ආර්යදේව


ආර්යදේවයන් යනු, මහායානික බුදු සමයේ මහා බල කණුවකි. උන්වහන්සේ ජීවත් වූයේ ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේදී පමණය. අපට ආර්යදේවයන් විශේෂ වනුයේ උන්වහන්සේ ශ්‍රී ලාංකිකයෙකු වීම හේතුවෙනි. එහෙත් ලංකාවේ බොහෝ දෙනෙක් ඒ ගැන නොදනිති.

චීනයේ චැන් බුදු සමය බිහි කිරීම උදෙසා විශාල සේවාවක් කළ උන්වහන්සේ චීනය තුළ අදත් වන්දනාමානයට බඳුන් වේ. සිංහල රජෙකුගේ පුතෙකු ලෙස උපත ලබන ආර්යදේවයන් ඉන්දියාවේ මාධ්‍යමික සම්ප්‍රදාය යටතේ දාර්ශනික පුහුණුව ලැබූවෙකි. සමස්ත මහායානික බුදු දහම මෙතෙක් බිහි කළ ශ්‍රේෂ්ඨතම ආචාර්යවරුන් හය දෙනාගෙන් කෙනෙකු ලෙස ආර්යදේවයන් හැඳින්වේ. 
මාධ්‍යමික සම්ප්‍රදාය යනු ශුන්‍යතාවාදය නිර්මාණය කළ ගුරුකුලයයි. එය බිහි කළේ මාධ්‍යමික ගුරුකුලය බිහි කළා වූ නාගාර්ජුනපාදයෝය. ආර්යදේවයෝ නාගාර්ජුනයන්ගේ ශිෂ්‍යයෙක් වෙති. මෙම ගුරුවරයාත්, ගෝලයාත් යන දෙදෙනා එක්ව පෝෂණය කළ ශුන්‍යතාවාදී දර්ශනය දැන් වඩවඩාත් බටහිර ලෝකයේ ඇස් අරවමින් තිබෙන අතර, බටහිර දාර්ශනිකයෝද, විද්‍යාඥයෝද එම දර්ශනය ඉතා ගැඹුරින් හදාරති. ඊට ප්‍රධාන හේතුවක් නම්, බටහිර සාපේක්‍ෂතාවාදයත්, ශුන්‍යතාවාදයත් අතර ඇති අතිසමීප සම්බන්ධයයි. 

ආර්යදේවයන් සංස්කෘත භාෂාවෙන් සිය කෘති රචනා කළද, සංස්කෘත බසින් ලියූ එම කෘතිවලින් වැඩි සංඛ්‍යාවක් කාලයත් සමග ආරක්ෂා නොවීය. එහෙත් ටිබෙටයේ සහ චීනයේ එම කෘතිවල පරිවර්තන අදටද සොයාගත හැකිය. ටිබෙටයේ ඩ්‍රිකුන්ග් ගුරුකුලය ඉතා දැඩි ලෙස ආර්යදේවයන් අදහන අතර, වර්තමානයේ එහි නායකත්වය දරන ගාර්චෙන් රිනපොචේ ආර්යදේවයන්ගේ නැවත ඉපදීමක් ලෙස සලකනු ලබයි. 
ආර්යදේවයන් විසින් රචිත චතුස්තක නම් වූ කෘතිය උන්වහන්සේ විසින් විරචිත මහාර්ඝ කෘතිය වශයෙන් සලකනු ලැබේ. මෙම කෘතිය %කැරෙන් ලැන්ග්^ (Karen Lang) නම් ශාස්ත්‍රඥවරිය විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර, ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල එය පරිහරණය වෙයි. ආර්යදේවයන්ගේ තවත් කෘතියක් %Aryadeva's Lamp that Integrates the Practices^ නමින් ක්‍රිස්ටියන් වෙඩෙමෙයර් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබීය. 

ඉපැරණි ආසියාවේ තිබූ මහා බුද්ධි මධ්‍යස්ථානයක් වූ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සිය ශාස්ත්‍රීය ව්‍යායාමයේ යෙදෙන අතරතුර පැවැති වාදවලදී ආර්යදේවයන් අතින් එවක ලෝකයේ විසූ අතිවිශිෂ්ට බුද්ධිමත්හු රැසක් පරාජයට පත්වූහ. උන්වහන්සේ අතින් නිමැවුණු සතශහස්‍ර, අක්ෂරසතක, හස්තවාලප්‍රකරණ වැනි කෘති ඉපැරණි භාරතීය බුද්ධි මහිමය ප්‍රකට කෙරෙන්නකි.

දර්ශන අශෝක කුමාර



Recommended Articles