බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කළේද? 6 කොටස
1979 දෙසැම්බර් 13වෙනිදා කර්මල් සහ ඔහුගේ අනාගත රජයේ සාමාජිකයන් පස්දෙනෙකු රහසිගතව මොස්කව් සිට බග්රාම් ගුවන් කඳවුර වෙත පියාසර කළහ. ඒ අමින්ගේ පාලනය අහවර කළ වහාම රටේ පාලනය අතට ගැනීම සඳහාය. මේ අතර 17වැනිදා අමින්ගේ බෑණා වූ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසාදුල්ලා අමින් දැඩි ආහාර විෂවීමකින් බරපතළ ලෙස රෝගාතුර වී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොස්කව් බලා පියාසර කළේය. හෆීසුල්ලා අමින් සඳහා පිළියෙල කළ කෑමක් ඔහුගේ බෑණා වූ අසාදුල්ලා අමින් අනුභව කොට ඇත. ටැලිබොව්ගේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, ඉරාණයේ ටෙහෙරාන් හි සේවය කළ කේ.ජී.බී. නිලධාරියෙකු වූ ව්ලැඩිමීර් කුසිච්කින්ට අනුව, ‘[හෆිසුල්ලා] අමින් සෑම මොහොතකම ඉතාම ප්‍රවේශම් විය. තමන් භුක්ති විඳින ආහාරවලට වස දමා ඇතැයි සිතමින් සෑම විටම ආහාර සහ බීම මාරු කිරීමට ඔහු පුරුදු වී සිටියේය. මේ නිසා අමින් වස දී ඝාතනය කිරීමේ සැලසුම අසාර්ථක විය. නමුත් මේ ගැන සඳහන් තවත් වර්තාවක සඳහන් වන්නේ අමින් සූප පානය සඳහා දැඩි ලොල්කමක් දැක්වූ බවත් වරක් ටැලිබොව් විසින් පිළියෙල කරනු ලැබූ සූපයක් පානය කළ අමින් ඇතුළු ඔහුගේ ඇමතිවරුන් කිහිපදෙනෙකු ආහාර විෂවීමකින් පීඩා විඳි බවයි. රෝගී තත්ත්වය උස්සන්න වීම නිසා සිහිසුන් වූ අමින්ට ප්‍රතිකාර කිරීම සඳහා සෝවියට් සංගමයේ විශේඥ වෛද්‍යවරු දෙදෙනෙක් පැමිණියහ. කේ.ජී.බී. කුමන්ත්‍රණය ගැන නොදන්නා එම සෝවියට් වෛද්‍යවරු දෙදෙනා ජනාධිපති මාළිගාවේ වැටී සිටි අමින්ට ප්‍රතිකාර කළහ. රෝගාතුර වූ ඔහුගේ අනෙකුත් ඇමතිවරුන් හමුදා රෝහලකට ගෙන යන ලදී.
"සෝවියට් වෛද්‍යවරුන් ඔහුගේ (අමින්ගේ) උදරයේ තිබූ ආහාර පොම්ප කොට ඉවත් කිරීම සඳහා ඔහුගේ නාසය සහ මුඛය හරහා නළ දැමුවා. ඔහුගේ උදරය පිරිසුදු කළ පසු වෛද්‍යවරු ඔහුව නාන කාමරයට රැගෙන ගියා. විනාඩි 30ක් පමණ ඔහු සීතල වතුරෙන් නෑව්වා" අමින්ගේ ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස සේවය කළ ෆකීර් මොහොමඩ් ෆකීර් වසර කිහිපයකට පසු එම සිදුවීම ගැන සිහි කරමින් සඳහන් කළේය.
නමුත් කේ.ජී.බී. රහස්‍ය වාර්තාවල මෙම සිදුවීම ගැන සඳහන් වී නැත. එම වාර්තාවල සඳහන් වන්නේ මීට පෙර සඳහන් කළ සිදුවීම එනම් අමින්ට අනුභව කිරීම සඳහා ලබාදීමට සැලසුම් කර තිබූ ආහාර අමින්ගේ බෑණා අනුභව කිරීම නිසා රෝගාතුර වීමය. ඒ නිසා ආහාරවලට වස දමා අමින් මරාදැමීම කළ නොහැකි කටයුත්තක් බව කේ.ජී.බී. ආයතනයේ බලධාරීහු අවබෝධ කරගත්හ. අමින් මරාදැමීම සඳහා සෝවියට් සංගමයට තිබූ එකම විකල්පය වූයේ හමුදා මෙහෙයුමක් කිරීමය. අමින් බලයෙන් පහ කිරීමේ එම දෙවැනි ප්‍රයත්නය සාර්ථක වන තෙක් කර්මල්ට සහ ඔහුගේ සගයන්ට යළිත් සෝවියට් දේශයට යෑමට සිදුවිය. ඒ අනුව, ප්‍රවේශමෙන් සිදුකරන සෝවියට් හමුදා මෙහෙයුමකදී සිදුකරන වෙඩි තැබීමකින් අමින් ඝාතනය කිරීම සඳහා අවසානයේදී තීන්දු කළේය.
මේ අතර දෙසැම්බර් 20වැනිදා අමින් සිය කාර්යාලය කාබුල් නගරයට ආසන්නයේ දරුලමන් මාලිගය වෙත රැගෙන ගියේය. එමඟින් සෝවියට් උපදේශකයන් ඔහුට වැඩි ආරක්ෂාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කළා විය හැකිය. කෙසේ වෙතත්, සෝවියට් උපදේශකයන්ගේ වුවමනාව වූයේ අමින්ගේ ආරක්‍ෂාව නොව සෝවියට් තානාපති කාර්යාලයට ආසන්නයේ පිහිටි දරුලමන් මාලිගාවට ප්‍රහාරයක් එල්ල කොට අමින් මරා දැමීම පහසුවෙන් කිරීමට හැකි පරිසරය සකස් කර ගැනීමය. එවැනි ප්‍රහාරයකදී කාබුල් නගරයේ වීදිවල සටන් ඇවිළී යාමක් සිදු නොවේ. මෙම තත්ත්වය යටතේ දෙසැම්බර් 23වැනිදා වනවිට සෝවියට් හමුදාවේ හැසිරීම ගැන බටහිර ජනමාධ්‍ය කළ වාර්තා සහ බග්රාම්හි සෝවියට් ගුවන් කඳවුර වෙත නිතර නිතර පියාසර කළ ගුවන් යානා නිසා අමින් බලවත් සැකයකින් ජීවත් වූ බව පැවසේ. නමුත් ඔහු ප්‍රමාද වූවා වැඩිය.
කේ.ජී.බී. යුද මෙහෙයුම ආරම්භ විය. මෙහෙයුම ආරම්භ කළේ දෙසැම්බර් 25වැනිදා ඇෆ්ගන් වේලාවෙන් සවස තුනටය. දින දෙකකට පසු, ඇෆ්ගනිස්තානයේ හමුදා භාවිත කරන නිල ඇඳුමින් සැරසී ඇෆ්ගන් සලකුණු සවිකළ හමුදා වාහනවලින් පැමිණි කේ.ජී.බී. ඇල්ෆා සහ සෙනිත් විශේෂ බළකායේ සාමාජිකයන් 700 දෙනෙක් පමණ දරුලමන් මාළිගාවට කඩා වැදුණහ. වෙඩි හඬ දෝංකාර දෙද්දී කාබුල් ගුවන්විදුලියේ සේවය කළ පීඩීපීඒ පක්ෂයේ සාමාජිකයන් භීතියට පත් වී තම පක්ෂ කාඩ්පත් රේඩියේටර් පිටුපස සඟවා තැබීමට හෝ වැසිකිළිවලට දැමීමට කටයුතු කළහ. ඔවුන්ගේ අනුමානය වූයේ කොමියුනිස්ට් විරෝධී මුජහිදීන් සංවිධානයේ පිරිස් විසින් අමින්ගේ ආණ්ඩුවට පහරදෙන බවය. නමුත්, එදින පස්වරු 8.45ට පමණ තමන්ගේම ගුවන්විදුලි සේවයෙන් විකාශය කෙරුණු ගුවන්විදුලි විකාශනය ඇසුණු ඔවුහු තවත් කලබලයට පත් වූහ. ටර්මෙස්හි පිහිටි රතු හමුදා මූලස්ථානයේ සිට විකාශය කෙරුණු එම පණිවුඩයට අනුව බබ්රාක් කර්මාල් බලයට පත් වී ඇති බවත්, සහෝදර සෝවියට් හමුදාවෙන් ඔහු ආධාර ඉල්ලා සිටින බවත් කියැවුණි. ඉන් විනාඩි පහළොවකට පසු සෝවියට් භටයන් කාබුල් ගුවන්විදුලි සේවය විකාශනය කළ මූලස්ථානයට පැමිණ බියෙන් ගැහෙමින් අන්ද අමන්ද වී සිටි කාර්යමණ්ඩලය අමතා තමන් විප්ලවය බේරා ගැනීමට පැමිණි බව පැවසූහ.
දරුලමන් මාලිගය තම යටතට ගෙන අමින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පහසුවෙන් වෙඩි තබා ඝාතනය කළද, අමින්ගේ ආරක්ෂකයෝ සෝවියට් හමුදාව බලාපොරොත්තු නොවූ අයුරින් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කළහ. කේ.ජී.බී. විශේෂ බළකායේ 100කට වැඩි පිරිසක් මෙහෙයුමේදී මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මියගිය අය අතර ඔවුන්ගේ අණදෙන නිලධාරියා වූ බල්ෂිඛාහි 08වැනි විශේෂ මෙහෙයුම් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් ග්‍රිගෝරි බෝයාරිනොව් ද විය.
මෙහෙයුම්වලදී මියයන කේ.ජී.බී. නිලධාරීන්ගේ ඡායාරූප කළු පැහැති රාමුවලින් රාමු කොට කේජිබී මධ්‍යස්ථානයේ ගෞරවනීය ස්ථානයක ප්‍රදර්ශනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. කෙසේ වෙතත්, අමින් ඝාතනය කිරීමේ මෙහෙයුමෙන් මියගිය ගණන විශාල බැවින් ඇන්ඩ්‍රොපොව් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කළේය. එතරම් විශාල පිරිසක් අමින්ගේ ඇෆ්ගන් ආරක්ෂක භටයන් විසින් මරාදැමීම නිසා ඇති වූ ලැජ්ජාව වසා ගැනීම සඳහා මෙහෙයුමේ දී මියගිය ගණන හෙළිදරව් නොකිරීමට කේ.ජී.බී. ආයතනය ප්‍රවේශම් විය. නමුත් පසු කලෙක ඒ පිළිබඳ සත්‍ය තොරතුරු කේ.ජී.බී. ආයතනයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් හෙළි කරනු ලැබීය. ඔහු නමින් මිත්‍රොකින්ය.
වාසිලි නිකිටිච් මිත්‍රොකින් සෝවියට් සංගමයේ විදේශ බුද්ධි සේවාවේ ප්‍රධාන හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරයෙකු වූ අතර, කේ.ජී.බී.හි පළමු ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. දිනක්, ඔහු ලැට්වියාවේ අගනුවර වූ රිජාවේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කේ.ජී.බී. ලිපිගොනුවල පිටපත් සහ ඔහුගේ සටහන්වල විශාල එකතුවක් රහසිගතව රැගෙන ගොස් භාර දී තමන්ට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු 1992 දී එක්සත් රාජධානියට පැන ගියේය. එම ලේඛන මිත්‍රොකින් ලේඛනාගාරය (මිත්‍රොකින් ආර්කයිව්) ලෙස ප්‍රකට විය. එම්අයි 06 බ්‍රිතාන්‍ය රහස් සේවාවට මිත්‍රොකින් ලබා දුන් මෙම බුද්ධි ලිපිගොනු මඟින් ලොව පුරා මෙහෙයුම් කළ සෝවියට් නියෝජිතයන් විශාල සංඛ්‍යාවකගේ තොරතුරු සහ ඔවුන්ගේ සවිස්තරාත්මක මෙහෙයුම් ගැන ලෝකයට හෙළිදරව් විය. සෝවියට් සමූහාණ්ඩුව සහ කේ.ජී.බී. සංවිධානය තමන්ට අවශ්‍ය ආකාරයෙන් ලෝකය පාලනය කළ අවධිය අවසන් වීම ආරම්භ වූයේ ඒ ආකාරයෙනි.
මෙහිදී සඳහන් කළ යුතු යැයි සිතෙන තවත් කාරණයක් තිබේ. එනම්, අනෙකුත් බොහෝ රටවල් මෙන් ඇෆ්ගනිස්තානයේ සෑම පාලන තන්ත්‍රයක්ම පාහේ තමන්ට එරෙහි කුමන්ත්‍රණ පිළිබඳ ආණ්ඩුව දැනුවත් කිරීම සඳහා අභ්‍යන්තර ඔත්තුකරුවන් භාවිත කළේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිවිල් හා මිලිටරි දෙපාර්ශ්වයම නියෝජනය වන පරිදි බුද්ධි සේවා කිහිපයක් ස්ථාපිත කරන ලදී. නමුත් ඒ කිසිවකට ඵලදායී සේවාවක් කිරීමට නොහැකි විය. මේ නිසා ඇෆ්ගනිස්තානයේ නායකයන් පලවාහැරීමට හෝ ඝාතනය කිරීමට සෝවියට් සංගමයට ඉතාම පහසු විය. මෙවැනි පසුබිමක එක් පසෙකින් කේ.ජී.බී. සංවිධානය තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇෆ්ගනිස්තානයේ සියලුම කටයුතු මෙහෙයවනු ලැබීය. අනෙක් පසින් පාකිස්තානයේ සහාය ඇතිව එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානය ඇෆ්ගනිස්තානයේ සෝවියට් පාලනයට එරෙහිව කටයුතු කළ මුජහිදීන්වරුන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදුන්නේය.
අමින් ඝාතනය කොට තම ඒජන්තයෙකු වූ කර්මාල් බලයට ගෙන ඒමෙන් පසු ඇෆ්ගනිස්තානයේ සෝවියට් අරමුණු මුදුන්පත් කරගැනීමට හැකිවූයේද? එය තවත් අවුල්සහගත කාලයක ආරම්භයක් පමණක් විය. එමඟින් සිදුවූයේ පැවැති සමාජ සහ ආර්ථික ගැටලු තවත් ව්‍යාකූල වීම සහ සංකීර්ණ වීම පමණි. එමඟින්, එක්සත් ජනපදය ඇතුළු බටහිර බල කඳවුර දශක ගණනාවක් තිස්සේ සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය විය. මානව ශිෂ්ටාචාරයේ දීර්ඝතම ඉතිහාසයකට උරුම කියන ඇෆ්ගනිස්තානය ලෝක බලවතුන් නමැති ගිරයට හසුවුණු පුවක් ගෙඩිය බවට පත්විය.
නමුත් සෝවියට් සංගමය මෙතරම් ඇෆ්ගනිස්තානයේ කටයුතුවලට අත පෙවීම සඳහා හේතු වූයේ මොනවාද? එහි මූලයන් මොනවාද? ඇෆ්ගන් පාලකයන් සෝවියට් සංගමය කෙරෙහි විශ්වාසය තැබීමට යොමු වූයේ ඇයි? එනම්, එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයේ ආණ්ඩුවට සහාය දී එරට කටයුතුවලට මැදිහත් වීම සඳහා මෙතරම් කාලයක් ගත කිරීම සඳහා හේතු විමසා බැලිය යුතු කාරණයකි.
දෙවැනි ලෝක යුද්ධයේ අවසානයේ සිට 1955 දක්වා එක්සත් ජනපදයට, ඇෆ්ගනිස්තානයේදී සෝවියට් සංගමයේ ප්‍රතිවාදියෙකු ලෙස කටයුතු කිරීමේ දැක්මක් හෝ කැමැත්තක් නොතිබිණි. ඇෆ්ගනිස්තානය අවස්ථා කිහිපයකදීම තමන්ට සහාය වන ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම් එක්සත් ජනපදය විසින් බැහැර කරනු ලැබුවේ ඇෆ්ගනිස්තානය අපහාසයට ලක් කරමිනි.
1954 දී ඇෆ්ගනිස්තාන අගමැති ධුරය හෙබවූ මොහොමඩ් ඩාවුඩ් ඛාන් ජනාධිපති ඩ්වයිට් අයිෂන්හවර් වෙත ලියමින් එක්සත් ජනපදයෙන් තම රටට මිලිටරි ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. මාස දෙකකට පසු වොෂිංටනය ඊට පිළිතුරු දුන්නේ, “ඔබේ ඉල්ලීම හොඳින් සලකා බැලීමෙන් පසු අපි තීරණය කරනු ලැබුවේ ඇෆ්ගනිස්තානයට මිලිටරි ආධාර ලබාදීමෙන් ඔබේ රට ශක්තිමත් වනවාට වඩා සිදුවන්නේ ගැටලු රාශියක් ඇතිවීම බවයි. ඒ නිසා ආයුධ ඉල්ලීම වෙනුවට පෂ්තුනිස්තාන් සම්බන්ධයෙන් ඇති වී ඇති ආරවුල පකිස්තානය සමග එකතු වී සමථයකට පත් කළ යුතුය," යනුවෙන් සඳහන් කරමිනි. එම පිළිතුරේ පිටපතක් ඇෆ්ගනිස්තාන රජය අපහාසයට පත් කිරීමේ අපේක්ෂාවෙන් වොෂිංටනයේ පාකිස්තානු තානාපතිවරයා වෙතද යවන ලදී.
මෙම සිදුවීමෙන් සෝවියට් හමුදා ආධාර කලින් ප්‍රතික්ෂේප කර ඩාවුඩ් ඛාන් ආණ්ඩුව ඒවා යළි පිළිගැනීමට තීන්දු කළේය. ඇෆ්ගන් පරිපාලනය 1954දී ඇමෙරිකාව විසින් තුට්ටුවකට මායිම් නොකොට නොසලකා හැරියේ එලෙසය. එක්සත් ජනපදය සිදුකළ මෙම නොසලකා හැරීම සහ අපහාස කිරීම ඇෆ්ගනිස්තාන දේශපාලනය වෙනස් කළ ප්‍රධාන සිදුවීමක් විය.
මිත්‍රශීලී සහ බටහිර ගැති ජාතියක සැබෑ ආර්ථික හා ආරක්‍ෂක අවශ්‍යතාවලට ප්‍රතිචාර නොදැක්වීමට සහ පුෂ්තුනිස්ථාන් වැනි අභ්‍යන්තර දේශපාලන ගැටලුවක ඇති බැරෑරුම්කම අවබෝධ කර ගැනීමට වොෂිංටනය අසමත් වීම හෝ හිතාමතා නොසලකා හැරීම නිසා සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය තමන් වෙත ආකර්ෂණය කරගැනීමට සාර්ථකව සමත් විය.
නිලන්ත ඉලංගමුව
පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621
දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676
තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729
හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988
පස්වන කොටස - https://www.ada.lk/opinion/අමින්-මරා-දැමීමේ-කේ-ජී-බී--මෙහෙයුම/2-385048