මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිෙවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සාපේක්ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතුෙටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝග පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය. එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම්වූ නිර්වාණය සාක්ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්ෂාත් කර ගනිමින් ජීවිතයේ නිරපේක්ෂ සතුටද ළඟා කරවමිනි. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සාපේක්ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්ෂ සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සාපේක්ෂ සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම්වූ නිර්වාණය නමැති නිරපේක්ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් හා වීර්ය වඩන ශ්රමණයන් වහන්සේලාය.
?පොඩි කාලේ ඉඳන් එංගලන්තයේ ජීවත්වුණු ඔබවහන්සේට කොහොමද සද්ධර්මය මුණගැහෙන්නේ
යම් කාලයකදී මගේ අම්මගෙයි, තාත්තගෙයි ලොකු වෙනසක් වෙමින් පවතිනවා මම දැක්කා. අවුරුදු දෙකක තුනක වෙලේ ඉඳන් ඔවුන් බණ අහන්න පටන්ගෙන තිබුණා. මොකද ඉස්සර එයාලා ඉරිදට පාටිවලට යනවා. චිත්‍රපටි බැලුවා. ඒ නිසා මමත් ගියා එයාලා අහන දේශනාවක් අහන්න. හැබැයි මට එදා තේරුණේ සියයට හැත්තැපහක් වගේ විතරයි. නමුත් මම ගෙදර ගිහිල්ලා ගෙදර අයගෙන් ඒ ධර්ම දේශනය ගැන වචනෙන් වචනේ ඇහුවා. ඒ විදිහට මාස තුන හතරක්ම මම බණ ඇහුවා. ඉන්පස්සේ මට ඉංග්‍රීසි දේශනා අහන්න ලැබුණා. ඒකත් අවුරුද්දකට කිට්ටුවෙන්න මම ඇහුවා. ඉන් පස්සෙයි මට පැවිදිවෙන්න හිතුණේ.
?ඒත් එංගලන්තයේ ආශ්‍රය කළ බහු සංස්කෘතික යාළුවෝ ගොඩක් ඔබවහන්සේටත් ඉන්න ඇති
ඔව්. මට යාළුවෝ සෙට් එකක්ම හිටියා. හැමෝම මං වගේම ලකුණු අනූවට වඩා ගත්තු අය. ඒ නිසා මම හැමදාම පන්තියේ පළමු පස්දෙනා අතරේ හිටියේ. මොකද මම කළේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව. හැබැයි සමහරු නම් ඉගෙනගන්න එක ගැන වැඩිය හිතුවේ නැහැ. ඒත් මං හැමෝම ආශ්‍රය කළා. යාළුවන්ට මගේ තීරණේ කිව්වේ නැහැ. මොකද එයාලට මේ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් අවබෝධයක හිටියේ නැහැ. ඒ නිසා මම කිව්වේ මම ලංකාවට ගිහින් ඉගෙනගෙන ආපහු එනවා කියලයි. මොකද නැත්නම් එයාලත් මං නිසා ගැටලුවකට මුහුණදෙනවා. හැබැයි එයාලට මගේ ජීවිතේ යම් වෙනසක් වෙලා කියලා තේරුණා.
?එහෙනම් ඔබවහන්සේට ඔවුන්වත් ධර්ම මාර්ගයට ගන්න තිබුණනේ
මම උත්සාහ දැරුවා. මට හිටියේ සුදු ජාතික යාළුවන්. ඉන්දියානුවන්, මුස්ලිම් ජාතික යාළුවොත් හිටියා. ඒත් ඔවුන් බහුතරයක් කිව්වේ ධර්මයක් කියල දෙයක් නැහැ කියලා. එයාලා බුද්ධ කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නෙත් නැහැ. ඒත් මම එයාලට කිව්වා බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි, දර්ශනයක් කියලා. ඒ නිසා මේ කියන්නේ ඇත්තක්ද කියලා එයාලටම බලන්න කියල මම එයාලටම කිව්වා. ඒත් එයාලා පිළිගන්න පාටක් තිබුණේ නැහැ.
?කොහොම වුණත් ඔබවහන්සේ දහමට යොමු නොවුණා නම් අද වෙන තැනක ඉන්නත් තිබුණා
මට ඕන කළේ එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට නොගිහින් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට යන්න. ඒකට තමයි මහන්සි වුණෙත්. ඒකෙත් මගේ ඉලක්කය වුණේ ඉංජිනේරු තාක්ෂණයට ලෝකයේ සුප්‍රසිද්ධ ස්ටෑන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලය. ඉන්පස්සේ මට රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරුවරයෙක් වෙන්නයි ඕන කළේ.
?එහෙනම් පැවිදි නොවී ඒ ඉලක්කයට යන ගමන් දහමේ හැසිරෙන්නත් තිබුණනේ
මටත් ඒ කාලේ ඔහොම හිතුණා. මමත් ඒ කාලේ ඉංග්‍රීසි දහම් පාසලට ගිය කෙනෙක්. හැබැයි එතැනදී මම බුදුදහම ඉගෙන ගත්තේ විභාගේ පාස්වෙන්න හිතාගෙන. නැතුව අවබෝධ කරගන්න නෙමෙයි. ඒ හින්දා සැබෑ දහම හම්බ වුණාම මම හිතන් හිටියේ තව ටිකක් ඉගෙනගෙන රසායනික ඉංජිනේරුවරයෙක් වෙලා ඒ මුදලින් භාගයක් ශාසනයට පූජා කරනවා කියලයි. ඒත් ධර්මය අවබෝධ වෙනකොට තමයි තේරුණේ ඒක කිසිම හරයක් නැති වැඩපිළිවෙළක් කියලා. කවුද දන්නේ මම ඊළඟ මොහොතේ ජීවත්වෙයිද නැද්ද කියලා. ඒ නිසා අවිනිශ්චිත ජීවිතයක් ගතකරන මම ජීවත්වෙලා ඉන්න මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතුවා.
?විද්‍යාව සහ ධර්මය අතර වෙනස කොහොමද දැන් දකින්නේ
ඒ දෙක අතර වෙනස්කම් වගේම යම් යම් සමානකම් පවතිනවා. ඒත් විද්‍යාව කියන්නේ කලින් කලට වෙනස්වෙන දෙයක්. නමුත් තථාගත දහම අකාලිකයි. ඒ නිසයි ධර්මය යනු ඕනෑම තත්ත්වයක් යටතේ සත්‍යය ප්රත්යක්ෂ කළ හැකි දහමක් කියලා කියන්නේ. විද්‍යාව ලෝකයේ පවතින සත්‍යය එළිදක්වන්න සමත් වෙද්දී ධර්මය එක්ක ගැළපෙන්න පටන්ගන්නවා. බුදුරජාණන් වහන්සේ %The Greatest Scientist^ කියන්නේ ඒකයි.
?ඒකද බුදුදහම කියන්නේ පර්යේෂණය කළ හැකි දහමක් වෙන්නේ
ඔව්. බුදුරජාණන් වහන්සේ ඒකයි තමන් වහන්සේ දේශනා කරපු නිසාවත් මේ දහම විශ්වාස කරන්න එපා කියල කිව්වේ. තමන්ගේම ජීවිතේට ගළපගෙන පර්යේෂණ කරල, නිගමනවලට එළඹෙන්න කියල කිව්වෙත් ඒකයි. බුදු දහම පර්යේෂණාත්මක විෂයක්. මොකද මේක ප්‍රඥාවන්තයාට ඕනිම ආකාරයකට පර්යේෂණයට ලක් කළ හැකි දහමක්.
?ඔබ වහන්සේ කොහොමද ඒ දහම එදා පර්යේෂණයට ලක් කළේ
මට චිත්‍රපටි පිස්සුව හොඳටම තිබුණා.පෙළීමේ ආශ්වාදය කියන ඉංග්‍රීසි දේශනාව අහන්න ලැබුණට පස්සේ තමයි මට තේරුණේ වීරයා ගුටිකද්දී ඇයි මට රිදෙන්නේ කියලා. අනික එයා මගේ පවුලේ කෙනෙකුත් නෙමෙයි. හැබැයි වීරයා ගුටි කාලා කාලා ආයේ දුෂ්ටයාට ගහද්දී මට හරි සතුටුයි. මොකද මට ඒ මගේ පිස්සුව තේරුණේ නැහැ. ඒත් දැන් මේක සිද්ධවෙන්නේ පෙළීමේ ආශ්වාදය නිසා කියල මට හොඳටම තේරෙනවා. මොකද අපි කරල තියෙන්නේ සිනමා ශාලාවට ගිහින් මාව පෙළලා, ඒ පෙළීමෙන් නිදහස් කරන්න^ කියලා සිනමා අධ්යක්ෂවරයාට සල්ලි දීලා ආපු එකයි.
?ඔබ වහන්සේ ත්‍රාසජනක වීඩියෝ ක්‍රීඩාවලටත් තදින්ම ඇබ්බැහිවෙලා හිටපු කෙනෙක්
ඔව්. ඒකත් රූපය සමග කරන ගනුදෙනුවක්. ඒත් මම පොඩිකාලෙ ඉඳන්ම වෙඩි තියාගන්න විදිහේ වීඩියෝ ක්‍රීඩාවලට අකමැති වුණු කෙනෙක්. ඒ නිසා තමයි ත්‍රාසජනක වීඩියෝ ක්‍රීඩාවල නිරත වුණේ. හුඟක් දුර ගිහිල්ලා, යම් යම් ජයග්‍රහණ ලබලා ගමන් කරන විදිහේ වීඩියෝ ක්‍රීඩාවල නියැළුණේ ඒකයි. ඒත් සද්ධර්මය නමැති ත්‍රාසජනක ගමන ලැබුණට පස්සේ මට මේ වීඩියෝ ක්‍රීඩා මොනවද කියල හිතුණා. දැන් තමයි මට ඒ පිස්සුව මොකක්ද කියලා හොඳින්ම තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද අපි සැබෑ ජීවිතේදී කරන්න බැරි දේවල් හින්දා පෙළීමකට ලක්වෙන නිසා ඒක වීඩියෝ ක්‍රීඩාවලින් කරල ඒකෙන් සතුටුවෙනවා. එහෙම ජාතියක් අපි. අනික ඒ වීඩියෝ ක්‍රීඩාවෙදී කරන්නෙත් අපි බොත්තම් වගයක් ඔබන එක. ඒත් අපි හිතන්නේ අපි තමයි ගේම් එක ගැහුවේ කියලයි. මොකක්ද මේ පිස්සුව? හැබැයි වීඩියෝ ක්‍රීඩාවෙදී සහ දහම යන දෙකේදිම හම්බවෙන්නේ එක වගේ බාධක. රූපය විතරයි වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට මගදී හොරු කල්ලියක් හම්බවෙනවා. එයාලගෙන් බේරෙනවා. ප්‍රශ්න එනවා. ඒවා විසඳගන්නවා. ජයග්‍රහණය කරනවා.
?දැන් තියෙන්නේ මොනවගේ ඉදිරි ඉලක්කයක්ද
මට හොඳටම ධර්මය අවබෝධ වුණාට පස්සේ ආයේ එංගලන්තයට ගිහින් යාළුවන් වෙනුවෙන් ධර්ම දේශනා පවත්වනවා. ඒක තමයි මගේ ඉලක්කය. එයාලවත් මේ සද්ධර්මයට ගන්න ඕනි. හැබැයි ඊට කලින් මම ලංකාවේ ඉංග්‍රීසි ධර්ම දේශනා පවත්වනවා. මොකද ඉංග්‍රීසියෙන් ධර්ම දේශනා කරන්න පුළුවන් අය හරි අඩුයි. ඉන්පස්සේ තමයි යුරෝපයට යන්නේ.
?නෑදෑයෝ ප්‍රශ්න කළේ නැද්ද පවුලේ එකම පිරිමි ළමයා පැවිදි වුණාම පරම්පරාවට මොකද වෙන්නේ කියලා
ඒ ප්‍රශ්නේ හැමෝම වගේ මගෙන් ඇහුවා. ඒත් මම ඇහුවේ මම විතරද පරම්පරාව ගෙනියන්න ඉන්නේ කියලයි. තව කොච්චර ඉන්නවද නෑදැයෝ පරම්පරාව ගෙනියන්න. අනික මම මැරුණොත් කවුද ඊළඟට පරම්පරාව ගෙනියන්නේ? ඒ නිසා මම මැරුණා කියල හිතාගන්න කියලා මම කිව්වා.
?ඒත් දුක කොහොමද ධනාත්මක චින්තනයක් වෙන්නේ
ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා. අපි දන්නවා ළං වුණොත් පිච්චෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කළේ ඒ රස්නය දැනෙන නිසා ඒ ළඟට යන්න එපා පිච්චෙනවා කියල කියපු එකයි. ඒ ඇත්ත පෙන්වපු එක. මොකද අපි ඇලෙනකොට දුක්වෙනවා. තණ්හාව තමයි භවයේ දුක කියල කියන්නේ ඒකයි. ඒ තණ්හාව නැති කළොත් අපි දුක්වෙන්නේ නැහැ. දැන් මට ගෙදරක් තිබ්බොත් තමයි මම ගෙදර නිසා දුක්වෙන්නේ. ඒත් දැන් මට ගෙදරක් නැහැ. ඒ නිසා දුක්වෙන්න දේකුත් නැහැ. ගෙදර සම්බන්ධ දුක දැන් මට නැත්තේ ඒකයි. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය ගැන බලනවාට වඩා දුක්ඛ ආර්ය සත්‍යය ගැන අවධානය යොමු කරන්න කිව්වෙත් ඒකයි.
?එහෙනම් පරම සතුට කියල කියන්නේ මොකක්ද
කොන්දේසි විරහිත පෙළීමෙන් තොර ආස්වාදයට තමයි පරම සතුට කියල කියන්නේ.
?ඒත් ඇයි එතැනදී අපි සංසාර භය ඇතිකර ගන්නේ
ඇත්ත පෙන්වද්දී අපට සංසාර භයක් ඇතිවෙනවා. අමුතුවෙන් ඇති කරන්න දෙයක් නැහැ. ඒ නිසා පාට කණ්ණාඩි ගැලෙව්වම තමයි අපට ඒ සංසාර භය ඇතිවෙලා නිර්වාණය සොයා යන්නේ.
?ඒත් සද්ධර්මය විකෘති වෙමින් සමාජගත වන ස්වරූපයක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ
මම ඒ දහම මට ගළපගන්න උත්සාහ කරනවා. මට ගැළපෙන්නේ නැත්නම් පසුව විමර්ශනය කරන්න පැත්තකින් තියනවා. එහෙමයි අපි සද්ධර්මය වටහාගත යුත්තේ. මොකද මට පේනවා මේ ලෝකය දැන් එන්න එන්නම පහළට යනවා කියලා. දැන් ගීත පවා නිර්මාණය වෙන්නේ මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වය පිළිබඳවයි. ඒවා දැන් සාමාන්‍යකරණය වෙලා. මට ඒ කාලේ මම අහපු ගීත මතක් වුණත් දැන් කරන්නේ මට ගැළපෙන්නේ නැත්නම් ඒකේ අසාරත්වය මෙනෙහි කරලා සිතින් අයින් කරල දාන එකයි. මොකද මම ඒ කාලේ ඇහුවේ ලෝකයේ අංක එකේ බිල්බෝඩ් ගීත.
?ගත්තු තීරණේ සම්බන්ධයෙන් දැන් මොකද හිතෙන්නේ
ඒ ගැන කියන්න වචන නැහැ. එච්චර සතුටුයි.