වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආහාර සහ පෝෂණය පිළිබඳ විශාල අවදානමක් මතු වී ඇත. මේ සම්බන්ධයෙන් මෙරට පෝෂණය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් සිදුකරන ආයතන හා පෝෂණවේදීන්ගේ අවධානය යොමුව තිබේ.
පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානය හෙවත් Scaling Up Nutrition People's Forum Sri Lanka (SUN PF) ආයතනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් පුරා විසිරී පවතින සිවිල් සමාජ සංවිධාන 300කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් සිවිල් සමාජ සංවිධාන ජාලයකි. රටේ ජනතාවගේ පෝෂණ මට්ටම යහපත් තත්ත්වයකට ගෙන ඒම සඳහා, පෝෂණය නංවාලීමේ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සඳහා ඔවුන් 2014 වසරේ සිට මේ දක්වා සක්‍රීයව සම්බන්ධ වී සිටී.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික තත්ත්වය මත ඇති වී තිබෙන පෝෂණමය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සිට සියලුම දේශපාලන නායකත්වයන්ගෙන්, පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අවධානයට කරුණු කාරණා කිහිපයක් යොමු කර ඇත.
ඒ ඔවුන් ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, පෞද්ගලික අංශය සහ අනෙකුත් පෝෂණය සඳහා වන වෘත්තීය සංවිධාන සමග සහයෝගීතාවයෙන් වැඩ කිරීමේ ඉහළ ධාරිතාවයක් පවතින ආයතනයක් බැවිනි. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ජනතාවගේ ආහාර රටාවන් යහපත් කිරීම උදෙසා අවශ්‍ය කරන පුහුණුකිරීම්, උපදේශනයන් හෝ වෙනත් ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානමින් සිටින ඔවුන්, වර්තමානයේ රටේ ඇති වී තිබෙන පෝෂණ ගැටලු සම්බන්ධයෙන් මෙලෙස අවධාරණය කර සිටියි.
වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ වඩාත් පීඩාවට පත්වී සිටින අවදානම් තත්ත්වවල සිටින ජනතාවගේ පෝෂණය සහ යහපැවැත්ම වෙනුවෙන් වගකිවයුතු අප සැම දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. වත්මන් අර්බුදයට පෙරද, සමස්තයක් ලෙස අපගේ සමාජ-ආර්ථික දර්ශක යහපත් වුවත් ජනතාවගේ පෝෂණ තත්ත්වය පසුගාමීව පැවති බව හොඳින්ම දන්නා කරුණකි. මෙම වත්මන් ආර්ථික අර්බුදයට පෙරදී පවා විවිධ වයස් කාණ්ඩවලට අයත් සහ විවිධ අවදානම් සහිත කාණ්ඩවලට අයත් ජනතාව අතර පෝෂණ තත්ත්වය සතුටුදායක මට්ටමක නොතිබුණි. පවතින අධික මිල නිසා ආහාර ලබාගැනීමේ හැකියාවක් පෙර ලෙස නොමැතිකම සහ ග්‍රාමීය ගොවි ජනතාව අතර පවා ආහාර හා පෝෂණය පිළිබඳ අර්බුදයකට මුහුණපා ඇත. දරුවන් අතර වයසට සාපේක්ෂව උස නොමැතිකම (මිටි බව) සහ කෘෂ බව (උසට නියමිත බර නොමැතිකම) ඉහළ යාම මෙන්ම, නව යොවුන් වියේ පසුවන දරුවන් අතර රක්තහීනතාවය සහ කෘෂ බව ඉහළ යාමට ඉඩ ඇති අතර, ඒ පිළිබඳව අප අතිශයින් සැලකිලිමත් විය යුතු වේ. තවද, විවිධත්වයෙන් යුතු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම වෙනුවට හුදෙක් කුසගින්න නිවා ගැනීම සඳහාම පමණක් කුමන හෝ මිල අඩු ආහාරයක් ලබාගැනීමට ජනතාවට සිදුව තිබේ. බොහෝ විට එම ලාභදායී ආහාර, පෝෂ්‍යපදාර්ථ රහිත, කැලරි පමණක් අඩංගු ආහාර වීමෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් අතර අධි බර සහ තරබාරුකම යන තත්ත්වයන්ගේ ප්‍රතිශතය ඉහළ යාමට වැඩි සම්භාවිතාවක් ඇත. පෝෂ්‍යදායී අාහාර වේලකට අතිශය වැදගත් එළවළු, පලතුරු, මස්, මාළු සහ බිත්තරවල මිල ගණන් සාමාන්‍ය මිනිසුන්ට දැරිය නොහැකි ලෙස වැඩි වීම නිසා ඒවා නොමැතිව මිනිසුන් ආහාර ගැනීමට නැඹුරු වනු ඇත. මේ වන විට ආහාර ද්‍රව්‍යවල උද්ධමනය 35෴ සිට 200෴ දක්වා පරාසයක පවතී. මෙම තත්ත්වයන් උද්ගතවීමට පහත දක්වා ඇති කරුණු බලපා තිබෙන බව අපට පෙනී යයි.
එදිනෙදා ජීවන වියදම උපයමින් ජීවත් වන මිනිසුන්ට ඔවුන්ගේ රැකියා අහිමි වී තිබේ. විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල රැඳී සිටීම නිසා දෛනික වැටුප් ලබන රැකියාවල නිරත වීමට නොහැකි වීම හෝ දෛනිකව වැටුප් ලබන රැකියාවල නියුතු පුද්ගලයන් වෙතින් සේවා ලබා ගැනීමට මිනිසුන් සතුව වත්කමක් නොමැති වීම නිසා එම රැකියාවලට ඉල්ලුම අඩු වී තිබේ.
සිමෙන්ති සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම සහ එම ද්‍රව්‍යයවල හිඟතාව නිසා ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවයේ නියැළෙන අය සහ අත්උදව්කරුවන් රැකියා විරහිත තත්ත්වයට පත්ව තිබේ.
නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟතාව, අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම, ඉන්ධන නොමැතිකම, විදුලි කප්පාදුව, ගෑස් හිඟය සහ ප්‍රවාහනය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ඇතුළු කාරණා නිසා කුඩා පරිමාණයේ ව්‍යාපාර වැසී යමින් පවතින අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වේ.
නිෂ්පාදන පිරිවැය සහ ප්‍රවාහනය සඳහා වියදම ඉහළ යාම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවෙමින් පවතින අතර, ගොවීන්ට තම නිෂ්පාදන අලෙවිකර ගැනීමටද නොහැකි වෙයි.
අපගේ ප්‍රධාන ආහාරය වන බත් මෙන්ම පාන්, එළවළු, මාළු, මස් ඇතුළු ආහාර ද්‍රව්‍යවල අධික මිල නිසා මිනිසුන් ආහාර සඳහා ඉතා අඩුවෙන් වියදම් කරයි. මෙය ගැබිනි මවුවරුන්, දරුවන් සහ අවදානම් කාණ්ඩවල සිටින ජනතාව කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපාන අතර, ඔවුන් වඩ වඩාත් පීඩාවට පත්වේ.
අධික ඉන්ධන පිරිවැය සහ ඉන්ධන හිඟය හේතුවෙන් ධීවරයන්ට මසුන් ඇල්ලීමට යාම අතිශයන් දුෂ්කර වී තිබේ. මේ හේතුවෙන් මාළු සහ අනෙකුත් මුහුදු ආහාරවල මිල බොහෝ දෙනෙකුට දැරිය නොහැකි මට්ටමින් ඉහළ ගොස් ඇත.
තවද, අවදානම් සහිත ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා උදෑසනට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන යටතේ එක් දරුවෙකු සඳහා දැනට වෙන්කර ඇති මුදල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට තරම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එබැවින් කුසගින්නෙන් පෙළෙන දරුවන්ට තම අධ්‍යයන කටයුතු කෙරෙහි නිසි අවධානය යොමු කිරීමට නොහැකි වනු ඇති අතර, එමගින් වඩාත් අයහපත් තත්ත්වයක් උද්ගත වේ.
කුඩා දරුවන්ට ලබාදෙන බහු ක්ෂුද්‍ර පෝෂක අතිරේක සැපයීමේ ගැටලුවක්ද පවතින අතර, අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගර්භිණී කාන්තාවන් සහ අඩු පෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමුන් සඳහා ලබාදෙන ප්‍රධාන පෝෂණ අතිරේක ආහාරය වන %ත්‍රිපෝෂ^ ලබාදීමේ ගැටලුවක්ද පවතී.
මේ අනුව මිනිසුන්ට ඉදිරියේදී ප්‍රථමයෙන්ම ආහාර හිඟයකට මුහුණදීමට සිදුවිය හැකි අතර, මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අපේ රට ආහාර සුරක්ෂිතතාවයෙන් මෙන්ම පෝෂණ සුරක්ෂිතතාවයෙන්ද තොර වීමට ඉඩ ඇත. එමගින් අඩු පෝෂණ තත්ත්ව, ක්ෂුද්‍ර පෝෂක ඌණතාවන් සහ මන්දපෝෂණ තත්ත්වයන් ඇතිවීම හරහා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ විශාල සංකූලතා ඇතිවිය හැකිය. එහිදී දැනටත් අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමේ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින පසුබිමක රෝග නිවාරණය සහ රෝගී සත්කාර සේවාවන් සඳහා විශාල ලෙස ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම රජයට තවත් බරක් වනු ඇත. එමෙන්ම, මිනිසුන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට මේ දක්වා ගනු ලැබූ සියලු උත්සාහයන් ඵල රහිත වනු ඇත.
මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන රජයටත්, පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යාංශ නිලධාරීන් හා අනෙකුත් බලධාරීන්ටත් වහ වහා අවධානය යොමු කළයුතු කරුණු කාරණා කිහිපයක් ඔවුන් මෙසේ ඉදිරිපත් කරයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සැපයිය හැකි ලෙස ආර්ථික තත්ත්වය කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීම.
අඩු ආදායම්ලාභී පවුල්වලට අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබාදීම හෝ සහන වෙළෙඳ සැල් මගින් විශේෂ සහනදායී මිලකට ආහාර ලබාගැනීමට සලසා දීම වැනි ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. (ආධාර සපයන ජාත්‍යන්තර සංවිධාන සහ මිත්‍ර රටවල්වලින් මෙවැනි වැඩපිළිවෙළක් සඳහා සහයෝගය ලබාගත හැක.)
ආහාරවල පෝෂණ ගුණය රැකෙන ලෙස ඒවා පිළියෙළ කිරීම සහ අඩු මුදලකින් වැඩි පෝෂණ ගුණයෙන් යුත් ආහාර මිලදී ගැනීම වැනි දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට සහ ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම.
ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ මිනිසුන් අතර ප්‍රචලිත කර, වර්තමාන කාලයට ගැළපෙන ලෙස ප්‍රායෝගිකව ඒවා අනුගමනය කළයුතු ආකාරය ගැන දැනුම්වත් කිරීම. උදාහරණ ලෙස ගෙවතු වගාවෙන්, ඒ ඒ ප්‍රදේශවල අවට පරිසරයේ බහුලව පවතින අාහාර ද්‍රව්‍ය සහ අඩුවෙන් භාවිතයේ පවතින කැලෑබදව බහුලව ඇති ආහාර වර්ග ආහාර වේලට එකතු කර ගැනීමට ජනතාව දැනුම්වත් කිරීම. විශාල ආහාර ප්‍රමාණයක් පිළියෙළ කරනවාට වඩා නිවැරදි ලෙස සහ ගුණාත්මක ලෙස ආහාර පිළියෙළ කිරීමට උනන්දු කිරීම මගින් ආහාර නාස්තියද අඩු කර ගැනීමට ජනතාව දැනුම්වත් කිරීම.
තවදුරටත් ප්‍රමාද නොවී ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් වැඩිදුරටත් අදාළ වගකිව යුතු ආයතනවලින් ඉල්ලා සිටියි.
ස්තූතිය - පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානයේ සභාපති, පෝෂණවේදී රොෂාන් දෑලබණ්ඩාර මහතාට හා ව්‍යාපෘති අධ්යක්ෂ පෝෂණවේදී දිල්කා පීරිස් මහත්මියට
නදීශානි පතිරණ