14වැනි කොටස
තමන් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අදිටන් කරගෙන සිටින බව මුජීබ් අලුතින් නිර්මාණය කළ සැලසුම් කොමිසමේ සාමාජිකයන් හමුවූ පළමු දිනයේදීම දැනුම් දුන්නේය. අනෙකුත් අමාත්‍යාංශවලින් නිකුත් කරනු ලබන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ එම ප්‍රතිපත්ති පොළවට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීම ආදී ප්‍රධාන කටයුතු මෙම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබීය.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කාරණයක් වන්නේ නව රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිවලට මඟ පෙන්වීම සඳහා මෙසේ පිහිටුවනු ලැබූ සැලසුම් කොමිසම් සභාවේ කටයුතු මුජීබ්ගේ දර්ශනය සහ දේශපාලන අත්දැකීම් සමග එකිනෙට ගැළපීම නිසා වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට හැකිවීමය. මේ නිසා ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්වයන් අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුම් ඉතාම අඩුවිය. විශේෂයෙන් 1970 මැතිවරණය සඳහා අවාමි ලීගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන විට මුජීබ් සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තාජුදීන් අහමඩ් විසින් මෙම සැලසුම් කොමිසමේ සාමාජිකයන් සමග වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වනු ලැබීය. එම පසුබිම බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ආරම්භ කළ නව ගමනට ආශිර්වාදයක් විය.
අසාධාරණ ආර්ථික රටාව ඉවත් කර සෑමදෙනාගේම ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරන සමාජවාදී ආර්ථික ක්‍රමයක් පිළිබඳ දැක්මක් අවාමි ලීගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජනා කළ අතර, එහිදී ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සියලු ජන කොටස් සහ විවිධ ප්‍රදේශ අතර සාධාරණ ලෙස බෙදා හැරීමේ ක්‍රමවේදයක ඇති වැදගත්කම අවධාරණය කළේය. එහිදී පොරොන්දු වූ පරිදි සමුපකාර ව්‍යවසායන් සංවර්ධනය කිරීම සහ කාර්මික ව්‍යවසායන්හි සාධාරණත්වය සහ කළමනාකරණය සඳහා සේවක සහභාගිත්වය වැනි නව ආයතනික විධිවිධාන මගින් රාජ්‍ය අංශය ජනසතු කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබීය.
බහුකාර්ය සමුපකාර සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් මගින් අනුබල දෙන ගොවිජන ප්‍රතිසංස්කරණ සඳහා වූ ප්‍රතිපාදනද එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ අවධාරණය කරනු ලැබීය. මේ අනුව පැහැදිලි වන්නේ මුජීබ්ගේ දේශපාලන දර්ශනය සහ අවාමි ලීගයේ 1970 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය බංග්ලාදේශයේ පශ්චාත්-විමුක්ති ආර්ථිකය සඳහා හේතු වූ ප්‍රතිපත්තිමය දිශානතිය සඳහා ආශ්වාදයක් වූ ආකාරයයි. එහිදී ප්‍රධාන ක්ෂේත්‍ර පහක ප්‍රතිපත්ති සැකසීමේදී මුජීබ්ගේ දැක්ම සැලසුම් කොමිසමට බලපෑවේ කෙසේද යන්න මෙහිදී සලකා බැලීම වැදගත් වේ. එම ප්‍රධාන ක්ෂේත්‍ර නම්,
01. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම
02. කාර්මික ආර්ථිකය පුනර්ජීවනය කිරීම
03. පළමු පස් අවුරුදු සැලැස්ම (එෆ්.එෆ්.වයි.පී.) සකස් කිරීම
04. රටේ ස්වාධීනත්වය තහවුරු කරගනිමින් බාහිර හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීම
05. වඩාත් ස්වාධීන ඉන්දු-බංග්ලාදේශ සබඳතාවක් සඳහා අඩිතාලම දැමීම
01. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම: අවාමි ලීගයේ මැතිවරණ ප්‍රකාශනයෙන් ආභාෂය ලැබූ ජාතික සැලසුම් කොමිසම විසින් බංග්ලාදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව සහ ඊට අදාළ විෂය පථය සහ ස්වභාවය සාකච්ඡා කිරීම සඳහා 1972 මැදදී පත් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව මත පදනම්ව ගොවිජන ප්‍රතිසංස්කරණ සඳහා උපාය මාර්ගයක් සකස් කළේය. වාර්තාවේ කෙටුම්පත පිළිබඳ මූලික සාකච්ඡාවලදී මුජීබ් කොමිසමට දන්වා සිටියේ එවැනි ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම දේශපාලනික වශයෙන් එම අවස්ථාවේදී වාසිදායක නොවන බවයි. කෙසේ වෙතත් වඩාත් සුදුසු අවස්ථාවක සැලසුම්කරුවන්ට සිතා ගත නොහැකි තරම් රැඩිකල් ප්‍රතිසංස්කරණයක් ආරම්භ කිරීමට ඔහුම නායකත්වය දෙන බව ඔහු පොරොන්දු විය.
පොරොන්දු වූ පරිදිම ඉතාම කෙටි කාලයකදී මුජීබ් නව කෘෂිකාර්මික ප්‍රතිපතියක් උදෙසා වූ ඔහුගේ කැපවීම වෙනුවෙන් පෙනී සිටියේය. ඒ අනුව මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමන්ට හිතවත් පක්ෂ එකතු කරගනිමින් නිර්මාණය කළ පුළුල් සන්ධානය යටතේ හඳුන්වා දුන් ඔහුගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස අනිවාර්ය බහුකාර්ය සමුපකාර ක්‍රමවේදයක් මත පදනම් වූ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ආරම්භ කළේය. එහිදී ඉඩම් සාමූහිකව වගා කිරීම සහ එහි නිෂ්පාදන බෙදා හැරීම ටෙභාග ව්‍යාපාරය විසින් හඳුන්වා දෙනු ලැබූ මූලධර්මය යටතේ සමාජගත කිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. එය ඊට පෙර කොමිසන් සභාව විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ යෝජනාවලියට වඩා රැඩිකල් එකක් විය.
ටෙභාග ව්‍යාපාරය ඉන්දීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගොවි ව්‍යාපාරය ලෙස බොහෝ අයවලුන් හඳුන්වති. බෙංගාලයේ ගොවීන්ට අස්වැන්නෙන් (නිෂ්පාදනයෙන්) අඩක් වෙනුවට තුනෙන් දෙකක් ඉල්ලා සිටි ව්‍යාපාරයක් වූ එමගින් ගොවීන්ට එරෙහිව ඉඩම් හිමියන් විසින් සිදුකළ සූරාකෑම අවම කිරීමට හැකිවිය. මුජීබ් තම කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා ඔහුගේ හිතේ තිබුණු සිහින වෙනුවට අතීතය පුරා ප්‍රදේශයේ සිදු කළ ගොවි අරගලවලදී ඉදිරිපත් වූ අදහස්වලට ප්‍රමුඛත්වය ලබා දුන්නේය.
02. කාර්මික ආර්ථිකය පුනර්ජීවනය කිරීම: මුජීබ් මුහුණ දුන් වඩාත් සංකීර්ණ අභියෝගයක් වූයේ බංග්ලාදේශය විමුක්තිය ලබන අවස්ථාවේ රටින් පැන ගිය පාකිස්තානු ජාතිකයන් විසින් අතහැර දැමූ රටේ ජාතික ආර්ථිකයට අයත් වූ විශාල ප්‍රමාණයක ආර්ථික ක්‍රියාකාරකම් පුනර්ජීවනය කළ හැකි ආකාරයයි. පාකිස්තානයේ කොටසක් ලෙස පැවැති කාලයේදී පාකිස්තානු වාණිජ ධනේශ්වරය නාගරික සිල්ලර වෙළෙඳාම, බැංකුකරණය, රක්ෂණය සහ අභ්‍යන්තර ජල ප්‍රවාහනය ඇතුළුව නිෂ්පාදනය, ජාත්‍යන්තර වෙළඳාම සහ දේශීය වාණිජ්‍ය තුළ බංග්ලාදේශයේ පෞද්ගලික අංශයෙන් බොහෝමයක ආධිපත්‍යය දරනු ලැබීය. මූලික ප්‍රාග්ධනය හෝ අමුද්‍රව්‍ය තොග නොමැතිව සහ දුර්වල ලෙස නඩත්තු කරන ලද උපකරණ සහිත ව්‍යවසායන් වසා දමා, හිමිකරුවන්, කළමනාකරුවන් සහ මධ්‍යම මට්ටමේ තාක්ෂණික විශේෂඥයන් පිටත්ව ගොස් සිටි නිසා ඒවා හිස් මුඩුබිම් බවට පත්වෙමින් තිබුණි. මෙලෙස අතහැර දැමූ ව්‍යවසායන්හි ක්‍රියාකාරකම් පුනර්ජීවනය කිරීම රටේ ආර්ථිකයට තීරණාත්මක විය.
එම ව්‍යවසායන් බොහෝමයක් නිෂ්ක්‍රීයව පැවැති අතර තවත් සමහරක් ඒවායේ අන්තර්කාලීන පරිපාලකයන් විසින් කොල්ලකමින් සිටි නිසා ඒවා සියල්ලම වහාම ප්‍රතිපත්ති රාමුවක් තුළට ගෙන ආ යුතු බව මුජීබ් තීරණය කළේය. ඒ අනුව මෙලෙස අතහැර දැමූ විශාල ව්‍යවසායන් ජනසතු කිරීමටත් ඉතිරි ඒවායෙන් බොහෝමයක් පෞද්ගලීකරණය කිරීමටත් තීරණය කළේය. සැලසුම් කොමිෂන් සභාව විසින් මුජීබ් වෙත ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති යෝජනාවලදී අවධාරණය කරනු ලැබුවේ ජනසතු කළ සියලුම කාර්මික හා මූල්‍ය ව්‍යවසායන් සියල්ලම තම වෘත්තීය නිපුණත්වය සහ පුද්ගල ගරුත්වය රැකගෙන සිටි සැබෑ වෘත්තිකයන් විසින් කළමනාකරණය කිරීම අනිවාර්ය වන අතර, ඒවා නිලධාරීවාදී සීමාවකින් තොරව තරගකාරී වාණිජ ව්‍යවසායන් ලෙස ක්‍රියාත්මක කිරීමට පූර්ණ ස්වයං පාලනයක් ලබා දිය යුතු බවයි. මුජීබ් එම වෙනස් ප්‍රවේශයට පූර්ණ සහයෝගය ලබාදුන්නේය. ජනසතු කළ කර්මාන්තවල මෙන්ම මූල්‍ය, වෙළෙඳ සහ ප්‍රවාහන ව්‍යවසායන්හි ප්‍රධාන විධායක නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් ලෙස සේවය කිරීම සඳහා රටේ ඉහළම වෘත්තිකයන් කිහිප දෙනෙකු පත් කිරීම අනුමත කළේය. රාජ්‍ය අංශයේ වැදගත් විධායක තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමේ සම්ප්‍රදායෙන් ඉවත් වූ බංග්ලාදේශයේ බිහිවූ ප්‍රථම සහ අවසාන ජාතික නායකයා මුජීබ් ලෙස අදටත් බොහෝ දෙනෙකු ගෞරව කරති.
ආරම්භයේදී මෙලෙස පත්කරනු ලැබූ රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධාන විධායක නිලධාරීන් දුෂ්කරතා රාශියකට මුහුණ දුන්නද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වෙහෙස නොබලා තම උපරිම කැපවීමෙන්, අඩු වැටුප් යටතේ, කාර්මික ක්‍රියාකාරකම් පුනර්ජීවනය කිරීමට පෙරමුණ ගත්හ. එය මෙම ව්‍යවසායන්වල කාර්යක්ෂමතාව සහ ලාභය වැඩි දියුණු වීමට හේතුවිය. ජනසතු බැංකු සහ රක්‍ෂණ සමාගම් කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද ඉහළම මූල්‍ය වෘත්තිකයන් මූල්‍ය අංශය යළි සක්‍රිය කර ග්‍රාමීය ප්‍රදේශවල බැංකු සේවා ආරම්භ කරමින් ග්‍රාමීය ආර්ථිකය සහ ජාතික ආර්ථිකය අතර සම්බන්ධය දැඩි කළේය.
03. පළමු පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම: විමුක්තිය උදෙසා වූ සංග්‍රාමයේ ප්‍රතිවිපාකයක් ලෙස රජයට මුහුණ දීමට සිදු වූ දැවැන්ත අභියෝග නිසා ආරම්භයේදී ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය බොහෝ දුරට ප්‍රතික්‍රියාශීලී එකක් විය. ජාතියට දැක්මක් ලබා දිය හැකි සරල සහ නිරවුල් දාර්ශනික පරිචයකින් කරනු ලැබූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී රාජ්‍යයේ ආයතන අතර සහජීවනය සහ සහවාසය අත්‍යවශ්‍ය ගුණාංගයකි. එය එක් රාත්‍රියකින් ඇතිකළ නොහැකි අතර, ඒ සඳහා සියලුම දෙනා වගවීමට නතුකොට සියලු දෙනාගේම දායකත්වය අවංකව අගය කරනු ලබන වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. දරිද්‍රතාව තුරන් කරන සමාජවාදය මත පදනම් වූ සමානාත්මතාවෙන් යුත්, ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට දිගුකාලීන දැක්මකින් යුතු ආර්ථික මොඩලයක් සකස් කරන ලෙස මුජීබ් සැලසුම් කොමිසමට උපදෙස් දුන්නේය.
එහිදී කාලය සහ සම්පත්වල තිබූ සීමාවන් ගැන සැලකිලිමත් වෙමින් මුජීබ්ගේ දැක්මට සහ ජනතාවගේ අභිලාෂයන්ට අනුකූලව සමාජ පරිවර්තනයක් සඳහා වූ දැක්මක් සහිත සැලසුමක් ඉදිරිපත් කිරීමට කොමිසම උත්සාහ කළේය. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා බලයට පත්වී වසරක් තුළ ප්‍රධාන විශ්වීය මූලධර්මයන් හතරක් පදනම් කරමින් සකස් කර නීතිගත කරනු ලැබූ නව ව්‍යවස්ථාව උත්ප්‍රේරකයක් විය. බංග්ලාදේශයේ පළමු පස් අවුරුදු සැලැස්ම සකස් කරනු ලැබුවේ ඒ අනුවය.
04. රටේ ස්වාධීනත්වය තහවුරු කරගනිමින් බාහිර හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීම: මුජීබ් සහ ඔහුගේ සමීප සගයා වූ තාජුදීන් අහමඩ්, කොන්දේසි සහිතව ආධාර පිළිනොගත යුතු බව අවධාරණය කළ නමුත් නව ජාතියේ ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීම සඳහා විවිධ කණ්ඩායම් සහ රටවල් විසින් ලබාදෙන ආධාර මෙවලමක් කර ගැනීම අනුමත නොකිරීමට තීරණය කළහ. රටේ ස්වාධීනත්වය තහවුරු කරමින් බාහිර ආර්ථික සබඳතා කළමනාකරණය කිරීම සඳහා මුජීබ් සිය පූර්ණ දේශපාලන අධිකාරිය සැලසුම් කොමිසම වෙත ලබා දුන්නේය. 1960 ගණන්වලදී පාකිස්තානු ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ලෝක බැංකුවට සහ එක්සත් ජනපදයට නොනිල අධිකාරී බලයක් ලබාදීමෙන් පාකිස්තානය විසින් කළ ඓතිහාසික වරද ගැන මනා අවබෝධයක් මුජීබ්ට තිබූ බව පෙනේ. මේ නිසා මුජීබ් ගැන ලෝක බැංකුව සහ එක්සත් ජනපදය නොසතුටින් සිටි බව ඇතැම් වාර්තා පෙන්වා දෙනු ලබයි.
05. වඩාත් ස්වාධීන ඉන්දු-බංග්ලාදේශ ආර්ථික සබඳතාවක් සඳහා අඩිතාලම දැමීම: ඉන්දියාව සමග ස්වාධීන සහ අභිමානවත් සබඳතාවක් ඇති කර ගැනීමේ වැදගත්කම මුජීබ් මුල සිටම දැඩිව අවබෝධ කරගෙන සිටි අතර, තම අසල්වැසියා සමග සාධනීය සබඳතා රටාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමට සැලසුම් කොමිසම දිරිමත් කළේය. ඒ සඳහා ඉන්දිරා ගාන්ධි සහා මුජීබ් අතර පැවති විශ්ෂ්ට සම්බන්ධතාව මහඟු පිටිවහලක් විය.
බංග්ලාදේශයට සාපේක්ෂව වඩාත් ශක්තිමත් සහ විවිධාංගීකරණය වූ ඉන්දියානු අපනයනවලින් ප්‍රයෝජනය ගනිමින් බංග්ලාදේශයේ අපනයන ධාරිතාව පුළුල් කර විවිධාංගීකරණය කළ යුතු බව සැලසුම් කොමිසමේ අදහස විය. ඒ සඳහා ඉන්දියාවේ භාණ්ඩ හුවමාරුව නිවැරදිව හඳුනා ගනිමින් තම වෙළෙඳපොළ ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය උපයා මර්ගික සැලසුමක් සකස් කරනු ලැබීය. එමගින් හුවමාරු කරගන්නා භාණ්ඩ සහ ඒවායේ ස්වභාවය ගැන මනා පැහැදිලි කිරීමක් ලබාදෙනු ලැබීය. යූරියා පොහොර, යකඩ සහ සිමෙන්ති වැනි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් එම ක්‍රමෝපායික සැලසුම යටතේ හඳුනාගත් අතර, ස්වාභාවික වායු සංචිත ලබා ගැනීම සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අමුද්‍රව්‍ය හරහා ඊට නව අගයන් එකතු කිරීම මෙන්ම එලෙස අගය වැඩිකළ භාණ්ඩ ඉන්දියාවට අපනයනය කිරීම අරමුණු කරගත් හවුල් ව්‍යාපාර බංග්ලාදේශයේ පිහිටුවීමට සැලසුම් කොමිසම යෝජනා කළේය. 1974 මැයි මාසයේ දිල්ලිහි පැවැති රැස්වීමේදී නව මහා පරිමාණ ව්‍යාපෘති තුනක් ඉදිරියට ගෙනයාම සඳහා දෙපාර්ශ්වය ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ නව බලාපොරොත්තු රාශියක් ඇති කරවමිනි. මුජීබ්ගේ දේශපාලන දර්ශනය ප්‍රයෝගික යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ජාතික සැලසුම් කොමිසම බෙහෙවින් සහාය වූ අයුරු ඒ අනුව අපට පැහැදිලි වේ.
මුදල් අමාත්‍ය තාජුදීන් අහමඩ් අගමැති මුජිබර් රහ්මාන් සමග 1973දී. මුජීබ් සහ තාජුදීන් බංග්ලාදේශයේ අත්තිවාරම් ගොඩනැගීමට සිදු කළ ඒකාබද්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් %ජයග්‍රාහී සංයෝජනය^ (විනින් කොම්බෝ) යන අන්වර්ථ නාමයෙන් ඔවුහු ජනප්‍රිය වූහ.
ඉතිරිය හෙට