පසුගිය කාලවකවානුව පුරාවටම අධිකරණ ඇප ලබාදීම සම්බන්ධයෙන් බොහෝ කතාබහ ඇතිවිය. කළ හැකි සෑම අලුගුත්තේරු ක්‍රියාවක්ම, ජඩ වැඩක්ම සිදුකළ දේශපාලනඥයන් නීතිය හමුවට ඉදිරිපත් කරනු ලදුව අසුරු සැණින් ඇප මත නිදහස් විය. මෙවැනි ජුගුප්සාජනක සිදුවීම් එකක් නොව ගණනාවක්ම පිට පිටම සිදුවන කල සමස්ත පාලන යාන්ත්‍රණය කෙරෙහි ජනතාවගේ සිත්හි ඇති ගරුත්වය හීන වී යෑම පුදුමයක් නොවේ. පොලිස් නිලධාරීන් විසින් ‘‘නීතිය නවන’ බව මහජනතාව නිතරම මැසිවිලි නගනු අපට අසන්නට ලැබේ. ලොකු ලොක්කන් යම් වරදක් කළ විට ඔවුන්ට පහසුවෙන් රිංගා යා හැකි පරිද්දෙන් කටයුතු කිරීමටද කාත් කවුරුවත් නැති අහිංසකයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටද සමහර පොලිස් නිලධාරීන් ක්‍රියාකරන බව රහසක් නොවේ. කලක් තිස්සේ අක්‍රීයව පැවැති සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ විධිවිධාන ගිංතොට හා දිගන සිදුවීම්වලදී හදිසියේම ක්‍රියාත්මක විය. පොලිස් නිලධාරීන් පිටුපසින් යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ගිංතොට හා දිගන සිදුවීම්වල සැකකරුවන්ට දීර්ඝ කාලයක් ඇප නැතිව මහඋළුගෙදර ලගින්නට සිදු වූ බවට සැකයක් පවතියි. මෙම ආන්දෝලනාත්මක ඇප පනත පිළිබඳ මෙම විග්‍රහය ගෙන එන්නේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසිනි.
ඇප පනතෙහි අදාළත්වය
දැන් අපි ඇප ලබාදීම සම්බන්ධ වැදගත් නීතිරීති කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු. 1997 අංක 30 දරන ඇප පනත පනවන තෙක්ම ඇප ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධානයන්ය. දැන් ඒ වෙනුවට ඇප පනත ක්‍රියාවට නැංවෙයි. 1997 අංක 30 දරන ඇප පනතයි ඇප පනතෙහි එම පනත පැනවීමට හේතු වූ කරුණු හා පනතේ විෂය ක්ෂේත්‍රය මෙසේ විස්තර කර ඇත.
‘‘වරදක් සිදුකිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට හෝ වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තන් ඇප පිට මුදා හැරීම සඳහාද අපේක්‍ෂිත ඇප දීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ඊට සම්බන්ධිත හෝ ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනතකි.
ඇප පනතේ 2 වන වගන්තිය අනුව ඇපදීම රීතියකි. ඇප ලබා නොදීම ව්‍යතිරේඛයකි. ඒ සම්බන්ධව ඇප පනතේ 2 වැනි වගන්තියෙහි විස්තර දැක්වෙනුයේ මෙලෙසිනි.
‘‘2. මේ පනතේ මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි වූ ව්‍යතිරේඛවලට යටත්ව මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ අනුගම්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ ඇප දීම රීතිය වශයෙන් සැලකීම සහ ඇප නොදීම ව්‍යතිරේඛයක් ලෙසින් සැලකීමයි.
මේ අනුව ව්‍යතිරේඛීය අවස්ථාවන්ට යටත්ව ඇප ලබාදීම අධිකරණයේ ප්‍රතිපත්තිය විය යුතු බව ඇප පනතෙන් පෙන්වා දී ඇත. ඇප පනතේ 3 (1) වන වගන්තිය අනුව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ චෝදනාවලදී ඇප පනත අදාළ නොවිය යුතුය. එසේම ඇප පනතේ 3 (2) වගන්තිය අනුව වෙනත් කිසියම් නීතියක අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇප පිළිබඳ ප්‍රතිපාදන සම්බන්ධයෙන් කරුණු දැක්වෙන විට එම කරුණු මෙම පනතට අදාළ ඒවා ලෙස සැලකිය යුතුය.
ඇප පනතේ 27 වැනි වගන්තිය අනුව සෙසු පනත් රාශියක විධිවිධාන යටපත් කරමින් ඇප පනතේ විධිවිධාන බලධාරීත්වය අතින් ඉහළින් සිටියි. ඇප පනතේ 27 වන වගන්තිය මෙසේය
‘‘27. 1991 අංක 8 දරන රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත හැර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සහ වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර ඒ අනුව 1991 අංක 8 දරන රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත හැර මේ පනතේ විධිවිධාන අතර යම් පරස්පරතාවක් හෝ අනනුකූලතාවක් ඇති වුවහොත් මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු ය.
ඇප ලබා දිය හැකි වැරදි
අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළමු උපලේඛනයේ දණ්ඩ නීති සංග්‍රහ පනතට අදාළ ඒ ඒ වරද ඇප ලබා දිය හැකි වරදක්ද නැද්ද යන්න සඳහන් කර ඇත. මෙම විධිවිධාන කෙළින්ම ඇප පනතේ ඒ හා සම්බන්ධ වගන්ති සමග කියවිය යුතුය. ඇප පනතේ 4 වන වගන්තියේ මෙසේ දැක්වෙයි.
‘‘ඇප දිය හැකි වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වී ඇති බවට හෝ සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින අයෙකු මෙහි මින් මතු සලසා ඇති විධිවිධාන වලට යටත්ව ඇප මත මුදා හැරීමට හිමිකම් ඇත.
මේ අනුව ඇප ලබා දිය හැකි වරදකට චෝදනා ලැබිය හැකි අයෙකුට ඇප මත නිදහස් වීමේ හිමිකමක් ඇත. කෙසේ වෙතත් එම හිමිකම ඇප පනතේ ඉදිරි වගන්තිවල දැක්වෙන සීමා කිරීම්වලට යටත් බව පැහැදිලිය.
ඇප පනතෙහි ඇප ලබා දිය හැකි වරද හා ඇප ලබා දිය නොහැකි වැරදි අතර වෙනස දැක්වෙනුයේ 29 වැනි වගන්තියෙහිය එම 29 වැනි වගන්තිය මෙසේය.
‘‘29. මේ පනතෙහි පද සම්බන්ධයෙන් අන්‍යර්ථයක් අවශ්‍ය වුවහොත් මිස-
‘‘ඇප දිය හැකි වරද’ යන්නෙන් 1979 අංක 15 දරන අපරාද නඩු විධාන සංග්‍රහය පනතේ පළමුවන උපලේඛනයේ 5 වැනි තීරයේ විස්තර කර ඇති වරදක් හෝ ඇප දිය හැකි වරදක් ලෙස වෙනත් යම් නීතියක් මගින් විස්තර කර ඇති වරදක් අදහස් වේ. සහ ඇප දිය නොහැකි වරද’ යන්නේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ පළමුවැනි උපලේඛනයේ 5 වන තීරයේ විස්තර කර ඇති වරදක් හෝ ඇප දිය නොහැකි වරදක් ලෙස වෙනත් යම් ලිඛිත නීතියක් මගින් විස්තර කර ඇති වරදක් අදහස් වේ.
ඇප දිය හැකි වරදකදී අධිකරණය විසින් ක්‍රියා කළ යුතු ආකාරය පතිරණ එදිරිව නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපති ( 1988- 1 ශ්‍රීලනිවා 84) නඩුවේදී පෙන්වා දී ඇත. මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ ඇප ලබා දිය හැකි වරදක් ලෙස දක්වා ඇති වරදක් සම්බන්ධයෙන් චූදිතයෙකු හෝ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇප ලබා දීමේ යුතුකමක් අධිකරණය වෙත පවතියි.
ඇප ලබා දිය නොහැකි වැරදි
අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළමු උපලේඛනයෙන් ඇප ලබා දිය හැකි වැරදි හා ඇප ලබා දිය නොහැකි වැරදි පිළිබඳ විස්තරයක් දැක්වෙයි. මේ විස්තරයට ඇතුළත් වනුයේ දණ්ඩ නීති සංග්‍රහය තුළින් විස්තර කෙරෙන වැරදි වේ.
ඇප පනතේ 5 වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි.
‘‘(5) 13 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වී ඇති බවට හෝ සිදු කර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තකු අධිකරණයේ අභිමතය පරිදි මුදා හරිනු ලැබිය හැකිය.
මේ අනුව ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළමු උපලේඛනයේ ඇතුළත්ව අැති වැරදිවලට අදාළ සැකකරුවන්ට ස්වකීය අභිමතය පරිදි ඇප ලබාදීමට හෝ නොදීමට අධිකරණයට බලය ඇත. අපරාධ නඩුවලට අදාළ චූදිතයන් මහේස්ත්‍රාත් අධිකරණයට මුලින්ම ඉදිරිපත් කරන බැවින් දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සියලු වැරදිවලට අදාළ ඇප ලබාදීම හෝ නොදීම පිළිබඳ ප්‍රශ්නය මුලින්ම සලකා බැලෙනුයේ මහේස්ත්‍රාත් අධිකරණයේදීය. මෙහිදී පළමු කොටම ඇප පනතේ 13 වන වගන්තියේ සඳහන් කරුණු ගැනද සැලකිල්ලක් දැක්වීම සුදුසුය. ඇප පනතේ 13 වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි.
‘‘13. මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම දිය හැකි වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇතැයි හෝ සිදු කර ඇතැයි සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු විසින් හැර ඇප පිට මුදා හරිනු නොලැබිය යුතුය.
දණ්ඩ නීති සංග්‍රහ පනත අනුව මිනීමැරුම හා රාජද්‍රෝහය යන වැරදිවලට මරණීය දණ්ඩනය හෝ විකල්ප ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පැමිණවිය හැකිය. මේ අනුව මිනීමැරුම හෝ රාජද්‍රෝහය නොවන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් සෙසු වැරදිවලට අදාළ සැකකරුවන්ට ඇප ලබාදීමේ මුල්ම බලය හිමිවනුයේ මහේස්ත්‍රාත්වරුන්ටය. එබැවින් මිනීමැරුම හෝ රාජද්‍රෝහය නොවන දන්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි වලට අදාළ සැකරුවන් මුලින්ම ඇප ඉල්ලුම් කළ යුත්තේ මහේස්ත්‍රාත් අධිකරණයෙනි.
පොලිස් ඇප ලබාදීම
ඇප පනතේ 4 වැනි වගන්තිය අනුව ඇප ලබාදිය හැකි වරදක් සම්බන්ධව චෝදනා ලැබ සිටින තැනැත්තන්ට ඇප ලබා ගැනීමේ අයිතිවාසිකම ඇත. එනමුත් ඇප පනතේ 13 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව ඇප ලබාදිය නොහැකි වරදක් කළ තැනැත්තන් අධිකරණයේ අභිමතය පරිදි ඇප මත මුදාහැරිය හැකිය. ඇප පනතේ 13 වැනි වගන්තිය අනුව මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්නය දක්වා සිරදඬුවම දිය හැකි වරදක් සම්බන්ධ සැකකරුවන්ට ඇප ලබා දිය යුත්තේ මහාධිකරණයෙනි. දණ්ඩ නීති සංග්‍රය හා සබැඳි ඇප දිය හැකි වැරදි හා ඇප ලබා දිය නොහැකි වැරදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළමු උපලේඛනයෙහි වගුගත කර ඇත.
පොලීසිය විසින් අපරාධ විමර්ශන කරන අවස්ථාවේදී හෝ අන්‍යාකාරයකින් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් ලබා දෙන ඇප පොලිස් ඇප ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙයි. ඇප පනතේ 6 වන වගන්තියෙහි පොලිස් ඇප ලබාදීම පිළිබඳ නීතිය සවිස්තරව දැක්වෙයි. ඇප පනතේ 6 වැනි වගන්තිය මෙසේය.
‘‘6 (1) පොලීසිය මගින් විමර්ශනය කරනු ලබන වරදක් ඇප දිය හැකි වරදක් වන අවස්ථාවකදී පොලිස් ස්ථානය භාර නිලධාරියා භාරයේ සිටින සැකකරු එම වරද සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එම ස්ථාන භාර නිලධාරියාට නියම කරනු නොලැබිය යුතු නමුත් එම සැකකරු අත්අඩංගුවට ගෙන පැය විසිහතරක් ගතවීමට පෙර එම නිලධාරියා විසින් ලිඛිත පොරොන්දුවක් මත එම සැකකරු මුදාහැර නියම කරනු ලබන දිනයකදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් වන ලෙස එම සැකකරුට නියම කරනු ලැබිය යුතුය.
ඒ අනුව ඇප ලබා දිය හැකි වරදක් සම්බන්ධව පොලිස් විමර්ශන කරනු ලබන නිලධාරීන් විසින් සැකකරු ඇප බැඳුම්කරයකට ලක් කර මුදා හරිනු ලැබිය හැකිය. එසේම සැකකරු සම්බන්ධව නඩු පැවරීමට හේතුවක් නොමැත්තේ නම් ඔහු බැඳුම්කරයක් නොමැතිවම මුදා හැරීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කළ හැකි බව පැහැදිලිය.
කෙසේ නමුත් අදාළ වරද ඇප ලබා ලබාදිය හැකි වරදක් වන විටද මහජන ප්‍රතිචාරය මගින් සාමය කඩවීමක් ඇතිවීමට ඉඩ ඇති අවස්ථාවක සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ඇප පනතේ 6 (1) උපවගන්තියේ අතුරු විධානය අනුව පොලිස් ස්ථානාධිපතිවරයාට බලය ඇත.
ඇප පනතේ 6(1) වන වගන්තියේ අතුරු විධානය මෙසේය.
‘‘එසේ වුවද විමර්ශනයට පාත්‍රව ඇති සිදු කරන ලදැයි කියනු ලබන වරද සම්බන්ධයෙන් විය හැකි මහජන ප්‍රතිචාරය මගින් සාමය කඩවීමක් ඇති වීමට ඉඩ ඇති බව ස්ථාන භාර නිලධාරියාගේ මතය වන අවස්ථාවක එම ස්ථානභාර නිලධාරියා විසින් අත්අඩංගුවේ සිටින සැකකරු එම වරද සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර මහේස්ත්‍රාත්වරයා විසින් උචිත යැයි සලකනු ලබන පරිදි 7 වැනි වගන්තිය හෝ 14 වැනි වගන්තිය යටතේ ආඥාවක් කරනු ලැබිය යුතුය.
මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයට අදාළ ඇප ලබාදිය හැකි වරදකට ඇප ලබා දීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලතල ඇති නමුත් ඇප ලබා දීමෙන් මහජන සාමය කඩවීමට ඉඩ ඇති අවස්ථාවල සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියාත්මක විය යුතුය. එවැනි අවස්ථාවක ඇප පනතේ 7 වැනි වගන්තිය අනුව ක්‍රියාකර ඇප දීමට හෝ ඇප පනතේ 14 වැනි වගන්තිය අනුව ක්‍රියාකර ඇප නොදීමට මහේස්ත්‍රාත්වරයාට බලතල ඇති බව සැලකිල්ලට ගත යුතුය. එනම් ඇප ලබා දිය යුතු වැරදිවලදී පවා ඇප ලබා නොදීමට අභිමතයක් මහේස්ත්‍රාත්වරුන්ට මේ වගන්තිය හරහා ලැබී ඇති බව පැහැදිලිය.
ඉහත සඳහන් පරිදි පොලිස් ඇප මත මුදාහරින ලද සැකකරුවෝ දැනුම් දුන්විට හෝ නියමිත දිනයේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටීමට බැඳී සිටිති. එලෙස ඇප බැඳුම්කරයකට යටත් සැකකරුවෙකු නියමිත දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම ඇප පනතේ 6 (2) වැනි උපවගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඇප පනතේ 6 (2) උපවගන්තිය අනුව එම වරදට ලඝු නඩු විභාගයකින් පසු වරදකරු වූවකු මාස හයකට නොවැඩි කාලයක් බරපතළ වැඩ නැතිව බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් දහසකට නොවැඩි දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය. මෙයාකාරයෙන් පොලිස් ඇප ලැබ නියමිත දිනයේ අධිකරණයට ඉදිරිපත් නොවූ සැකකරුවන්ට නැවත ඇප නියම කිරීමට හෝ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඇප පනතේ 6 (2) වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. ඇප පනතේ 6 (2) වැනි වගන්තිය මෙසේය.
‘‘6 (2) (1) වැනි උපවගන්තිය යටතේ ලිඛිත පොරොන්දුවක් දී පොලිස් ස්ථානයක ස්ථාන භාර නිලධාරියෙකු විසින් නිදහස් කරනු ලැබ නියමිත දිනයේදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්වීමට අපොහොසත් වන සැකකරුවෙකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී මාස හයකට නොවැඩි කාලයක් සඳහාවූ බරපතළ වැඩ නැතිව බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ ඔහු යටත් විය යුතු අතර මහේස්ත්‍රාත්වරයා විසින් තම අභිමතය පරිදි නිශ්චිතව දක්වනු ලැබිය හැකි කොන්දේසිවලට යටත් එම සැකකරු අවස්ථාවෝචිත පරිදි ඇප මත මුදා හැරීම සඳහා හෝ රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා හෝ ආඥා කරනු ලැබිය යුතුය.
ඇපකරුවන් සහ ඇප මුදල් ආදිය තීරණය කෙරෙන අයුරු
සැකකරුවන්ට හෝ චූදිතයන්ට ඇප නියම කිරීමේදී විවිධාකාර ඇප තබන ලෙස අධිකරණය විසින් නියම කළ හැකිය. ඇපකරුවන් වෙත නියම කළ හැකි විවිධාකාර ඇප සම්බන්ධව ඇප පනතේ 7 (1) වගන්තියේ විස්තරාත්මකව කරුණු දැක්වෙයි.
‘‘7 (1) ඇප දිය හැකි වරදක් හෝ ඇප දිය නොහැකි වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වී ඇති බවට හෝ එවැනි වරදක් සිදුකර ඇති බවට හෝ සැකකරනු ලබන හෝ චෝදනා ලැබ සිටින යම් තැනැත්තෙක් නිසා අධිකරණ බලය ඇති අධිකරණයේ පෙනී සිටි විට හෝ ඒ අධිකරණය වෙත ගෙන එනු ලැබූ විට හෝ ඒ අධිකරණයට යටත් වූ විට,
(අ) අවශ්‍ය වූ විට අධිකරණයේ පෙනී සිටීමට එම තැනැත්තා විසින් දෙන ලද පොරොන්දුවක් මත,
(ආ) එම තැනැත්තා විසින්ම දෙනු ලබන බැඳුම් ඔප්පුවක් මත,
(ඇ) ඇපකරුවන් එක් අයකු හේ ඊට වැඩි ගණනක් සමග එම තැනැත්තා විසින් බැඳුම්කරයක් ලියා අත්සන් කිරීම මත,
(ඈ) අධිකරණය විසින් සාධාරණ යැයි තීරණය කරනු ලබන මුදලක් ඒ තැනැත්තා විසින් තැන්පත් කිරීම මත,
හෝ
(ඉ) අධිකරණය විසින් ආඥා කරනු ලබන යම් විස්තරයකට අයත් සාධාරණ සහතික ඇපයක් එම තැනැත්තා විසින් ඉදිරිපත් කිරීම මත අධිකරණය විසින් එම තැනැත්තා මුදා හරිනු ලැබිය හැකිය.
ඇප පනතේ 7(1) වැනි වගන්තිය අනුව අවස්ථා තුනකදී චූදිතයෙකු හෝ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට අධිකරණයට හැකියාව ඇත.
(1) එම තැනැත්තා (සිතාසි මත) අධිකරණයේ පෙනී සිටින අවස්ථාව
(2) එම තැනැත්තා (අත්අඩංගුවට ගෙන) අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අවස්ථාව
(3) එම තැනැත්තා ස්වේච්ඡාවෙන්ම අධිකරණයේ පෙනී සිටින අවස්ථාව
ඉහත කී තුන්වැනි අවස්ථාව සුවිශේෂී එකකි. සිතාසි නොලද සැකකරුවෙකුට හෝ චූදිතයෙකුට ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇප ඉල්ලීමට ඇප පනතේ 7 (1) වගන්තියෙන් හැකියාව ලැබෙන බව පැහැදිලිය. එනමුත් මෙතෙක් සමහර අධිකරණ බල ප්‍රදේශයන්හි සිතාසි නොලැබ ස්වේච්ඡාවෙන් භාරවන සැකකරුවන් පොලීසියට භාර වන ලෙස දන්වා හරවා යැවීම සිදු කෙරෙයි. අධිකරණයට භාරවන චූදිතයන් භාර ගැනීමට අධිකරණයට බලයක් ඇති බව පෙනී යන බැවින් සැකකරුවන් නැවත හරවා යැවීම නීත්‍යනුකූල ක්‍රියාවක් නොවන බව ඇප පනතේ ප්‍රතිපාදන සැලකිල්ලට ගත් කල පෙනී යයි.
ඉහත 7(1) වගන්තිය ප්‍රකාරය නියම කළ හැකි විවිධාකාර ඇපයන් ප්‍රායෝගිකත්වය අනුව පහත සඳහන් පරිදි වර්ගීකරණයට ලක් කළ හැකිය.
(1) එම තැනැත්තාම දෙන පුද්ගලික ඇප බැඳුම්කරයක්
(2) ඇපකරුවෙකු හෝ එවැනි පුද්ගලයන් ගණනාවක් විසින් අත්සන් කරන ලද ඇප බැඳුම්කරයක්
(3) මුදල් ඇපයක්
(4) දේපොළ ඇපයක්
මේ සම්බන්ධව ඇප පනතේ 7 (1) වගන්තියේ අතුරු විධානයද වැදගත් වෙයි. ඇප පනතේ 7 (1) වගන්තියේ අතුරු විධානය මෙසේය.
‘‘එසේ වුවද ඒ තැනැත්තන් සිතාසි මත අධිකරණයේ පෙනී සිට නිදහස් කරන ලෙස ආඥා කරනු ලැබූ අවස්ථාවකදී අධිකරණය විසින් වාර්තාගත කළ යුතු හේතු මත අධිකරණය විසින් අන්‍යාකාර ආඥාවක් කළහොත් මිස එම තැනැත්තා විසින්ම දෙනු ලබන බැඳුම් ඔප්පුවක් මත හෝ අවශ්‍ය වූ විට පෙනී සිටින බවට එම තැනැත්තා විසින් දෙනු ලබන පොරොන්දුවක් මත හෝ ඒ තැනැත්තා මුදා හැරිය යුතුය.
තවද ඇප බැඳුම්කරයක් අත්සන් කිරීමට විකල්ප ලෙස අධිකරණය විසින් අදාළ තැනැත්තාට මුදල් ඇපයක් තබන ලෙස නියම කිරීම නීත්‍යනුකූලය. ඒ සම්බන්ධව ඇප පනතේ 7 (2) වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි.
‘‘7 (2) (1) වැනි උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ යම් තැනැත්තකුට බැඳුම්කරයක් ලියා අත්සන් කරන ලෙස නියම කරනු ලැබූ අවස්ථාවකදී එම බැඳුම්කරය ලියා අත්සන් කිරීම වෙනුවට උචිත බැංකුවක ඇති අධිකරණයේ ගිණුමේ නමට යම් මුදලක් තැන්පත් කිරීමට අධිකරණය විසින් එම තැනැත්තාට අවසර දෙනු ලැබිය හැකිය.
අපරාධ නඩුවක සැකකරුවෙකුට හෝ චූදිතයෙකුට ඇප නියම කිරීමේ අරමුණ වනුයේ ඉදිරි නඩු කටයුත්තට ඔහුගේ හෝ ඇයගේ පැමිණීම තහවුරු කර ගැනීමයි. පෙර සඳහන් පරිදි අධිකරණය විසින් යම්කිසි තැනැත්තෙකු මුදා හැරීමට කිසියම් ඇපයක් තැබිය යුතුයැයි නියම කරන ලද විට එම තැනැත්තා ඇප පිට මුදා හැරීම එම තැනැත්තා භාරව සිටින නිලධාරීන්ගේ කාර්ය භාරයයි. එම තැනැත්තා ඇප ලබන විට බන්ධනාගාරය භාරයේ පසුවන්නේ නම් බන්ධනාගාර භාර නිලධාරීන් විසින් එම තැනැත්තා ඇප නිදහස් කිරීමට අදාළ නීත්‍යනුකූල පියවර ගත යුතුය.