අමාත්‍යාංශ බෙදීම සම්බන්ධයෙන් විහිළුවට ලක්කළාට එහි ලොකු වැරැද්දක් මම දකින්නේ නැහැ, නමුත් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා- ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්වය, අලෙවිකරණය හා ආපදා කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්පනා අඹේපිටිය
අපි ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය කියලා දෙකට බෙදලා මෙහිදී සලකා බැලිය යුතුයි. ඒ වගේම අපි දැක්කා ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ වගකීම් බෙදා වෙන්කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ ලියවිල්ලක් නිකුත් කර තිබූ ආකාරය. එහි පැහැදිලිව සඳහන් කර තිබුණා ඒ ඒ කටයුතුවලට ක්‍රියා කළ යුත්තේ කවුද කියන එක. එනමුත් පොලිසීස්වල යම් යම් ගැටලු පේන්න තිබුණා. අපි ජනාධිපති හා කැබිනට් මණ්ඩලය කියලා බෙදලා බැලුවම ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා ඒ ඒ අමාත්‍යාංශවල ප්‍රගති වාර්තා සලකා බලන බවට. මෙලෙස ප්‍රගති වාර්තා බලන එක ඇත්තටම හොඳ කටයුත්තක්. ඉදිරි අවුරුදු පහ නියමිත කාලපරාසවලට බෙදලා, ප්‍රගතිය බලලා, අයවැය විගණනයක් සිදුකර අමාත්‍යාංශ හා ඒ ඒ අමාත්‍යාංශවල ආයතන පිළිබඳ යම් ප්‍රගති සමාලෝචනයක් සිදුවෙනවා නම් එය ඉතාම හොඳයි. අපි රාජ්‍ය හා කැබිනට් අමාත්‍යාංශ ලෙස ගත්තොත් කැබිනට් අමාත්‍යාංශ පරණ කට්ටියටම දුන්නා කියලත් ඔවුන් අතීතයේ වැඩ නොකරපු අය විදිහටත් ඇතැමුන් විරෝධය හා අකමැත්ත ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම අපි බැලුවොත් රාජ්‍ය අමාත්‍යාංශ ගැන ඔවුන් කැබිනට් අමාත්‍යවරු යටතේයි වැඩ කරන්නේ. කැබිනට් අමාත්‍යවරයා බොහෝ වෙලාවට කරන්නේ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඒවා අනුමත කරගන්නා එක. රාජ්‍ය ඇමතිවරයා තමයි ඒ ඒ විෂයන් යටතේ වැඩ කරන්නේ. දැන් මැටි කර්මාන්ත, බතික් කර්මාන්ත වගේ අමාත්‍යාංශ බෙදීම පිළිබඳ විහිළුවට ලක්කර බලනවානේ. ඒවාට හිනාවුණත් මේ කාලයේදී මොන මොන පැතිකඩවලින් රට දියුණු කළ යුතුද කියන දේ හඳුනාගෙන තිබෙන බවක් පෙනෙනවා. විශේෂයෙන් දේශීය කර්මාන්ත පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති බවක් පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම අපනයන සංවර්ධනය පිළිබඳවත් කතාකර තිබෙනවා.
පරිසර සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කළොත් අලිවැට ඉදිකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් නම්කර තිබෙනවා. මෙහිදී අලිවැට ඉදිකිරීම සම්බන්ධයෙන් පමණක් නොවෙයි, අලි-මිනිස් ගැටුම විසඳන්න අනුගමනය කළ හැකි දේවල් බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන් මෙම ගැටුම නිරාකරණය කරන්න අනුගමනය කළයුතු ක්‍රමවේද හා ඒවා කුමන ස්ථානවල ස්ථාපිත කළ යුතුද යන්න පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකළ යුතුයි. මේ වගේ පොඩි පොඩි ගැටලු තිබුණත් ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂ අවධානය යොමු විය යුතු ප්‍රධාන කාරණා පිළිබඳව අවධානය යොමුකර අමාත්‍යාංශ පත්කර තිබීම ගැන සතුටු විය හැකියි.
ආපදා කළමනාකරණය පැත්තෙන් ගත්තොත් බොහොම සරල දේවල් ටිකක් තමයි කතා කරලා තිබෙන්නේ. අපි මේ ක්ෂේත්‍රය ගැන කතා කළොත් අපේ රටට National Frame work එකක් තිබෙනවා. ඒ අනුව වගකීම් දරන්න ඕන පුද්ගලයන්, ආයතන ජාතික හා කලාප මට්ටමෙන් කතා කර තිබෙනවා. ඒ අනුව අපි ප්‍රතිපත්ති හදද්දී අඩුපාඩු තමයි මඟහරවා ගන්න අවශ්‍ය. නමුත් මෙවර සිදුවී තිබෙන්නේ මින් පෙර කතා කරපු දේවල්ම නැවත කතාකර තිබීමයි.
ඒ වගේම ඇමැතිවරුන්ට එක එක කොටස් බෙදා වෙන්කර තිබෙන තත්ත්වයක් දැන් පවතින්නේ. මේ සියලුදෙනාට පොදු කාරණාවක් ආවම ඔවුන් එකට එකතුවෙලා වැඩ කරන්නේ කොහොමද කියන ගැටලුවත් මෙහිදී මතුවෙනවා. අපි හිතුවොත් කැඩුණු වතුර බටයක් ජලසම්පාදන අමාත්‍යාංශය මගින් හදනවා. ඔවුන් වතුර බටය හදන්න පාර හාරපු එක හදන්න මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ විය යුතුයි. අපි දකිනවා එකිනෙකට සම්බන්ධවෙලා කටයුතු කළ යුතු අමාත්‍යාංශ වෙන වෙනම එකිනෙකා අතේ තිබෙනවා. එහෙනම් මෙම අමාත්‍යාංශ එකට සම්බන්ධ වෙන ක්‍රමවේදය කුමක්ද කියන එක රජය විසින් පැහැදිලි කළ යුතුයි.
අනෙක් අතට හැම විෂයක්ම කඩලා වෙන් කරලා තිබෙන තත්ත්වයකදී ඒ බෙදා දුන් පුද්ගලයා හරියට වැඩ කරනවාද කියන දේ මැනලා බලන්න පුළුවන්. මීට පෙර අමාත්‍යාංශවල ඇමතිවරු වැඩ කරනවාද කියන දේ කතා වුණේ නහැ. ඒ වගේම ජාතික ප්‍රශ්න ලෙස ඇතැම් ප්‍රශ්න ගොඩනැගෙද්දී අමාත්‍යාංශ මට්ටමෙන් ලබාදුන් ප්‍රතිචාර බොහෝ වෙලාවට සාර්ථක වුණේ නැහැ. අපි කාලසීමාවක් ලබා දීලා අයවැය වාර්තා නියම විදිහට කැඳවලා විගණනය කරනවා නම් ප්‍රගති සමාලෝචනයක් සිදුවෙනවා නම් අමාත්‍යාංශවලට පත්වූ ප්‍රද්ගලයන්ගේ ඉතිහාසය හෝ ඔවුන් කරපු වැරදි හදාගෙන ඉදිරියට යා හැකියි. මොකද අලුත් ක්‍රමයක් මෙහිදී ක්‍රියාත්මක නිසා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ හඳුන්වා දුන් ක්‍රමවේදය නියම ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද කියන එක.
අලුත් රජය කියනවා රට සංවර්ධනය කරනවා කියලා. සංවර්ධන ව්‍යාපෘති රටට එද්දී ඒවායේ තිබෙන දූෂණ වංචා අවම කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. අමාත්‍යාංශ පත්කරලා දැන් ඔවුන් වැඩ කරන්න පටන් ගත්තා කියනවා. නමුත් දූෂණ වංචා නිලධාරීවාදය කියන දේවල් කොහොමද වළක්වා ගන්නේ? ජනාධිපතිවරයා කොහොමද මේවා පාලනය කරන්නේ? කියන යාන්ත්‍රණය මෙහි පැහැදිලි නැහැ. පත්වුණ පුද්ගලයන් ගැන ප්‍රශ්නයක් තිබෙනවා වගේම පිරිසුදු මිනිස්සුත් පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් අලුතෙන් පත්වූ අයට ලොකු වගකීමක් තිබෙනවා. මොකද ඔවුන්ව දිස්ත්‍රික්කයෙන් අංක එක බවට පත්කරන්න මනාප ලබාදුන්නේ ඔවුන් කෙරේ තිබුණු අධික විශ්වාසය නිසයි. අපිට පරණ අය ගැන වැඩි විශ්වාසයක් නැති නිසයි පරණ අයට මනාප අඩු වෙලා අලුත් අය ඉස්සරහට ආවේ.
අමාත්‍යාංශ බෙදීම සම්බන්ධයෙන් විහිළුවට ලක්කලාට එහි ලොකු වැරැද්දක් මම දකින්නේ නැහැ. නමුත් ඒවායේ එකිනෙකට සම්බන්ධවීම්, ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබෙනවා. අපි පරිසර ප්‍රශ්න ගැන බැලුවොත් සාගර දූෂණය එක ගැටලුවක්, කුණු ප්‍රශ්නය එක ගැටලුවක්. ඉඩම් ගොඩකිරීම්, රජයේ කැලෑ එළිකිරීම්, වනාන්තර කියන දේ අපි රටක් විදිහට නීත්‍යානුකූලව වෙන් කරගෙන නැති එක, අලි - මිනිස් ගැටීම්, කුඩා ජල විදුලි බලාගාර ආදී ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. මේ වෙනකන් ප්‍රශ්න ගොඩාක් අපිට ඇතිවෙලා තිබෙනවා. අපි දැන් බැලුවත් පරිසර අමාත්‍යාංශය යටතට ගැනෙන විෂයන් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් තුන්දෙනෙක් විතර ඉන්නවා. ඔවුන්ට අයිති වගකීම් වෙන වෙනම තිබෙනවා. එහෙනම් මේ තුන් හතර දෙනාම එකට සම්බන්ධ වීමක් අවශ්‍යයි. ඒ සම්බන්ධ වීම කොහොමද සිදුවෙන්නේ කියන දේ රජය විසින් නිකුත් කළ ලියවිල්ලේ පැහැදිලිව සටහන් වෙලා තිබුණේ නැහැ. නමුත් කලින් තිබූ රජයන්වලට වඩා වෙනසක් අපි මේ අමාත්‍ය මණ්ඩලයේ දකිනවා. මොකද යම් ක්ෂේත්‍රයක සංවර්ධනයට අමාත්‍යාංශයක් ලබාදුන්නම ඇමතිවරයාට ඒ ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩ කරන්නම වෙනවා.
බතික් හා දේශීය රෙදිපිළි අමාත්‍යාංශය කිව්වම ඇමතිට නිකන් උඩබලන් ඉන්න බෑ. අනිවාර්යෙන් එයාට මේ කර්මාන්තය ගොඩනගන්නම සිදුවෙනවා. අනිවාර්යෙන් ඉලක්කයකට ගිහින් ඒ ඉලක්කය ජයගන්නම සිදුවෙනවා. ඒ වගේම අමාත්‍යාංශවලට වගේම රාජ්‍ය ආයතන සියල්ලටම ඉලක්ක ලබාදිය යුතුයි. සුළු අපනයන හා දේශීය කර්මාන්ත සියල්ල අපනයන මට්ටමට හරවද්දී අපනයන වෙළෙඳාම සම්බන්ධ ඉලක්ක ලබාදීම ඉතා වටිනවා.
පරිසර අමාත්‍යාංශය ගත්තොත් අමාත්‍යවරයාට ඉලක්කයක් ලබාදෙනවා නම් කාලසීමාවක් ඇතුළත වනාන්තර ගහනය 17%කින් ඉහළ දමන්න කියලා. අමාත්‍යවරයාට ඒක කරලා පෙන්වන්නම සිදුවෙනවා. මේ වගේ ඉලක්ක දුන්නා නම් හොඳයි. මේක රාජ්‍ය කළමනාකරණය කියන අංශයට අයිති දෙයක්. ඒ අනුව රට සංවර්ධනය කරන්න අවශ්‍ය නම් කරන්න අවශ්‍ය වෙන්නේ අදාළ කාලසීමාවන්වලදී ඉලක්ක සපුරා ප්‍රගතිය පෙන්වන ලෙස අමාත්‍යාංශවලට නියම කිරීමයි. එහෙම වුණොත් තමයි මේ අමාත්‍යාංශ බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක එකක් බවට පත්වෙන්නේ.
මේ රටේ ක්‍රමවේදයකට වැඩ කරනවා කියන දේ බරපතළ විදිහට පිරිහිලා තිබුණා, ඒ තත්ත්වය හඳුනාගෙන කැබිනට් මණ්ඩලයට වෙනස් කරන්න පුළුවන් - රවී කුමුදේශ් - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසඳය
අමාත්‍යාංශවල මතුපිටට පෙනෙන ඉතාම සුමට නීති පද්ධතියක් තිබෙනවා. තාක්ෂණික ඇගයීම් මණ්ඩල ටෙන්ඩර් මණ්ඩල තිබෙනවා. විවිධ තලවල නීත්‍යානූකූලව වැඩ වෙන බවක් පෙනෙන්න තිබෙනවා.
නමුත් අපි දන්න කාරණය තමයි ආණ්ඩුවල ස්ථාවරභාවය නැති වුණ විට ඇමතිලා සෘජු තීරණ ගන්නෙ නැති උනාම, නැතිනම් ඇමති සෘජු තීරණයක් ගත්තොත් ජනාධිපති අගමැති මැදිහත් වෙනවා නම් මේ රට විධිමත් විදිහට පාලනය කරන්න අමාරුයි. මේ රටේ ක්‍රමවේදයකට වැඩ කරනවා කියන දේ බරපතළ විදිහට පිරිහිලා තිබුණා. එයට ප්‍රධාන හේතුව දේශපාලඥයන්ටත් වඩා පාලනය කරන නිලධාරීන්ගේ ක්‍රියාකලාපයයි. මේ රට දේශපාලඥයෝ අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට පාලනය කළත්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නම් එය නිශ්චිත වශයෙන්ම පාලනය කරන්නේ එහි ඉන්න නිලධාරීන්. එහි ඉහළ නිලධාරීන් මාරු උනත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට පහළින් ඉන්න නිලධාරීන් මාරු වෙන්නේ නැතිව වරින්වර හුවමාරු වන තත්ත්වයක් තිබෙන්නේ.
මේ රජය මේ තත්ත්වය හඳුනාගන්නවා නම් මේ කැබිනට් මණ්ඩලයට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට හදන්න යනවා කියලා කියනවා. එහෙම දර්ශනයක් ඔහුට තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඒ විශ්වාසයෙන් පමණක් මේක සිද්ධවෙන්නේ නැහැ. මෙය වෙනස් කිරීම සඳහා අපිට ස්වර්ණමය අවස්ථාවක් හමුවෙලා තියෙනවා. එය අනිවාර්යෙන් භාවිත කළ යුතුයි කියා අපි හිතනවා.
උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවාවක් ගැන කතා කරද්දි කොමිස් නැතිව සෞඛ්‍ය සේවාවේ කිසිම වැඩක් කරන්න බැරිවෙලා තිබෙනවා. මේ දේවල් නීතිගත වෙලා තියෙන්නේ. මේ දේවල් හොයන එකම ක්‍රමය හොරු අල්ලන ක්‍රමය නෙවෙයි. හොරු අල්ලනවා, හොරකම් කරනවා, දූෂණය කරනවා කියන දේවල් දැන් විලාසිතාවක් වෙලා තියෙනවා. මම කතා කරන්නෙ ඒ අර්ථයෙන් නෙවෙයි. සෞඛ්‍ය සේවාව ඇතුළු ඕනෑම සේවාවක් සාර්ථක වෙන්නේ හොඳ කළමනාකරණයක් ඇතුළෙයි. හොඳ කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. නමුත් ඒ ආකරයෙන් දියුණු කළමනාකරණ පද්ධතියක් ලංකාවේ කිසිම අමාත්‍යාංශයක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා උදාහරණයකට අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් ගත්තොත් දූෂණයෙන් තොරව ඔහුට වැඩකරන්න උවමනාවක් තිබෙනවා නම් ඒක කරන්න පුළුවන්. එහෙම නැතිව දූෂණයෙන් තොරව වැඩ කරගෙන යන්න ඔහුට උවමනා නම් ඒත් පුළුවන්. එහෙම නැතිව ඔහුට කාර්යක්ෂමව වැඩ කරන්න අවශ්‍ය නම් ඒත් පුළුවන්. ඒ ඒ තනතුරට පත්කරන පුද්ගලයා අනුව වැඩකරන යන්න පුළුවන් මට්ටමක් තමයි අපේ කළමනාකරණ පද්ධතිය හැදිලා තියෙන්නේ. මේ නිසා ජනතාව වෙනුවෙන් වැඩකරන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි කියලයි මම හිතන්නේ. අලුත් කළමනාකරණ පද්ධතියක් ඇතිකරගෙන ජනාධිපතිතුමා ඇතුළු මේ කැබිනට් මණ්ඩලය කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.
මේ ක්‍රමය හොඳයි, අපි කොහොමද විදේශ වෙළෙඳ පොළ ජයගන්නේ කියන එක මේ පත්වුණු අමාත්‍යවරුන්ගේ වගකීමක් - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්
විද්‍යාත්මක ක්‍රමවේදයකට ඇමතිවරුන් පත්කරනවා කියන්නේ ඒ ඒ විෂයන්වලට ඒ ඒ විෂයානුබද්ධ දැනුමක් තිබෙන අයව එම අමාත්‍යාංශවලට පත්කිරීමයි. නමුත් අපේ තිබෙන දේශපාලන වාතාවරණයත් සමග ඒ විෂයානුබද්ධ දැනුම තිබෙන අය හොයාගන්න අමාරුයි. උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලයකදී වුවත් ඇතැම් අවස්ථාවලදී අපට සමහර විෂයන් පිළිබඳව අවශ්‍ය දැනුම නැති වුණාම අපි කරන්නේ බාහිර සමාජයේ ඒ සම්බන්ධ විශේෂඥයන්ගෙන් ඒ අවශ්‍ය දැනුම ලබාගන්න එක. මෙතනදි ඒ පත්වුණු අමාත්‍යවරුන් දැනගත යුතුයි කොහොමද විද්‍යාත්මක ආකෘතියකින් පාලනය කරන්නේ කියලා. එහිදී ඔවුන්ට ඒ සඳහා යම් අවබෝධයක් තිබෙන්න ඕනේ. අවම වශයෙන් කෙටිකාලීන වැඩසටහන් සම්පාදනය සඳහා දැනුමක් තිබිය යුතුයි. එහෙම නැතිනම් ඒ සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් දැනුම ලබාගන්න ඕනේ. එහෙම නැති වුණොත් සිදුවන්නේ ජාතික ලැයිස්තුවෙන් හෝ ඒ අදාළ විෂයන්වලට ඇමතිවරුන් පත්කිරීම. නමුත් අපිට එහෙම දේශපාලන සංස්කෘතියක් නැහැ. ඒ නිසා දැනට සිටින පුද්ගලයන් අතුරින් හොඳ පුද්ලයන් පත්කිරීම තමයි සිදුවන්නේ. ඒකේ යම් යම් අඩු ලුහුඬුතා තිබෙනවා. නමුත් මේ වෙද්දි දේශපාලනය ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින නිසා මේ ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව පෙරට වඩා යම් දියුණුවක් දකින්න පුළුවන්.
මූලික වශයෙන් ඉතා කුඩා කර්මාන්තවලට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම් රාශියක් මෙවර සිදුවුණා. විශේෂයෙන් වඩු වැඩ, පිත්තල, බතික්, මැටි කර්මාන්ත වගේ ක්ෂේත්‍රවලට අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව බරපතළ සාකච්ඡාවක් මේ වෙද්දි මහා සමාජයේ සිදුවෙනවා. ඒ අපිට මේ ක්‍රමවේදය අලුත් නිසා. වෙනදා අපි දකින අමාත්‍ය මණ්ඩල පත්කිරීමේ ව්‍යුහයෙන් මෙවර පත්කිරීම වෙනස් නිසයි එහෙම සාකච්ඡාවන් දිගින් දිගටම සිදුවන්නේ. නමුත් මේ ක්‍රමය හොඳයි. අපි හැමදාම කළේ තාක්ෂණය ආනයනය කිරීමක්. එහෙම නැත්නම් භාණ්ඩ ආනයනය කිරීමක්. භාණ්ඩ ආනයනය කිරීමෙන් එහාට ගිහිල්ලා අපි දැන් අපනයන වෙළෙඳපොළ ගැන හිතන්න ඕනේ. අපේ තිබෙන සාම්ප්‍රදායික කර්මාන්ත දියුණු කරලා අපනයන වෙළෙඳපොළ පිළිබඳව හිතපු එක ඉතා හොඳ ලක්ෂණයක්. අපේ සාම්ප්‍රදායික සමාජයේ තිබුණ තාක්ෂණය නවීන තාක්ෂණය සමග බද්ධ කරලා අපි කොහොමද විදේශ වෙළෙඳපොළ ජයගන්නේ කියන එකට වැඩ කරන එක මේ පත්වුණු අමාත්‍යවරුන්ගේ වගකීමක්.
ඇතැම් අමාත්‍යා‘ංශවල තිබෙන පැටලිලි සහගත තැන්, ව්‍යාකූල තැන් නිරාකරණය විය යුතුයි කියලයි අපි කියන්නේ - ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා
වර්තමාන ආණ්ඩුව කැබිනට් මණ්ඩලය පත්කිරීම විද්‍යාත්මක පදනමකට අනුව කළා කියල තමයි කියන්නේ. නමුත් අපි අධ්‍යාපනය ගැන කතා කළොත් අධ්‍යාපනයට නියෝජ්‍ය ඇමතිවරු 04යි, කැබිනට් අමාත්‍යවරයයි එක්ක ඇමතිවරු 05ක් ඉන්නවා. අධ්‍යාපනයට වෙන්කර තිබෙන රාජ්‍ය අමාත්‍යාංශ අතරින් කාන්තා, ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ලෙස එක් අමාත්‍යාංශයක් තිබෙනවා. ඒ අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයන් 05ක් දක්වලා තියෙනවා. නමුත් මේ අමාත්‍යාංශය තිබෙන්නේ සෙත්සිරිපායේ. අධ්‍යාපනය සම්බන්ධ විෂයන් තිබෙන්නේ ඉසුරුපායේ. එහෙම උනාම අමාත්‍යාංශයේ වැඩවලට ඉසුරුපායේ නිලධාරීන් සෙත්සිරිපායට යන්න අවශ්‍යද? එහෙම නැතිනම් කොහොමද කරන්නේ කියන ප්‍රශ්න තිබෙනවා. ඒ අනුව මෙම ආයතන අතර අන්තර් සම්බන්ධීකරණය ගැන බරපතළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්තයට වෙන් කරලා තියෙන රාජ්‍ය අමාත්‍යාංශය ගැන කියද්දි ඒ නම ටිකක් දිගයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ කියලයි එය නම්කර තිබෙන්නේ. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව නම්කර තිබෙනවා. අධ්‍යාපනයේ විෂය මාලාව සකස් කරන්නේ, යාවත්කාලීන කරන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. විෂය මාලාව ක්‍රියාත්මක කරන්නේ රේඛීය අමාත්‍යාංශය මගින්. එහෙම බලද්දි ප්‍රතිපත්ති හදන ආයතනය රාජ්‍ය අමාත්‍යාංශයට ඇවිත් තිබෙනවා. මේ වගේ පැටලිලි සහගත තැන්, ව්‍යාකූල තැන් නිරාකරණය විය යුතුයි කියලයි අපි කියන්නේ.
ඒ වගේම ඇමතිවරුන්ට විෂයන් බෙදීමේදී ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන අභ්‍යන්තර ආරක්ෂක හා ස්වදේශ කටයුතු, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවරා තිබෙනවා. මීට කලින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනුණු ආයතන සියල්ල මේ අමාත්‍යාංශයට අරගෙන තිබෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මොකද සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ. මේ සිවිල් ආයතන ආරක්ෂක අමාත්‍යාංශ යටතට ගන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. එවැනි කාරණා නිරවුල් කරගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
සිවිල් පරිපාලනය ශක්තිමත් කළ යුතුයි. එහෙම නැතිව හමුදා පරිපාලනයක් තුළට සිවිල් පරිපාලනය අයත් වෙන්නේ නැහැනේ. මැතිවරණ කාලයේදී උනත් හමුදාව යෙදෙව්වේ නැහැ. ඒ වෙනුවට පොලීසිය තමයි යෙදෙව්වේ. මෙවැනි තත්ත්වයක් දැන් ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම ඉල්ලා සිටින්නේ මේ ගැටලු සහගත තැන් නිවැරදි කරන්න කියලයි.
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ඇමතිකම් දරන්න බැහැ. නමුත් මේ ජනාධිපති ඇමති ධුර දරනවා. මෙවැනි දේවල් නිවැරදි විය යුතුයි. ඒ මොකද මෙම ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මෙවැනි දේවල් නොවිය යුතුයි. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තු උදවිය මන්ත්‍රීවරුන් හැටියට දිවුරුම් දීල ඇමතිකම් ගත්තා නම් වඩා හොඳයි. නමුත් දැන් එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේදී උනත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ලේකම්වරුන් ලෙස පත් කළා නම් හොඳයි. හමුදා නිලධාරීන් ලේකම්වරුන් විදිහට පත්කිරීම හොඳ දෙයක් නෙවෙයි.
මේ කටයුතු හරි විදිහට කළා නම් නීති ආරක්ෂා වෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රැකෙනවා කියලා ජනතාව හිතනවා. තුනෙන් දෙකක බලයක් ලැබුණා කියල අත්තනෝමතික දේවල් කරන්න යන්න හොඳ නැහැ. නීතියක් තියෙද්දි නීති රාමුවට පිටින් මේ දේවල් කරන එක වැරදියි. අධිබලයක් ලැබුණා කියලා නීතියට පිටින් වැඩ කරන්න ගියාම මීට වඩා ලොකු දේවල් ඉදිරියේදී වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා වැළැක්විය යුතුයි කියලයි අපි කියන්නේ.
අමාත්‍යවරුන්ට දීලා තිබෙන විෂය පථයන් ලෝකයත් සමග ගමන් කරන්නේ කොහොමද කියන එක ගැටලුවක් - කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ ආචාර්ය සුලෝචනා සිගේරා
අමාත්‍ය මණ්ඩලය පත්වීම කියන දේට වඩා විෂය පද්ධතිය නම් කිරීම පිළිබඳවයි අපි මෙහිදී සිතන්නට අවශ්‍ය වන්නේ. තෝරාගෙන තිබෙන විෂයන් හොඳයි. නමුත් ඒ විෂයන් තුළ සන්නාමයක් ගොඩ නැගීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා.
ලංකාව කියන්නේ තනිවුණ දූපතක් නොවේ. අප ලෝකයත් සමග ගමන් කළ යුතුයි. ඒ අනුව මේ අමාත්‍යවරුන්ට දීලා තිබෙන විෂය පථයන් ලෝකයත් සමග ගමන් කරනුයේ කොහොමද කියන දේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. බතික්, මැටි කර්මාන්ත වගේ වෙන වෙනම විෂය බෙදලා අමාත්‍යාංශ දැම්ම එක හොඳයි. නමුත් අප මේක ලෝකයට ගෙනියන්නේ කොහොමද කියන එකේ සන්නාමය නැතිනම් බ්‍රෑන්ඩ් නේම් එක හරියට හදලා නෑ කියලයි මට හිතෙන්නේ. අපි වළං කියලා කිව්වම, මැටි භාණ්ඩ කියලා කිව්වම ඒක හොඳයි. නමුත් මේක ලෝකෙට ගෙනියන්නේ කොහොමද?
ව්‍යවසායකත්ව හෝ කුඩා කර්මාන්ත සංවර්ධන කියන එක අංශවලට බෙදලා දෙන්න ගිහින් යම්කිසි පටලැවිල්ලක් වෙලාද කියලත් හිතෙනවා. නමුත් විෂය පථයේ වරදක් නැහැ. විෂය පථය ලෝකයත් සමග එකතු කරන්න පුළුවන්ද යන්නයි අප බැලිය යුත්තේ. මෙහිදී අප විශේෂයෙන් බැලීමට අවශ්‍ය අපේ භාණ්ඩ ලෝකයට ගෙනියන්නේ කොහොමද කියලායි.
මීට වඩා මට ලොකු ගැටලුවක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණයත් සමග ලෝකයම ඉදිරියට යද්දී ඇයි තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විෂය පථයක් සකස් නොකළේ කියන එක සම්බන්ධවයි. ඒ වගේම කාන්තාවන් කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තුවට පත්වෙලා ඉද්දී කාන්තා හා ළමා කටයුතු විෂය ලබාදෙන්න කාන්තාවක් හිටියේම නැද්ද කියන ගැටලුව පැන නගිනවා.
එහිදී කාන්තාවන් හොඳින් බලාගන්න පුළුවන් පිරිමින්ට පමණක් කියලා ඔවුන් හිතනවාද කියලත් හිතෙනවා. මින් පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේත් කාන්තා කටයුතු අමාත්‍යාංශය පිරිමි කෙනෙක් අතට පත්කළා. මෙවරත් පිරිමි කෙනෙක් දාන්න හේතුව කුමක්ද කියන එක අපි දන්නේ නැහැ. කාන්තා කටයුතු අමාත්‍යාංශය කාන්තාවකටම දෙන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණ කාන්තාවන් අතර මේ අමාත්‍යාංශය ලබාදෙන්න සුදුසු කෙනෙක් හිටියේම නැද්ද කියන ගැටලුව අපිට ඇති වෙනවා.
ඒ වගේම රටේ 52෴කට වැඩි පිරිසක් කාන්තාවන් වෙද්දී ඇයි ඒ සඳහා කැබිනට් අමාත්‍යාංශයක් පත් නොකළේ කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අනිවාර්යෙන් කාන්තා හා ළමා කියන විෂය කැබිනට් අමාත්‍යාංශයක් යටතට පත්විය යුතුයි. එහෙම නැති වුණොත් කාන්තාවන් පිළිබඳව දේශපාලනයේදී කතා කෙරෙන්නේත් නැහැ. සමාජය තුළත් අපි එක හා සමානයි කියන එක වහන්න හදනවාද කියන ප්‍රශ්නය නැගෙනවා.
ඒ වගේම ලංකාව වෙනස් කරන්න අවශ්‍ය නම් අවධානය යොමු කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඉන් පළවැනි කෙනා තමයි අම්මා කියන කෙනා. අනෙක් කෙනා තමයි ගුරුවරයා. එතකොට මේ දෙදෙනා වෙනස් නොවුණොත් ලංකාව කියන රට සමාජීය වශයෙන් හා ආර්ථික වශයෙන් ගොඩගන්න බැහැ. නමුත් මෙවර අමාත්‍යාංශ බෙදා දීමේදී මේ දෙන්නා දිහාම සැලකිල්ලෙන් බලලා නැහැ. ඉදිරියේදී මේ අමාත්‍යාංශ නම්කරන්න ඉන්නවාද කියන්න අපි දන්නේ නැහැ. මෙවර පාර්ලිමේන්තුවට ගොඩක් හොඳ අලුත් මුහුණු පැමිණ තිබෙනවා. ගොඩක් හොඳ ඇමැතිවරු තේරී පත්වී තිබෙනවා. නමුත් ඔවුන්ගෙන් වැඩක් ගන්න පුළුවන් අයවද කැබිනට් එකට පත් කළේ කියන ප්‍රශ්නය පැන නගිනවා. වැඩිම මනාප ලැබුණ උගතුන්ට හරි අමාත්‍යාංශය ලැබුණේ නැහැ නේද කියන ගැටලුව තිබෙනවා.
ළමා ආරක්ෂණය ජාතික ගැටලුවක් බවට පත්වෙලා තිබෙන මොහොතක මේ විදිහේ කුඩම්මාගෙ සැලකිලි අපිට අනුමත කරන්න බැහැ - ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක
මේ පත්කිරීම්වල කිසිදු විද්‍යාත්මකභාවයක් මම දකින්නේ නැහැ. මෙවර අමාත්‍යාංශ බෙදීම ගැන සතුටක් නැහැ. විශේෂයෙන් මගේ විෂය වන කාන්තා සහ ළමා කටයුතු පිළිබඳව. පසුගිය මාස හයට ලංකාවේ ළමා අපයෝජන වාර්තාගත විදිහට දරුණු වෙලා තියෙනවා. කවදාවත් නොවුණු තරමට මේ විදිහට අපයෝජන, ළමා අපරාධ වැඩි වෙලා තියෙන්නෙ ඇයි? පැය දෙකකට වරක් දරුවෙක් අපයෝජනයකට ලක් වෙනවා. ඒ තත්ත්වයට රට පත්වෙලා තියෙන්නේ ඇයි කියලා හොයල බලද්දී අපිට පැහැදිලි වෙනවා දීර්ඝ නඩු තීන්දුවක් ඔස්සේ වරදකරුවන් වී මරණීය දණ්ඩනය ලබා සිටි ළමා ඝාතකයන් දෙදෙනෙකුව නිදහස් කිරීමත් සමගම රටට දුන්නු පූර්වාදර්ශය. එයින් ළමා හිංසන සාධාරණීකරණය කරනවා කියන එක තහවුරු වෙනවා. ළමා ආරක්ෂණය ජාතික ගැටලුවක් බවට පත්වෙලා තිබෙන මොහොතක මේ විදිහේ කුඩම්මාගෙ සැලකිලි අපිට අනුමත කරන්න බැහැ.
රටේ 52%ක් පමණ කාන්තා ජනගහනය තියෙනවා. ඒ කියන්නේ මිලියන 13ක් වැනි ප්‍රමාණයක්. ඒ වගේම මිලියන 5-6ත් අතර ප්‍රමාණයක් දරුවෝ ඉන්නවා. එතකොට මිලියන 18ක් පමණ කාන්තාවන් සහ ළමුන් අපේ රටේ ජීවත් වනවා. මේ මිලියන 18ක පුරවැසියන් වෙනුවෙන් තිබුණු එකම අමාත්‍යාංශයත් අහෝසි කරලා ඒ තිබුණු තත්ත්වයෙනුත් ඉතා අඩු තත්ත්වයකට දැමීම කිසිසේත් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. 2005ට පෙර මේක තිබුණේ ජනාධිපති කාර්යාලය යටතේයි. එතකොට ඒ සඳහා විශාල බලතලයක් තිබුණා. 2005 වසරේදී තමයි කාන්තා සහ ළමා අංශ එකතු කරන්නේ. මේ අංශ දෙක වෙන වෙනම පැවතුණු කාලේදී ඊට වඩා සූක්ෂ්ම ලෙස කටයුතු කළ බව දත්තානුකූලව පැහැදිලියි. නමුත් මේ දෙකම එකතු කළ පසුව තත්ත්වය යම් දුරකට බැස්සා. ඒ බැස්ම දිගින් දිගටම සිදුවුණා. රාජ්‍ය අමාත්‍යාංශයක් කියන්නේ කැබිනට් අමාත්‍යාංශයකට වඩා ඉහළ තැනක් කියලා කාටවත් කියන්න බැහැ. අනික මේක තනි අමාත්‍යාංශයක් නෙවෙයි. පෙරපාසල්, පාසල්, අධ්‍යාපන සේවා, අධ්‍යාපන යටිතල පහසුකම් යටතටම තමයි කාන්තා හා ළමා කටයුතුත් ලබාදීලා තියෙන්නේ. රටේ බහුතරයක් සිටින කාන්තාව, රටේ ආර්ථිකයේ බර අදින කාන්තාව, පැය දෙකකට වරක් අපයෝජනයකට ලක්වන කාන්තාව සමාන කරලා තියෙන්නේ බතික්, මැටි, කුරුඳු වගේ කර්මාන්තවලට. මේ විදිහට කාන්තාව පහතට දැමීමෙන් සිදුවන්නේ කුමක්ද? කාන්තා සහ ළමා අමාත්‍යාංශයට මීට පෙර කාලවලදී අයවැයෙන් මූල්‍ය ආධාර වෙන්කර තිබුණේ අල්පයයි. රාජ්‍ය අමාත්‍යාංශයක් වුණාම ඒ අල්පයත් නැති වෙලා යනවා. ඉස්සර යම් ගැටලුවක් ඇති වුණාම අපිට හැකියාවක් තිබුණා ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමන්ව හමුවෙලා ඉන්පසුව ඇමතිතුමන්ව හමුවන්න. දැන් ඒක කරන්න බැහැ. අපි දකින විදිහට මේ තත්ත්වය රටේ අධ්‍යාපනයටත් බලපානවා. ගුරුසේවා සංගම්වලිනුත් කියලා තිබුණා මේ අමාත්‍යාංශ බෙදීමෙන් රටේ අධ්‍යාපනයත් කඩාකප්පල්කාරී වෙනවා කියලා.
අපි රටක් විදිහට ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරනවානේ. ඒ ඇයි? විදේශාධාර ලබාගන්න, විදේශ සේවා ලබා ගන්නනේ. අනිත් පැත්තෙන් අපි එක හා සමාන ජාත්‍යන්තර මට්ටමකට පැමිණෙන්නයි. එහෙම අත්සන් කළාම අපේ රට කාලෙන් කාලෙට අධීක්ෂණවලට මුහුණ දෙනවා. 2018 ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියට අත්සන් කළ රටක් විදිහට ඒ කමිටුව ඉදිරියේ අපි අධීක්ෂණය වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කළා. ඒක අපට ලැබුණු කළු පැල්ලමක්. ඒ අවස්ථාවේදී ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කළා අපේ රටේ ළමා ආරක්ෂණ අධිකාරිය ස්වාධීන අධිකාරියක් විදිහට කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්න කියලා. ඔවුන් රජයට බල කළා. එවැනි තත්ත්වයක් තිබියදීම තමයි මේ විදිහට තවත් පහතට දමා තිබෙන්නේ. එතකොට අපි මේ සම්මුතිවලට අත්සන් කරන එකේ තේරුම මොකද්ද? සම්මුතිවලට අත්සන් කරලා හිතුමනාපෙට කටයුතු කළාම හරිද? ජනගහනයෙන් 23%ක් සිටින යෞවනය වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් සහ ඒ සඳහා අඩුම වශයෙන් ඒ වයසට සුදුසු ඇමතිවරයෙක් පත්කරලා තිබෙනවා. නමුත් කාන්තා සහ ළමයින් වෙනුවෙන් ඒ පත්වුණු ඇමතිවරයාට ඒ විෂය සම්බන්ධ දැනුමක්වත් නැහැ.
අමාත්‍යාංශයක් භාර දෙන්න එකී මන්ත්‍රීවරයාගේ බලපු සුදුසුකම් මොනවාද කියන දෙය රටට හෙළි කරන්න අවශ්‍යයි - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ අධ්‍යයනාංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන අලුත්ගේ
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් පත්වෙලා තිබෙනවාද කියන එක ගැන උත්තර දෙන එකත් ඉතාම සංකීර්ණ එකක් කියලයි මම දකින්නේ. මොකද කියනවා නම් විද්‍යාත්මකව මේක කළා නම් විද්‍යාත්මක බෙදීම කියන්නේ මොකක්ද? මම විද්‍යාත්මකයි කියලා හිතන දෙයමද ආණ්ඩුවටත් විද්‍යාත්මක වෙලා තියෙන්නේ ? ආණ්ඩුව විද්‍යාත්මක ක්‍රමයක් කියලා හඳුන්වන ක්‍රමවේදය එසේනම් රටට හෙළි කරන්න අවශ්‍යයි. අමාත්‍යාංශයක් දෙන්න බැලුව සුදුසුකම් මොනවද? අධ්‍යාපන සුදුසුකම්ද? මින් පෙර දැරූ ඇමති ධුරයන්ද? එහෙම මින් පෙර සිදුකර ඇති වැඩ පිළිබඳව සලකා බැලුවද? මේ වගේ අමාත්‍යාංශයක් භාර දෙන්න එකී මන්ත්‍රීවරයාගේ බලපු සුදුසුකම් මොනවාද කියන දෙය රටට හෙළි කරන්න අවශ්‍යයි. දැන් අපි බැලුවොත් අමාත්‍ය මණ්ඩලය පත්කරන්න බලපු සුදුසුකම් මොනවාද කියලා දෙයක් නැහැ. ඒ නිසා මේක විද්‍යාත්මකයි කියලා කියන්න බැහැ. සාමාන්‍ය ජනයා පිළිගත්තත් යමක් කමක් තේරෙන මිනිස්සුන්ට එය පිළිගන්න බෑ. මොකද යමක් විද්‍යාත්මක වෙන්න නම් පර්යේෂණයක් කරපු විද්‍යාත්මක ක්‍රමවේදයත් ප්‍රකාශයට පත්කරන්න අවශ්‍යයි. එහෙම නොවුණොත් එය පිළිගන්න බැහැ. ඒ නිසා මේ අමාත්‍යවරුන් තෝරපු ක්‍රමවේදය දන්නේ නැතිව අමාත්‍ය මණ්ඩලය ගැන ප්‍රකාශ කරන්න හරිම අමාරුයි. බැලූ බැල්මට අපිට පේන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය, හිතවත්කම ආදී දේවල් බලලා අමාත්‍යාංශ බෙදලා දීලා වගේ තමයි. ඒ හැර එකක් දෙකක් හරියට දීලා තියෙන බව පෙනී යනවා.
ලංකාවේ අපිට මතක කාලයේ සිට දේශපාලන තත්ත්වයන් වෙනස් වුණා. දේශපාලනයට මිනිස්සු දැන් එන්නේ බලය හා මුදල් කියන දෙය මූලික කරගෙන. රටට සේවය කරන්න එනවා ආදී ලේබල් ගහගෙන ආවට මූලික වෙන්නේ බලය හා මුදල්. ඒ නිසා කට්ටිය එකට තියාගන්න පැවති රජයන් සිදුකළේ අමාත්‍යාංශ කෑලි කෑලිවලට කඩලා අමාත්‍ය මණ්ඩලය විශාල කරපු එක. එවිට පාර්ලිමේන්තුවට තේරී පත්වන අය අතර විශාල හීනමානයක් තිබෙනවා. ඒ තමයි ඇමැති පට්ටමක් නැතිව මොකුත් කරගන්න බැහැ කියලා හිතන හීනමානය. මේ නිසා තමයි අමාත්‍යාංශ කෑලිවලට කඩලා දෙන්නේ. අපි කුඩා කාලයේ අමාත්‍යාංශ තිබුණේ අධ්‍යාපනයට සම්බන්ධ සියල්ල එකට එකතු කරලා අධ්‍යාපන අමාත්‍යාංශය නමින් එක් අමාත්‍යාංශයක්. ඒ යටතේ දෙපාර්තමේන්තු යටතේ අධ්‍යාපනයට අදාළ පැතිකඩ පරිපාලනය සිදු වුණා.
දැන් බොහෝ අමාත්‍යාංශ තිබෙන්නේ කෑලිවලට කඩලා. එහි යටි අරමුණ වෙන්නේ කට්ටියට බෙදලා වෙන්කරලා බලය හා මුදල් උදෙසා එක්කාසු කරලා තබා ගැනීමයි. අපි දැන් බැලුවොත් රාජ්‍ය අමාත්‍යාංශ කියන ඒවා කැබිනට් අමාත්‍යාංශත් නොවෙයි. ඔවුන්ට කිසිම බලතලයක් නැහැ. රටේ සමස්ත ක්‍රියාවලියට තේරුමක් නැහැ. මේ අමාත්‍යාංශ හාස්‍යයට ලක්වෙලා තිබෙන්නේ අමාත්‍යාංශවලට ලබාදීලා තිබෙන නමින්මයි. ග්‍රාමීය කර්මාන්ත නොකියා බතික්, මැටි ,පිත්තල වගේ නම්වලින් අමාත්‍යාංශ නම් කළාම හාස්‍යයට ලක්වෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශ යටතට අදාළ නම් කළ දේවල් එනම් ආයතන හා දෙපාර්තමේන්තු එකක් දෙකක් ඒ අමාත්‍යවරයා යටතට පවරා තිබෙනවා. ලංකාවේ ජනගහනය හා අනෙක් කාරණා බැලුවම අපිට කියන්න තියෙන්නේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ විද්‍යානුකූල පදනමක් නැති බවයි.
මිලියන 22ක් වන ජනතාවක් ඉන්න රටක ඉන්න ඇමැතිවරු ගාන බලන්නකෝ. අවුරුදු 70ක් තිස්සේ මේ වගේ ඇමති මණ්ඩල තියාගෙන රට සංවර්ධනය වෙලා තියෙන්නේ බොහොම සුළුවෙන්. ලංකාවේ ජනතාව ජන්දය දීලා දේශපාලනඥයන්ගේ අදහස් පිළිගන්නවානම් අපි වගේ විද්වතුන්ගේ අදහස් මොනවා වුණත් වැඩක් නැහැ.
අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් වැඩසටහනක් හඳුන්වාදීම නම් එක් අතකින් අගය කළ යුතුයි. නමුත් අපි බැලුවොත් ඊයේ දිනයේ මුළු රටටම විදුලිය බිඳවැටිලා. වෙන රටක නම් මේ ගැටලුව ආණ්ඩුව පෙරළෙන්න කාරණාවක්. ප්‍රගති සමාලෝචනය හරියට ක්‍රියාත්මක වුණොත් හොඳයි. නමුත් මේ ප්‍රගතිය බලන්නේ කවුද? ඒවට මොනවාද කරන්නේ? ප්‍රගතිය බලලා අමාත්‍යවරයා මාරු කරල අලුත් කෙනෙක් පත් කළාම ප්‍රගතිය වැඩි වුණා කියලා බලන්නේ කොහොමද? අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ සංස්කෘතියක් මෙලෙස ආරෝපණය කිරීමෙන් ප්‍රගතිය ළඟා කරගන්න පුළුවන්ද වගේ ගැටලු තිබෙනවා. අපිට මොකක්ද වෙන්නේ කියලා බලන්න වෙන්නේ අවුරුදු දෙකක් විතර ගිහින්.
ජනාධිපතිතුමා යම් දැක්මකින් වැඩ කරනවා පේනවා, ඒ දැක්මට හොඳ ආරම්භයක් විදිහට මේ අමාත්‍යාංශ බෙදීම දකිනවා - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක
මේ පත්කිරීම් සහ අමාත්‍යාංශ බෙදීම් පිළිබඳව මම ඇත්තටම සතුටු වෙනවා. විශේෂයෙන් මේ වෙද්දී පිත්තල, මැටි, බතික් වැනි දේශීය කර්මාන්ත සඳහා ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ නම් කරලා ඒ සඳහා ඇමතිවරු පත් කිරීම පිළිබඳව යම් හාස්‍යයෝත්පාදක සාකච්ඡා, මතයන් සමාජ ගතවෙලා තිබෙනවා. ඇත්තටම ඒ ගැන අපි කතා කළ යුතුයි.
මම අධ්‍යයන කටයුතු සඳහා දේශීය කර්මාන්තකරුවන් ළඟට සිසු සිසුවියන් රැගෙන යනවා. කිසිම දවසක ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව කිසිම කෙනෙක් කතා කරලා නැහැ. දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණෙන් නම් මේ පත්වීම් සහ අමාත්‍යාංශ බෙදීම ඉතාම හොඳ වැඩක්. මෙච්චර කල් සෑම ආණ්ඩුවකම තිබුණානේ දේශීය කර්මාන්ත අමාත්‍යාංශ කියලා එකක්. ඒවා කිසිම එකකින් වැඩක් වෙලා නැහැනේ.
විශේෂයෙන් අමුද්‍රව්‍ය ලබාගැනීමේ දුෂ්කරතාවන්, ඔවුන්ගේ වෙළෙඳ පොළ අහිමි වීමේ ගැටලු, ආනයනික භාණ්ඩවලට ප්‍රමුඛත්වය දී තිබීම වැනි ගැටලුවලට දේශීය කර්මාන්තකරුවන් කාලයක ඉඳලා මුහුණ දෙනවා. නමුත් කිසි දවසක එක බලධාරියෙකුවත් ඒ මිනිස්සු ළඟට ගිහිල්ලා නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න අපිට බලයක් නැහැ. අපිට තියෙන්නේ මොළයක් විතරයි. අපි ඒ මිනිස්සුන්ගේ ගැටලු ඉහළ නිලවලට කියලත් තියෙනවා. මැටි අමාත්‍යාංශය, පිත්තල අමාත්‍යාංශය කියලා මිනිස්සු ඒ පත්කිරීම්වලට හිනා වෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න එක දවසක් හෝ අහපු අය නෙවෙයි එහෙම හිනා වෙන්නේ. හැබැයි මේ භාර ධූර වගකීම් බාර දුන්න ඇමතිවරුන්ගේ වගකීම තමයි ඒ සඳහා කැපවෙලා වැඩ කරන එක.
දේශීය කර්මාන්තකරුවන් කියන්නේ වෙළෙඳාමකට එහා ගිය කලාත්මක කාර්යභාරයක් ඉටු කරන පිරිසක්. ඒ කලාකරුවන්ට අමුතුවෙන් ඒ ශිල්පය කියලා දෙන්න ඕනේ නැති තරමට ඔවුන් එහි පරිපූර්ණයි. අපි ඇතැම් අවස්ථාවලදී දැකලා තියෙන බොහෝ නිර්මාණ කොහොමද කරේ කියලා හිතාගන්න බැහැ. ඔවුන් පුද පූජා පවත්වලා වැඩ කරනවා. ඒ කලාත්මක කාර්යයන් ඔවුන් සිදුකරන්නේ ආවේශයකින් වගේ. ඒක දැහැනකට සමවැදිලා කරන ආධ්‍යාත්මික වැඩක්. ඉතින් පුහුණුව කියන එක ඔවුන් තුළ තිබෙනවා. දේශීය කර්මාන්ත කියන්නේ පාරම්පරික කර්මාන්ත. ඔවුන්ට උවමනා නම් ඔවුන් තුළ තිබෙන ශිල්පීය ඥානයට එහා ගිය ශිල්පීය ඥානයක් ලබාගන්න ඒ සඳහාත් මේ ඇමතිවරුන් කටයුතු කළ යුතුයි. අපි ඊට වඩා දකින්නේ ඔවුන්ට ඔවුන්ගේ වෙළෙඳ පොළ අහිමි වීමයි. ඔවුන් කෙතරම් දුක් ගැහැට වින්දත් කිසිම දවසක ඔවුන් ඒ දේවල් අත් හරින්නේ නැහැ. ඔවුන්ට නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සඳහා වැය වන මුදල ඉතා විශාලයි. ඒ මුදල ලබාගත්තාම ඔවුන්ට ලාභයක් නැහැ. නමුත් ඊට වඩා අඩු මුදලට, අඩු තත්ත්වයෙන් යුතු නිෂ්පාදන විදේශයෙන් ආනයනය කරනවා. ඉතින් ඒවාට පාරිභෝගිකයන් ඇදිලා යනවා. ඇතැම් පිත්තලකරුවෝ ළඟ තිබෙන ආභරණ කැටයම් කොළඹ රත්රන් වෙළෙඳසැල්වල දකින්නවත් නැහැ. නමුත් ඒ මිනිස්සුන්ට වෙළෙඳ පොළක් නැති නිසා ඒවා විකුණ ගන්න බැරිව ගොඩගහලා තියෙනවා. ඒ වගේ සැබෑ ප්‍රශ්න ඇමතිවරුන් සොයා බලන්න ඕනේ. පැහැදිලිවම අපට ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම නවත්වන්න ඕනේ. ඇයි අපි අපේ විදේශ විනිමය පිටරටවලට යන්න ඉඩ තියෙන්නේ. මම ඔය පිළිබඳව පුද්ගලිකව හදාරලා තිබෙන නිසා මම ඒවායේ ප්‍රශ්න සහ තත්ත්වයන් දන්නවා. අපේ සිසු සිසුවියන් පවා මේ කර්මාන්තවල තත්ත්වයන් සහ ඒවායින් ආර්ථිකයට, රටට සිදුකළ හැකි දේ පිළිබඳව දන්නවා. නමුත් ඔවුන් පවා අවසානයේදී නවතින්නේ කච්චේරියක හෝ කාර්යාලයක රැකියාවකින්. ඔවුන් ඉගෙන ගන්නේ එක විෂයක්. රැකියාව කරන්නේ තවත් විෂයක. මේ රටට වෙලා තියෙන විනාශය ගැන හරිම කනගාටුයි. මේ ජනාධිපතිතුමා යම් දැක්මකින් වැඩ කරනවා පේනවා. ඒ දැක්මට හොඳ ආරම්භයක් විදිහට මේ අමාත්‍යාංශ බෙදීම මම දකිනවා. මෙතනදී හැම දෙයක්ම ජනාධිපතිතුමාට තනිව කළ නොහැකියි. එතුමාගේ අරමුණ උදෙසා අනෙක් අයත් කටයුතු කරයිද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් මීට පෙර නොදැකපු වෙනසක් මේ තුළ තිබෙනවා.