ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම යන කාරණය පසුගිය ජනාධිපතිවරණයේදී වැඩිවශයෙන්ම අසන්නට ලැබුණකි. ව්‍යාජ පුවත් සමාජගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ලෝක මට්ටමින්ද වැඩි අවධානයක් යොමුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේද ඇතැම් විට ප්‍රධාන මාධ්‍යයන් ඔස්සේද ව්‍යාපාර පුවත් ව්‍යාප්ත කිරීම සිදුකරන අතර, එය ඇතැම්විට ආණ්ඩු පෙරළීම දක්වාම බලපෑම් ඇති කළ ආකාරයේ ඒවා විය. ලෝකය තුළ ව්‍යාජ පුවත් පැතිර යෑම සහ ඒවා හඳුනාගැනීම සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ආචාර්ය කාලිංග සෙනවිරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කර ඇත. දීර්ඝ කාලයක් සිංගප්පූරුවේ ජීවත්වන ආචාර්ය කාලිංග සෙනවිරත්න මහතා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, අපි ඔහු සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කරගතිමු. මෙහි සඳහන් වන්නේ සෙනවිරත්න මහතා සමග ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවයි.
ව්‍යාජ පුවත් යනුවෙන් හඳුන්වන්නේ මොනවාද?
ව්‍යාජ පුවත් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. හුඟක් කල් ඉඳන් තියෙන දෙයක්. ඉස්සර මඩ ප්‍රචාර දියත් කළත් දැන් අන්තර්ජාලය වගේ දේවල්වලින් ව්‍යාජ පුවත් ප්‍රචාරය වෙනවා. මැතිවරණ කාලෙදි ව්‍යාජ පුවත් අපට ගොඩක් අසන්න දකින්න ලැබුණා. උදාහරණයක් විදිහට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් අකමැති පුවත්වලට ව්‍යාජ පුවත් කියලා කියනවා. ආණ්ඩුවේ පුවත්පත් වුණත්, පෞද්ගලික සමාගම් පුවත්පත් වුණත් පුවතක් පළ කිරීමේදී අයිතිකරු එයාලට ගැළපෙන විදියට පුවත් හදනවා. ඉතින් අද ඒකට කියන්නේ ව්‍යාජ පුවත් කියලා. සඟරාවක්, පුවත්පතක් මුද්‍රණය කිරීමේදී විශාල මුදලක් වැය වෙනවා. නමුත් අන්තර්ජාලය භාවිත කරමින් වෙඩ්අඩවි හරහා අද වනවිට විවිධ පුද්ගලයන් පුවත් පළ කරනවා. අද ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය භාවිත කරනවා. ඒවා විශ්වාස කරනවා. ව්‍යාජ පුවත් කියලා දෙයක් තියෙනවා ඉස්සර වගේම අදත්. සිංගප්පූරුවේ උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට, තරුණ අයට ව්‍යාජ පුවතක් හඳුනාගන්නෙ කොහොමද කියලා ඉගෙනගන්න අධ්‍යාපන ආයතන තියනවා. පුවතක් ලබාදෙනවා නම් රට, ආණ්ඩුව පිළිබඳ වැරදි, මඩ ප්‍රචාර කිරීම් වගේ දේවල් තමයි ව්‍යාජ පුවත්වල තියෙන්නේ. මතයක් ප්‍රකාශ කිරීමකදී, අදහසක් ප්‍රකාශ කරමින් දෙයක් ලියනවා නම් ඒකට ව්‍යාජ පුවතක් කියන්න බැහැ. සිංගප්පූරුවේ ළඟදි නීතියක් පනවලා තියෙනවා ආණ්ඩුව කැමති නැති දෙයක් කියනවා නම් ඒක ව්‍යාජ පුවතක් කියලා. නීතියේ හැටියට පළ කරන ලද පුවත ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා නම් ඒවා සමාජ මාධ්‍යවලින් හෝ වෙබ් අඩවිවලින් ඉවත් කරගන්න වෙලාවක් දෙනවා, නැත්නම් නඩු දානවා. මේ නීති මොනතරම් ගැළපෙනවාද කියන එකයි ප්‍රශ්නය.
ව්‍යාජ පුවත් ඇතිවෙන්නේ කොහොමද?
මාධ්‍යවලිනුත් ගොඩක් ව්‍යාජ පුවත් මවනවා. බීබීසී, ඇමෙරිකන් මාධ්‍ය වගේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විවිධ ව්‍යාජ පුවත් විවිධ හේතු මත නිකුත් කරන අවස්ථා උදාහරණ විදියට ගන්න පුළුවන්. ඒ වගේම ඇතැම් පුවත් දේශපාලනඥයන් එහෙමත් නැතිනම් පාලකයන්ට අවශ්‍ය ආකාරයට සකස් කරන ඒවාත් තිබෙනවා. පසුගිය මැතිවරණ කාලයේදී නම් පක්ෂ විපක්ෂ හැමෝම ව්‍යාජ පුවත් නිර්මාණය කළා. ඒවා සමාජ මාධ්‍යවල විතරක් නොවෙයි ප්‍රධාන මාධ්‍ය තුළත් විකාශ කළා. මේ ආකාරයට බොහෝ තැන්වලින් ව්‍යාජ පුවත් නිර්මාණය කරන්න පුළුවන්.
මේ ආකාරයට ව්‍යාජ පුවත් පැතිර යෑම සිදුවනවිට මිනිසුන්ගේ භාෂණයේ නිදහසට එය හානියක් වෙනවා නේද?
ව්‍යාජ පුවත් නිසා සිදුවන ලොකුම හානිය එයයි. මොකක්ද බොරු, මොකක්ද ඇත්ත කියලා හොයාගන්න හරිම අමාරුයි. ඇතැම් වෙලාවට ඇත්ත දෙයට ව්‍යාජ පුවත් කියලා බොරුවට සත්‍ය පුවත කියලා සමාජගත කරන අවස්ථාත් තිබෙනවා. එහෙම වුණාම හරිම අමාරුයි කටයුතු කරන්න. මාධ්‍ය සාක්ෂරතා ව්‍යාපාරයක් සිංගප්පූරුවේ තිබෙනවා. මාධ්‍ය භාවිතයේදී ව්‍යාජ පුවත් හොයාගන්නේ කොහොමද කියලා මාර්ගෝපදේශ ලබාදීමයි එයින් සිදුකරන්නේ. ව්‍යාජ පුවත් හොයාගන්නේ කොහොමද කියලා ඒ තුළ පෙන්වා දී තිබෙනවා. විවිධ රටවල ප්‍රධාන වශයෙන් වැඩි කතාබහකට ලක්වුණ ව්‍යාජ පුවත් ගැන මම ලියපු පොතේ ඇතුළත් කර තිබෙනවා.
ව්‍යාජ පුවත්වලට එරෙහිව නීතියක් තිබෙනවාද?, එහෙම නැතිනම් නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?
ව්‍යාපාර පුවත් සඳහා සිංගප්පූරුව නීතියක් හඳුන්වලා දුන්නා. එවැනි නීති අනිත් රටවලත් ඇති වෙයි. නමුත් එම නීති සාධාරණද, අසාධරණද කියන එකයි ප්‍රශ්නය. ඒ නීති අලුත් වාරණ නීතියක් බවට පත්වේවිද කියන එකයි ප්‍රශ්නය. මොකද පාලකයන්ට කැමති නැති දෙයක් සමාජගත වීම වළක්වන්න නීතියක් දාලා එය ව්‍යාජ පුවතක් කියලා කියන්න පුළුවන්. බලවත් ව්‍යාපාරකරුවනුත් ඒ දේම කරන්න පුළුවන්.
ඒ වගේම ව්‍යාජ පුවත් කියන දේ අර්ථගන්වන්නේ කොහොමද කියලා අපි බැලිය යුතුයි. වෙනත් අරමුණක් තබාගෙන සත්‍ය පුවතකට ව්‍යාජ පුවතක් කියලා කියන්න බැහැ. ව්‍යාජ පුවතක් කියන්නේ මොකක්ද කියලා අපි සමාජයට හරියට කිවයුතුයි.
ව්‍යාජ පුවත් හරිහැටි හඳුනාගන්න පුළුවන් කොහොමද කියන දේ තමයි ප්‍රශ්නය තියෙන්නේ. මාධ්‍යවේදියෙකු පුවතක් පළ කිරීමට කලින් එය තහවුරු කරගැනීමට අඩුම වශයෙන් එයට සම්බන්ධ පාර්ශ්ව තුනකින්වත් සොයා බැලිය යුතුයි. නමුත් සමාජ මාධ්‍යයේ පුවත් පළකිරීමේදී එලෙස සොයාබැලීමක් නැහැ. එකයි ප්‍රශ්නය. නමුත් ඇතැම් වෙලාවට ප්‍රධාන මාධ්‍යයටත් වඩා හොඳට සමාජ මාධ්‍යවල ඒ දේවල් කරන අයත් ඉන්නවා. මෙය අමාරු ප්‍රශ්නයක්. මොකද පින්තූර, වීඩියෝ, රෙකෝඩිං මේ හැමදෙයක්ම වෙනස් කරන්න පුළුවන් මෘදුකාංග දැන් තියෙනවා. මේ නිසා එය අමාරු ප්‍රශ්නයක්.
ව්‍යාජ පුවත් මේ ආකාරයට පැතිරීමත් සමග අනාගතයේ කෙබඳු අභියෝග මතුවෙයිද?
මම දකින ආකාරයට සමාජ මුරබල්ලන් මෙන් අද මාධ්‍ය හැසිරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකද? මාධ්‍ය ආණ්ඩුවට අයිති නම් ආණ්ඩුවට අවශ්‍ය දේ කරන්නේ. ආණ්ඩුව බලය වැරදි විදිහට පාචිච්චි කරනවා නම් මාධ්‍යයට එයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ. ඒ වගේම මාධ්‍ය පෞද්ගලික අංශයට අයිති නම් ඒ ඒ කොම්පැනිවලට අවශ්‍ය දේ ඒ හරහා කරන්නේ. අද වනවිට ලෝකයේ මාධ්‍ය ආයතන බොහොමයක් මහා පරිමාණ ව්‍යාපාරික ආයතනවලට අයිතියි. ඇත්තටම එවැනි මාධ්‍ය පැවතීම ආණ්ඩුවකට වඩා තර්ජනයක්. පෞද්ගලික මාධ්‍ය ආයතනවලට මාධ්‍යයේ පමණක් හිමිකාරීත්වය පැවැති කාලයේදී අර කියපු සමාජ මුරබල්ලන් හිටියා. නමුත් අද නැහැ.
යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් ඔබ ආරම්භ කළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සඳහන් කළොත්?
තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් සිහියෙන් යුතුව සන්නිවේදනය කිරීම යනුවෙන් මම ව්‍යාපෘතියක් ආරම්භ කළා. සිංගප්පූරුවේ ක්‍රියාත්මක කරන මේ සඳහා තායි ජාතිකයන් දෙනෙනෙකුගේ සහායද මම ලබාගත්තා.
ආසියාව තුළ බිහිවුණ දර්ශනයන් වන බෞද්ධ, හින්දු, කොන්පියුසස් ආදී දර්ශනයන්ගේ ඇතුළත් වන සිද්ධාන්ත අපි ලබාගත්තා. එම සිද්ධාන්ත යොදාගෙන ජනමාධ්‍ය මාර්ගෝපදේශයක් නිර්මාණය කළා. මේ හරහා අපි යහපත් සන්නිවේදකයන් බිහි කරනවා.
මොකද වර්තමානයේ මාධ්‍ය උත්සාහ කරන්නේ නිතරම ගැටුම් ඇති කරන්න. සමබර පුවත් ඉදිරිපත් කරන්න උගන්වන්නේ. නමුත් නිතරම ගැටුම් ඇති කරන්නේ. මේ නිසා මම රූපවාහිනීවල ප්‍රවෘත්ති බලන්නෙම නැහැ. මේ නිසා අපි ආසියාව තුළවත් වෙනස් මාධ්‍ය සංස්කෘතියක් හදන්න අවශ්‍යයි. ඒ සඳහා බුදුදහමේ තිබෙන විපස්සනා භාවනා මූලධර්ම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ භාවිතයට යොදාගැනීම හා මෙවැනි සංකල්ප තුළින් සදාචාරවත් මාධ්‍ය වාර්තාකරණයක් ඇති කිරීමයි අපි අදහස් කරගෙන තිබෙන්නේ.
විශේෂයෙන්ම බුදුදහම තුළ මධ්‍යම ප්‍රතිපදාව හඳුන්වා දී තිබෙනවා. ජනමාධ්‍ය තුළත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් සදාචාරවත් මාධ්‍යයක් ඇති කරන්න පුළුවන්. මධ්‍යස්ථ මාධ්‍ය සම්ප්‍රදායක් ඇති කරගැනීම අපේ අරමුණයි. මේ දේවල් කරන්න බෞද්ධ වෙන්නම අවශ්‍ය නැහැ. මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ පමණක් නොවෙයි ආසියාවේ අනිකුත් රටවලටත් ගිහින් කතා කරනවා.