වැහුව දේවල් ඇරිල්ලට බොහෝ දෙනා සූදානම් වෙනවාය. එහෙම අරින්න හදන්නේ නිතර වහලා තියෙන කොට කුතුහලය ඇවිස්සෙන හින්දාය. වහලා තියෙන්නේ මොකද කියලා හිතන අය හොරෙන් හරි ඇරලා බලන්න උත්සාහ කරනවාය. කොහොම වුණත් වහලා තියෙන හැම දෙයක්ම අරින්න හොඳද කියලා නුවණින් හිතලා බලන්න වෙනවාය.
කවුරු කොහොම හිතුවත් වහලා තියෙන දේවල් ඇරියොත් හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන්ය. ඒ හින්දා ඇරපු හැම දෙයක්ම බලන්නට යෑම ඇඟට ගුණ නැත්තේය. එහෙත් හැමදාම වහලා තියෙන සමහර තැන් ඇරලා තියන තැන්වලට වැඩිය භයානක විය හැකිය.
ඇරිල්ලට වැඩිය ඇරලා යෑම වෙනස්ය. සමහරු වැඩක් නැතත් ඇරලා යන්න හදන්නේ තමා වැඩකාරයෙක් බව පෙන්වන්නටය. බල්ලාට ඇති වැඩක් නැති වුණත් ඌ ඇරලා යන්න සූරයෙක්ය. සත්තු පමණක් නොව වාහනත් ඇරලා යනවාය. මෙහෙම ඇරලා යන වාහන නිසා මාර්ග අනතුරු වැඩිවෙනවාය. ටැක්සි කාරයා ඇරලා යන්න හරිම සූරයා වුණේ එදාය. අද නම් ඇරලා යෑමෙන් කප් එක ගහලා තියෙන්නේ ප්රයිවෙට් බස් කාරයන්ය. තවත් බස් එක්ක තරගෙට ඇරලා යන්න ඒ බස් කාරයන් සූරයන්ය. පොල් පටවාගෙන ප්රයිවෙට් බස් ඇරලා යන විදිහට මගීන්ට හිතෙන්නේ තමන්ලාට පරලොව දොර ඇරලා තියනවා කියලාය.
ඇර. ඇරු කියලා කෑගහන්නේ ඇරලා යන අය දිරිමත් කරන්නටය. එවිට ඔවුන් ආතා බූතා කඩාගෙන ඇරලා යනවාය. තරගවල දුවන අයට බලාගෙන සිටින අය වතුර ගහන්නේ ඇරලා දිවිල්ල දිරිමත් කිරීමටය.
කූඩුවේ දොර ඇරියාම ඇතුළේ ඉන්න එකා එළියට පනිනවාය. එහෙත් රස ආහාර කවලා රන් කූඩුවේ තියලා ඇතිකරන මාල ගිරවිය නම් කූඩුවෙ දොර ඇරලා තිබ්බත් එළියට ඉගිලෙන්නේ නැත්තේය. අද මෙහේ ඉන්න ගොඩක් දෙනෙකුට මරණින් පස්සේ යන්න අපායෙ දොර ඇරිලා තියෙනවාය. දෙව්ලොව දොර ඇරලා තිබ්බත් එහෙ යන අය අඩුය.
සමහර බංගලාවල ගේට්ටු ඇරෙන්නේ ලොකු ලොකු අයට විතරය. බල්ලන්ගෙන් ප්ර‘වේශම් වෙනු කියලා ගේට්ටුවේ ගහලා තියෙන හින්දා ඒක ඇරගෙන ඇතුළට යන්න බයය. කොහොම වුණත් අද සිද්ධවෙන දේවල් හැටියට ගේට්ටු ඇරලා තියනවාට වැඩිය වහලා තිබිල්ල ඇඟට ගුණය. කාර්යාලවල ලොකු ලොකු මහත්වරුන්ගේ නිල කාමරවල දොරවල් ඇරලා තියන්නේ නැත්තේ ඒවා ඇතුළේ වෙන දේවල් පිට අයට පෙනෙන හින්දාය.
වහනකොට ඇරෙන්නේත්, ඇරෙනකොට වැහෙන්නේත් රේල් ගේට්ටුවය. ගේට්ටුව අරිනකොට රේල් පාර වැහිලා තාරපාර ඇරෙනවාය. වහලා තියන ගේට්ටු ඇරලා යයි හිතාගෙන ඇරලා යන අය කෝච්චිවලට බිලිවෙනවාය. දුම්රිය ගේට්ටු ඇරිල්ල වැහිල්ල ගේට්ටු කාරයාගේ රස්සාවය. සමහර දුම්රිය හරස් පාරවල අරින්න වහන්න ගේට්ටු නැති හින්දා අනතුරු වැඩි වෙනවාය.
කොයි වෙලාවට ආවත් තමන්ගේ ගෙදර දොරවල් ඇරිල්ල නම් වරදක් නැත්තේය. ඒත් සමහර මිනිස්සු දෙකක් දාගෙන ඇවිත් තමන්ගේ ගෙදර දොර වෙනුවට අනුන්ගේ ගෙදර දොරවල් අරින්න ගිහින් අමාරුවේ වැටෙනවාය. සමහර බිරින්දෑවරු රෑවෙලා ගෙදර එන සැමියන්ට දොරවල් නොඇර ඉන්නේ පාඩමක් උගන්වන්නමය.
පාසලක් ඇරිල්ල හිරගෙවල් දහයක් වැහිල්ල යැයි කියනවාය. ඒත් අද හිරගෙවල්වල තියෙන තදබදයේ හැටියට අලුතෙන් හිරගෙවල් අරින්ට සිද්ධවෙලා තියෙනවාය. අද නම් හිරේට යන ලොකු ලොක්කන්ට හිරගෙදර දොර වැහිලා රෝහලේ දොරවල් ඇරිලා තියෙනවාය.
ඔක්කොටොම වැඩිය අමාරු සමහරුන්ගේ කටවල් ඇරිල්ලටය. කට ඇරියොත් නමුත් අමාරුවේ වැටෙන වගදන්නා ඔවුන් කටවල් වහගෙන ඉන්න උත්සාහ කරනවාය. ඒත් නිතර කට අරින අයට වැඩිය කටවල් වසාගෙන ඉන්න අයගෙන් පරෙස්සම් වෙන්න සිද්ධ වෙනවාය. නිකන් කටට වැටෙන තුරු කට ඇරගෙන ඉඳිල්ල කම්මැලියාගේ පුරුද්දක්ය. අද අපට කටවල් ඇරගෙන පිටරටින් ගෙනෙන දේවල් කටට වැටෙනතුරු බලාගෙන ඉන්න සිද්ධවෙලා තියෙනවාය. පොලීසියට කුදලාගෙන ගිය අයගේ කටවල් ඇරගන්නා විදිය නිලධාරීන් හොඳට දන්නවාය.
අරින්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනෑ නැතැයි කතාවක් තියෙනවාය. ඒත් හැම මල්ලක්ම එහෙම අරින්න බැරි හින්දා ඔබලා බැලුවාට වරදක් නැත්තේය. පොත ඇරිල්ලට කියන්නේ පොත පෙරළනවා කියලාය. එහෙම පොත ඇරලා ඕනෑ වැඩක් කරගන්න දස්ස අයද ඉන්නවාය. බැංකුවේ ගිණුමක් අරින්නේ සල්ලි දාන්නටය. අල්මාරිය අරින්නේද තෝරන්නටය. ටැප් එක අරින්නේ වතුර ගන්නටය. ඒත් වතුර බිල එනකොට නම් ටැප් එක ඇරියාට වැඩිය වැහුවා නම් හොදඳ කියලා හිතෙනවාය.
කඩ ඇරිල්ල පාරිභෝගිකයාට වඩා මුදලාලිට හොඳය. එහෙත් සමහරු පුරුදුවෙලා ඉන්නේ තමන්ට වැඩක් කරගන්න කවුරුහරි කඩේ ඇරිල්ලටය. කාට කාටත් ගණන් ඇරිල්ල නම් එච්චර හොඳ නැතිය. රුපියල පිට දාලා දිගින් දිගටම බඩු ගණන් ඇරිල්ලෙන් ආණ්ඩුව කරන්නේ දුප්පතාගේ පොකැට් එකට ඇරිල්ලය. අතේ හිරි ඇරිල්ලට කාගේ හරි කනට ගහන්න පුරුදුවෙලා ඉන්න අයද ඉන්නවාය. ඈත ඉන්න කෙනෙකුගේ සැප දුක් දැනගන්නේ ලියුමක් ඇරිල්ලෙන්ය. ඒත් අද තැපැල් ගාස්තු ගණන් යන හැටියට එහෙම ලියුමක් අරින්නටවත් බැරිය.
පිල්ලි ඇරිල්ලට දස්ස යකැදුරන්ය. අනුන්ගෙන් පළිගන්න හදන්නේ පිල්ලියක් ඇරිල්ලෙන්ය. ඡන්ද දාසලා දේශපාලුවන් දියවන්නාවට අරින්නේ කතිරෙ ගැහිල්ලෙන්ය. එහෙම ගිය අය පුරුදුවෙලා ඉන්නේ තමන්ට ඡන්දෙ දුන්න අයගේ වැඩවලින් කර ඇරිල්ලටය.