ආර්ථික අර්බුදය ගැන හැමෝම කතා කරති. අඬති. ශාප කරති. ඇතැමෙක් සිනාසෙති. එහෙත් අවාසනාව වන්නේ මෙම අර්බුදයේ යථාව කුමක්ද? එය විසඳා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව බොහෝ දෙනාට විග්‍රහයක් නැති වීමය. මේ බොහෝ දෙනා අතර දේශපාලනඥයෝ විශාල ප්‍රමාණයක් සිටිති. බලයට එන්නට හදන අය මෙන්ම බලයේ ඉන්න අයද මෙම පිරිස නියෝජනය කරති.
ඩොලරයේ මිල ඉහළ පහළ යෑම හැම කාලෙකම අඩු වැඩි වශයෙන් සිදුවන සිදුවීමකි. එය රටකට හෝ පාලකයෙකුට තනි අතින් තියා දෑතින්වත් අල්ලා නැවැත්විය හැකි කාරණයක් නොවේ. කවුරුන් හෝ එසේ කියන්නේ නම් එය පට්ටපල් බොරුවකි. නොදන්නා මෝඩයන්ට බණ දෙසා හිනාවීමකි.
ඇත්තටම ලංකාවේ ආර්ථික අර්බුදයේ මුල කුමක්ද? එය දිගුකාලීනව වටහාගත යුතුය. දිගුකාලීන සැලසුම්වලින් විසඳිය හැක්කේ දිගුකාලීන අත්දැකීම්වලින් ලබාගන්නා දැනුම මත පදනම් වූ විට පමණි. එනිසා ඉන්ධන මිල ඉහළ ගියා, ඩොලරයට අල්ලන රුපියල් ගාන ඉහළ ගියා යැයි කෑමොර ගැසුවාට ඵලක් නැත. කළ යුත්තේ එබදු අවස්ථාවලට සරිලන ශක්තිමත් ආර්ථික රාමුවක් නිර්මාණය කොට තිබීමයි. එවැන්නක් නැති නම් දැන්වත් එවැන්නක් නිර්මාණය කිරීමට වෙර දැරීමයි.
ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක් වශයෙන් සැලකෙන ආර්ථිකයක් සතු රටකි. අඩු ආදායමේ සිට මැදි ආදායමට ආ අපට ලෝකය සලකන්නේ පෙරට වඩා වෙනස් විදිහටය. ඒ නිසා අපේ රටේ පාලකයන්ට අපේ ආර්ථිකයේ ප්‍රමාණාත්මක වෙනසක් කිරීමේ ඥානය හා ප්‍රා‘යෝගික නිර්භීතභාවය තිබිය යුතුය. රටේ ආර්ථිකයේ පවතින මූලිකම ප්‍රශ්නයක් වන්නේ ඉහළ මට්ටමේ නිෂ්පාදන ආර්ථිකයක් අප සතු නොවීමය. එවැන්නක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ශ්‍රම පුහුණුවක් හෝ එවැනි පුහුණුවක් දිය හැකි අධ්‍යාපනයක් හෝ එවැන්නක් වෙත යා හැකි නිර්භය චින්තනයක් හෝ අපට නැත.
අප මේ කරමින් සිටින්නේ රජයේ මුදල් බෙදාහදා ගනිමින් කයිවාරු ගැසීමය. මුළු රටේම මධ්‍යම පන්තියේ විශාල කොටසක් රාජ්‍ය මුදල් බෙදා ගනිමින් විවිධ උත්සව, කයිවාරු, පුරාජේරු ගසමින් සිටිද්දී ඒ බර දරන්නේ මැද පෙරදිග ගෘහණියන්, ඇඟලුම් සේවිකාවන්, ගොවියන් හා වෙනත් ශ්‍රමිකයන්ය. අපේ රාජ්‍ය අංශය දිගින් දිගටම පුළුල් වන්නේ දේශපාලනඥයන්ගේ පැවැත්ම උදෙසා රැකියා උත්පාදනය කිරීමට මිස නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කොටගත් මානව හෝ භෞතික සම්පත් සංවර්ධනය කිරීමට නොවේ.
නිෂ්පාදන ආර්ථිකය එක් අතකටත්, රාජ්‍ය සේවය තවත් අතකටත් ගමන් කරමින් සිටි අතර අධ්‍යාපනයේ සිට පවතින කිසිදු ව්‍යුහයක් වෙනස් කරලීම සඳහා පාලකයන් දක්වන්නේ මාරක භීතියකි. මේ මාරක භීතියම ඡන්ද පදනම නැතිවේය යන්නට වඩා දිගුකාලීනව පැවති ගතානුගතික ඇබ්බැහිය නිසාම සිදුවන්නකි.
දියුණු වන රටවල අධ්‍යාපනය, පාර්ලිමේන්තු ව්‍යවස්ථාව, ආගම, සංස්කෘතිය යානාදී හැමදේම නිෂ්පාදන ක්‍රියාවලිය සමග සෘජුව හෝ වක්‍රව බැඳී ඇති අතර, අප රට ඒ ඒ ව්‍යුහ වෙත වෙනම පවතින බව පෙනී යයි. නිෂ්පාදන ආර්ථිකයක් වෙත ගමන් කළ හැක්කේ හැමදාම කළාක් මෙන් තේ, රබර්, පොල් ටික පිටරට පටවා අපනයන විවිධාංගීකරණය කිරීමෙන්ම නොවේ. අලුත් අලුත් දෑ නිපදවීමෙනි. මේ අලුත් දෑ නිපදවීම තුළ පෙර එතරම් නොසිතූ අංග වර්ධනය කිරීමට සිදුවේ. ලංකාව කළ යුත්තේ ලංකාවේ බහුල හා දක්ෂ විදිහට අපට සෑදිය හැකි දෑ නිමවීම මිස එදා සිට කළ දේ හෝ කවුරුත් නොකරන දේ කිරීම නොවේ. අපට බොහෝ නුපුහුණු ශ්‍රමය තිබෙන අතර, ඒවා අතිශයින් දුක්බර ඉරණමකට පාත්‍රවී ඇත්තේ රාජ්‍යය මැදිහත්වී විධිමත් පුහුණුවක් ලබා නොදෙන නිසාය.
අපේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය රට මැද ගෘහස්ථ කර්මාන්ත ලෙස වර්ධනය කළ යුත්තේ ඩොලරය ඉහළ ගිය විට අපට කෑම ඕනෑ තරම් ගෙදරම හදා ගන්නටය. අපේ දඩමස් සංචිත වර්ධනය කළ යුතුය. අපේ වල් ඌරු සම්පත දඩයම් කිරීමට තුවක්කු ලබාදීම විධිමත් කිරීම අතිශයෙන්ම වැදගත්ය.
අපේ රටේ තරුණයන්, ගුරුවරුන්, ලිපිකරුවන්, ගණකාධිකාරීවරුන් වීමටම වර්ධනය කරගෙන තිබෙන මානසිකත්වය කර්මාන්තශාලාවක හෝ නවීන පරිගණක නිපැයුම් මධ්‍යස්ථානයක ශ්‍රමිකයකු වීම දක්වා වෙනස් කළ යුතුය. ඒ වෙනස ඇති කළ යුත්තේ එයට සරිලන ගරුත්වයද ලබාදෙමිනි.
මෙවැනි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන තුරු අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම අසීරුය. ප්‍රධාන වශයෙන් වෙනස්විය යුත්තේ මනසයි. මානසික ව්‍යුහ වෙනස් කළ හැක්කේ අධ්‍යාපනයට හා පවුලට පමණි. නැතහොත් සාමාජ සංස්කෘතික බලවේගවලට පමණි.
අවංකව වෙනසක් පතන නිර්භය දේශපාලන බලවේගයකට පමණි. ඒ නිසා ආර්ථික අර්බුදය ජයගැනීම යනු ණය ගැනීම හෝ එකිනෙකා ඔවුනොවුන්ට ඇඟිල්ල දික්කිරීම නොව නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගැනීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමයි. නිර්භීත දේශපාලන තීන්දු ගැනීමයි. රටට අත්‍යාවශ්‍ය එවැනි නිර්භය බුද්ධිමත් නායකත්වයකි.