ආහාර අර්බුදයට සාගරයෙන් විසඳුම් සොයමු


අද (08දා) ලෝක සාගර දිනයයි. සාගරයෙන් ලබාගත හැකි ප්‍රයෝජනයන් බොහෝමයක් වුවත්, අප ඉන් ලබාගන්නේ අතළොස්සක් පමණි. වර්තමානයේ රට පවතින ආර්ථික අර්බුදයත් සමග නිර්මාණය වෙමින් පවතින ආහාර අර්බුදයටද සාගරය තුළින් අපට විසඳුම් සොයාගත හැකිය. ඒ සඳහා වෙනස් ආකාරයට සිතමින් සාම්ප්‍රදායික චින්තනය සහ ආකල්පවලින් මිදී කල්පනා කළයුතු වේ. ඇතිවෙමින් පවතින ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස නිල් ආර්ථිකය (blue economy) තිරසාර ලෙස භාවිතයට ගැනීම වැදගත්ය. එහිදී විශේෂයෙන් මත්ස්‍ය සම්පත සහ මුහුදු පැළෑටිවලින් ආහාර අර්බුදයට සෙවිය හැකි විසඳුම් පිළිබඳව අද ලෝක සාගර දිනයේදී ඔබව දැනුම්වත් කිරීමට සිතුවෙමු.

ආහාර අර්බුදයට සාගරය තුළින් විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී මත්ස්‍ය සම්පත භාවිත කරමින් නිෂ්පාදනය කළ හැකි වෙනත් ආහාර පිළිබඳව අප සමග අදහස් දැක්වූ සාගර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය බී.ඒ. එන් ඉන්දිකා මහත්මිය,

&මත්ස්‍ය කර්මාන්තය තුළ පසු අස්වැන්නේ විශාල ගැටලුවක් තිබෙනවා. මත්ස්‍යයන්ගෙන් ගුණාත්මකභාවයෙන් යුතු සහ උසස් නිෂ්පාදන නිෂ්පාදනය නොවීම ඊට කදිම උදාහරණයක්. පසුගිය කාලේ මත්ස්‍ය කර්මාන්තයේ තිබුණු ලොකුම ගැටලුවක් තමයි විදුලි කප්පාදුව නිසා මත්ස්‍ය ගබඩාවල අයිස් තබාගන්න බැරි වීම. ඒ නිසා විශාල ලෙසින් මත්ස්‍යයන් අපතේ යෑමක් සිදුවුණා. එවැනි තත්ත්වයන් තුළදී අපිට ඒ අලුත් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මීට් බෝල් විදිහට ෆිෂ් බෝල් වැනි නිෂ්පාදන අපට හදන්න පුළුවන් නම් අර විදිහට අපතේ යෑම් සිදුවන්නේ නැහැ. නව තාක්ෂණයත් එක්ක හදන්න පුළුවන් නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් රට තුළ ඇතිකරන්න පුළුවන්.

අපේ රටේ තිබෙන ප්‍රශ්නයක් තමයි අපි නිෂ්පාදනයක් හදලා තමයි එහි ඉල්ලුම හදන්නේ. නමුත් ලෝකයේ අනෙක් රටවල වසර ගණනාවක ඉඳලා ඉල්ලුමක් හදලා තමයි නිෂ්පාදනයක් හදන්නේ. එතකොට අලෙවිකරණය සාර්ථකයි. වෙන රටවල ෆිෂ් ඔයිල් භාවිත කරනවා. මොකද එයාලට අවුරුදු ගාණක් පුරාවට ඒ ෆිෂ් ඔයිල්වල වටිනාකම ඔළුවට දීල තිබෙන්නේ. රටේ දැන් තිබෙන තත්ත්වය එක්ක, මිනිසුන්ගේ කාර්යබහුලත්වයත් එක්ක, හරි ඉක්මනට උයන්න පුළුවන් දෙයක්, හරි ඉක්මනට භාවිත කරන්න පුළුවන් දෙයක්, ඉතිරි කරන්න පුළුවන් විදිහට ඉල්ලුමක් නිර්මාණය කරන්න ඕනේ. සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින්ම මේ ආහාර අර්බුදයට සාගරයෙන් විසඳුම් හොයන්න බැහැ. ලංකාවේ මිනිස්සුන්ට කරවල කියන්නේ ලොකූ හිසරදයක්. නමුත් අනෙක් රටවල මිනිස්සුන්ට එහෙම නැහැ. අවශ්‍ය වෙලාවට අරගෙන උයා ගත්තා. ඒ වගේ දියුණු සමාජ මට්ටමට මිනිස්සුන්ට ආහාර සමග තිබෙන ආකල්පත් වෙනස් කරන්න පුළුවන් නම් ඒකත් ඉතාම වැදගත්.

අනෙක් කාරණය තමයි මුහුදු පැළෑටිවලට අපේ රටේ ඉල්ලුමක් නැහැ. අපේ රටේ එළවළු වර්ග බොහෝමයක් තිබෙන නිසා මිනිස්සු මුහුදු පැළෑටි වගේ දේවල්වලට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒවාට ඉල්ලුමක් නැත්තේ. ලංකාවේ වටේම මුහුද තිබෙන්නේ. අපිට මුහුදු පැළෑටි නෙළීමේ තාක්ෂණයක් හදනවා නම් ඒවා මිනිස්සුන්ට හඳුන්වාදෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට එකම ආහාර රටාවකින් ඉවත් වෙලා වෙනස් වෙනස් ආහාරවලට හුරු වෙන්න පුළුවන්.  

ලංකාවේ තිබෙන ලොකුම ගැටලුව තමයි පහසුවෙන් ඉවීමක් නොමැති වීම. ඒක ලොකු ගැටලුවක්. මිනිස්සුන්ට පරිහරණය කරන්න විශාල කාලයක් සහ වියදමක් යනවා. ඒක වෙනස් කරන්න නම් මිනිසුන්ගේ මනස හදන්න ඕනේ. චිකන් වගේ දෙයක් ගත්තාම ඒක පිසින්න හරිම පහසුයි. නමුත් මාළුවලට එහෙම තත්ත්වයක් නැහැ. අපිට චිකන්වලින් වෙළෙඳ පොළේ තිබෙන නිෂ්පාදන වගේම මත්ස්‍යයන්ගෙනුත් නිෂ්පාදන හදන්න පුළුවන්. ෆිෂ් සොසේජස්, ෆිෂ් බෝල්, ෆිෂ් ඔයිල් වැනි නිෂ්පාදන හදලා වෙළෙඳ පොළට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටවල අලිගැට පේර ඕනෑ තරම් තිබෙනවා. නමුත් අපි කවදාවත් අලිගැට පේරවලින් තෙල් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒක බොහෝම සෞඛ්‍ය සම්පන්නයි. පිටරටට වඩා බොහෝම අඩු වියදමකින් අපිට හදාගන්න පුළුවන්. කවුරුහරි හැදුවත් අපේ මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැහැ. ෆිෂ් ඔයිල් මෙහෙ හැදුවත් ඒකම තමයි වෙන්නේ. මොකද අපේ අයගේ ඔළුවෙ තියෙන්නේ පොල් තෙල් ගැන විතරයි. ඒ සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. ඒකට මේ අවස්ථාව තමයි හොඳම කියල අපිට හිතන්න පුළුවන්.

ගෙදරක කරවල, උම්බලකඩ හදන්න බැරි ලොකුම ප්‍රශ්නෙ තමයි අපේ රටේ පරිසර පද්ධතිය සහ දේශගුණයත් එක්ක කෘමීන්, මැස්සො වගේම පණුවො එන නිසා. නමුත් ගෙදරදීම පහසුවෙන් මාළු වියළීමට හැකි කුඩා වියළන යන්ත්‍රයක් හදාගන්න පුළුවන් නම් අපිට කරවල, උම්බලකඩ ගෙදරදීම හදාගන්න පුළුවන්. අපේ විශ්ව විද්‍යාලයේ සිසුවෙකුත් සූර්ය ශක්තියෙන් භාවිත කළ හැකි සරල වියළන යන්ත්‍රයක් හදලා තිබෙනවා. දැන් ඇත්තටම වියළන යන්ත්‍රයක් ගෙදරක තිබෙන එක ඉතා වටිනවා.

අපි කඩෙන් ගන්න සැමන් විසයි කියනවා. නමුත් ඔබට ගෙදර ප්‍රෙෂර් කුකර් එකක් තිබෙනවා නම් සැමන් ගෙදරදීම හදාගන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා ඒක හැදුවෙ කොහොමද කියලා. විස නැහැ කියලා. අපිට ෆිෂ් සෝස් හදාගන්න පුළුවන්. ඒ වගේ දැනුම්වත් කිරීම් සිදුකරන්නත් ඕනෙ. අපි දන්නෙ කොහෙන් හරි ගෙනැල්ලා උයල කන්න විතරයි. ඒ පුරුද්ද නැති කරගෙන අපි මාළු කල් තබා ගනිමින් පහසුවෙන් හදන්න සහ භාවිත කරන්න පුළුවන් ආකාර ගැන කල්පනා කරන්නෙ නැහැ. මාළු විතරක් නෙවෙයි එළවළු, පලතුරු හැමදෙයකටම ඒක වැදගත්. අවම වශයෙන් අපි සාම්ප්‍රදායිකව තිබෙන මාළු කල් තබා ගැනීමේ ක්‍රම හරහාවත් හදන්නෙ නැහැනේ. අපි එදිනෙදා ආහාරයට ගන්න ආහාර විශාල ප්‍රමාණයක් අපතේ හරිනවා. ඒ දේවල් නැති කර ගන්නවා නම් අපිට මුහුදෙන් ආහාර සපයාගන්න පුළුවන්.

අපි දන්නවනේ එක එක කාලවලට මත්ස්‍යයන් අහුවෙනවා වැඩියි කියලා. එක කාලයකට කෙලවල්ලෝ වැඩියි. තව කාලෙකට බලයො වැඩියි. එතකොට මිනිස්සු දන්නවා මාළු වෙළෙන්දෝ ළඟ ඒ මාළු වැඩියෙන් තිබෙනවා සහ මිල අඩුයි කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ගැන අවබෝධයක් තිබෙනවානේ. එතකොට අපිට පුළුවන් ඒවා අරගෙන කල් තබා ගැනීමේ ක්‍රම පාවිච්චි කරලා කල් තියාගන්න. උම්බලකඩ ටිකක් හදාගන්න පුළුවන්. එතකොට වැඩි මිලට උම්බලකඩ ගන්න ඕනෙ නැහැ. බොහෝ දෙනෙක් ලොකු ගාණක් දීලා උම්බලකඩ ටිකක් ගෙනැල්ලා ඒක සෑහෙන කාලයක් යනකල් පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරනවා. මේ විදිහට ආහාර හදාගන්න පුළුවන් ක්‍රම ගැන දැනුම්වත් කිරීම් සිදුකරන්න ඕනේ. මිනිස්සු එතකොට පෙළඹෙනවා ඒ විදිහට කල් තබාගන්න.

මුහුදෙන් අප ආහාර ලෙස ලබාගන්නේ මත්ස්‍යයන් පමණි. නමුත් ලෝකයේ බොහෝ රටවල මුහුදු පැළෑටිද ආහාර ලෙස පරිභෝජනය සිදුකරයි. මුහුදු පැළෑටි ආහාර ලෙස ලබාගත හැකි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ, ජලජීවී සහ මුහුදු ආහාර තාක්ෂණය පිළිබඳ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය ලංකා වික්‍රමසිංහ මහත්මිය මෙලෙස අදහස් දැක්වීය.

මුහුදු පැළෑටි එහෙම නැත්නම් ඇල්ගීවල ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. ඒ හරිත ඇල්ගී (කොළ පැහැ), දුඹුරු ඇල්ගී, රතු පැහැ මුහුදු පැළෑටි. දළ වශයෙන් ඒ විදිහට මුහුදු පැළෑටි හඳුන්වන්නේ ඒවායෙහි වර්ණයෙන්. මුහුදු පැළෑටි අපි හඳුන්වන්නේ විසි එක්වන සියවසේ සෞඛ්‍ය සම්පන්නම ආහාරය කියලා. මුහුදු පැළෑටිවල කිසිදු හානිකර තත්ත්වයක් නැහැ. අපි ප්‍රෝටීන් ආහාරයක් ගත්තොත් ඒකෙ අනිත් පැත්තෙන් කොලෙස්ටරෝල් තිබෙනවා. ඒ ආහාරවලදී ප්‍රෝටීන් අපේ ශරීරයට හිතකරයි වගේම අනෙක් පැත්තෙන් කොලෙස්ටරෝල් ගැනත් හිතන්න ඕනේ. නමුත් මුහුදු පැළෑටිවල එහෙම තත්ත්වයක් නැහැ. මුහුදු පැළෑටි ඒ තරම් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වෙන්නේ ඒ පැළෑටි තිබෙන්නේ මුහුදෙනේ. මුහුදු පැළෑටිවලට පෝෂණය සැපයෙන්නෙත් මුහුදු වතුරවලින්. ලවණ අධික ප්‍රමාණයක් තිබෙන්නේ මුහුදු වතුරේ. අපිට මූලික පෝෂණයේදී කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ අවශ්‍ය වෙනවනේ. ඊට අමතරව සෝඩියම්, කැල්සියම්, සල්පර් මේ හැමදේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. මේ හැම එකකින්ම යම්කිසි අඩුවක් වුණොත්, අපිට ඌණතා පෙන්වනවා. ඒකනේ අපිට කැල්සියම් අඩු වුණු ගමන් කැල්සියම් ටැබ්ලට් එකක් හරි බොන්නේ. මුහුදේ මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වගේම අධිමාත්‍ර මූලද්‍රව්‍ය සියල්ලම තිබෙනවා. මුහුදු පැළෑටි මේ සියල්ලම අරගන්නේ මුහුදු වතුරෙන් සරල විසරණයෙන්. සරල විසරණයෙන් මුහුදු පැළෑටි එයාලට අවශ්‍ය පෝෂණය ලබා ගත්තාම වතුරේ තිබෙන හැමදෙයක්ම එයාලට ලැබෙනවා. ඒ නිසා මුහුදු පැළෑටිවල හැමදෙයක්ම තිබෙනවා. ඒ වගේ ආහාරයක් අපේ ශරීරයට ගත්තාම අපිට තිබෙන පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. ඒක තමයි විසි එක්වන සියවසේ සෞඛ්‍යසම්පන්නම ආහාරය මුහුදු පැළෑටි කියලා හඳුන්වන්නේ.

ලංකාව කියන්නේ දූපත් රටක්. අපිට හොඳට හිරුඑළියක් ලැබෙනවා. ඒ නිසා මේ පැළෑටි හැදෙන්න හොඳ ජෛව විවිධත්වයක් තිබෙනවා. මුහුදු පැළෑටි විශාල ප්‍රමාණයක් අපට තිබෙනවා. ඒකට හේතුව තමයි අපේ රටට සූර්යයාගෙන් ලැබෙන ප්‍රයෝජනය. ශීත රටවල සමහර කාලවලදී විතරයි සමහර මුහුදු පැළෑටි වර්ග දකින්න ලැබෙන්නේ. ඊට අමතරව හැම විශේෂයක්ම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා සාගරය දිනෙන් දින දූෂණය වෙනවා කියලා. මිනිස්සු ඕනම වෙලාවක මුහුදු පරිසරයට කසළ බෑගයක් හරි විසිකරන්න පෙළඹෙනවා. මත්ස්‍ය කර්මාන්ත මට්ටමින් ගත්තත් ඔවුනුත් මුහුදේදී තමන්ගේ කසළ විසි කරන්නේ මුහුදට. මුහුදට කසළ දැම්මාම ඒක තව කාටවත් පේන්නෙත් නැහැනේ. මුහුදු වතුරේ තිබෙන පෝෂණයන් සරල විසරණය මගින් මුහුදු පැළෑටි එකතු කරගන්නවා වගේම, මුහුදට විසි කරන කුණුවල තිබෙන බැරලෝහ, තෙල් වැනි අහිතරකර දේවලුත් ඒ මගින් මුහුදු පැළෑටිවලට එකතු වනවා. ඒ නිසා අපිට එකපාරටම මිනිස්සුන්ට කියන්න බැහැ මුහුදු පැළෑටි එකතු කරලා ආහාර හදන්න කියලා. අපි විසි එක්වන සියවසේ හොඳම ආහාරය කියලා මුහුදු පැළෑටි හැඳින්වුවත් මුහුදේ අපද්‍රව්‍ය ඒවාට මුසුවෙලා තිබෙනවා නම් ඒක විස සහිත ආහාරයක් වෙනවා.

එතකොට අපි මොකද කරන්නේ. අපි වගේ රටවලට මුහුදු පැළෑටිවලින් හොඳ ආහාර රටාවක් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් මුහුදේ තිබෙන අපද්‍රව්‍ය නිසා නොහැකියි. ඒකට අපි නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදෙන්න පුළුවන්. අපි ඉතිහාසයේදී මුහුදු පැළෑටි ආහාරවලට වගේම ඖෂධවලටත් භාවිත කරලා තිබෙනවා. ඒ කාලේ මේ තරම් මුහුද දූෂණය වෙලා නැහැනේ.

මුහුදු පැළෑටිවල පිළිකා නසන ගුණ තිබෙනවා. අපට ඒ හරහා ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම ජෙලි, ෆලූඩා වැනි මිනිස්සු ආකර්ෂණය කරගන්නා ආහාර නිෂ්පාදනයටත් මුහුදු පැළෑටි භාවිත කරන්න පුළුවන්. අපිට රට වටෙන්ම මුහුදු පැළෑටි ලබාගන්න පුළුවන්. නමුත් අපිට මේවායෙන් මිනිස්සුන්ට දෙන්න පුළුවන් විදිහේ ආහාර නිෂ්පාදන හදන්න පුළුවන් තාක්ෂණයක් නැහැ. අපිට ඒ තාක්ෂණය ලැබෙනවා නම් අපේ රටට වගේම මුහුදක් නැති රටවලටත් මුහුදු පැළෑටිවලින් ආහාර නිෂ්පාදනය කරලා අපනයනය කරන්න පුළුවන්. ඒ වගේම මුහුදු පැළෑටි වගාවත් දියුණු කිරීම වැදගත්. මුහුදු පැළෑටි ගැඹුරු මුහුදේ වගේම අපිට යන්න පුළුවන් දුරිනුත් හැදෙනවා.

මුහුදෙන් එකතු කරගන්නා පැළෑටිවල තිබෙන අහිතකර දෑ පිරිසුදු කරගන්න තාක්ෂණය අපි හඳුන්වාදෙන්න ඕනේ. එහෙම නැත්නම් මුහුදු පැළෑටි හදන්න පුළුවන් පිරිසුදු පරිසරයක අපිට පුළුවන් මුහුදු පැළෑටි වගා කරන්න. උදාහරණයක් විදිහට ගෘහාශ්‍රිතව මුහුදු පැළෑටි වගා කිරීමේ ක්‍රමවේදයන් භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ මුහුදු වතුර මුලින්ම පිරිසුදු කරගෙන අරගෙන ටැංකියක හෝ මුහුදු පැළෑටි වගා කරන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට මුහුදු වතුර මාරු කරමින් ඒක සිදුකරන්න පුළුවන්. අවම වශයෙන් තමන්ගේ පරිභෝජනයට හරි ගන්න පුළුවන්නේ. එහෙම වුණොත් හානිකර දේවල් අඩු කරගන්න පුළුවන්.

ජපානය, චීනය, කොරියාව වැනි රටවල මුහුදු පැළෑටි ඔවුන්ගේ ප්‍රධාන ආහාර විදිහටත් භාවිත කරනවා. ඔවුන්ට ඒ තාක්ෂණය තිබෙනවා. අපේ ආහාර අර්බුදයට පැහැදිලිවම මුහුදු පැළෑටිවලින් විසඳුම් හොයාගන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම අපිට ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. විශේෂයෙන් මුහුදු ජලයේ තිබෙන විස රසායනිකවලින් පැළෑටි පිරිසුදු කරගැනීමට.

අපේ ජලජීවී වගා ක්‍ෂේත්‍රයත් තවම සංවර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම අපේ මුහුදු පැළෑටි වැවෙන තැන්වල වෙනත් වගාවන් සහ වෙනත් දෑ නිසා විනාශ වෙලා තිබෙනවා. අපේ ජලාශවලින් ලැබෙන සම්පත් අපි නිසි ලෙස භාවිත කරන්නේ නැහැ. ඒවා උපරිම ප්‍රයෝජනයට ගන්න මේ වෙලාව හොඳ අවස්ථාවක්. ජාතික ජලජීවී පර්යේෂණ ආයතනය මේ වෙද්දි ඒ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක නිරත වෙනවා. ඔවුන්ගේ ශක්තිය තව වැඩි කරන්න කටයුතු කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී රටේ ආහාර අර්බුදයටත් හොඳ විසඳුම් සාගරයෙන් ලබාගන්න පුළුවන්. හැබැයි එකපාරටම ඒක අපට කරන්න බැහැ. තවත් වසර ගණනාවකින් ඇති විය හැකි තත්ත්වයකට හෝ මුහුණදීමට අපට දැන්ම සූදානම් වෙනවා නම් හොඳයි.



Recommended Articles