ආහාර ආරක්ෂා කරගන්නා ක්‍රම


අද ලෝක ආහාර ආරක්ෂණ දිනයයි. ආහාර පරිහරණය, ගබඩා කිරීම හා සැකසීමේදී ආහාර මගින් බෝවන රෝග වැළැක්වීම මෙන්ම අවශ්‍ය පෝෂක ඇති බවට සහතික කර ගැනීම යන ඒවා ආහාර ආරක්ෂණයට අයත්ය. වසරකදී ලෝක ජනගහනයෙන් 1/10ක් ආහාර ආශ්‍රිත හේතු නිසා රෝගී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. වයස අවුරුදු 5ට අඩු දරුවන් සැලකිල්ලට ගනිමින්, සියලු වයස් කාණ්ඩ වලට අයත් සහ අඩු ආදායම්ලාභී රටවල ජීවත් වන පුද්ගලයන්ට බලපාන ආහාර මගින් බෝවන රෝග වල ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2018 වර්ෂයේදී සෑම මසකම ජූනි 07වෙනිදා ලෝක ආහාර ආරක්ෂණ දිනය ලෙස නම් කරනු ලැබීය. මෙවර මෙම දිනය සමරනු ලබන්නේ යහපත් සෞඛ්‍යය සඳහා ආරක්ෂිත ආහාර යන මාතෘකාව පෙරදැරි කරගෙනය.

සුරක්ෂිත ආහාර සඳහා පිළිවෙත් පහක්

1. පිරිසුදුකම

  • ආහාර පරිහරණය කිරීමට පෙර හා ආහාර පිළියෙළ කරන අතරතුර විටින් විට ඔබගේ අත් හොඳින් සෝදා ගන්න.
  • වැසිකිළි යාමෙන් පසු ඔබගේ අත් හොඳින් සෝදා ගන්න.
  • ආහාර පිළියෙළ කිරීමේදී භාවිත කරන උපකරණ හා ස්ථාන සෝදා පවිත්‍ර කර ගන්න.
  • මුළුතැන්ගෙය කෘමි සතුන්ගෙන්, පළිබෝධයන්ගෙන් හා අනෙක් සතුන්ගෙන් ආරක්ෂා කර ගන්න.
  •  

බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන් රෝගකාරක නොවන අතර, සමහර රෝගකාරක ක්ෂුද්‍රජීවීන් පසේ, ජලයේ, සතුන්ගේ හා මිනිසුන්ගේ ශරීර මතුපිට බොහෝවිට දක්නට ලැබේ. ආහාර පිළියෙළ කිරීමේදී මෙම රෝගකාරක ක්ෂුද්‍රජීවීන් අත් මගින්, අත්පිස්නා හා භාජන මගින් සුළු වශයෙන් හෝ ආහාරයට මුසු වීමෙන් ආහාර මගින් වැළඳෙන රෝගවලට ගොදුරු විය හැක.

 

2. පිසූ හා නොපිසූ ආහාර වෙන් වෙන්ව තබා ගැනීම

 

  • නොපිසූ මස්, කුකුල් මස් හා මුහුදු මාළු අනෙක් ආහාරවලින් වෙන්කර තබන්න.
  • නොපිසූ ආහාර ද්‍රව්‍ය පිළියෙළ කිරීම සඳහා යොදාගත් උපකරණ හා භාජන පිසූ ආහාර සඳහා භාවිත නොකරන්න.
  • පිළියෙළ කරගත් ආහාර හා නොපිසූ ආහාර එකිනෙක හා මුසුවීම වැළැක්වීම සඳහා වෙන වෙනම භාජනවල ගබඩා කරන්න.

ඇයි?

ආහාර පිළියෙළ කිරීමේදී හා ගබඩා කිරීමේදී මස්, කුකුල් මස් හා මුහුදු මාළු වැනි නොපිසූ ආහාර හා ඒවායේ ඉස්ම සමග ඉතාමත් අනතුරුකාරී ක්ෂුද්‍ර ජීවීන් සිටිය හැකි අතර, මෙම ක්ෂුද්‍රජීවීන් අනෙකුත් ආහාරවලට මුසු විය හැක.

3. හොඳින් පිස ගැනීම

  • විශේෂයෙන් මස්, කුකුල් මස්, බිත්තර හා මුහුදු මාළු යන ආහාර ද්‍රව්‍ය හොඳින් පිසගන්න.
  • උෂ්ණත්වය 70ºC  ඉක්ම වූ බව සනාථ කර ගැනීම සඳහා සුප් සහ ස්ටූ වැනි ආහාර පිසීමේදී නටවා ගන්න. පිසූ මස් වර්ගවල ඉස්ම රෝස පැහැ නොවන අවර්ණ විය යුතුයි. මේ සඳහා උෂ්ණත්වමානයක් භාවිත කිරීම වඩාත්ම සුදුසු ක්‍රමයයි.
  • පිසූ ආහාර නැවත භාවිතයට ගැනීමට පෙර හොඳින් රත් කර ගන්න.

ඇයි?

ආහාර හොඳින් පිසීම මගින් බොහෝමයන් අනතුරුකාරී ක්ෂුද්‍රජීවීන් විනාශ කළ හැකි වන අතර, 70ºC  උෂ්ණත්වයක් දක්වා පිසීම මගින් පරිභෝජනය සඳහා හොඳ ආරක්ෂාකාරී තත්ත්වයක් උදා කරගත හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එහෙත් අඹරන ලද මස්, රෝස්ට් කළ මස්, විශාල හනු හා සන්ධි, සම්පූර්ණ කුකුළන් ආදිය පරිභෝජනයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය.  

4. ආරක්ෂාකාරී උෂ්ණත්වවල ආහාර තබා ගැනීම.

  • පිසූ ආහාර පැය දෙකකට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ආහාරයට නොගන්න.
  • සියලුම පිසූ ආහාර හා ඉක්මනින් නරක් වන ආහාර හැකි ඉක්මනින් ශීතකරණයක තබන්න. 5Cº අඩු උෂ්ණත්වයක් වඩා සුදුසුය.
  • පිසූ ආහාර පරිභෝජනය කරනතුරු උණුසුම්ව (60Cºට වඩා) තබන්න.
  • ශීතකරණයේ වුවද දිගු කාලයක් ආහාර ගබඩා කර තැබීමෙන් වළකින්න.
  • අධි ශීත කළ ආහාර කාමර උෂ්ණත්වයේදී අයිස් දියවීමට ඉඩ නොහරින්න.

ඇයි?

කාමර උෂ්ණත්වයේ ආහාර ගබඩා කර තැබීමේදී ඒවායේ ඇති ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය හැක. 5Cº හෝ 60Cºට වඩා වැඩි උෂ්ණත්වවලදී ක්ෂුද්‍රජීවී වර්ධනය අවම වීමක් හෝ නවතිනු ඇත. නමුත් සමහර අනතුරුකාරී ක්ෂුද්‍රජීවීන්  5Cº ට අඩු උෂ්ණත්වයකදී පවා වර්ධනය විය හැක.

සුරක්ෂිත අමුද්‍රව්‍ය හා ජලය භාවිතය

  • පිරිසුදු ජලය හෝ පිරිසුදු කරගන්නා ලද ජලය භාවිත කරන්න.
  • නැවුම් හා පළුඳු නොවූ ආහාර තෝරා ගන්න.
  • පාශ්චරීකරණය කළ කිරි වැනි සුරක්ෂිතතාවය තහවුරු කිරීම ඉල්ලක්ක කර පිළියෙළ කළ ආහාර හැකි සෑමවිටම තෝරා ගන්න.
  • විශේෂයෙන් අමුවෙන් ආහාරයට ගැනීමේදී පලතුරු හා එළවළු හොඳින් සෝදා ගන්න.
  • කල් ඉකුත්වූ ආහාර භාවිතයට ගැනීමෙන් වළකින්න.

ඇයි?

ආහාර පිළියෙළ කිරීමට ගන්නා අමුද්‍රව්‍ය (ජලය හා අයිස් ඇතුළුව) රෝගකාරක ක්ෂුද්‍රජීවීන් හා රසායන ද්‍රව්‍ය මගින් දූෂණය වී තිබිය හැක. තවද පළුඳු වූ හෝ පුස් සහිත ආහාර ද්‍රව්‍යවල විෂ සහිත රසායනික සංයෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇති නිසා එවැනි ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ආහාර හොඳින් සේදීම හා පොතු හැරීම වැනි සරල ක්‍රම මගින් ඒවායේ අවදානම අඩු කරගත හැක.



Recommended Articles