රට තුළ විද්‍යාත්මක සහ සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළයුතු බව පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ කාරණාවක් වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වන මෙරට මාසික සහල් අවශ්‍යතාව සලකා බලන විට දැනට පවතින සහල් ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බවයි.
රටේ පවතින අර්බුදයන් හේතුවෙන් ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවට විවිධ පාර්ශ්ව මත පළකරන්නේ අද ඊයේ සිට නොවේ. නමුත් පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඒවා ගැන සලකා බලා තීන්දු තීරණ ගත්තාද යන පැනය පමණක් අද ඉතිරිව ඇත. රසායනික පොහොර වෙනුවට රජයෙන් ලබාදෙන කාබනික පොහොර යොදා හෝ තම වගාවන් සිදුකිරීමට පසුගිය කන්නයේදී ගොවීහු කටයුතු කළහ. කෙසේ නමුත් ඔවුන් ලද අස්වනු පාඩුව හා ගොවිතැන් කටයුතු වෙනුවෙන් ඉන්ධනවලට දැරීමට සිදුවන අධික පිරිවැයත්, පොහොර සම්බන්ධයෙන් පවතින අර්බුදයත් මත ගොවීහු මෙවර යල කන්නය වගා කිරීම කල් දමමින් පසුවෙයි. මෙවන් තත්ත්වයක් මත ඉදිරි මාස කිහිපය සත්‍ය වශයෙන්ම ආහාර සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පැහැදිලි වන්නකි. එසේ නම් මෙම ආහාර අර්බුදයෙන් මිදීමට තනි තනි වශයෙන් හෝ යම් ප්රයත්නයක් දැරීම වහ වහා ආරම්භ කළ යුතුය.
වී වගාව හා ප්‍රධාන භෝග වගාව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට වෙනදා යල කන්නයේ වී වගාවන් ආරම්භ කරන්නේ සිංහල අවුරුදු ඉවර වූ ගමන්මය. එසේනම් මේ වන විට කුඹුරු වපුරා අවසන්කොට තිබිය යුතුය. වාරි ජලය ලබාදුන්නද පොහොර හා තෙල් බෙහෙත් නැති තැන ගොවීන් කුඹුරට බැස්සේ නැත. ආහාර අර්බුදය දෙස බලා දැන් කුඹුරට බසින්නට කල් පහුවී ඇතැයි තැවි තැවී ඉන්නටද බැරි තැනකට දැන් අර්බුදය ඔඩු දුවා ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම් බණ්ඩාර මහතා පවසන්නේ ආහාර නිෂාපාදනය සම්බන්ධයෙන් ඉදිරි අවදානමක් පවතින අවස්ථාවක යල කන්නය වවන්නේ නැතිව අතහැර දමන්න එපා යනුවෙනි. තවදුරටත් පමා නොවී බී.ජී.250, බී.ජී. 300 වැනි කෙටිකාලීන වී ප්‍රභේද හොඳම විකල්පය බවට පත්කරගෙන යල කන්නයේ වී වගාවන් ලහි ලහියේ සිදුකරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.
ගොවීන් වී වගා නොකර සිටින භූමිවල වෙනත් විකල්ප ආහාර භෝග හෝ වගාකර ගැනීම මෙවැනි අවස්ථාවක සිදුකළ යුතුමය. විශේෂයෙන් වෙනත් ධාන්‍ය වර්ග හා අල වර්ග වගා කිරීමට යොමු විය හැකිය.
ගොවීන් හැකි ආකාරයෙන් වී ගොවිතැනේ නිරත වන විට සාමාන්‍ය ජනතාව වන අපට කළ හැක්කේ කුමක්ද යන්න සිතා බලා ඒවා ක්‍රියාත්මක කිරීම වටී.
ගෙවතු වගාව
ඔබට ඇති කුඩා ඉඩක හෝ හැකි ආකාරයකට ආහාරයට ගත හැකි යම් භෝගයක් වගාකිරීම ඒ අනුව සිදුකළ හැකිය. මල්පෝච්චි කිහිපයක හෝ පහසුවෙන් වගා කර ගැනීමට හැකි භෝග කිහිපයක් වගා කර ගැනීම මේ අවස්ථාවේ කළයුතු වේ. අඩුම තරමේ බත්පතට එකතුවන එළවළු වලට කරන වියදමෙන් යම් ප්‍රමාණයක් අඩු කර ගැනීමට ඔබට ඉන් හැකි වනු ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයකදී නොමිලේ ලබා ගත හැකි ආහාර, අඩු යෙදවුමක් අවශ්‍ය ආහාර, බොහෝ ප්රතිලාභ දෙන ආහාර, වගා කිරීමට පහසු ආහාර පිළිබඳ අවධානය යොමු කිරීම වටී. එසේම ඌණ උපයෝගී අලවර්ග ගැනද අවධානය යොමු කිරීම වටී.
අපිට කොහෙද මේවා වගා කළ හැක්කේ
ඔබට ඇත්තේ ඉතා කුඩා ගෙවත්තක් වුවත්, උනන්දුවක් හා කැපවීමක් ඇත්නම් ඔබේ ගෙවත්තට ගැළපෙන භෝග මෙවැනි ආකාරයකට වුවද වගා කර ගත හැකිය.
පහසුවෙන් වගා කළ හැකි මෙන්ම බහු ප්‍රයෝජන භෝග සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී කොහිල ඉදිරියෙන්ම පවතින භෝගයකි. කොහිල යනු උභය ශාකයකි. එය ඉතා පහසුවෙන් වගා කළ හැක්කේ යම් සේද ශාකයේ දළු හා අල ආහාරයට එක්කර ගත හැකි ආකාර කිහිපයක්ම පවතී. කොහිල අල හා දළු ව්‍යාංජන ලෙසද, කොහිල අල ඇඹුල, මැල්ලුම, සම්බෝල, සලාද, බැදුම, තෙම්පරාදුව, කැඳ මෙන්ම කොහිල දළු කලවම් පලා ලෙසද සකස් කිරීමට හැකියාවක් ඇත.
එසේම මල් බඳුන්වල නිවිති, තම්පලා, සාරණ, ගොටුකොළ, මුකුණුවැන්න ආදී කොළ එළවළු ඉතා පහසුවෙන් වගා කළ හැකිය.
(දඹල , නිවිති, තම්පලා ඡායාරූප)
මීට අමතරව දඹල වැනි භෝග පහසුවෙන් වගා කළ හැකි අතරම වැඩි කාලයක් අස්වනු ලබා ගැනීමේ හැකියාවද පවතී.
එසේම බද්ධ කළ කොස්, දෙල් ආදී පැළ වගා කර ගැනීමට හැකියාවක් පවතී නම් බත් ගසක් නිවසේ හිටවා ගත්තා හා සමාන වනු ඇත.
ආහාර අවශ්‍යතාව මෙසේ සපයා ගනිද්දී ග්‍රෑම් 200ක් ලෙස පවතින දෛනික පලතුරු ආහාරයට ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන්ද ඌණ උපයෝගී පලතුරු වර්ග භාවිතයට හුරු වීම වටී. එසේම බඳුන්ගතව විවිධ පලතුරු වර්ග පහසුවෙන් වගාකර ගැනීමේ හැකියාවද පවතී. මේ සඳහා උපදෙස් සහිත ප්‍රකාශන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවෙන්ද ලබා ගැනීමට ඔබට හැකියාවක් පවතී.
ආහාර භාවිතයේදී
ආහාර භාවිත කිරීම සඳහා විවිධ ක්‍රම පවතී.
නැවුම්
තම්බා ගත්
වාෂ්පයෙන් තම්බා ගත්
පිසූ
වියළන ලද
දුම් ගසන ලද
ටින් කළ
අච්චාරු දමන ලද
ලෙස එම ක්‍රම දැක්විය හැකිය.
ඒ අනුව මේ දිනවල සුලභ කොස්, දෙල් වැනි දෑ වියළා කල් තබාගත හැකිය. ඊට අමතරව පලතුරු ලෙස ආහාරයට ගන්නා බෙලි, නෙල්ලි වැනි ඒවාද වියළා පසුව භාවිතයට ගැනීමටද හැකියාවක් පවතී.
එළවළු හිඟ මෙන්ම මිල අධික මෙවන් අවස්ථාවලදී ඔබ මිලදී ගන්නා එළවළු වර්ගවල භාවිතයට ගත හැකි සියලුම කොටස් ප්‍රයෝජනයට ගැනීම වටී. දෙල් පොතු බැදුම්, මැල්ලුම්, මඤ්ඤාක්කා පොතු බැදුම්, වැටකොළු දාර තම්බා පොල් සමග සලාද ලෙස සැකසීම, කොස් ඇට කළුපොල් මාලුව, කොස් ඉරි බැදුම, අලුකෙසෙල් පොතු බැදුම හෝ මැල්ලුම ආදිය සඳහන් කළ හැක.
(ශ්‍රී ලංකා පෝෂණ සංගමය විසින් සංවිධානය කළ සාකච්ඡාවකදී ආචාර්ය ගාමිණී පුෂ්පකුමාර මහතා දැක්වූ අදහස් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල දැන්වීම් ඇසුරෙනි)