන් පහු ඇලවිල්ල වෙනුවට ගලවා ගැනිල්ලට හදනවාය. අපේ දේශපාලුවන් නම් ඡන්දදාසලාට ඇලවිලා ඉන්නේ ඡන්ද කාලෙට විතරක්ය. ඡන්දෙන් පස්සේ ඒ ගොල්ලෝ උත්සාහ කරන්නේ ඒ ඇලවිල්ලෙන් ගැලවෙන්නටය.