දින තුන්සිය හැටපහ පුරාම කිසිදු කරදරයක් බාධාවක් නොමැතිව ජීවත් විය හැකි රටක් ලෙස අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වුවද වර්තමානය වනවිට වසර පුරාම කුමන හෝ ආපදා තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
කාලගුණ හා දේශගුණික විපර්යාස නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇතැයි යම් යම් පිරිස් පෙන්වා දීමට උත්සාහ කළද, පරිසර විද්‍යාඥයන් සහ පරිසරවේදීන් සඳහන් කරන්නේ ස්වභාවදහමට විරුද්ධ වීම නිසා මෙවැනි තත්ත්වයන් රටට උදා වී තිබෙන බවයි.
ගෙවීගිය දශකයක, දෙකක කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති බවට ප්‍රකාශ කරමින් සිදු කළ බොහෝ ව්‍යාපෘති නිසා මහ පොළොවට, ජලයට, ගස්වැල්වලට තෙත්බිම්වලට විශාල හානි සිදු වූ බවද එම පිරිස් පෙන්වා දෙති.
සොබාදහමට විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට දිස්ත්‍රික්ක කිහිපයකට අසීමිත ලෙස වර්ෂාව ලැබීමත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයකට වියළි කාලගුණ තත්ත්වයක් ඇති වීමත් සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තිබේ.
අවාසනාවට කරුණ වී තිබෙන්නේ පරිසර විනාශයට සම්බන්ධයක් නොමැති ජනතාව පවා අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳීමය.
මේ වසර ගතහොත් මේ මස පළමු සතිය දක්වා දිස්ත්‍රික්ක 18කට වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබිණි. මේ නිසා පවුල් දෙලක්ෂ තිස් එක්දහසකට අධික ප්‍රමාණයක පුද්ගලයන් හත්ලක්ෂ අනූදහසක් ජල හිඟයකට මුහුණපා සිටි අතර, ජන ජීවිතයට විශාල බලපෑමක්ද ඇති විය.
පුත්තලම, කුරුණෑගල, වවුනියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, මහනුවර, හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මොනරාගල, බදුල්ල දිස්ත්‍රික්කවලට ඇති වූ වියළි කාලගුණ තත්ත්වය නිසා කෘෂිකර්මාන්තයටත් දැඩි බාධා එල්ල විය.
මේ නිසා ජනතාව වෙනුවෙන් නියං සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හා වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමටද රජය සැලසුම් සකස් කළේය.
අද දවස වනවිට ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, ගම්පහ, කොළඹ, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවලට සීමාවක් නොමැතිව වැසි ඇති වුවද කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බොහෝ ප්‍ර‘දේශවල ජනතාව තවමත් පානීය ජල ගැටලුවලට මුහුණදී සිටිති.
පවතින ජල හිඟය නිසා ගොවිතැන් කටයුතු කරන ජනතාව පවා තවමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටිති.
මීට අමතරව හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, කොළඹ, රත්නපුර, ප්‍ර‘දේශවලට ඇති වී තිබෙන තද වර්ෂා තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල පිහිටි වගාවන්වලටද දැඩි හානි සිදුව තිබේ.
වැසි සමග තද සුළං ඇති වීම හා පස්කඳු කඩා වැටීම නිසා එම දිස්ත්‍රික්කවල නිවාස 800කට අධික ප්‍රමාණයකටද හානි සිදුව ඇත.
නිවාසවලට හානි සිදුවීම හා නායයෑම් අවදානම නිසා ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ, දිස්ත්‍රික්කවල පවුල් 3,696කට අයත් පුද්ගලයන් 14,899 දෙනෙකු මේ වනවිට ජීවත්වන්නේ ආරක්ෂිත කඳවුරු තුළය.
වැස්ස හා සුළඟ නිසා පීඩාවට පත් පුද්ගල ප්‍රමාණය පනස්දහසකට ආසන්නය.
සතියකට අධික කාලයක් තිස්සේ පවතින වැසි තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල ජනතාවගේ දෛනික කටයුතුවලට විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබේ.
දෛනිකව කුලී කම්කරු රැකියාවේ යෙදෙන අතිවිශාල පිරිසකට දෛනික ආදායම් අහිමි වී ඇත. පවතින ආර්ථික අර්බුදය නිසා දෛනික වැටුපට ජීවත් වන බොහෝ පිරිසකට දෛනික වැටුප දිනක් ජීවත්වීමට හෝ ප්‍රමාණවත් නැත.
පවතින වැසි තත්ත්වය නිසා එළවළු පලතුරු වගාකරුවන්ට ඵලදාව නෙළාගැනීමට නොහැකි වී ඇත. සමහර ප්‍ර‘දේශවල වගාවන් ජලයෙන් යටවීම නිසා වගාවන් විනාශයට පත්වී තිබේ. මීට අමතරව එළවළු පලතුරු තොග අලෙවිය අඩුවීම නිසා එළවළු, පලතුරු මිල විශාල ලෙස පහළ ගොස් ඇතැයි ගොවි ජනතාව සඳහන් කරති. මේ නිසා ගොවි ජනතාවගේ ආදායමද අහිමි වී තිබේ.
වියළි කාලගුණ තත්ත්වයක් පවතින ප්‍ර‘දේශවල වගා කටයුතුවලට හානි සිදුවීම නිසා එම ගොවි ජනතාවගේද ආදායම් අහිමි වී ඇත. වගා භූමි විනාශ වී යෑම නිසා වගා භූමිවල කම්කරු රැකියාව සිදුකළ බොහෝ දෙනෙකුටද දෛනික ආදායම් අහිමි වී ඇත. මේ නිසා අද දවස වනවිට රටේ බහුතර ගොවි ජනතාව හා කම්කරු රැකියාවල නිරත බොහෝ පිරිසකට අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑම් බරපතළ ලෙස එල්ල වී තිබේ.
සතියක් පුරා වැසි පවතින ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කවලට දින කිහිපයක් වැස්ස නැති වූ විට එම දිස්ත්‍රික්කවල ජනතාවට සිදුවන්නේ ජල හිඟයට මුහුණදීමටය.
වියළි කාලගුණයක් පවතින ප්‍ර‘දේශවල ජනතාවට මාසයක් දෙකක් වර්ෂාව ලැබී දින දෙක තුනක් වර්ෂාව නැති වූ විට සිදුවන්නේ යළිත් වතාවක් වියළි කාලගුණයෙන් පීඩා විඳීමටය.
මේ නිසා කුමන හෝ ක්‍රමයක් භාවිතා කර මහ පොළොවෙන් බිමට වැටෙන ජලය සුරක්ෂිත කරගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතුව තිබේ.
වැව් තිස් දෙදහසක් තිබූ බවට සැලකෙන ශ්‍රී ලංකාවේ දැන් බොහෝ වැව් තිබූ තැනක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇත.
අද දවස වනවිට තිබෙන ජලාශ වැව් පවා බොහෝ විට රොන්මඩවලින් වැසී කොටසක් පිරී පවතින බවට වාර්තා වේ.
ජලාශ හා වැව්වල රොන් මඩ ඉවත් කර වැඩි ජල ප්‍රමාණයක් රඳවාගත යුතු බවට පාලකයන්ට ගෙවීගිය කාලය පුරාම මතක් වූයේ මහ වර්ෂා ඇදහැලෙන සමයේදීය. මේ නිසා බොහෝ ජල මූලාශ්‍රවල රොන්මඩ ඉවත්කර පිළිසකර කිරීමට නොහැකි විය.
මේ තත්ත්වය නිසා දිනක් දෙකක් වැසි ඇති වනවිට ජල මූලාශ්‍ර පිරි ඉතිරී යන අතර, දින දෙක තුනක් වැසි නොලැබුණහොත් ජල මූලාශ්‍රවල ජලය සිඳී යයි.
නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ පිරී ඉතිරී යන තරමට ජලය ගලාගෙන ගියද එම සියලුම ජලය අවසානයට එකතු වන්නේ මහ මුහුදටය.
මධ්‍යම කඳුකරයේ කඳු පන්ති අස්ථාවර කරමින් සුන්දර බණ්ඩාරවෙල හා බදුල්ල අනතුරට ලක් කරමින් උමා ඔයේ ජලය හම්බන්තොටට ගෙනයෑමට සැලසුම් කළද ගිං ගඟේ හෝ කළුගඟේ ජලය හම්බන්තොටට හෝ මොනරාගලට ගෙන යෑමට සැලසුමක් සකස් කළේ නැත.
හම්බන්තොටටත්, රත්නපුරටත් මැදිව පවතින ඇඹිලිපිටිය, අඟුණුකොළපැලැස්ස, මත්තල, තණමල්විල පඩව්කෙම ආදී ප්‍ර‘දේශ වසරේ වැඩි කාලයක් පවතින්නේ වියළි තත්ත්වයේය.
මේ නිසා කළු ගඟේ ජලය රත්නපුර හෝ ආසන්න ප්‍ර‘දේශයකදී අදාළ ප්‍ර‘දේශවලට ගෙනයෑමට වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාව තිබේ.
දෙදියගල පරිසර පද්ධතිය හා තේ වතු කුඹුරු ඉඩම් විනාශ කර හම්බන්තොට, වලස්මුල්ල ප්‍ර‘දේශවලට ජලය රැගෙන යෑමට සැලසුම් කළද ඉහළ ස්ථානයකදී නිල්වලා ගඟේ ජලය එම ප්‍ර‘දේශවලට ගෙනයෑමට හැකිදැයි සොයා බැලීමට හෝ මෙරට දේශපාලකයන් කටයුතු කළේ නැත.
උමා ඔය ව්‍යාපෘතියේදී මධ්‍යම කඳුකර ප්‍ර‘දේශ හරහා ජලය පහළට රැගෙන යෑමේදී උමං භාවිත කිරීම ඇතුළු විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කරයි. එහෙත් අවාසනාවට කරුණ වී තිබෙන්නේ භාවිත කරන තාක්ෂණ දුර්වලතා නිසා බණ්ඩාරවෙල, බදුල්ල ප්‍ර‘දේශවල ජීවත්වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් එල්ලවීමය. භූගත කැණීම් නිසා කඳු පන්ති පවා අස්ථාවර තත්ත්වයකට පත්ව තිබේ.
මේ නිසා අහසින් වැටෙන වැස්සෙන් හෝ ගංවතුර තත්ත්වයන්, ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීම වළක්වාගැනීම සඳහා විධිමත් වාරිමාර්ග පද්ධතියක් රට තුළ සකස් කරගත යුතුව ඇත. එය ආපදාවක් වීමට පෙර සූදානම්ව සිදුකළ යුතු කටයුත්තකි.
ආපදාවක් සිදු වූ විට මේ රටේ ජනතාවගෙන්ම ගන්නා බදු මුදලින් සහන ලබාදීම කොතරම් ප්‍රා‘යෝගිකදැයි මේ රටේ පාලකයන් කල්පනා කළ යුතුය.
මන්දයත් රටේ ජනතාවට වසර පුරාම කුමන හෝ ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුවීම හරහා සිදුවන්නේ ජනතාව තව තවත් ආර්ථිකයේ පතුලට වැටීමය.
ජීවිත කාලය පුරා හරිහම්බ කරගත් දෙයකින් ඉදිකරගන්නා නිවස ආපදා තත්ත්වයකදී විනාශ වී ගියද නිවෙස් හිමියාට නැවත හොඳ තත්ත්වයේ නිවසක් ඉදි කර ගැනීමට ප්‍රමාණවත් තරම් වන්දියක් ලැබෙන්නේ නැත.
යම් වන්දි මුදලක් ලබාදුන්නද රජය ඉන්පසුව සිදු කරන්නේ ජනතාව මත තව තවත් බදු පැනවීමය.
මේ නිසා ජනතා බදු මුදල්වලින් යැපෙන පාලකයන් සහ බලධාරීන් සිදුකළ යුතුව තිබෙන්නේ ජනතාව ආපදාවලට ලක්වීම වළක්වාගැනීම සඳහා වැඩපිළිවෙළවල් සකස් කිරීමය.
එම කටයුතු වෙනුවෙන් යම් මුදලක් එකවර වියදම් කිරීමට සිදු වුවද එය අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක්ද වේ.
මේ නිසා මහා නගර සංවර්ධන හෝ වෙනත් මෙගා සංවර්ධන කටයුතු කිරීමට පෙර නියඟයෙන්, ගංවතුරෙන් තොර රටක් නිර්මාණය කිරීමට රටට ආදරය කරන දේශපාලනඥයන්, පාලකයන් පෙළගැසිය යුතුය.
එසේ නොවන තාක්කල් මේ රටේ ජනතාවට සිදුවන්නේ වියළි කාලගුණ තත්ත්වයන්ට මුහුණදෙමින් ජල ගැලීම්, නායයෑම්, කඳු කඩාවැටීම්වලට මුහුණදෙමින් ජීවිතය පූජා කරමින් ජන ජීවිතය අඩාළ කරගනිමින් ජීවිතය ගෙනයෑමටය.
මේ නිසා වියළි කාලගුණයට නියං ආධාර දෙන හා ගංවතුරට ගංවතුර ආධාර දෙන දේශපාලනඥයන් වෙනුවට ගංවතුරෙන්, නියඟයෙන් තොර රටක් නිර්මාණය කරන පුද්ගලයන්, දේශපාලනඥයන් බවට පත්කළ යුතුව තිබේ.
දේශපාලනඥයන්, පාලකයන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම සිදුකළ යුතුව තිබෙන්නේ තෙත්බිම් ටික, ගස් කොළන් ටික ආරක්ෂා කරගැනීමය. මීට අමතරව රොන්මඩවලින් පිරී පවතින, ජල මූලාශ්‍ර ටික සුද්ධ පවිත්‍ර කිරීම හා විනාශ වී ගිය ජල මූලාශ්‍ර ටික ප්‍රතිසංස්කරණය කිරීමය. මෙම වැඩ කටයුතුවලින් පසුව වර්ෂාපතනයෙන් ලැබෙන ජලය එක්රැස් කරගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගත යුතුය.