ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙන ගත්තු අපිට වෙන රැකියාවක් කරන්න බැහැ


විශ්වවිද්‍යාල තුළ වසර 05ක අධ්‍යාපනය ලැබීමෙන් සහ තවත් වසරක සීමාවාසික පුහුණුවකින් පසුව පිටවන ආයුර්වේද වෛද්‍යවරුන් සේවයට බඳවා නොගැනීම හේතුවෙන් මේ වන විට 600කට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් රැකියා විරහිත උපාධිධාරීන් බවට පත්ව ඇත. ඔවුන් වර්තමානයේ මුහුණදී සිටින ගැටලු සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ආර්. එම්.ජේ. කුමාර සමග සාකච්ඡා කළෙමු.


ආයුර්වේදී වෛද්‍ය උපාධිධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව මුලින්ම කතා කරමු?

අපි ආයුර්වේද වෛද්‍යවරුන්. නමුත් දැන් අපි රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් බවට පත්වෙලා. ආයුර්වේද වෛද්‍යවරුන් බිහිකරන ආයතන දෙකයි ලංකාවේ තිබෙන්නේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය. මේ වනවිට වසර 03කදී එම විශ්වවිද්‍යාලවලින් පිටවුණ ආයුර්වේද වෛද්‍යවරුන් 674ක් රැකියා විරහිතව සිටිනවා. අවසාන බඳවාගැනීම 2017 වසරේදී සිදුකළා. ඉන්පසුව මේ වනතුරු කිසිම බඳවා ගැනීමක් කළේ නැහැ. 2017 සිට මේ වනතුරු රෝහල්වල පුරප්පාඩු සහ රෝහල්වල අලුත් වෛද්‍ය තනතුරු කිසිවක් මේ වනතෙක් බඳවාගෙන නැහැ. 2019 ජනවාරි 01දා වන විට පළාත් සභා රෝහල්වල පමණක්  101කට වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් තිබුණා. මේ වනවිට එම තත්ත්වය තවත් වැඩි වෙලා. ඒ වගේම රෝහල් විශාල වීමේදී ඇතිවන අලුත් තනතුරු 302කට වැඩි ප්‍රමාණයක් තිබුණා. එසේ තිබුණත් ආයුර්වේද වෛද්‍යවරුන් බඳවාගැනීමට කටයුතු කළේ නැහැ. මේ සම්බන්ධයෙන් 2017 අවුරුද්දේ ඉඳන් අවස්ථා ගණනාවක්ම අපි සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් මේ වනතුරු කිසිම ප්‍රගතියක් නැහැ.

වත්මන් රජය නැවත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සුදානම් වෙනවා. එහිදී මේ පිළිබඳව සාකච්ඡා කළේ නැද්ද?

මෙවර උපාධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙළට අදාළ අයදුම්පත්‍රයේ ආයුර්වේද වෛද්‍ය කොටස ඇතුළත් කර තිබෙනවා. නමුත් ආයුර්වේද වෛද්‍යවරුන් කියන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව පිළිගත් තනතුරක්. සාමාන්‍ය රජයේ සේවයට බඳවාගන්නා ආකාරයට නෙවෙයි මේ තනතුරට බඳවාගන්නේ. ඒ සඳහා බඳවාගන්නේ කුසලතා පදනම මත සලකා බලමින්. බටහිර වෛද්‍ය ක්‍රමයේ වෛද්‍යවරුන් බඳවාගන්නා ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අනුවයි අපේ බඳවාගැනීම් කරන්නේ. හිමිවන වරප්‍රසාදත් සමානයි.

මේ නිසා එම උපාධිධාරී බඳවාගැනීම සම්බන්ධයෙන් අපි ජනාධිපති කාර්යාලයෙන් විමසීමක් කළා. නමුත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් කිසිම අදහසක් නැහැ. මෙවර උපාධිධාරී බඳවාගැනීම යටතේ වෛද්‍යවරුන් බඳවාගන්නවාද කියල අපි ඇහුවා. ඒත් ඔවුන්ගෙන් පැහැදිලි පිළිතුරක් නොමැති නිසා අපි අමාත්‍යාංශය මට්ටමින් අහලා බැලුවා. එතෙනදී අමාත්‍යාංශ කියනවා පැහැදිලිවම මෙවර බඳවාගන්නේ වෛද්‍යවරුන් නෙවෙයි සංවර්ධන නිලධාරීන් කියලා. එතැනම අපේ රැකියාව අහිමි කරලා. සංවර්ධන නිලධාරීන්ගේ මට්ටමට අපිට යන්න බැහැ, මොකද අපි වෘත්තීය උපාධියක් කරන්නේ.

වසර 05ක පූර්ණකාලීන වෛද්‍ය අධ්‍යාපනයක්, ඊට පසුව වසරක සීමාවාසික වෛද්‍ය පුහුණුවක් ලබාගෙන එන පිරිසකට සංවර්ධන නිලධාරී තනතුර ලබාදෙන්න පුළුවන්ද? මේ නිසා මේ රැකියා ගැටලුව මෙවර උපාධිධාරීන් 50,000ට රැකියා දීම තුළ විසඳෙන්නෙත් නැහැ. ඒ වගේම රජයේ බලධාරීන් කිසිම ධනාත්මක පිළිතුරක් දීල නැති නිසා තමයි අපි මේ අරගල මහපාරට අරගෙන ගියේ.

2017 න් පසුව අවස්ථා කිහිපයකදී ඔබලා රජය සමග සාකච්ඡා කළ බව පැවසුවා. එහිදී රජය පාර්ශ්වයෙන් පැවසුවේ  කුමක්ද?

වර්තමාන ආණ්ඩුව පත්වෙලා මාස 03ක් පමණ වෙනවා. පහුගිය ආණ්ඩුව බලයට පැමිණි මුල් කාලයේදී ආයුර්වේද වෛද්‍යවරුන් 600කට පමණ පත්වීම් ලබාදුන්නා. ඉන්පසුව ඉතිරි පුරප්පාඩු 2019 වසර අවසන් වීමට ප්‍රථම බඳවා ගන්නා බවට හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පොරොන්දුවක් ලබා දී තිබුණා.

ඊට අමතරව ආයුර්වේද වෛද්‍යවරුන් දේශීය ආහාර රටා සම්බන්ධ පෝෂණවේදීන් ලෙස බඳවාගන්නා ලෙස ව්‍යාපෘතියක් බාරදුන්නා.
බටහිර වෛද්‍යවරුනුත් දැන් දේශීය ආහාර රටාව ප්‍රවර්ධනය කරනවා. මේ සංකල්පය ඉතා සාර්ථකව සඳහන් වෙලා තිබෙන්නේ ආයුර්වේදය තුළයි. ආයුර්වේදය තුළ ප්‍රජා වෛද්‍ය විද්‍යාවට අදාළ සියලු දේ කරන්නේ මේ සම්බන්ධවයි. 

මේ සම්බන්ධයෙන් සඳහන් කළාට පසුව ආයුර්වේද වෛද්‍යවරුන් 1000ක් මේ තනතුර සඳහා බඳවාගන්න ව්‍යාපෘතියක් ලබාදෙන්න කියලා රාජිත සේනාරත්න ඇමතිතුමා පැවසුවා. ඒ රජයේ සිටි රාජ්‍ය නිලධාරීන්ට එය ලබාදුන්නත් එය සිදුකළෙත් නැහැ.

වත්මන් සෞඛ්‍ය ඇමතිතුමිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළත්, එතුමියටත් මේ සම්බන්ධයෙන් අදහසක් නැහැ.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙන ගත්තු අපිට වෙන රැකියාවක් කරන්න බැහැ. ඒ නිසා අපිට අපේ අවස්ථාව ලබාදෙන්න කියලයි කියන්නේ.

ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ තිබෙන්නේ අඩු අවධානයක්. මේ නිසා මෙම උපාධිය පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී ඉඳලා  ලබාගන්නා ලකුණු මත ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධියට තෝරා ගන්නවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමරාච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය තුළින් උපාධිය පිරිනමනවා. සායනික පුහුණුව සමග වසර 05ක පූර්ණකාලීන වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමෙන් අනතුරුව වසරක සීමාවාසික වෛද්‍ය පුහුණුවක් ලබාගත යුතුයි. ඒ අනුව සම්පූර්ණ කාලය අවුරුදු 06ක්. මේ ආකාරයට වසර 06ක අධ්‍යාපනයකින් පසුවයි ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක් බිහිවෙන්නේ.

නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ තරම් දුරට නොසලකා හරින්න හේතුව කුමක්ද?

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නගාසිටුවන්න තිබෙන නිවැරදිම ක්‍රමවේදය ඇතුළත් වෙලා නැහැ කියන අදහසයි අපිට තිබෙන්නේ. දේශීය ආයුර්වේද ක්‍රමය නංවන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබුණත් ඒවාත් වචනවලට සීමාවෙලා කියලා අපිට පෙනෙනවා.

මේ සඳහා සැබැවින්ම වැඩපිළිවෙළක් තිබුණා නම් අපි රැකියා විරහිතව සිටිය යුතු පිරිසක් නෙවෙයි. අපි සිදුකළ යුතුව තිබෙන දේවල් දැන් බටහිර වෛද්‍යවරු කරමින් සිටිනවා. එහෙම වෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට නිසි ලෙස රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන නිසා. එලෙස අනුග්‍රහයක් ලබාගන්නවත් සාකච්ඡා කරන්න නිලධාරීන් අවස්ථාව ලබාදීලා නැහැ.

අපි ඉල්ලන්නේ රැකියාවේ සුරක්ෂිතතාවය. උදාහරණයකට බටහිර වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කිරීමට අමතරව පෞද්ගලිකව සේවය කරනවා. පෞද්ගලික සේවය නැතිවුණා කියලා ඔවුන්ට බය වෙන්න දෙයක් නැහැ, රජයේ රැකියාව තිබෙනවා. මේ ආකාරයට අපිටත් රැකියාවේ සුරක්ෂිතභාවය ලබාදෙන්න කියලයි අපි කියන්නේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ වැදගත්කම ගැන කතා කළොත්?

බටහිර වෛද්‍ය ක්‍රමය තනිකරම ඖෂධ මතයි රඳා පවතින්නේ. ආයුර්වේදය කියන්නේ ජීවන රටාවක්. ඖෂධීය ක්‍රමවේදයක් පමණක් පදනම් කරගෙන නැහැ. විශේෂයෙන් රෝගයක් ඇති නොවී එයින් වැළකෙන්නේ කොහොමද කියලා ආයුර්වේදය තුළින් කියල දෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය සංසන්දනය කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් ආයුර්වේදය තුළ වැළැක්වීම වැඩි වශයෙන් තිබෙනවා. සරල උදාහරණයක් කියනවා නම් දියවැඩියා රෝගය හැදෙන්නේ නැතිව එයින් වැළකී සිටින්නේ කොහොමද කියලා අපි කියනවා. ඒ සඳහා ජීවන රාටාව ගොඩනගා ගන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරල දෙනවා. සොබාදහමට අනුකූලව ජීවත් වෙන්න යොමු කිරීමක් තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සිදුකරන්නේ.

බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා ඖෂධ ගෙන්වන්න වසරකට විශාල මුදලක් වැය කරනවා. නමුත් ආයුර්වේදය තුළ සියයට සියයක්ම ස්වාභාවික ඖෂධයි භාවිත කරන්නේ. ඒ අතරින් බොහොමයක් ලංකාව තුළ අපිට සපයා ගත හැකි ඖෂධ. ලංකාව තුළ ඖෂධ වගා කරලා එය හරිහැටියට ක්‍රියාත්මක කරනවා නම් ඒ වෙනුවෙන් ව්‍යවසායකයෝ බිහිවෙනවා වගේම ඖෂධ සඳහා විදෙස් රටවලට යොමු වන වියදම අඩු වෙනවා.
ඒ වගේම නිවාරණය සඳහා කටයුතු කිරීමේදී ඖෂධවලින් තොරවයි නිවාරණය සිදුකරන්නේ. රජරට වකුගඩු රෝගයෙන් වැළකීමට මුත්‍රාකාරක වන කැකිරි, පිපිඤ්ඤා වගේ දේවල් කන්න යොමු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එය පිළිඅරගෙන තිබෙනවා.  ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කාලයේදී එය පිළිගත්තත්, ආයුර්වේදයේ එම කාරණය කියල තියෙන්නේ වසර 2500කට විතර ඉස්සර. නමුත් අවාසනාවකට ලංකාවේ මිනිස්සු මේ දේවල් පිළිගන්න සූදානම් නැහැ.

එහෙම වෙන්න හේතුව කුමක්ද?

ඉංග්‍රීසි ආක්‍රමණයට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛවම තිබිල තියෙන්නේ ආයුර්වේදය ප්‍රමුඛ දේශීය වෙදකම. 1950 වගේ කාලයෙන් පස්සේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ලැබෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය. ආයුර්වේද ක්‍රමය පරිහානියට ලක්වෙන්නේ මේ කාලයෙන් පසුවයි. මොකද ඔවුන්ගේ පාලන කාලය තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට හිස ඔසවන්න ඔවුන් ඉඩ දීලා නැහැ. ඒත් එක්කම අපේ මිනිස්සු බටහිර ක්‍රමයට අනුගත වුණා. 

එය ආකල්ප වශයෙනුත් දියුණු විය යුතුයි. අපේ රටේ එහෙම දියුණ වෙලා නැති වුණත් වෙනත් රටවල්වල තමන්ගේ දේශීය දේ රැකගන්න යොමු වෙලා තියෙනවා. 1961දී තමයි ආයුර්වේද පනත ඇතිවෙන්නේ. ඒ ඔස්සේ ආයුර්වේද දෙපාර්තමේන්තුව බිහිවෙනවා. එහෙම බිහි වුණත් බලධාරීන්ගේ නිසි මඟපෙන්වීමක් නොවීම නිසා ඒ සම්බන්ධයෙන් උනන්දුව අඩුවෙලා තිබෙනවා. නමුත් මේ වනවිට දේශීය දේ සම්බන්ධයෙන් යම් තරමක හෝ ප්‍රවණතාවක් ඇතිවෙලා තිබෙනවා. දේශීය වෙදකම, ආයුර්වේදය ගැන කතා කරන්න  පෙලඹිලා තිබෙනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය තුළත් ආයුර්වේදය සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නමුත් ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් දෙන්න රජයට තවම බැරිවෙලා තිබෙනවා. හරියට ආයුර්වේද ක්‍රමය රට තුළ ස්ථාපිත කරන්න පුළුවන් නම් එය බටහිර වෛද්‍ය ක්‍රමය අභිභවා යන්නත් සමත් වේවි.

රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සටන ජය ගන්න මීළඟට කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අපි මේ විදිහට උද්ඝෝෂණ කරන්න හිතුවෙ නැහැ. මුලින් අපි සාකච්ඡා කළා, යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිවක් ඉටුවුණේ නැහැ. ඒ නිසයි අපි මේ පියවර ගත්තේ. මේ සතියේදී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සියලුම වෘත්තීය සමිති එකතු කරගෙන විරෝධතාවක් පවත්වන්න අපි තීරණය කර තිබෙනවා. එතැනින් පසුවත් විසඳුමක් ලැබුණේ නැතිනම් මීටත් වඩා සාකච්ඡා කරල තේරුමක් නැහැ. එහෙම වුණොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.



Recommended Articles