ඇරිල්ල


වැහිල්ලේ විරුද්ධ පදය වෙන්නේ ඇරිල්ලය. හැමදාම වහල තියන්න බැරි හින්දා වැසූ දේවල් කවදාහරි අරින්න වෙනවාය. නිතරම වහලා තියෙන දේවල් ඇරියොත් නම් හොඳහොඳ දේවල් බලාගන්න පුළුවන්ය. ඒ වුණාට ඇරපු හැම දෙයක්ම බලන්න එබිකම් කිරිල්ල ඇඟට ගුණ නැත්තේය. කොහොම වුණත් හැමදාම වහලා තියෙන දේවල් නිතර ඇරලා තියෙන දේවලට වැඩිය භයානක විය හැකිය.  

කූඩුවෙ දොර ඇරිය විට ඇතුළේ ඉන්න එකා එළියට එනවාය. ඒත් රන් කූඩුවෙ තියලා - රස ආහාර කවලා ඇති කරන මාල ගිරවිය නම් කූඩුවේ දොර ඇරියත් ඉගිල්ලිලා යන්නේ නැත්තේය. ඒ වුණාට කූඩුකරලා තියෙන එවුන් එහෙම දොර ඇරියම ඉගිල්ලිලා යන්නේ උන්ට කූඩුව ඇතුළට වඩා එළියේ නිදහස හොඳ හින්දාය.
සමහර බංගලාවල ගේට්ටු ඇරෙන්නේ ලොකු ලොකු අයට විතරය. පුං‘චි එකා ඇතුළට යන විට ඇරලා තියෙන දොරත් වැහෙනවාය. බල්ලන්ගෙන් ප්‍ර‘වේශම් වෙනු කියලා ගේට්ටුවේ ගහලා තියෙන හන්දා ගේට්ටුව ඇරලා ඇතුළට යන්ඩ බයය. කොහොම වුණත් අද මහා මන්දිරවල ගේට්ටු ඇරෙන්නේ රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් හින්දා ආයි අමුතුවෙන් අරින්න මහන්සි වෙන්න ඕනෑ නැත්තේය.

කොහොම වුණත් අද හොරු ඉන්න තරමේ හැටියට ගෙවල්වල දොරවල් ඇරලා තිබිල්ල හරි භයානකය. ඒ හින්දා වෙනදා ඇරලා තිබුණු ගේට්ටුත් වහන්න සිද්ධවෙනවාය. සමහර ගෙවල්වල ඇරලා තියෙන ගේට්ටු වහන්නේ හිඟන්නෙකු එනවිටය. අද ගෙවල් ගානේ එන ආධාර ඉල්ලන අයගෙන් බේරෙන්න නම් ගේට්ටු ඇරලා තියලා බැරිවන්නේ ඒ අය ඇරලා තියන ගේට්ටුවෙන් කිසි බියක් නැතුව ගෙට එන හින්දාය. එහෙම එන අය අතට අහුවෙන දෙයක් අරගෙන සුරුස්ගාලා මාරු වෙන කොට ගේට්ටුව ඇරලා තිබිල්ලේ විපාක තේරෙනවාය.
වෙස්සන්තර රජ්ජුරුවෝ තමන්ගේ භාණ්ඩාගාරයේ දොරවල් ඇරලා තියලා දුගී මගී යාචකයන්ට ඕනෑතරම් ගෙනියන්න ඉඩදුන්නේය. අද භාණ්ඩාගාරයේ දොර ඇරලා තිබ්බොත් වැඩියෙන් අරගෙන යන්න උත්සාහ කරන්නේ ලොකු ලොකු අයය. ඒත් අද අපේ මුදල් ඇමතිට නම් රාජ්‍ය භාණ්ඩාගාරයේ දොර ඇරලා තියන්න බයක් නැත්තේ ඒකේ ගෙනියන්න තරම් දෙයක් ඉතුරුවෙලා නැති හින්දාය. කොහොම වුණත් දන්නා කියන කෙනෙක් ආවොත් වසා තියෙන ගෙයි දොරවල් ඇරලා ඇතුළට ගත්තාට වරදක් නැතිය. ඒත් අද සමහරුන් දෙකක් දාගත්තාම තමන්ගේ ගෙදර දොරයැයි කියලා අනුන්ගේ ගෙවල්වල දොරවල් අරින්න ගිහින් අමාරුවේ වැටෙනවාය.

එක පාසලක් ඇරිල්ල හිරගෙවල් දහයක වැහිල්ලක් වෙනවා යැයි කතාවක් තියෙනවාය. ඒත් අද නම් කොච්චර පාසල් ඇරියත් හිරගෙවල් වැහෙන්නේ නැත්තේ ඒක ඇතුළේ දෙන සැප ගැන දන්නා කුඩු මුදලාලිලා ඇතුළට යන්න තරග කරන හින්දාය. සමහර හිරකාරයන්ට පවුලේ අය සමග හෝටල්වලට ගිහින් නිවාඩුවක් ගතකරන්නට හිරගෙවලවල දොරවල් ඇරලා දෙන ලොකු නිලධාරීන් ඉන්නවාය.

සමහරුන්ගේ කටවල් ඇරිල්ලට හරි අමාරුය. එහෙම කට ඇරියොත් තමන් අමාරුවේ වැටෙන වග දන්නා හින්දා උත්සාහ කරන්නේ පුළුවන් තරම් කට වසාගෙන ඉන්නය. පොලීසිවලට අල්ලාගෙන යන සැකකරුවන් නම් කටඅරින්නේ නැතිවුණාම කටවල් ඇරගන්න නොයෙක් ක්‍රම සහ විධි පොලීසියේ තියෙනවාය. මහ රෑ කූඩුව ඇරලා එළියට ගන්න සැකකරුවන් රාළහාමිලාට ආයුධ පෙන්නන්න ගිහින් ආපහු ඇරපු කූඩුවෙන් ඇතුළට එන්නේ නැත්තේය. කොහොම වුණත් ඕනෑ එකටත් එපා එකටත් කටඇරිල්ල නරක පුරුද්දක්ය. නිකන් කටට වැටෙන තුරු කට ඇරගෙන සිටිල්ල කම්මැලියාගේ පුරුද්දය. 

අරින්න තියෙන මල්ල ඔබලා බලන්නේ මොකටදැයි කතාවක් තියෙනවාය. ඒ වුණාට හැම මල්ලක්ම එහෙම අරින්න බැරි නිසා ඔබලා බලලාවත් ඇතුළේ තියෙන දේ දැනගන්න වෙනවාය.
පොත ඇරිල්ලට කියන්නේ පොත පෙරළනවා කියලාය. එහෙම පොත ඇරලා ඕනෑම වැඩක් කරගන්න දස්ස අයද ඉන්නවාය. කඩ අරින තරමට පාරිභෝගිකයාට වැඩිය හොඳ මුදලාලිලාටය. අද නම් අඩියෙන් අඩියට සුපර් මාර්කට් ඇරිල්ල හින්දා ගමේ මුදලාලිට නම් කොච්චර කඩ ඇරියත් වැඩි ලාභයක් ගන්න බැරිය. සමහර ලොකු අය පුරුදුවෙලා ඉන්නේ කවුරු හරි කඩේ ඇරිල්ලටය. තමන්ගේ වුවමනාව ඉටුකර ගන්න කවුරු හරි කඩේ අරින්නට ඒ අය දස්සය.     

කාට කාටත් ගණන් ඇරිල්ල නම් එච්චර හොඳ නැත්තේය. බඩු ගණන් ඇරිල්ල නිසා අමාරුවේ වැටෙන්නේ දුප්පතාය. මෙහෙම ගණන් අරින ආණ්ඩුව කරන්නේ දුප්පතාගේ බඩට ඇරිල්ලය. ඉන්ධන මිල සූත්‍රය හින්දා මාසයකට පාරක් මිල ඉහළ ඇරිල්ලෙන් පොඩි මිනිහා අමාරුවේය. පහුගිය දවස්වල පොඩි කාර් මිල ඉහළ ඇරිල්ලෙන් කාර් සිහිනය බොඳවෙලා ගියේය. 
පොකට්ටුවට ඇරිල්ල හැම ඇරිල්ලකටම වැඩිය නරකය. සෙනඟ තදබද වෙන වෙලාවට පොකට්ටුව ඇරිල්ල වැඩිය. බොහෝ අය දස්ස කතා කර කර ඉන්න ගමන් පොකට් එකට ඇරිල්ලය. අද ආණ්ඩුව කරන්නෙත් බදු වැඩිකරලා දුප්පතාගේ පොකට්ටුවට ඇරිල්ලය.

ඉස්සර නම් ඈත ඉන්න අයගේ සැපදුක් දැනගන්නට ලියුමක් ඇරිල්ලෙන් පුළුවන්කම තිබුණාය. ඒත් අද තැපැල් ගාස්තු ගණන් ඇරිල්ල හින්දා නිතර ලියුං ඇරිල්ලටද බැරිය. මේ කාලේ ඇස්.ඇම්.ඇස්. ඇරිල්ල ජයටම තියෙන හින්දා ලියුං ඇරිල්ලට මහන්සි වෙන්න  ඕනෑ නැත්තේය. එස්.එම්.එස්. හින්දා අද ටෙලිග්‍රෑම් ඇරිල්ල නැත්තටම නැතිවෙලාය.  
වැඩ අත්හැරිල්ල කරන්නේ අවුරුද්දේ නොනගතයටය. පිල්ලි ඇරිල්ලෙන් කරන්නේ තරහකාරයන්ගෙන් පලි ගැනිල්ලය. ඇරිල්ලට වඩා කර ඇරිල්ලට බොහොම දස්ස අය ඉන්නවාය.  
ජනාධිපතිතුමා පෝරකය අරින්න යන්නේ කුඩුකාරයන් මට්ටු කරන්නටය. ඒත් සමහරුන් එයට විරුද්ධව කට ඇරිල්ල නිසා ජනාධිපතිට එයින්ද කර ඇරිල්ලට සිද්ධ වුණොත් පුදුමයක් නැත්තේ කර ඇරිල්ල එයාට බොහොම පුරුදු හින්දාය.



Recommended Articles